Menu

logo new 2015-5-11

Shamrock-png

හොර සාක්ෂි සහිතව එළිදරව් වී සිටියදී ඔවුන් රකින්නෙ ආණ්ඩුවමයි

හොර සාක්ෂි සහිතව එළිදරව් වී සිටියදී ඔවුන් රකින්නෙ ආණ්ඩුවමයි

රටේ සිදුකරන ලද මහා පරිමාණ අපරාධ රැසක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට බාර දී ඇති නමුත් ඒවා සම්බන්ධයෙන් නඩු පැවරීම මෙතෙක් සිදුකර නැත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවක හිඟය නිසා යැයි කීම අමූලික බොරුවක් බවත් එකී අපරාධ සඳහා නඩු පවරන්නේ නැතිව යට ගසාගෙන ඉන්නේ ‘යහපාලන යැයි කියා ගන්නා‘ ආණ්ඩුවේ බලපෑම් හේතුවෙන් බව ලංකා ඊ නිවුස් වාර්තා කර සිටී..

මෙය පැහැදිලිව තහවුරු කෙරෙන සාක්කි කිහිපයක් පමණක් හෙළිදරව් කරමු..

1) හිටපු වරාය සභාපති ප්‍රියත් බන්ධු වික්‍රම නමැති නීලකාස හොරා විසින් රාජපක්ෂලා සමග එක්ව නීති විරෝධීව උපයන ලද මහා විශාල ධනස්කන්ධයෙන් මිලදී ගත් දේපොල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී ඇත්තේ 2015 පෙබරවාරි 04 වෙනි දා ය. 2015 මැයි මස 05 වෙනිදා වන විට එනම් හරියටම මාස 3 කින් ප්‍රියත් බන්ධුගේ නීති විරෝධී දේපොල සම්බන්ධයෙන් පරීක්ෂණ නිමා කර නඩු දැමීම සඳහා අංක CR1/271/15 දරණ ලිපි ගොනුව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා තිබේ. එතැන් සිට මේ වන විට පුරා වසර 2 යි මාස 2 ක් ගත වී ඇතත් නීතිපතිය නඩු පවරා නැත.

මෙතරම් විශාල කාලයක පමාවක් සිදුව ඇත්තේ සේවක හිඟයක් නිසා යයි නීතිපතිවරයා විසින් කියන්නේ නම් ඔහු සිතා ගෙන ඇත්තේ රටේ ඉන්නේ කොණ්ඩේ බැඳපු චීනුන් කියා විය යුතුය. ප්‍රියත් බන්ධු ආරක්ෂා කර ගැනීමට ‘යහපාලන යැයි කියාගන්නා‘ ආණ්ඩුවේ දේශපාලන බලවතුන් ඉදිරිපත් වී ඇති බව පැහැදිලි ය. නීතිපතිවරයා ඊට යට වී ඇති බවත් පැහැදිලි ය.

2) මහින්ද රාජපක්ෂගේ හොර ඩීල් බාරව සිටි හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුනේ 2015 ජනවාරි 14 වෙනිදා ය. එනම් සිරිසේන ජනාධිපතිවරයා පත් වී 6 වන දිනයේ ය. ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිමා කර අංක CR 1/1/16 දරණ ලිපිගොණුව නීතිපතියට බාර දී ඇත්තේ ඊට වසරකට පසු 2016 ජනවාරි 06 වෙනිදා ය. එතැන් සිට මේ වන විට පුරා වසරකුත් මාස 6 ක් ගත වී ඇතත් නීතිපතිය නඩු පවරා නැත. දීර්ඝ පරීක්ෂණයක් සිදුකිරීමටත් සීඅයිඩියට ගත වූයේ වසරක් පමණක් නම් එහි නීතිමය වැරදි නිවැරදි කර නඩු පැවරීමට තවත් වසර එක හමාරක් ගත වීත් නොහැකි යයි කියන්නේ නම් එය අමු මුසාවකි.

සජිත් වාස් ගුණවර්ධනගේ තවත් අපරාධයක් සම්බන්ධයෙන් ලිපි ගොනුවක් ගල් කර තිබේ. එනම් කළු සල්ලි සුදු කිරීමේ හෙවත් මනි ලොන්ඩරින් අපරාධයකි. ඒ පිළිබඳ පැමිණිල්ල සීඅයිඩියට ලැබී ඇත්තේ 2015 පෙබරවාරි 04 වෙනිදා වන අතර දීර්ඝ පරීක්ෂණයක් නිමා කර අංක CR 1/AML/CFT /12/16 දරණ ලිපිගොනුව නඩු දැමීම සඳහා නීතිපතියට බාර දී ඇත්තේ 2016 සැප්තැම්බර් 13 වෙනිදා ය. එම නඩුවද මෙතෙක් පවරා නැත.

මේ අනුව ඉතාමත් පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ සජින් වාස් ගුණවර්ධන බේරා ගැනීම සඳහා ද ‘යහපාලන යැයි කියාගන්නා‘ ආණ්ඩුවේ දේශපාලන බලවතුන් ඉදිරිපත් වී ඇති බවයි. නීතිපතිවරයා ද ඊට යට වී ඇති බව පැහැදිලි ය.

3) මෙවැනිම ආකාරයෙන් මහින්දානන්ද අලුත්ගමගේ තම නීති විරෝධී දේපොල අපරාධ කටයුතු සඳහා යොදවා ඇති බවට සිදුකරන ලද පරීක්ෂණයක සියළු කටයුතු නිමවා අංක CR 1/AMC/CFT /05/2016 දරණ ලිපිගොණුව නීතිපතියට නඩු දැමීම සඳහා බාර දී ඇත්තේ 2016 ජුලි මාසයේ 21 වෙනිදා ය. මේ වන විට වසරක් ගත වී ඇතත් නීතිපතිය නඩු දමා නැත.

මහින්දානන්දව නඩු වලින් බේරාගන්නැයි කියා බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුරු දේවප්‍රිය ජනාධිපතිවරයා හමුවූ බව මීට පෙර ලංකා ඊ නිව්ස් අනාවරණය කරන ලදී. ඒ අනුව මහින්දානන්දට නඩු පවරන්නේ නැතිව ඉන්නේ ද ‘යහපාලන යැයි කියා ගන්නා‘ ආණ්ඩුවේ දේශපාලන බලපෑම් නිසා බව පැහැදිලි ය.

4) මහින්ද සමරසිංහ වැවිලි කර්මාන්ත ඇමැතිවරයාව සිටියදී රාජ්‍ය වැවිලි සංස්ථාව සතුව කොළඹ 07, ග්‍රෙගරි මාවතේ පිහිටි වටිනා ඉඩමක් නීති විරෝධීව පුද්ගලික සමාගමකට කුණු කොල්ලයට විකිණීමේ අපරාධයක් සම්බන්ධව සීඅයිඩිය සිදුකළ පරීක්ෂණයක් නිමා කර අංක CR 1/AML/CFT /04/2015 දරණ ලිපිගොණුව නඩු පැවරීම සඳහා නීතිපතියට බාර දී ඇත්තේ 2016 පෙබරවාරි මාසයේ 12 වෙනිදා ය. වසරකුත් මාස 5 ක් ගත වූ නමුත් මේ දක්වා නඩු පවරා නැත.

මෙයට හේතුව ද මහින්ද සමරසිංහ මෛත්‍රීපාල සිරිසේනට සහාය දැක්වීම සඳහා කරණමක් ගැසීම මිස අන් හේතුවක් නොවේ. මේ අනුව නීතිපතිවරයා ‘යහපාලන යැයි කියා ගන්නා‘ ආණ්ඩුවේ දේශපාලන බලපෑමට යට වී තිබෙන බව පැහැදිලිය.

5) 2015 ජනවාරි 08 දා ජනාධිපතිවරණ දින රාත්‍රී පරාජය වෙමින් සිටි රාජපක්ෂලා බලය නොදී හමුදාව යොදවා බලහත්කාරයෙන් බලයේ සිටීමට අරලියගහ මැදුරේ සිදුකරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පිළිබඳව සියළු පරීක්ෂණ නිමවා අංක CR 1/08/2015 දරණ ලිපි ගොණුව නඩු දැමීම සඳහා නීතිපතියට බාර දී ඇත්තේ 2016 ජනවාරි 27 වෙනිදා ය. මේ වන විට වසරකුත් මාස 6 කට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් නඩු දමා නැත.

6) මේ ආකාරයේ ‘අලි පැටව් සොරකම‘, ‘රක්නා ලංකා සමාගමේ අපරාධ‘ ආදී තවත් විශාල ප්‍රමාණයක පරීක්ෂණ නිමවා නීතිපතියට බාර දී මේ වන විට වසරකට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් නඩු පවරා නැත. සියයකට ආසන්න ඒ සියල්ල මෙම ලිපියට එකතු කළ නොහැකි තරම් විශාලය.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂගේ අමාත්‍යාංශය යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුවට ඉහත ආකාරයෙන් දේශපාලන බලපෑම් සිදුකර ඇත්තේ කව්ද? ‘යහපාලන යැයි කියා ගන්නා‘ ආණ්ඩුවේ ප්‍රධානියා වූ ජනාධිපතිවරයා “නීතිපති දෙපාර්තමේන්තුව මගේ යටතට දුන්නොත් මම මාස 3න් හොරුන් අපරාධකරුවන්ට නඩු දමා පෙන්වනවා‘ යයි කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර තිබීම විහිළුවකි.

ජනාධිපතිවරයා කළ යුත්තේ ස්වාධීනව කටයුතු කළ යුතු රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ඇමැති හස්තයකින් ගලවා විධායක හස්තයකට යට කර ගැනීමද? එසේත් නැතිනම් දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුවට එල්ල වී ඇති දේශපාලන බලපෑම් තම විධායක බලතල යොදා වළක්වමින් බලපෑම් එල්ල කරන පුද්ගලයින් මැඩ පැවැත්වීමද?

නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන පුද්ගලයන් සහ ස්ව කැමැත්තෙන්ම බලපෑම්වලට අනුගතව ක්‍රියා කරන නීතිපතියේ නිලධාරීන් කව්දැයි කියා ලංකා ඊ නිව්ස් විසින් තරාතිරම නොබලා ඉදිරියේ දී ජනතාවට හෙලිකරන්නෙමු.

සම්පූර්ණ උපුටා ගැනීම ලංකා ඊ නිවුස්

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.