Menu

logo new 2015-5-11

Shamrock-png

කෝකා කෝලා පෙන්නූ කොකා

කෝකා කෝලා පෙන්නූ කොකා

කොකා කෝලා සමාගමේ බියගම නිෂ්පාදනාගාරයේ විෂ රසායනික කැළණි ගගට කාන්දු වීම හේතුවෙන් කැලණි ගඟෙන් බීමට වතුර ගන්නා ලක්ෂ 6 කට වැඩි ජනතාවක් අපහසුතාවයට පත්කර රුපියල් කෝටි 16 ක පාඩුවක් රජයට සිදු කර තිබියදීත් රජයේ නිලධාරීන් ප්‍රශ්නය හමුවේ මුනිවත රකින්නේ කොකා කෝලා සමාගම ඇමරිකාවේ බහු ජාතික සමාගමක් වීම නිසා බවට පරිසරවේදීහු චෝදනා කරති.

කැලණි ගගේ ජලයට විෂ රසායනික කාන්දුවීමේ ගැටලුවට සෘජුව මැදිහත් විය හැකි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හෝ මධ්‍යම පරිසර අධිකාරිය හෝ කොකා කෝලා සමාගමෙන් සිදු කළ විනාශයට එරෙහිව පියවර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු නිසි පරිදි කි‍්‍රයාත්මක කර තිබේ ද යන්න විශාල ගැටළුවක් බව පවසන පරිසර සංරක්ෂණ භාරය ඉදිරියේ දී නීත්‍යානුකූල කි‍්‍රයාමාර්ග ගැනීම් වල දී පවා ගැටළු මතු විය හැකි බව පවසයි.

නිසි පරිදි පර්යේෂණ නොපැවැත්වීම මධ්‍යම පරිසර අධිකාරිය හිතාමතා කළ මඟහැරීමක් බවට චෝදනා කරන පරිසර සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර, අපද්‍රව්‍ය කාන්දු වූ අවස්ථාවේ දී මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම අප ජලයේ නිදර්ශක නිසි පරිදි පරීක්ෂාවට ලක් කර නොමැති බවත් කොකා කෝලා නිෂ්පාදනායතනයෙන් කැලණි ගඟට කාන්දු වී ඇත්තේ ඞීසල් බවත් මධ්‍යම පරිසර අධිකාරිය පැවසු බව මතක් කර දෙයි.

ඩීසල් ද විෂ සංයෝගයක් ද

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජලයේ නිදර්ශක ඉන්දියාවේ පර්යේෂණායතනයකට යොමු කර පරීක්ෂා කිරීමේ දී තහවුරු වී ඇත්තේ 4-මෙතිලිමයිඩසෝල් (4‐Methylimidazol,) නම් විෂ කාබනික සංයෝගය කැලණි ගඟට කාන්දු වීම සිදු වී ඇති බව පෙන්වා දෙන ඔවුන් එම සංයෝගය ජලය ලීටරයකට මිලි ගෑම්‍ 0.5 ක් තරම් ඉතා විශාල ප‍්‍රමාණයක් මිශ‍්‍ර වී ඇති බව තහවුරු වී ඇති හෙයින් මධ්‍යම පරිසර අධිකාරිය මේ ගැටළුවට නිසි පරිදි මැදිහත් වීමක් සිදු කර නොමැති බව අවධාරණය කරයි.

කොකා කෝලා නිෂ්පාදනාගාරය පවත්වාගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත් කර තිබූ පරිසර ආරක්ෂණ බලපත‍්‍රය එම අධිකාරිය මඟින් අගෝස්තු මස 20 වන දින තාවකාලිකව තහනම් කරනු ලැබූවේ කර්මාන්ත ශාලාවෙන් කැලණි ගඟට ඞීසල් කාන්දු වීම පදනම් කර ගෙන වුවත් දින දහයකින් බලපත‍්‍රය නැවත වරක් ලබා දෙමින් මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන්නේ මෙම ඞීසල් කාන්දු වීම කර්මාන්ත ශාලාවේ නඩත්තු කටයුත්තක දී අහම්බෙන්,අත්වැරදීමකින් සිදු වූවක් ලෙස පැවසුවද මෙය අහම්බෙන් සිදු වූ බව හා කාන්දු වී ඇත්තේ ඞීසල් බව මධ්‍යම පරිසර අධිකාරිය නිසි පරීක්ෂාවකින් තොරව සනාථ කර ඇත්තේ කෙසේ ද යන්න ප‍්‍රධාන ගැටළුවක් බව පෙන්වා දේ.

ජනතාවගේ පැමිණිළි

කර්මාන්ත ශාලාව අවට ජනතාව දන්නා තොරතුරු වලට අනුව පසුගිය කාලය පුරාම කොකා කෝලා නිෂ්පාදනාගාරයෙන් කැලණි ගඟට පිරිපහදු කිරීමෙන් තොරව අපිරිසිදු ජලය මුදා හැරීම සිදු කළ බවට චෝදනා කරන පරිසර සංරක්ෂණ භාරය ඒ පිළිබඳව පසුගිය කාලය මුළුල්ලේම ප‍්‍රදේශවාසීන් මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැමිණිලි කර තිබියදීත් මෙය අහම්බෙන් සිදු වූ අප ද්‍රව්‍ය කාන්දුවීමක් ලෙස තීරණය කිරීමේ හැකියාවක් නොමැති වාතාවරණයක් තුළත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධ්‍යයනයට අනුව කැලණි ගඟට කාන්දු වී ඇත්තේ විෂ කාබනික සංයෝගයක් බව හඳුනාගෙන තිබිය දී මධ්‍යම පරිසර අධිකාරිය කාන්දු වූ ද්‍රව්‍ය ඞීසල් යැයි නිගමනය කළේ කෙසේ ද යන්න ප‍්‍රශ්න කරයි.

පරිසර අධිකාරියේ වගකීම

මෙවන් දෑ සිදු වන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ වගකීම් විරහිත කි‍්‍රයා කලාපය හේතුවෙන් ද නැතහොත් බහු ජාතික කොකා කෝලා සමාගමේ බලයට නිලධාරීන් යටත් වීම නිසාවෙන් ද යන්න නිගමනය කළ නොහැකි බව සජීව චාමිකර පවසයි.

කොකා කෝලා සමාගමේ ගිනිගන්නා සුළු ද්‍රව්‍ය හෝ විෂ රසායනික හැසිරවීමේ දී අවශ්‍ය පූර්ව ආරක්ෂිත උපායමාර්ග නිසි පරිදි කි‍්‍රයාත්මක කර නොමැති බවත් රසායනික ද්‍රව්‍ය හා තෙල් වර්ග කැලණි ගඟට කාන්දුවීම වැළැක්වීම සඳහා පූර්ව ආරක්ෂිත උපායමාර්ග යොදා නොමැති කර්මාන්තශාලාවකට පළමුව පරිසර ආරක්ෂණ බලපත‍්‍ර මධ්‍යම පරිසර අධිකාරිය මඟින් නිකුත් කළේ කෙසේ ද යන්න ගැටළුවක් බව සජීව චාමිකර පවසයි.

මධ්‍යම පරිසර අධිකාරිය කොකා කෝලා සමාගමෙන් සිදු කරන පාරිසරික විනාශය සාධාරණීකරනය කිරීම සඳහා පෙනී සිටින බවත් එම සමාගම සිදු කරන පරිසර විනාශයන් වැළැක්වීම වෙනුවට ජනතාවගෙන් සත්‍ය කරුණු වසං කිරීමට කටයුතු කරන බවටත් පරිසරවේදීහු චෝදනා කරති.

මධ්‍යම පරිසර අධිකාරිය හෝ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අද වන තුරුත් කොකා කෝලා කර්මාන්තශාලාවෙන් කැලණි ගඟට විෂ රසායනික එකතු වීමෙන් සිදුවු හානිය පිළිබදව කරුණු කිසිවක් අධිකරණයට වාර්තා කර නොමැති බව පෙන්වා දෙන පරිසර සංරක්ෂණ භාරය එ් වෙනුවට සමාගම හා සාකච්ඡා කරමින් වැයවූ මුදල් ලබා ගැනීමට අදාළ රාජ්‍ය ආයතන කටයුතු කරමින් සිටින නිසා මෙලෙස රාජ්‍ය ආයතන කටයුතු කරන්නේ අධිකරණය ඉදිරියේ වරදකරුවකු වීමෙන් කොකා කෝලා සමාගමට සිදු වන අපකීර්තිය මඟහරවා දැමීමට දැයි සාධාරණ සැකයක් මතු වන බව පවසයි.

කොකා කෝලා සමාගම කැලණි ගඟට අපද්‍රව්‍ය මුදාහැරීමේ දී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත ද උල්ලංඝණය කර ඇති මුත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එයට විරුද්ධව කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බව පෙන්වා දේ.

අගෝස්තු මස 17 වන දින කොකා කෝලා නිෂ්පාදනාගාරයෙන් කැලණි ගඟට මුදා හැරියේ ඞීසල් ද නැතහොත් 4-මෙතිලිමයිඩසෝල් ද යන්න නිවැරදිව නොදන්නා බව පවසන පරිසර සංරක්ෂණ භාරය මධ්‍යම පරිසර අධිකාරිය හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නීති විරෝධීව ජනතාවගෙන් නිවැරදි තතු වසං කරන බවට චෝදනා කරති.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.