Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

දේශපාලන සිරකරුවන් පිළිබඳ ප‍්‍රශ්නය

දේශපාලන සිරකරුවන් පිළිබඳ ප‍්‍රශ්නය

මෙම ප‍්‍රශ්නය ලොව පුරාම විසඳුමකින් තොරව ඇදෙමින් පවතින ප‍්‍රශ්නයකි. මේ පිළිබඳව ජාත්‍යන්තර තලයේ යුරෝපීය කවුන්සලය වැනි ඒවායේ දී පුළුල් අන්දමින් සංවාද හා වාදවිවාද ඇතිවී තිබුණ ද තවමත් ‘‘දේශපාලන සිරකරුවා’’ යනු කවරෙක් ද යන්න පිළිබඳව නිල වශයෙන් පිළිගත් නෛතික නිර්වචනයකට පැමිණ නැත. කිසිදු ජාත්‍යන්තර නෛතික ලියවිල්ලක එය නිර්වචනය කෙරී නැත. එසේම වාර්තාවන අන්දමට කිසිදු ජාත්‍යන්තර අධිකරණයක් ‘‘දේශපාලන සිරකරුවා’’ යන වචනය පාවිච්චි කරන්නේ නැත. මානව හිමිකම් හා මූලික නිදහස පිළිබඳ විශේෂඥ හා ඉතාමත්ම කි‍්‍රයාකාරී ආයතනය වශයෙන් ලොව බොහෝ සෙයින් පිළි ගැනෙන මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණය පවා එහි තීන්දුවලදී ‘‘‍ෙද්ශපාලන සිරකරුවා’’ යන වචනය තවමත් පාවිච්චි නොකරයි.

ඒ අනුව විශ්වීය වශයෙන් ගත් කල ‘‘දේශපාලන සිරකරුවා’’සම්බන්ධව පිළිගත් නිර්වචනයක් ඇත්තේ නැත. මේ නිසාම ඕනෑම ආණ්ඩුවකට ඉතා පහසුවෙන් ‘‘දේශපාලන සිරකරුවා’’යන සංකල්පය බැහැර කරන්නට පුළුවන. ඇත්ත වශයෙන්ම ලොව කිසිදු ආණ්ඩුවක් ‘‘දේශපාලන සිරකරුවා’’පිළිබඳ සංකල්පය නෛතික වශයෙන් පිළි නොගනී. ඒවා හැම විටම කියන්නේ (අපේ රටේ දී මෙන් ඡන්ද ප‍්‍රශ්නයක් වූ කල හෝ බොහෝ රටවල් තමන්ගේ රාජ්‍යයන් නොව වෙනත් ඇතැම් රටවල් සම්බන්ධයෙන් ගත් කල හෝ හැර)දේශපාලන සිරකරුවන් කියා කොටසක් නොමැති බව ය. සිටින්නේ රටේ අපරාධ නීතිය යටතේ අත් අඩංගුවට ගෙන සිරකර සිටින්නන් බව ය.

දේශපාලන සිරකරුවන් කියා කොටසක් සිටින බව පිළිගන්නේ (යම් යම් සීමාවන්ට යටත්ව* විවිධ මානව හිමිකම් සංවිධාන හා යම් යම් දේශපාලන පක්ෂ, සංවිධාන හා කි‍්‍රයාකාරීන් පමණි.

කෙසේ වේවා දේශපාලන සිරකරුවන් පිළිබඳ ප‍්‍රශ්නය මග හැර යා නොහැකි ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ. සැබවින්ම දේශපාලන සිරකරුවන් වශයෙන් නොනිල වශයෙන් හඳුන්වනු ලබන මෙම සිරකරුවන් සාමාන්‍ය අපරාධ සිරකරුවන් වශයෙන් හඳුන්වනු ලබන සිරකරුවන්ට වඩා විශේෂ ප‍්‍රවර්ගයක් ය යන්න බැහැර කළ නොහැකි ය. අනෙක් සිරකරුවන් සම්බන්ධයෙන් පැන නොනගින්නා වූ ද (සිරකරුවන් වශයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් රැකිය යුතුම ය* එහෙත් මේ වර්ගයේ සිරකරුවන් සම්බන්ධයෙන් පැන නගින්නා වූ ද සංවාද හා උද්ඝෝෂණ තිබීමෙන් පෙනී යන්නේ මෙවන් සිරකරුවන් ‘‘විශේෂ’’ ප‍්‍රවර්ගයක සිරකරුවන් කොටසක් වන බව ය.

ඔවුන් කළ බවට චෝදිත වරදවල් කර ඇත්තේ පොදුවේ ගත් කල තමන්ගේ හෝ හුදු කල්ලියක හෝ පෞද්ගලික අභිමතාර්ථ උදෙසා නොවන බව ඕනෑම අයෙක් පිළි ගන්නා කාරණයකි. සාමාන්‍ය අපරාධකරුවෙකුට කිසිදු ආණ්ඩුවක්, කිසිදු නෛතික ආයතනයක් ත‍්‍රස්තවාදියෙකු යයි කියන්නේ නැත. කොපමණ ත‍්‍රස්ත කි‍්‍රයා කළත් ඔහු හඳුන්වන්නේ අපරාධකරුවෙකු (ජරසපසබ්ක* ලෙස ය. යමෙකු ත‍්‍රස්තවාදියෙකු යයි හැඳින් වූ වහාම ඔහු/ඇය දේශපාලන අරමුණක් සඳහා එකී කි‍්‍රයාවල යෙදුන බව ගම්‍ය වේ. එහෙයින් ඔහු/ඇය අනෙක් අපරාධකරුවන්ගෙන් වෙනස් වේ. ඔහු/ඇය ත‍්‍රස්තවාදියෙකු වන්නේ පවත්නා දේශපාලන ක‍්‍රමයේ අනිවාරණීය වශයෙන් වෙනස් කළ යුතුව තිබෙන තත්ත්වයන් හේතු කොට ගෙන ය. ඔහු/ඇය ගන්නා කි‍්‍රයා මාර්ගයෙහි බරපතල් ලෙස ප‍්‍රශ්න කළ යුතු ප‍්‍රශ්න තිබිය හැකි ය. එය ප‍්‍රධාන කොටම බල කෙරෙන තත්ත්වයන් තුළ ඔවුන්ගේ අවබෝධයේ හා ප‍්‍රවේශයේ සීමාවන් හේතු කොට ගෙන ය. ඒවාට අනිවාර්යයෙන්ම දේශපාලන පිළියම් තිබිය යුතු ය. තේරුම් ගත යුතුව තිබෙන කාරණය වන්නේ ඒ කි‍්‍රයාමාර්ගය පැන නගින්නේ පවතින සමාජ - දේශපාලපාලන තත්ත්වයකට එරෙහිවය යන්න ය. එහෙයින් දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පවතින නීති උල්ලංඝනය කිරීමේ හේතුවෙන් සිරභාරයට ගැනෙන්නවුන් දේශපාලන සිරකරුවන් වශයෙන් සැලකිල්ලට ගැනීම අවශ්‍ය ය. .

පාලකයින් දේශපාලන සිරකරුවන් කියා කොටසක් නැතැයි කීවාට හැමවිටම පාහේ ඔවුන් සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය වෙනුවට විශේෂ නීති පවත්වා ගෙන යයි. දැන් ලංකාවේ මහජන ආරක්ෂක පනතම සාමාන්‍ය නීතියක් නොව දේශපාලන ‘‘අපරාධ’’නීතියකි. ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත සාමාන්‍ය අපරාධ නීති පනතක් නොවේ. දේශපාලන ‘‘අපරාධ’’ නීති පනතකි. එලෙස දේශපාලනිකව රටේ නීතිය උල්ලංඝනය කරන්නට තත්ත්වයන් විසින් බලකරන ලද්දවුන්ට එරෙහිව දේශපාලන අපරාධ නීති ගෙන ඒමට නොපැකිලෙන පාලකයෝ මේ විශේෂිත සිරකරු ප‍්‍රවර්ගයට අදාළව පිළිගත් ස්වාභාවික යුක්ති නීතියවත් කි‍්‍රයාත්මක කරන්නේ නැත. ඔවුන් සිර කරනු ලැබ සිටින්නේ සාමාන්‍යය නීතිය යටතේ නම් ඒ නීතිය යටතේ හෝ කි‍්‍රයා කළ යුතු ය. එහෙත් එසේ කි‍්‍රයා කරන්නේ නැත. ඇත්ත වශයෙන් ඔවුන් සම්බන්ධයෙන් කි‍්‍රයා කරන්නේම දේශපාලනිකව ය. වසර 10 ක් 15 ක් නැතිනම් 20 ක් තිස්සේ නඩුත් නැතිව සිරභාරයේ රඳවා ගෙන සිටින මෙම වර්ගයේ සිරකරුවෝ මෙහි බන්ධනාගාරවල රඳවා සිටිති. මොවුන් අතර වයස 18 දී අත්අඩංගුවට ගත් මේ වන විට 38 වෙනි වියේ පසු වන රැුඳවියකු ද වෙයි. සාමාන්‍ය යුක්තිය පසිඳලීමේ ක‍්‍රමය අනුගමනය කළේ නම් ඇතැම්විට මොවුන් දැන් නිදහස් වී ගෙවල්වලට ගොස් බොහෝ කල් විය හැකිව තිබුණි. එසේ නොවන්නේ පාලකයන් සැබවින්ම ඔවුන් නොනිල වශයෙන් දේශපාලන සිරකරුවන් වශයෙන් පිළි ගන්නා හෙයිනි.

ලංකාවේ ‘‘දේශපාලන සිරකරුවන්’’ පිළිබඳ ප‍්‍රශ්නය
අප රටේ දේශපාලන සිරකරුවන් පිළිබඳ ප‍්‍රශ්නය දිගු ඉතිහාසයක් ඇති එකකි. මෙම ප‍්‍රශ්නය අපේ මතකය අවදි කරන ප‍්‍රශ්නයක් වශයෙන් මතු වූ කැපී පෙනෙන අවස්ථාවක් වූයේ 1971 කැරල්ලෙන් අනතුරුව දස දහස් ගණනක් සිරභාරයට ගෙන රඳවා තැබූ අවස්ථාව ය. හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වූ එච්. ජී. ධර්මදාස මහතා ඔහුගේ A General Overview of the Prison System in Sri Lanka Since Independence යන කෘතියෙහි පෙන්වා දෙන පරිදි එදා 22,000 කට අධික සංඛ්‍යාවක් සිරභාරයට ගනු ලැබ ඇත. මින් මූලික පරීක්ෂණවලින් පසු හදිසි නීතිය යටතේ 16,000 ක් දෙනා රැඳවුම්භාරයේ තබා ඇත.

එවකට අධිකරණ ඇමති වරයා ඇතුළු පාලකයන් කියා සිටියේ දේශපාලන සිරකරුවන් පිළිබඳ ප‍්‍රශ්නය මතු වූ විට අපරාධ සිරකරුවන් මිස දේශපාලන සිරකරුවන් අත් අඩංගුවේ නොමැති බව ය. එහෙත් හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා සිය කෘතියෙහි පවසන්නේ මෙසේ ය.



‘‘ඔවුහු සාමාන්‍ය සිරකරුවෝ නොවූහ. ඔවුහු සාමාන්‍යයෙන් බන්ධනාගාරවල රඳවා සිටින සාමාන්‍ය අපරාධකරුවන් වැනි අය නොවූහ. ඔවුන් රඳවා ගනු ලැබ තිබුණේ සාමාන්‍ය නීතිය යටතේ නොවේ. ආණ්ඩුව නිල වශයෙන් ඔවුන් දේශපාලන සිරකරුවන් ලෙස පිළිනොගත්තේ ය. කෙසේ වුව ද ඔවුන්ට වෙනස් විදියකට සැලකීමට සිදුව තිබිණ. පුනරුත්ථාපනය කිරීමේ සාමාන්‍ය වැඩසටහන් ඔවුන් උදෙසා කි‍්‍රයාත්මක කළ නොහැකි විය. තත්ත්වය අවබෝධකර ගෙන ඔවුන් බන්ධනාගාරයේ සිටිය දී එම රැුඳවියන් පුනරුත්ථාපනය සඳහා පවරන ලද නිලධාරීන්ගෙන් යුත් පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවක් පිහිටුවනු ලැබිණ. රඳවා ගන්නා ලද කඳවුරු හඳුන්වන ලද්දේ පුනරුත්ථාපන කඳවුරු වශයෙනි.’’

නිල වශයෙන් පිළි නොගත්ත ද 71 කැරලිකරුවන් සම්බන්ධයෙන් එවැනි පිළිවෙතක් අනුගමනය කරන්නට සිදු වූයේ ඔවුන් සැබවින්ම දේශපාලන සිරකරුවන් බව අනියමින් නමුත් පිළි ගැනීමට සිදුව තිබුණ නිසා ය.

අවුරුදු 4-5 ක් ඇතූළත බොහෝ දෙනෙකු නිදහස් කෙරිණ. මිය ගිය ඇතැම් අය ද ඇතුළුව 3908 කට විශේෂයෙන් පිහිටවූ අධිකරණයක් වූ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම හමුවේ නඩු පැවරිණ. මෙයින් 894 දෙනෙකු අධිකරණ අමාත්‍යාංශයෙන් ද 104 දෙනෙකු කොමිසම මගින් ද නිදහස් කෙරුණ අතර 2492 දෙදෙනෙකු අත් හිටවූ සිරද`ඩුවම් මත නිදහස් කෙරුණි. දඬුවම් නියම කර බන්ධනාගාර ගත කරන ලද්දේ 393 දෙනෙකු ය. ඉන් සමහරුන් වරින්වර නිදහස්ව ගොස් තිබූ අතර ඉතිරිය සිටි අය 1977 දී බලයට පැමිණි එජාප ආණ්ඩුව විසින් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත (විශේෂයෙන්ම එම පනත යටතේම සිරගත කරනු ලැබ සිටි විනිමය වංචාකරුවන් නිදහස් කර ගැනීම උදෙසා* අහෝසි කිරීමෙන් පසු දෙසැම්බරයේ දී නිදහස් කරනු ලැබිණ (කෙසේ වුව ද සාමාන්‍ය නීතිය යටතේ නඩු අසා දඬුවම් කර සිටි කැරලිකරුවන්ට එම නිදහස නොලැබිණ). ඉන් සමහරු මැති ඇමතිවරු වූහ. ආචාර්ය මහාචාර්යවරු වූහ. මහා ව්‍යාපාරිකයෝ වූහ.

1988-89 ජවිපෙ කැරල්ලේ දී ද විශාල සංඛ්‍යාවක් සිරභාරයට ගෙන රඳවනු ලැබූහ. අත් අඩංගුවට ගනු ලැබූ බොහෝ දෙනා ඝාතනය කරනු ලැබූහ. (එය දෙපාර්ශයවම, රාජ්‍ය පාර්ශවය විශාල පරිමාණයකින් ද අනෙක් පාර්ශවය ඊට සාපේක්ෂව අඩුපරිමාණයකින් ද කරනු ලැබීය. එය ආමන්ත‍්‍රණය කළ යුතු වෙනම ප‍්‍රශ්නයකි* මෙම කැරල්ලේ දී අත් අඩංගුවට ගෙන ඝාතනය නොවී ඉතිරි වූවෝ 1994 හදිසි නීතිය අහෝසි කිරීමෙන් පසු නිදහස ලැබූහ. ඔවුහු පුනරුත්ථාපන වී දේශපාලනය කරති. ඉල් මහ විරු සමරු පවත්වති.

එහෙත් උතුුර හා නැගෙනහිර යුද්ධයෙන් අනතුරුව හා ඊට පෙර එල්ටීටීඊයට සම්බන්ධ යයි කියා අත්ඩංගුවට ගෙන රඳවා ගෙන සිටින්නන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පෙර පාලකයන් මෙන්ම නව යහ පාලන පාලකයන් ද යටත් පිරිසෙයින් එම පිළිවෙතවත් අනුගමනය කරන්නේ නැති බව පෙන්නුම් කරයි. මෙහි අරුමය වන්නේ දැනට රඳවා ගෙන ලැබ තිබෙන කිසිවෙකු පාලකයන් කියන බරපතල ගණයේ වැරදි කළවුන් ද නොවීම හා එකියන බරපතල වැරදි කළවුන් පාලකයන්ගෙන් සමාව ලැබ නිදහසේ සිටීම ය. නිදසුන් වශයෙන් දැක්වුවහොත් කේ. පී යනු ප‍්‍රභාකරන්ගෙන් පසු එල්ටීටීඊයේ නායකයා ය. එල්ටීටීඊයට ආයුධ හා අරමුදල් සැපයීමේ ප‍්‍රධානියා වූයේ ඔහු ය. එහෙත් ඔහු රැුඳවුම් භාරයේ නැත. ඔහුට කිසිදු නඩුවක් නැත. නීතිපතිවරයාට අනුව ඔහුට නඩු පැවරීමට කිසිදු සාක්ෂියක් ද නැත. කේ. පී ට සාපේක්ෂව ගතහොත් දැන් රඳවාගෙන සිටින රැුඳවියන් දහස්වාරයකින් නිදහස් කිරීමට සුදුසු ය. වීරවංශලා වැන්නන් මොවුන් නිදහස් කිරීමට එරෙහිව කෑමොර දෙන්නේ කරුණු එසේ තිබිය දී ය. රාජපක්ෂ ද දැන් ත‍්‍රස්තවාදීන් නිදහස් කරනවෝයි කෑමොර දෙන්නට පටන් ගෙන තිබෙනු දැකිය හැකි ය.

මතු වෙමින් තිබෙන උපවාස උද්ඝෝෂණ ආදිය හේතු කොට ගෙන අර ‘‘එපා වාහෙට හොදි බෙදන්නා වගෙයි’’ යන ආප්තය සිහිපත් කරමින් මෙම සිරකරුවන්ට ඇප දීමේ කි‍්‍රයාවලියක් ආරම්භ වී ඇත. වීරවංශලා කෑමොර දෙන්නේ මෙයට එරෙහිව ය. හොඳයි 71 සිරිමාවෝ බණ්ඩාරනාකලා, 77 ජේ. ආර්. ජයවර්ධනලා 71 කැරලිකරුවන් නිදහස් කිරීම, 1994 පේ‍්‍රමදාසලා 1988-89 ඉතිරි වී සිටි කැරලිකරුවන් නිදහස් කිරීම වැරදි වැඩකැයි වීරවංශලා කියනවා ද?

යටත් පිරිසෙයින් ඒ මට්ටමින් වත් රැඳවියන් සම්බන්ධ කි‍්‍රයාවලියක් ඇරඹීම හෙළා දැකිය යුතු කාරණයක් නොවේ. හෙළා දැකිය යුත්තේ කේ. පීලා වැනි ඉහළම නායකයින්ට නිදැල්ලේ සිටීමට පහසුකම් සලස්වමින් තුන්වන හතරවන පෙළටත් පහළ ඇතැම් විට ඊටත් පහළ එමෙන්ම එල්ටීටීඊ කි‍්‍රයාධරයෙකුට නවාතැන් දීම වැනි වරදකට පවා අවුරුදු ගණන් සිරගත කර තබා ගැනීම ය. මෙහි දී අප කියන්නේ කේ. පී වැන්නන් සිරභාරයට ගෙන රඳවා තැබිය යුතු යයි නොවේ. ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත මෙම සිරකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ නොහැක්කේ මන් ද යන්නයි.
අනෙක් අතට පාලකයෝ ජාතික සංහිදියාවක්, අතීතයේ ඇති වූ තුවාල සුවපත් කිරීමක් ගැන මහ ඉහළින් කතා කරන වකවානුක මෙම සිරකරුවන් තවදුරටත් රඳවා ගෙන සිටීම ලජ්ජා විය යුතු කරුණක් බව සිහිපත් කිරීම වටනේ ය.

පාලකයන් මෙම සිරකරුවන්ට ඇප ලබා දෙමින් ටික දෙනා බැගින් නිදහස් කිරීමට ගෙන ඇති පියවර සද්භාවී එකක් නොවුව ද එය සපුරා ප‍්‍රතික්ෂේප නොකළ යුතු ය. එහෙත් එය දේශපාලන සිරකරුවන් පිළිබඳ ප‍්‍රශ්නයට කිසිසේත්ම සැබෑ විසඳුමක් නොවන බවත් එවන් විසඳුම්වලට ඔබ්බෙන් යන ප‍්‍රතිපත්තිමය, නෛතික හා අර්ථාන්විත විසඳුම් සපුරා ගැනීම සඳහා වන නොනවතින කි‍්‍රයාකාරිත්වයක අවශ්‍යතාව ඉහළින් මතුව තිබෙන බවත් අවධාරණය කිරීමට කැමැත්තෙමු.

වසන්ත දිසානායක
71 දේශපාලන සිරකරු සාමුහිකය වෙනුවෙන්

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.