Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අයවැය ඉලක්ක මැතිවරණයද? සංවර්ධනයද?

අයවැය ඉලක්ක මැතිවරණයද? සංවර්ධනයද?

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා පසුගියදා පවසා තිබුණේ පවතින උද්ධමනයට හේතුව මහ බැංකුව යැයි කියාය. එහෙත් උද්ධමනයේ සැබෑ හේතුව පසුගිය කාලයේ පැනැ වූ අධික බදු යැයි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඊට හැරෙන තැපෑලෙන් පිළිතුරු දී තිබිණ. යහපාලන රජය 2018 අයවැය සම්පාදනය කරමින් සිටින්නේ තීරණාත්මක මංසන්ධියක බව මේ සංවාදයෙන් වුව පැහැදිලිය.

අනෙක් අතට මේ සංවාදයෙන් ද පැහැදිලි වන්නේ උද්ධමනය හා බදු ආණ්ඩුව ද මුහුණ දී සිටින ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවය. මේ ආණ්ඩුව බලයට පත්වන විට කී එක් කතාවක් වූයේ සෘජු හා වක‍්‍ර බදුවල ඇති විෂමතාව දුරලීමය. එහෙත් ඒ වෙනුවට පසුගිය කාලය පුරාම සිදුවූයේ සාමාන්‍ය ජනයා මත අධික ලෙස බදු පැනවීමය. අද වනවිට සාමාන්‍ය ජනතාව මත ආර්ථික තෙරපුම ඇතිකරන ප‍්‍රධාන සාධකයක් වී ඇත්තේ මේ අධික බදුය.

සාමාන්‍ය ජනතාව මත බදු බර පටවා ආර්ථිකය කළමනාකරණය කිරීමට බලපා ඇති ප‍්‍රධාන කරුණ වන්නේ ණයයි. ගිය ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුව ද ණය ගනිමින් සිටී. ණයෙහි ප‍්‍රශ්නය වන්නේ ගැනීමටත් වඩා එය අර්ථාන්විතව භාවිත කිරීමයි. විශේෂයෙන්ම වාණිජ ණය ගෙන ප‍්‍රතිලාභ ලැබෙන පරිදි ආයෝජනය නොකිරීමෙන් සිදුවන්නේ ජනතාවගෙන් බදු මගින් උපයන මුදල් ණය ගෙවීමට යෙදීමය. මෙය හරියට චක‍්‍රයක් වාගේය.

ආර්ථික වර්ධන වේගය පවතින්නේ 4% පමණ ය. මේ අතරේ උද්ධමනයේ ඉහළ යෑමක් ද දැකිය හැකිය. නරකම තත්ත්වය නම් ආහාර ද්‍රව්‍යවල මිල 12% කට වඩා වැඩිවීමයි. උපාධිධාරින් ඇතුළු තරුණ පෙළ අතර රැකියා වියුක්ති තත්ත්වයක් දැකිය හැකිය. මේ වසරේ පළමු මාස කීපයේදී විදේශගත ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයන් මෙරටට එවන මුදල් ඉතා විශාල වශයෙන් පහළ ගොස් ඇතැයි පසුගිදා පැවැසුවේ මහ බැංකු අධිපතිවරයාමය. සෙසු වසරවල අදාළ කාලයට සාපේක්ෂව එය සැලකිය යුතු පහළ යෑමක් බව ඔහු සඳහන් කළේය.

තවද ගං වතුර ආදී ආපදා තත්ත්ව හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තය ද විශාල කඩාවැටීමකට ලක්විය. ඒ හා සමාන හේතු මත සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තවල ද යම් කඩාවැටීමක් වූයේය. මේ ආදී වශයෙන් වූ සමස්ත චිත‍්‍රය සරලව කිවහොත් අප සිටින්නේ ආර්ථික වශයෙන් යම් සිරවීමකය. ආර්ථික ක‍්‍රියාකාරකම්වල ඇත්තේ පැහැදිලි මන්දගාමීබවකි. මේ නිසා රටේ සියලූම ජන කණ්ඩායම් පාහේ සිටින්නේ දුෂ්කර ජීවන තත්ත්වයකය.

රැුකියා වියුක්තිය ද සුපුරුදු පරිදි ආණ්ඩුවේ දොරට තට්ටු කරමින් සිටී. රැකියා වියුක්තිය වනාහි ආණ්ඩුව පැහැදිලි වැඩපිළිවෙළක් සහිතව ජය ගත යුතු අභියෝගයකි. ඊට හේතුව නම් අද වනවිට වඩා නරක ලෙස ඉහළ ගොස් ඇත්තේ උගත් රැකියා වියුක්තිය වීම නිසාය. යම් ආකාරයකින් හෝ සේවා නියුක්තියක් ඇත්නම් එය ද තිබෙන්නේ අවිධිමත් රැකියා අංශයේය. අවිධිමත් සේවා අංශයේ රැකියාවල ස්ථිරත්වයක් නැත. එසේම සමාජ ආරක්ෂණ ගෙවීම් ද නැත. මේ කියන්නේ පෙට්ටි කඩ, ත‍්‍රී රෝද රථ රියැදුරු, මෑන් පවර් සේවා, කුලී වැඩ ආදී සේවාය. එහෙත් ආණ්ඩුව බලයට පත්වන විට රැකියා දස ලක්ෂයක් පිළිබඳ පොරොන්දුවක් දුන්නේය. ආණ්ඩුව කීවේ මෙවැනි සේවා ගැන වීමට බැරිය. ඒ අනුව රැකියා උත්පාදනය ආණ්ඩුව වර්තමානයෙහි මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගයක් බව පැහැදිලිය.

එක්සත් ජාතික පක්ෂ රජයක් යැයි කියන විට සාමාන්‍ය ජනතාව අතරේ ද ආයෝජන සිදුවේ යැයි කිසියම් බලාපොරොත්තුවක් තිබිණ. එහෙත් එය ද අද යථාර්ථයක් වී නැත. වොක්ස්වැගන් කම්හලක් කුරුණෑගල ආරම්භ කෙරෙන බවත් එයින් විශාල වශයෙන් නව රැකියා උත්පාදනය වනු ඇති බවත් අගමැතිවරයාම කීවේය. හොරණ ටයර් කම්හලක් විවෘත කළ ද ඒ සම්බන්ධයෙන් ද දිගහැරුණේ දේශපාලන කතාබහක් පමණි. අවසානයේදී උපන්නේ එයට ආණ්ඩුවේ ආශිර්වාදය තිබේද නොතිබේද යන්න ගැන කතාබහකි. මෙසේ බලද්දී ආයෝජකයන් දිරිගන්වන්නේ කෙසේද යන්න ආණ්ඩුව මුහුණ දී ඇති සැබෑ ප‍්‍රශ්නයක් බව පැහැදිලිය. අවසානයේදී ඇත්තවශයෙන්ම සිදුව ඇත්තේ ආයෝජන සම්බන්ධයෙන් මවාපෑමක් කිරීම නොවේද?


අපනයන යනු ආර්ථිකයෙහි වැදගත් අංශයකි. එහෙත් අපේ අපනයන ආර්ථිකය තවමත් ශක්තිමත් නැත. මේ නිසා අවසානයේදී හටගන්නේ ගෙවුම් ශේෂ අර්බුදයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් ණය මූලාශ‍්‍රයක් කරා ගොස් මුදල් ඉල්ලන්නට සිදුවන්නේ මේ නිසාය. 2025 නමින් පසුගියදා එළිදැක් වූ ආණ්ඩුවේ නවතම ආර්ථික දර්ශනයෙන් පැවැසුණේ අපනයන ආදායම රුපියල් බිලියන 25 දක්වා වැඩිකරගන්නා බවය. එහෙත් යථාර්ථය නම් අපේ අපනයන ආදායම තවමත් පවතින්නේ රුපියල් බිලියන 11 ක් වැනි ඉලක්කමක වීමයි. එසේ නම් මේ ඉලක්කය සුළුපටු එකක් නොවන බව පැහැදිලිය. එවැනි දිගු ඉලක්කයකට යෑමට නම් චේතනාව මෙන්ම ඊට ගැළපෙන පැහැදිලි වැඩපිළිවෙළක් ද අවශ්‍යවේ. කනගාටුවට කරුණ නම් එවැනි වැඩපිළිවෙළක් තවමත් දැකගැනීමට නැතිවීමය.

ආණ්ඩුව බලයට පැමිණ මේ වනවිට වසර තුනකට ආසන්න වෙමින් පවතී. ගෙවී ගිය කාලයේදී ආණ්ඩුව ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරි දර්ශන තුනක් අවස්ථා තුනකදී නිකුත් කර තිබේ. මධ්‍යකාලීන ආර්ථික වැඩපිළිවෙළ නමින් ආණ්ඩුවේ ආර්ථික දර්ශනය පළමු වරට ඉදිරිපත් කළ අගමැතිවරයා දෙවැනි වරට තවත් වැඩපිළිවෙළක් එළිදැක්වූවේ මේ වසරේම ජනවාරි 4 වැනිදාය.

‘තිරසර යුගයක ජාතික ආර්ථික සංවර්ධන සැලැස්ම බලගතු ශ‍්‍රී ලංකාවක්’ ලෙස නම්කර තිබූ ඊට ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම, රැකියා දස ලක්ෂයක් ඇති කිරීම මෙන්ම මධ්‍යම පන්තිය ප‍්‍රසාරණය කිරීම අරමුණු හැටියට දක්වා තිබිණ. එමෙන්ම නව කාර්මික සංවර්ධන කලාප ආරම්භ කෙරෙන අතර දිවයින පුරා සංචාරක කර්මාන්තය පුළුල් කිරීමද මේ යටතේ සිදු වන්නේ යැයි ද එහි සඳහන් විය. එහෙත් එයින් මාස අටක් වැනි කෙටි කාලයක් යද්දී ආණ්ඩුව කළේ කුමක් ද? පසුගිය සැප්තැම්බරයේදී නැවතත් ආර්ථික වැඩපිළිවෙළක් ප‍්‍රකාශයට පත්කිරීමය. එහෙත් මේ කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් සංයුක්තව ක‍්‍රියාවට නැඟුණේ නැත. මෙවැනි වැඩපිළිවෙළවල් සාමාන්‍ය ව්‍යවහාරයේදී සැලකෙන්නේ විෂ් ලිස්ට් හෙවත් ළඟාකරගැනීමට අපේක්ෂිත ලැයිස්තු හැටියටය.

ආර්ථික විද්‍යාත්මකව බැලූවහොත් කිවයුත්තේ මෙම ලැයිස්තු ද යථාර්ථයක් කරගැනීමට වැඩපිළිවෙළක් නැති බවය. වඩා සෘජුව කියන්නේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 දක්වා ගෙනයෑම ආදී ඉලක්ක දෙස බැලූවිට කිවහැක්කේ පවතින ආර්ථික පරිසරයෙහි මෙවැනි දේ ඉටුකරගත නොහැකි බවය. රාජ්‍ය ප‍්‍රතිපත්ති විෂයෙහිදී ඒවා සම්පාදනය මෙන්ම වැදගත් අනෙක් පියවර වන්නේ ක‍්‍රියාවට නැඟීමය. ආණ්ඩුව වද විය යුත්තේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක නොවන්නේ මන්දැයි කියාය.

විදෙස් ණය මගින් දියත් කරන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් විවාද මතුව ඇත්තේ දිගු කලෙක පටන්ය. ඊට හේතුව නම් විදෙස් ණය ගෙන දියත් කෙරුණු බොහෝ ව්‍යාපෘතිවල ප‍්‍රතිලාභය මැනීමේදී ප‍්‍රශ්නකාරී තත්ත්වයක් මතු වන නිසාය. මේ නිසා රජය මෙවර අයවැයෙන් නව සංවර්ධන ව්‍යාපෘතිවලට යනවා නම් පලදායී යෝජනා පමණක් ඉදිරිපත් කිරීමට පරෙස්සම් විය යුතු බව නොකියාම බැරිය. මන්දයත් නැතහොත් එමගින් මතුවන අනිටු විපාකයක් හැටියට බදු රෝලට නැවත වටයකින් යටවීමට සාමාන්‍ය ජනතාවට සිදුවන හෙයිනි.

නව ආර්ථික දර්ශනයෙන් ද ආණ්ඩුව කියා සිටින්නේ පැටැවී ඇති බදු බරෙන් සාමාන්‍ය ජනතාවට යම් සහනයක් දීමය. දැන් ආණ්ඩුව හමුවේ තිබෙන්නේ එය ක‍්‍රියාවෙන් ඔප්පු කිරීමේ මොහොතය. මේ වනවිටත් රාජ්‍ය බදු දැලට හසු නොවී බඩ පිනුම් ගසන තෝරු මෝරු බොහෝ වෙති. වසර ගණනක් තිස්සේ හාල්මැස්සන් හඹා යන ආණ්ඩු කිසිවක් කිසියම් හේතුවක් මත මේ පිරිසට අත තබන්නේ නැත. ආණ්ඩුව වෙනස් කර ගතයුත්තේ මේ පුරුදු පිළිවෙතය.

විරැකියා ප‍්‍රශ්නය වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. ඒ නිසා රැකියා උත්පාදනය කිරීම ගැන මෙවර අයවැයෙන් වැඩි සැලකිල්ලක් යොමු කිරීම අනිවාර්ය වේ. රැකියා දස ලක්ෂයක් පැහැදිලි ලෙස පොරොන්දු වෙනවා නම් ඒවා සැපයෙන්නේ කවර ආයෝජන මගින්ද යන්න ජනතාවට කිව යුතුය. මෑතකාලීනව ආර්ථිකයේ සේවා අංශය පුළුල් වන අයුරු අපි දැක ඇත්තෙමු. එසේ සේවා අංශය පුළුල් වූ පමණින් රැකියා උත්පාදනය වී නැත. උදාහරණයකට සේවා අංශයේ ආර්ථික වර්ධනය 1% කින් වර්ධනය වෙද්දී සේවා නියුක්තිය වර්ධනය වී තිබෙන්නේ 1% ට අඩු අගයකිනි. මෙය එක්තරා ආකාරයකට විරැකියා වර්ධනයකි. පැහැදිලිවම මෙම තත්ත්වය ආපසු හැරවීමට 2018 අයවැය හරහා යෝජනා පැමිණිය යුතුය. තිරසර සංවර්ධනය ගැන අප කතා කළ ද රැකියා සම්පාදනයේදී වඩා උසස් තත්ත්වයේ ගුණාත්මක රැකියා ගැන කතා කරන්නේ නැත.

කුඩා ප‍්‍රමාණයේ රථ වාහනවලට බදු අඩු කරගැනීම ගැන ද මේ දිනවල කතා බහක් සිදුවේ. එවැන්නක් යෝජනාවක් හැටියට ගැටලූකාරී නොවිය හැකිය. මන්දයත් වාහනයක හිමිකාරිත්වය මිනිසුන්ගේ ජීවන තත්ත්වය පැත්තෙන් ගත් කළ නරක දෙයක් නොවන නිසාය. එහෙත් ආර්ථික විද්‍යාත්මකව මෙන්ම සමාජයීය වශයෙන් සලකද්දී මා යෝජනා කරන්නේ රජයක් හැටියට ඊට සමගාමීව වැඩි උනන්දුවක් ජාතික ප‍්‍රවාහන පද්ධතිය ගැන දැක්විය යුතුය කියාය. මේ වන විට ප‍්‍රවාහනය පිළිබඳ ප‍්‍රශ්නය ලංකාවේ ප‍්‍රධානතම අර්බුදයක් බවට පත්වෙමින් තිබේ.

සෙසු ක්ෂේත‍්‍රවලදී මෙන්ම ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේත් පරිභෝජනය කෙරෙන්නේ යම් සැපයුමක් නිෂ්පාදනය කරමිනුයි. නිෂ්පාදන භාණ්ඩය වන්නේ සංචලතාවයි. 80 දශකයේදී සියයට 80 ක් පමණ වූ පොදු ප‍්‍රවාහනයේ පංගුව අද වනවිට සියයට 45 - 50 ක් වැනි පහළ අගයක් දක්වා පැමිණීමෙන් මේ අර්බුදයේ දිග පළල ගැන අපට සිතාගත හැකියි. එහෙත් පෞද්ගලික රථ වාහන පාවිච්චියට සමාන්තරව වාහන තද බදය ක‍්‍රමානුකූලව වර්ධනය වෙමින් ඇත. එනිසා පොදු ප‍්‍රවාහනයට වැඩි ධෛර්යයක් සපයන පිළිවෙතක් දියත් කිරීම ද මෙවර අයවැයේදී වඩා වටනේය. සම්පත් ඌන උපයෝජනය ද මෙපරිද්දෙන්ම කතාබහට ලක්ව ඇති තවත් මාතෘකාවකි. සම්පත් නිසි පරිදි භාවිත නොවීම ආර්ථික ක‍්‍රියාකාරකම් අඩුවීමට මූලික හේතුවකි. මෙයට ද අයවැයෙන් යම් පිළිතුරක් දිය හැකිය. ඒ, සම්පත් ඌන උපයෝජනය අධෛර්යමත් කරන පිළිවෙතක් සම්පාදනයෙනි.

2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව නිශ්චිත වශයෙන් ආණ්ඩුව බලයට පැමිණි පසු තවමත් කිසිදු මැතිවරණයක් පවත්වා නැත. කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පැවැති පළාත් පාලන ඡන්දය අස්සට දැන් පළාත් සභාවක් ද පැමිණ තිබේ. කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරයට නම් ඡන්දයක් අත ළඟ නැතත් අයවැයෙන් පසුව මැතිවරණ පැවැත්වීමට සිදුවන බව පැහැදිලිය. ඒ අර්ථයෙන් ගත් කල මෙවර අයවැය ආණ්ඩුවට කිසියම් ආකාරයට තීරණාත්මක බැව් පැහැදිලිය.

එනිසා ඡන්ද ඉලක්ක කරගත් සහන වැඩපිළිවෙළකට ආණ්ඩුව අවතීර්ණ වීමට ද බැරි නැත. එහෙත්, ඒවා සත්‍ය සහන ද කෘති‍්‍රම සහන ද යන්න දැන්ම කියන්නට බැරිය. යම් හෙයකින් ආණ්ඩුව එසේ කෘත‍්‍රිම සහන දෙන තැනකට අවතීර්ණ වුවහොත් එය ද නැවත බලපානු ඇත්තේ පවතින ආර්ථික අර්බුදය තීව‍්‍ර කිරීමටය. එයින් වනු ඇත්තේ සත්‍ය සංවර්ධනයේ ප‍්‍රතිලාභවලින් ජනයා තව තවත් ඈත්වීමය. විශේෂයෙන්ම ක්ෂණික සහන ලබාදීමේ ජනප‍්‍රිය දේශපාලන තීන්දුවලින් මේ ආණ්ඩුවට ආර්ථික වශයෙන් එල්ල වී ඇති තෙරපුම සුළු පටු නැත.

රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසකින් වැටුප් වැඩිකිරීම ඊට හොඳම නිදසුනයි. නිසි තක්සේරුවකින් තොරව දියත් කළ එවැනි වැඩපිළිවෙළ නිසා අවසානයේදී ආර්ථික වශයෙන් ආතතියට පත්වන්නේ අදාළ සහන ලබන කොටස නොව සමස්ත රටය. මන්දයත් රජය විසින් විය පැහැදම් කරනු ලබන්නේ ආණ්ඩු බලය හොබවන්නන්ගේ පෞද්ගලික ධනය නොවන නිසාය.

මහජන ධනය නිසාය. එනිසා 2018 අයවැයේදී තාවකාලික ප‍්‍රීති ප‍්‍රමෝදයට පත්වීම වෙනුවට ස්ථිර දැක්මකින් යුතු පැහැදිලි වැඩපිළිවෙළකට අවතීර්ණ වීම ආණ්ඩුවට හොඳය. කෙටියෙන් කිවහොත් ආණ්ඩුව සිටින්නේ ජනප‍්‍රිය තීන්දු ගෙන සහන දිය හැකි තැනක නොවේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.