Menu

logo new 2015-5-11

Shamrock-png

අර්ජුන් මහ බැංකුවට වඩා පර්පචුවල් ට්‍රෙෂරීස් ගැන හිතලා

අර්ජුන් මහ බැංකුවට වඩා පර්පචුවල් ට්‍රෙෂරීස් ගැන හිතලා

යාපනේ සිටි මහ බැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට තමන් දුරකථනයෙන් කතා කරමින් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම එක්දින ද්‍රවශිලතා ණය සහ ප්‍රති ගැණුම් ණය (IPL and REPO) ගෙවා නැහැ යයි කී විට අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට එකවරටම ‘මගේ දෙයියනේ’ කියලා කියවුණා යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශීය මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක නිහාල් රංජිත් රුද්‍රිගු මහතා පැවසීය.

“මගෙයි පර්පචුවල් ටේ‍රෂරීස් එකයි අතර තියෙන සම්බන්ධදේ ඔයා දන්නවානේ ඒක නිසා ඔයා ස්වාධීන තීරණයක් ගන්න. හැබැයි ඒක මට දැනුම් දෙන්න” යැයි අර්ජුන් මහෙන්ද්‍රන් මහතා තමාට කී බවත් ඊට පසු දිනෙක පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතා පළිසේන මහත්මිය සහ තවත් අයෙකු සමඟ මාගේ කාර්යාලයට පැමිණි බවත් පද්ධතියේ ඇනහිටීමේ තත්වයක් (bid lock) ඇතිවීම නිසා එක්දින ද්‍රවශිලතා වෙළඳ ණය ගෙවා දැමීමට නොහැකි වු බවත් රුපියල් බිලියන 1.2ක මුදලක් වැරදියට ගණනය කොට ඇති බවද ඔවුන් ඒ අවස්ථාවේදීම කී බවත් නිහාල් රංජිත් රුද්‍රිගු මහතා කොමිසම හමුවේ පැවසීය. මේ ආකාරයට එක්දින ද්‍රවශිලතා වෙළඳ ණය ගෙවීම පැහැර හැරි අවස්ථාවන් දෙකක් තමා මීට පෙර අසා ඇතැත් එම අවස්ථා දෙකේදී නොගෙවු ණය මුදල් වලට වඩා පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම ගෙවීම පැහැර හැරි මුදල විසිපස් ගුණයක් පමණ වැඩි බවත් පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කෙරේ.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත.

කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දුන් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශීය මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක නිහාල් රංජිත් රුද්‍රිගු මහතා මෙසේද කීය.

විවෘත වෙළඳ පොළ කටයුතු විමර්ශණය කිරීම එක්දින ද්‍රවශීලතා කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීම ආදී දේවල් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශිය මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂකවරයා ලෙස මා වෙත පැවරී තියෙනවා.

ප්‍ර. මේ සම්බන්ධයෙන් බලපැවැත්වෙන්නේ මුල්‍ය නීතීයේ කවර වගන්තියද?
පිළි. මුල්‍ය නීතීයේ 90(1) වගන්තිය.
මේ අවස්ථාවේදී එක්දින ද්‍රවශීලතා පහසුකම ලබාගැනීම සඳහා පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම සමග ඇතිකරගත් ගිවිසුම සාක්කිකරුට පෙන්වන ලඳුව,

ප්‍ර. මෙම ලේඛණය කුමක්ද?
පිළි. එක්දින ද්‍රවශිලතා පහසුකම ලබාගැනීම සඳහා පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම සමග ඇතිකරගත් ගිවිසුමයි.

ප්‍ර. 2016 වසරේ මුලදී ප්‍රතිගැණුම් ගිණුම (repos) නැවැත්තුවා නේද?
පිළි. ඔව්.

ප්‍ර. 2016 අප්‍රේල් පළමුවැනිදා පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම රුපියල් බිලියන 22ක ලංසු ඉදිරිපත් කළාද?
පිළි. ඔව්.

ප්‍ර. ඒ වන විට ද්‍රවශිලතා පහසුකම වශයෙන් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම කොපමණ ණය ලබාගෙන තිබුණද?
පිළි. රුපියල් බිලියන 7.5යි.

ප්‍ර. එතකොට 2016 අප්‍රේල් පළමුවැනිදා ගණුදෙණු කාලය අවසන් වින විට පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම මෙම ණය මුදල ගෙවා තිබුණද?
පිළි. නැහැ.

ප්‍ර. ප්‍රාථමික ගැණුම්කරුවන් පිළිබඳ කටයුතු කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ කුමන දෙපාර්තමෙන්තුවද?
පිළි. ශ්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුව.

ප්‍ර. එක්දින ද්‍රවශිලතා ණය පහසුකම පිළිබඳව බලපාන්නේ කුමන නීතීයද?
පිළි. මුල්‍ය පණතේ 62(අ) වගන්තිය.

ප්‍ර. මෙම මුල්‍ය පණතේ 62(අ) වගන්තියට අමතරව වෙනත් චක්‍ර ලේඛණ ඔබ කාර්යාලයෙන් නිකුත් කරනවාද?
පිළි. ඔව්.

ප්‍ර. 2016 අප්‍රේල් පළමුවැනිදා ගණුදෙණු කාලය අහවර වු පසුවත් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම ලබාගත් එක්දින ද්‍රවශිලතා වෙළඳ ණය සහ ප්‍රති ගැණුම් ණය ගෙවා නොදැමීම සම්බන්ධයෙන් ඔබ නිලධාන්ට දැනුම් දුන්නාද?
පිළි. ඔව්. නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතාට සහකාර අධිපතිනි මාපිටිය මහත්මියට සහ ආචාර්ය වීරසිංහ මහතාට මේ පිළිබඳව දැනුම් දුන්නා.

ප්‍ර. මේ පිළිබඳව පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමෙන් යම් විමසීමක් කළාද?
පිළි. පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ පළිසේන මහත්මිය දුරකථනයෙන් කතා කොට මේ පිළිබඳව විමසීමක් කළා.

ප්‍ර. ඊට පසු ඔබ මොකද කලේ?
පිළි. මා මහා බැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට දුරකථනයෙන් ඇමතීමක් කලා. ඒ වේලාවේ ඔහු හිටියේ යාපනයේ.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. මහා බැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට ඔබ දුරකථනයෙන් කතා කළ විට ඇතිවු කතාබහ නිවැරදිව මේ කොමිසම හමුවේ කියන්න.

පිළි. සර්. මම මේ කතා කරන්නේ මහා බැංකුවේ දේශිය මෙහෙයුම් අධ්‍යක්‍ෂක නිහාල් රුද්‍රිගු කියලා මාව ඔහුට හඳුන්වා දුන්නා.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. කතා කළ දේවල් කියන්න.
පිළි. ‘එක් ප්‍රාථමික ගැණුම්කරුවෙකු එක්දින ද්‍රවශිලතා ණය සහ ප්‍රති ගැණුම් ණය (IPL and REPO) ගෙවා නැහැ.’ කියා මා කියු විට ‘එලෙස ණය ගෙවා නැත්තේ කවුද?’ කියා ඔහු මගෙන් විමසුවා. මා කිව්වා ‘පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම’ කියලා. එවිට එකපාරටම ‘මගේ දෙයියනේ’ කියලා අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට කියවුණා.

ඊට පසු අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කිව්වා ‘ඔයා දන්නවානේ මගෙයි පර්පචුවල් ටේ‍රෂරීස් එකයි අතර තියෙන සම්බන්ධදේ ඒක නිසා ඔයා ස්වාධීන තීරණයක් ගන්න. හැබැයි ඒක මට දැනුම් දෙන්න’.

ප්‍ර. ඊට පසු ඔබ මොකද කළේ?
පිළි. අර්ජුන් ඇලෝසියස් මහතා මට දුරකතනයෙන් කතා කළා.

ප්‍ර. අර්ජුන් ඇලෝසියස් මහතාව ඔබ මීට පෙර හඳුනනවාද?
පිළි. ඔව්.

ප්‍ර. ඔබ ඔහු හඳුනන්නේ කවුරුන් හැටියටද?
පිළි. පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂකවරයෙකු හැටියට.

ප්‍ර. පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂකවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් මහතා ඔබට දුරකථනයෙන් කතා කොට කුමක්ද කීවේ?
පිළි. මාව හමුවිය යුතුයි කියලා ඔහු මට කීවා. මා කිව්වා සඳුදා හමුවිය හැකියි කියලා. එවිට ඔහු කීවා නැහැ හෙටම හමුවිය යුතුයි කියලා. එවිට මා කිව්වා එහෙනම් කාර්යාලයට පැමිණේන කියලා.

ප්‍ර. ඒ අනුව අර්ජුන් ඇලෝසියස් මහතා ඔබ හමුවීමට කාර්යාලයට ආවාද?
පිළි. ඔව්. අර්ජුන් ඇලෝසියස් මහතා පළිසේන මහත්මිය සහ තවත් අයෙකු සමඟ මාගේ කාර්යාලයට පැමිණියා.

ප්‍ර. ඊට පසු මොකද වුණේ?
පිළි. පද්ධතියේ ඇනහිටීමේ තත්වයක් (bid lock) ඇතිවීම නිසා එක්දින ද්‍රවශිලතා වෙළඳ ණය ගෙවා දැමීමට හැකිවුණේ නැහැ කියලා ඔවුන් කීවා. ඊට අමතරව රුපියල් බිලියන 1.2 ක මුදලක් වැරදියට ගණනය කොට ඇති බවද ඔවුන් ඒ අවස්ථාවේදීම කිව්වා.

ප්‍ර. මේ ආකාරයට එක්දින ද්‍රවශිලතා වෙළඳ ණය ගෙවීම පැහැර හැරි අවස්ථාවක් ඔබ මීට පෙර අසා තියෙනවාද?
පිළි. මීට පෙර අවස්ථා දෙකක් තියෙනවා.

ප්‍ර. එම අවස්ථා දෙකේදී නොගෙවු ණය මුදල් වලට වඩා පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම ගෙවීම පැහැර හැරි මුදල විසිපස් ගුණයක් වැඩියි නේද?
පිළි. ඔව්.

ප්‍ර. මේ පිළිබඳව ඔබ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවට දැනුම් දුන්නාද?
පිළි. ඔව්. ඊමේල් මඟින් දැනුම් දුන්නා.

කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මියගේ මෙහෙයවීම යටතේ බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දුන් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශිය මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක නිහාල් රංජිත් රුද්‍රිගු මහතා මෙසේද කීය.

ප්‍ර. ඔබ අලෙවි මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙක්ද?
පිළි. ඔව්.

ප්‍ර. අලෙවි මෙහෙයුම් කමිටුවේ අරමුණ කුමක්ද?
පිළි. විදේශ විනිමය අනුපාත නිර්දේශ කිරීම.

ප්‍ර. ඔබ 2015 පෙබරවාරී 27 වැනි දින පැවැති අලෙවි මෙහෙයුම් කමිටුවේත් සාමාජිකයෙක්ද?
පිළි. ඔව්.

ප්‍ර. මෙම අලෙවි මෙහෙයුම් කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ අනෙක් සාමාජිකයින් කවුද?
පිළි. අචාර්ය වීරසිංහ, කරුණාතිලක හා කරුණාරත්න යන අයයි.

ප්‍ර. මෙම අලෙවි මෙහෙයුම් කමිටුව සඳහා පැමිණි අනෙකුත් අය කවුද?
පිළි. කමිටුවේ රැස්වීම පෙරවරු 9.30ට පටන් ගත්තා. පෙරවරු 9.35ට පමණ මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පැමිණියා.

ප්‍ර. ඔහු ඇවිත් මොනවද කිව්වේ?
පිළි. එතෙක් 5්‍ර ක්ව පැවතී විශේෂ තැන්පතු අනුපාත ඉහළ දැමීමට ඔහු නියම කලා.

ප්‍ර. මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කොහොමද කිව්වේ?
පිළි. ඉක්මනින් ඉහළ දමන්නැයි කීවා.

ප්‍ර. මේ සම්බන්ධයෙන් කිසිවෙක් විරුද්ධ වුණාද?
පිළි. නැහැ.

මේ අවස්ථාවේදී භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හර්ෂ ප්‍රනාන්දු මහතා කොමිසම අමතමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශිය මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක නිහාල් රංජිත් රුද්‍රිගු මහතාගෙන් හරස් ප්‍රශ්න නොඅසන බව දැනුම් දුන්නේය.

මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක ද සිල්වා මහතා විසින් අසන ලද හරස් ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශිය මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක නිහාල් රංජිත් රුද්‍රිගු මහතා මෙසේද කීය.

ප්‍ර. ඔබ මුලින්ම බැදුම්කර වෙන්දේසියකට සහභාගිවුණේ කවදාද?
පිළි. 2015 පෙබරවාරී 27 වැනිදා පැවැත්වු වෙන්දේසියටයි.

ප්‍ර. ඔබ ඊට පෙර වෙනත් වෙන්දේසි වලට සහභාගි වී තියෙනවාද?
පිළි. ඔව්. 2015 පෙබරවාරී 27 වැනිදා පැවැත්වු වෙන්දේසියට කළින් භාන්ඩාගාර බිල්පත් වෙන්දේසිවලට සහභාගී වී තියෙනවා.

ප්‍ර. ඔබ එම වෙන්දේසිවලදී අදහස් ප්‍රකාශ කර තියෙනවාද?
පිළි. නැහැ.

වැඩිදුර සාක්කි විමසීම ලබන 24 වැනිදා තෙක් කල් තබන ලදී.

මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා, ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය, ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ආචාර්්‍ය අවන්ති පෙරේරා මහත්මිය, ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික්‍රමසේකර මහත්මිය, රජයේ නීතීඥ ධනුෂන් කනේෂයෝගන් මහතා සමඟ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙයි.

පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතාද භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන් නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ ප්‍රනාන්දු මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.