Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

නැවත එජාපයට එන්න කලින් බේරගනන් ගොඩක් දේවල් තියෙනවා - තිස්ස අත්තනායක

නැවත එජාපයට එන්න කලින් බේරගනන් ගොඩක් දේවල් තියෙනවා - තිස්ස අත්තනායක

* රටේ වර්තමාන දේශපාලන වටපිටාව ගැන ඔබේ දැක්ම කිව්වොත්?

වර්තමාන දේශපාලනයේ ලොකු අවුලක් තියෙනවා කියලා හිතෙනවා.

* දේශපාලනය අවුල් යැයි ඔබ කියන්නේ ඇයි?

ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාවගෙන් බහුතරයක් ඡන්දය දුන්නේ ලොකු වෙනසක් බලාපොරොත්තුවෙන්. ඒ වෙනස කිහිප පැත්තකින් බලාපොරොත්තු වුණා. නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කළ යුතුයි කියලා එක පිරිසක් කිව්වා. එවකට රටේ නායකත්වයට විරුද්ධව ඇති දූෂණ, හොරකම් වගේ චෝදනා ගැන එක පිරිසක් කතා කළා. රටේ සමාජ සාධාරණත්වය ගැන තව පිරිසක් කතා කළා.

මේ සියලු කතාවලට මැදිවුණු රටේ ජනතාව වත්මන් රජය හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත්කර ගත්තේ රටේ සිදුවිය යුතු පරිවර්තනය වේගයෙන් සිදුවෙයි කියලා. නමුත් ඒවා බලාපොරොත්තු වුණු මට්ටමින් සිදු නොවීම නිසා රටේ ජනතාවට ලොකු කලකිරීමක් තියෙනවා.

* ඔබ ‍ඔහොම කිව්වට යහපාලන රජය ස්ථාවරව කටයුතු කරනවා නේද?

කෙනකුට එහෙම කියන්න පුළුවන්. නමුත් දැන් ආණ්ඩුව බලයට පත්වෙලා වසර දෙකක කාලයක් ගෙවිලා. තවත් අවුරුදු දෙකක් මේ රජයට කල් තියෙනවා. ඒ කාලය තුළ නොපමාව අර පෙර කිව්ව ජනතා අභිලාෂ ඉටුකරන්න පෙරමුණ ගැනීම තුළයි රජයේ ස්ථාවරත්වය තීරණය වන්නේ.

* ඔබ ඔය කියන ජනතා අභිලාෂයන් ඉටුකිරීමේදී පසුගිය රජයට වඩා ඉදිරියෙන් යහපාලන රජය කටයුතු කරන බව පිළිගන්න වෙනවා නේද?

ඇත්තටම ජනතා අභිලාෂයන් ඉටුකරන්න කියලා නීතිරීති පාර්ලිමේන්තුවේ සම්මත කළාට ඉලක්ක කරපු පරිදි ප්‍රතිපල තියෙනවාද කියනඑක ගැන ප්‍රශ්නයක් තියෙනවා. අල්ලස් හා දූෂණ කොමිසන් සභාව පිහිටුවීම හා අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම හා ඒවායේ ක්‍රියාකාරීත්වය, වැරදි කරුවන්ට දඬුවම් දීම ආදී මේ කරුණු ඔක්කොම දැන් දේශපාලන න්‍යාය පත්‍රවලට හැරිලනේ. මහජනතාව මේවා පිහිටුවීමෙන් බලාපොරොත්තු වුණේ මේක නොවෙයි නේ.

* කිසිදු ස්වාධීන කොමිෂන් සභාවක් ක්‍රියාත්මක නොවුණු වටපිටාවක් තිබුණු රටක මේ සියල්ල වසර දෙකක් තුළ 100%ක් නිවැරදිව කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද?

ඔබ මතුකරන ප්‍රශ්නය හරි. මේවා එක රැයකින් ඉටුකරන්න හෝ තිබුණු තත්ත්වය කණපිට ගහන්න හරි බෑ කියලා මම පිළිගන්නවා. මම කියන්නේ මේ රටේ ඡන්දය දීපු ජනතාවට මේවායේ ආරම්භය හෝ සෑහීමකට පත්වන ලෙස තිබිය යුතුයි කියලයි. නීති ගෙනාවට මදි නැවත ඒ වරද සිදුකරන්නට නොහැකි ලෙස නීතිය ශක්තිමත් කරන්න ඕනා. මේවා පිටුපස ඩීල් තියෙනවා. දේශපාලන යාළු මිත්‍රකම් අනුව නීතිය නමනවා. වගේ කාරණා දැන් ජනතාව අතර කතාබහට ලක්වෙලා. ඒවා එච්චර සුදුසු දේවල් නොවෙයි.

* වර්තමාන රටේ ආර්ථික තත්ත්වය ගැන ඔබේ කියවීම කිව්වොත්?

අලුතින් බලයට පත්වුණු රජයටත් තවම ආර්ථිකය බලාපොරොත්තුවුණු ජයග්‍රහණ කරාගෙන යන්න බැරි වෙලා. හොඳ හෝ නරක ඇත්ත කතාව නම් රටේ ජනතාව ආර්ථික වශයෙන් ලොකු පීඩාවකට පත්වෙලා. ඇඟට දැනෙන විදිහේ

සංවර්ධනයකට යන්න බැරිවෙලා. කොච්චර කතාකළත් සංවර්ධනයේ යායුතු ඉලක්කයට නම් ළඟා වෙලා නෑ.

* ඔබේ විශ්වාසය අනුව රටේ ආර්ථිකය ගොඩ නගන්න රජය කුමක් කළ යුතුද?

රජයේ නාස්තිය අවම කරන්න ඕනා. ඇමැතිවරුන්ට වාහන දෙන්න, මන්ත්‍රීවරුන්ට කාර්යාල දෙන්න මුදල් ‍වෙන් කිරීම මේ වෙලාවේ කළයුතු දෙයක් නොවෙයි. පාලකයන් යම් කැපවීමක් කරනවා නම් ජනතාවත් යම් තරමකට සෑහීමකට පත්වෙනවා.

මට මතක්වෙනවා 2001 දී ආණ්ඩුව හදපු වෙලාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමැතිවරුන්ට බලකළා යම් කැපවීමක් කරන්න කියලා. එදා කිසිදු ඇමැතිවරයෙක් ඇමැති වැටුප ගත්තේ නෑ. මන්ත්‍රී වැටුප විතරයි ගත්තේ. එදා ලොකු උත්සාහයක් තිබුණා ආර්ථිකය ගොඩනගන්න. අද එහෙම උත්සාහයක් නෑ.

2001 දී තිබුණේ එ.‍ජා.පයේ තනි ආණ්ඩුවක් . නමුත් අද තියෙන්නේ හවුල් ආණ්ඩුවක්. හවුල් ආණ්ඩුවක් තුළ ඔබ ඔය කියන කැපවීම් කරන්න පුළුවන්ද?

මගේ විශ්වාසය නම් ජාතික ආණ්ඩුව සංකල්පය තුළ පෙර තිබුණටත් වඩා හොඳින් මේ කැපකිරීම් කරන්න පුළුවන් වෙන්න ඕනා. එහෙම නොවෙනවානම් මේක ජාතික ආණ්ඩුවක්. හවුල් ආණ්ඩුවක් කිය කියා ඉඳලා ජනතාවට ඇතිවන කළකිරීම වළක්වන්න බෑ.

* වර්තමාන රජයේ කැබිනට් මණ්ඩලය නියෝජනය කළානම් වාහන ගැනීමේ යෝජනාවට ඔබටත් එකඟ වෙන්න වෙනවා නේද?

නෑ මම එකඟ වෙන්නේ නෑ. මම ප්‍රතික්ෂේප කරනවා. ඒ විතරක් නෙවෙයි ඔය යෝජනාව නොගෙනෙන තැනට ආණ්ඩුව තල්ලු කරනවා. මේවා වාහන නැතිකමට ගන්න වාහන නොවෙයි නේ. මහජන නියෝජිතයන් වුණාම අපිට කැප කරන්න පුළුවන් වෙන්න ඕනෑ.

* රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්වආණ්ඩුවක් පිහිටුවීම සුබවාදී කාරණයක් ලෙස ඔබ දකිනවාද?

රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවීම හෝ සන්ධාන ගතවීම නරක දෙයක් කියලා කාටවත් කියන්න බෑ. හැබැයි තනතුරු වරප්‍රසාද ගන්න මෙහෙම එක්වුණා කියන මතය ජනතාවට දෙන්න හොඳ නෑ. මෙතන තියෙන වැරැද්ද ඒකයි. දැන් මේ එළඹිලා තියෙන්නේ ආණ්ඩුවට ස්වර්ණමය අවස්ථාවක්. ආණ්ඩුවකට මොනතරම් බලපෑම් එල්ල වෙනවද විරුද්ධ පක්ෂයේ කණ්ඩායම් වලින්. මේ ආණ්ඩුවට විරුද්ධව තියෙන බලපෑම ඉතා අඩුයි.

* ඔබ ඔහොම කිවුවට ඒකාබද්ධ විපක්ෂය මේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරනවා නේද?

ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට යම් පීඩනයක් දෙනවා. නමුත් ඕනෑම ආණ්ඩුවකට නීත්‍යානුකූලවම විරුද්ධව කණ්ඩායමක් ඉන්නවා. මේ ආණ්ඩුවේ වාසනාව කොතෙක්ද කිව්වොත් රටේ විපක්ෂනායකවරයාත් රජය ගෙනෙන අණපනත්වලට පක්ෂව ඡන්දය දෙනවා. මෙහෙම තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙද්දී මීට වඩා ප්‍රතිඵලදායී වැඩපිළිවෙළකට රජය යන්න ඕනෑ කාලය නාස්ති නොකර.

* නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ඔබ දකින්නේ කොහොමද?

මම විශ්වාස කරන පරිදි රටේ ජනතාව තුළ පවතින මතය වන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන කාරණා කිහිපයක් වෙස් විය යුතුයි කියන එකයි.

* මොනවද වෙනස් විය යුතුයි කියලා ඔබ දකින කාරණා.

විධායක ජනාධිපතික්‍රමය අහෝසි කළ යුතුයි. රාජ්‍ය සේවය ස්වාධීනත්වයට ඉඩ දෙන්න අවශ්‍යයි. රටේ නීතිය ක්‍රියාත්මක වීමේදී පවතින අඩුපාඩු හා දුර්වලතා පිළිබඳ යම් නීතිමය සංශෝධනයන්ට අවතීර්ණ විය යුතුයි. ඒ වගේම වංචා දූෂණ වළක්වන්න මීට වඩා රජයේ මැදිහත්භාවයක් අවශ්‍යයි.

මේ කාරණා කිහිපය සංශෝධනය කිරීම තුළ ජනතාව බලාපොරොත්තුවන දේ ඉටුකළ හැකියි කියන එකයි මගේ විශ්වාසය. නමුත් අද ආණ්ඩුව අනෙක් ප්‍රශ්න සියල්ල අමතක කරමින් පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරමින් නව ව්‍යවස්ථාවක හිර වෙලා ඉන්නවා කියලයි මම හිතන්නේ. නමුත් කළ යුත්තේ ගම් මට්ටමින් රට නංවන විශේෂ ව්‍යාපෘති ආරම්භ කිරීමයි.

* විධායක ජනාධිපතික්‍රමය ගැන ඔබේ මතය කුමක්ද?

විධායක ජනාධිපතික්‍රමය අහෝසි කළ යුතුයි. ඒකයි මගේ දේශපාලන ස්ථාවරය. පක්ෂයක් ලෙස එ.ජා.පයත් 1997 කතරගම පැවැති සම්මේලනයේදී විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න තීන්දු කළා.

* විධායක ජනාධිපති ධුරය අහෝසි කළයුතු යැයි කියන ඔබ 18 වැනි සංශෝධනය හරහා රාජපක්ෂ රජය සිදුකළ ජනාධිපති ධුරයේ ධුර කාලයේ දෙවතාවක් පැවැති සීමාව ඉවත් කිරීමට එකඟද?

මම මෙය දකින්නේ අප රටේ සිදුවූ ලොකු වරදක් ලෙසයි. මේ වරද නොකළානම් අපේ රටේ අනාගතය වෙනස් වෙන්න තිබුණු බව මම විශ්වාස කරනවා.

* පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතුයි කියලා ඔබ විශ්වාස කරනවාද?

පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස්වෙන්න ඕනෑ. මහජනතාවට වගකියන මහජන නියෝජිතයන් පත්වෙන්න ඕනා. මේක එ.ජා.ප. යෙන් ගෙනාවා කියලා පවත්වන් යන්න ඕනෑ නෑ. කාලයත් සමඟ බොහෝ විට වෙනස් විය යුතු දේවල් තියෙනවා මැතිවරණ ක්‍රමයත් එහෙම වෙනස් වෙන්න ඕනෑ එකක්.

* යුද්ධය අවසන් වූ පසු ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම ගැන ඔබේ අදහස කිව්වොත්?

ප්‍රභාකරන් යුද්ධ කරන කාලයට සාපේක්ෂව යුද්ධයෙන් පස්සේ උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ගෙන ඒම පහසුයි. යුද්ධය ජයග්‍රහණය කළා. ඒ සඳහා කැපවුණු අයට එහි ගෞරවය හිමිවිය යුතුයි. යුද්ධය ඉවරවුණාම අපට කළයුතුව තිබුණේ උතුරේ ත්‍රස්තවාදීන් ගැන හිතල විසඳුම් හදන්න නෙවෙයි. ජනතාවගැන හිතලා ඒ අයගේ ප්‍රශ්න‍ කෙරෙහි වඩාත් කාර්යක්ෂමව අවධානය යොමුකරන්න පුළුවන් ප්‍රවේශයකට යාමයි.

ඒකට දේශපාලනික විසඳුමක් කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආර්ථික සංවර්ධන උපායමාර්ග වෙන්නත් පුළුවන්. මහජනයා හා ආණ්ඩුව අතර සම්බන්ධීකරණයක් වන වැඩපිළිවෙළක් වෙන්නත් පුළුවන්. ඒක ඔය ඕන නමකින් හඳුන්වන්න පුළුවන්. කළ යුතු වන්නේ ප්‍රමාද වී හෝ එය දැන්වත් නොපමාව ක්‍රියාත්මක කිරීමයි.

තිස් අවුරුදු යුද්ධයෙන් උතුරේ ජනයාගේ පෑරුණු සිත් සුවපත් කළ යුතුයි. ඒක බලහත්කාරයෙන් කරන්න බෑ. “නෑ ආයෙ කවදාවත් අපට යුද්ධය ඕනෙ නෑ” කියන තැනට ඒ ජනතාව ගේන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි අවශ්‍ය වන්නේ.

* පසුගිය රජයට සාපේක්ෂව යහපාලන රජය උතුරේ ප්‍රශ්නයට විසඳුම් ගේන්න මැදිහත්වන බව පිළිගන්නවාද?

මේ අවුරුදු දෙක තුළ පහුගිය කාලයට වඩා නොයෙක් සාකච්ඡා වැඩසටහන් තිබුණු බව ඇත්ත. හැබැයි මේවා කල් නෑර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි. ඒවගේම මේවා අප ක්‍රියාත්මක කළ යුත්තේත් ජාත්‍යන්තරය කියන නිසා නො‍විය යුතුයි. ජිනීවා මානව හිමිකම් සංවිධානය හෝ වෙනත් සංවිධාන ඇඟිල්ලෙන් ඇනලා අපිට කියනකල් අපි බලා ඉන්න ඕනෑ නෑ. අපේ රටේ පුරවැසියන් වෙනුවෙන් යමක් කිරීම වරදක් නොවෙයි.

* ඒකාබද්ධ විපක්ෂය කියන්නේ ආණ්ඩුව ජාත්‍යන්තරයේ අවශ්‍යතා ඉටුකරන්න නැවත ඊළමකට පාරකපනවා කියලයි. මේ චෝදනා ඔබ දකින්නේ කොහොමද?

රටේ සංහිඳියාව ඇතිකරන්න නම් අපි කවුරුත් පිළිගත හැකි විසඳුමකට යා යුතුයි. උතුරේ තියෙන ප්‍රශ්නය අප කවුරුත් පිළිගන්න ඕනෑ. යුද්ධයෙන් විනාශ වුණු ජනතාවගේ ජන ජීවිත ගොඩනැගීමේ මූලික ඉලක්කය විය යුත්තේ නැවත මේ රටේ වාර්ගික ගැටුමක් හෝ සංහිඳියාව බිඳ වැටීමක් සිදුනොවීමට ඉඩ තැබීමයි.

මීට පෙරත් කොටියට රට දෙන්න එජාපය අණපනත් හදනවා කියලා චෝදනා කළා. එදා හිටපු සමහර ඇමැතිවරු ඡන්දය ඉලක්ක කර ගෙන රටේ වේදිකාවල පවා මේ ගැන කිවුවා. අද ඒකාබද්ධ විපක්ෂය ඔය සටන්පාඨ යොදා ගන්නේ තමන් වටා ජනතාව රඳවා තබා ගන්නයි. ඒක විපක්ෂයට ගියාම අනුගමනය කරන උපාය උපක්‍රමයක්.

* ඔබ කියන්නේ ඒකාබද්ධ විපක්ෂය රජයට එල්ල කරන චෝදනා ගණන් ගත යුතු නෑ කියලද?

හැමදාම හැම රජයකටම දෝෂාරෝපණ විවේචන එල්ල වෙනවා. ඒවා ගැන නොවෙයි සැලකිය යුත්තේ හරිදේ කළ යුතුයි. වඩා වැදගත් වන්නේ කළ යුතු දේ නිවැරදිව කිරීමයි.

අපි දැක්කනේ පසුගිය දවස්වල ඒකාබද්ධ විපක්ෂය සටන්පාඨ අතට අරගෙන ජනතාව පෙළ ගැස්සුවා. රැස්වීම් තියලා ජනතාව රඳවා ගන්න උත්සාහ කළා. ඒ අයට ඕනේ ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායම අපි කියලා ගොඩ එකතු කරගන්නයි. හොඳ හෝ වේවා නරක හෝ වේවා හැමදේටම ආණ්ඩුවට විරුද්ධව ඉන්න පිරිසක් ගම්වල ඉන්නවා. අන්න ඒ පිරිසට වේදිකාව තනන කාර්යය තමයි ඒකාබද්ධ විපක්ෂය අරන් තියෙන්නේ. එ.ජා.ප.ය. හා ශ්‍රී.ල.නි.පය ඉහළින් ඒකාබද්ධ වුණාට ගමේ පාක්ෂිකයෝ අතර මේ ඒකාබද්ධ වීම නෑ. අන්න ඒ දුරස්ථ භාවය තමයි ඒකාබද්ධ විපක්ෂය හැමවිටම තම වාසියට යොදා ගන්නේ.

* ඔබ එ.ජා.ප.යේ මහ ලේකම් ධුරය අතහැර පක්ෂයෙන් ඉවත්වීම පාක්ෂිකයාට කළ අසාධාරණයක් නේද?

මම එදා විතරක් නෙවෙයි අදත් ගමේ ඉන්න එ.ජා.ප. පාක්ෂිකයා වෙනුවෙන් කතා කරනවා. මම දන්නවා අවුරුදු තිහක් විතර පක්ෂයේ විවිධ තනතුරුවල ඉඳලා අවසන් අවුරුදු අටේ පක්ෂයේ මහලේකම් ධුරය දරලා බිම් මට්ටමේ ඉඳන් එ.ජා.ප. පාක්ෂිකයා පක්ෂයට කළ කැපකිරීම, මම ලේකම් ධුරයෙන් ඉවත්වුණා කියලා ඒ පාක්ෂිකයන්ට අසාධාරණයක් විය යුතු නෑ. මොකද පක්ෂයක් කියන්නේ සාමූහික වගකීමක්. මම පක්ෂයේ ඉන්නා තාක් කල් පක්ෂයත් පාක්ෂිකයත් ආරක්ෂා කරන්න කැපවුණා.

* ක්‍රියාකාරී දේශපාලනයට දැනට ඔබේ ඇති සම්බන්ධය කිව්වොත්.

මම නම් මේ දවස්වල දේශපාලනයේ කිසිම ක්‍රියාකාරී දේකට අවතීර්ණ වෙලා නෑ. මගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා.

* ඉදිරියේදී ඔබ නැවත දේශපාලන තීන්දුවක් ගන්න යනවා කියන්නේ ඇත්තද?

පසුගිය දවස්වල මාධ්‍යයෙන් ඔය කාරණය ගැන නොයෙක් නොයෙක් දේවල් පළ කළා. එ.ජා.ප.යේ මහලේකම් තුමා කබීර් හෂීම් මැතිතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියලා තිබුණා මම නැවත දේශපාලනයට එන්න ඕනා කියලා කියනවානම් මගේ ඉල්ලීම සලකා බලන්න පුළුවන් කියලා. පසුගිය දවසක උසාවියේදී හමුවුණාම මට පුද්ගලිකවත් කිවුවා එන්න අපිත් එක්ක වැඩ කරමු කියලා. මට සාධාරණයක් කරනවා කියලත් කිවුවා.

* ඔබට ඒ ආරාධනය ගැන මොකද හිතෙන්නේ.

අපට ඒ ගැන හිතන්න පුළුවන්. අපට ඒකට තව වෙලා තියෙනවා කියලයි මම හිතන්නේ. ඊට ඉස්සෙල්ලා බේර ගන්න ගොඩක් දේවල් තියෙනවා.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.