Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

පැරකොට් විෂ නොවීම සහ මහාචාර්යවරයාගේ අම්මා සිහිකිරීම

පැරකොට් විෂ නොවීම සහ මහාචාර්යවරයාගේ අම්මා සිහිකිරීම

මහාචාර්යවරයෙකු කිවූ සැනින් කුඩා කල පාසැල් යන අවදියේදී අප මනසට කා වැදී තිබුනේ අසාමාන්‍ය බුද්ධියකින් හෙබි, මහා පෞරුෂයක් සහිත මහා චිත්‍රයකි. මහාචාර්යවරයෙකු කිවූ සැනින් යම් විෂය පථයක අගතැන්පත්, ඇසූපිරූ තැන් ඇත්තකු තවත් කොහෙන්ද යන අදහස තවමත් නූගත් ගොවීන් වන අපගේ සිත් සතන් තුළ කාවැදී තිබේ.

එහෙත් මානව ශිෂ්ට චාරයේ දියුණු අඩියක වෙසෙන යුගයක සමාජ ස්ථරයේ ඉහලම සිටින මහාචාර්යවරු අපට බලකර සිටින්නේ “ලැජ්ජා නැතිකම මහ මුදළි කමටත් වැඩිය ලොකුයි කියමන" "ලැජ්ජා නැතිකම මහ මහාචාර්ය කමටත් වැඩිය ලොකුයි " ලෙස සංශෝධනය කරන්නටය.

මානවයාගේ ආරම්භයේ එදිනෙදා වේල සරිකරගත් මානවයා, කැළයෙන් කඩා වඩා ගත් ඵල වැලෙන් හා දඩ යමින් කොටසක් ජීවත්වීම අරඹයා අර පරෙස්සමින් පරිභෝජනය කර සිය දිවි පෙවෙත සරි කර ගත්තේය. කාලයාගේ ඇවෑමෙන් එදිනෙදා ආහාරයට ගත් ස්වභාවික ආහාර වලින් විකෘති නොවූ මිනිසා ක්‍රමයෙන් ජනගහන වර්ධනයත් සමග, ක්‍රමයෙන් පරිනාමයත් සමග සමූහයක් ලෙස කටයුතු කරමින් ගොවිතැනට ප්‍රවේශ විය. කැළයෙන් කඩාගත් ඵලවැල ප්‍රමාණවත් නොවූ තැන වැඩි අස්වැන්නක් හා හොදින් ආහාර සැපයූ ගහකොළ තෝරාගන වවන්නට විය. කිරි, බිත්තර, මස් සදහා සතුන් ඇති කරන්නට විය. ආහාර විවිධත්වයක් ඇති විය. භූමියේ විවිධත්වයක් ඇති විය. පරිසරයේ භොග වල විවිධත්වයක් ඇති වූයේ ය. ඔවුන් බෝග විශේෂ 30,000 ක් පමණ භාවිතා කළෝය. ඉන්දියාවේ පමණක් වී ප්‍රභේද 250,000 ස ඉක්මවූ බව සාක්ෂි ඇත. එයින් මේ වන විටත් සමස්ථ ඉන්දියාව පුරා වී ප්‍රභේද 20,000 කට ආසන්න ප්‍රමාණයක් භාවිතා කරයි. අහාරයේ රසයට ගුණයට ලෙඩරෝගවලට යනාදී ලෙස අවශ්‍ය දෑ හොදින් තෝරා බේරා ගැනීමටද පරිනාමය විය.

ජනගහණය වර්ධනයත් සමග ආහාර අවශ්‍යතාව වැඩිවූ බව සැබෑවකි. ආහාර හිගතාවයන් යම් යම් කාලයන්හිදී ඇතිවූ බවද සැබෑවකි. වවන්නේ ජීවත්වීම සදහාම නොවේ.සතුන් මරන්නේ සතුන් හදන්නේ,කැලෑවේ සම්පත් සුරගෙන කන්නේ ජීවත්වීම සදහාම නොවේ.

මිනිසුන් මියයන්නේ ආහාර නොමැතිව සාගතයෙන් නිසාම නොව වෙළදපොළ ආර්ථිකයත් සමග බව වටහා ගත් මිනිසුන් සාගින්නට ප්‍රධාන හේතුව, ඇති එකා පමණක් කන බොන පරිභොජනය කරන රටාව නිසා බව වටහා ගත් විවිධ ජාතීහු දේශීය ධනවාදයට සහ ගෝලීය ධනවාදයට එරෙහිව ආයුධ අතට ගත්තේ ය. සමස්ථ ලෝකය පුරා විප්ලවවාදී රැල්ලක් ආරම්භ විය. මේ විප්ලවවාදී රැල්ල ධනවාදී කදවුරට ප්‍රබල තර්ජනයක් බව හුවා දක්වමින් මෙම විප්ලවවාදී රැල්ල තුන්වන ලෝකය කරා ගලා යාමට ඉඩනොදීමට ගත යුතු පියවර කුමක්ද? යන්න වටහා ගෙන ඒ සදහා විසදුමක් ලෙස යොද ගත හැකි වූයේ හරිත විප්ලවයයි. හරිත විප්ලවයේ කාර්ය භාරය වූයේ කෙසේ හෝ අස්වනු වැඩි කිරීම හරහා සාගින්න නැතිකර දැමීම ය. සාගින්න නැති කිරීම යනු ඇති වීමට යන විප්ලවය මර්ධනය කිරීමය. ඉතා කෙටියෙන් හරිත විප්ලවයේ අපේක්ෂාව එය විය. යතාර්තවාදීව කරුණු සොයාබලන කෙනෙකුට එය පසක් වනු ඇත.

එයට අදාල පර්යේෂණ ආයතන, පර්යේෂකයෝ, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඒ සියලු යටිතල පහසුකම් ඒ වෙනුවෙන් සකසා නිමවනු ලැබීය. මේ සියල්ල වර්තමානය වන විට කෙළවර වී තිබෙන්නේ “ලෙඩා මළත් බඩ සුද්ධයි “යන ගැමි උපහැරණය සිහියට නංවමිනි.
මළබද්ධය ඇතිවූ ගැමියෙකු වෙදමහතෙකුගෙන් ලබාගත් බෙහෙත් නිසා හොදින් ශරීර කෘත්‍යය සිදුවී, එය කෙළවරක් නොමැතිව සිදුවී, නොනවත්වාම සිදුවී අවසානයේ ගැමියා මියගියේ ය. එයින් රෝගය හමාර විය. අපේක්ශාව වුයේ මලබද්දය දුරු කිරීමටය. ලෙඩා මල එක වෙනත් කරුණකි .එහෙත් බඩ සුද්දවී ඇත.
අමුඩයත් පිටරටින් ගෙන්වා පිටරටුනට වහල්වී අපි පුරාජේරු ගසන ස්වයංපෝෂණය රෙද්ද පල්ලෙන් බේරෙන්න ගන්නේ මෙතෙක් ලංකාවට ගෙන්වා තිබෙන කෘෂි ආම්පන්න,රසායන,පිටයවා ඉගැන්නු උගතුන්, නඩත්තුකරන උගතුන්,ආයතන හා අපි ලබා තිබෙන අස්වැන්න ඔය කියන මහාචාර්යවරුන්ම ගනන් බැලුවෝතින්ය.බොන වතුර ටික විෂ කිරීම ,කන අහාරටික විසකිරීම, හුස්මගැනීමේ අයිතියත් සමාගම් වලට පවරමින් කොරන වින්නැහිය ගණන් බැලිවොතින් තවමත් සමාගම්වල කටුකනවුන්ට හෙන හතක් ගහලත් මදිය.

අපිට වග කියන් උගතුන් කෝ ?

අද හරිත විප්ලවය නිසා ආරම්භ කළ කාර්යයන් දෙස සිහියෙන් බලන විට හරිත විප්ලවයටද ඇතිවී ඇත්තේ “ලෙඩා මළක් බඩ සුද්ධයි “ තත්ත්වයමමයි.

වසරකට 1,500 ත් 2,500 ත් අතර පිරිසක් සෘජුව පළිබෝධනාශක භාවිතය නිසා මිය යන්නේ ය. 20,000 ත් 80,000 ත් අතර පිරිසකට විෂ වන්නේ ය. මහාචාර්යවරු ඒ ගැන කථා කරන්නේ නැත. ඊට ගොවියන්ට දොස් දෙවොල් තබති. ආරක්ෂිතව භාවිතා නොකිරීම, ආරක්ෂක උපකරණ පැළැද නොසිටීම යන ආදී විවිධ හේතූන් ගෙනහැර පාමීන් ගොවීන් ට දොස් තබති. එහෙත් එය ජාතික ප්‍රශ්නයක් ලෙස මේ මහාචාර්යවරුන්ට නොපෙනේ ගද, ආඝ්‍රහනය කිරීම, සමේ තැවැරීම ආදී කුමන ආකාරයකින් වුවද ශරීරගත වීමේ නැඹුරුවක් ඇති විෂ ආරක්ෂිතව පරිහරණය කරන්නේ කෙසේද? මේ වන විට රජරට ඇතුළු ලංකාවේ විවිධ ප්‍රදේශවලත් සමග 20,000 ස ඉක්මවූ පිරිසක් වකුගඩු රෝගය නිසා මියගොස් ඇති බව රජයේ සංඛ්‍යා ලේඛන පවසයි. තවත් ලක්ෂ ගණනක් රෝගයට ගොදුරු වෙමින් සිටිති. එහෙත් මේ සමස්ත ක්‍රියාලිය පිටුපස සිටින දැවැන්ත බහුජාතික සමාගම් වල බලපෑම මේ අහිංසක ජීවිත ගැන වගකීමට කිසිදු ඉඩක් නොතබා, එය රටේ ජාතික ගැටළුවක් ලෙස මතුවීමට ඉඩනොතබමින් යම් පළිබෝධනාශකයක් තහනම් කළ විට එය මව් කිරි තහනම් කලාක් මෙන් හුවා දක්වමින් ඒ වෙනුවෙන් විද්‍යාඥයින්, ආචාර්යවරුන් මහාචාර්යවරුන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙති. මහාචාර්යවරයාගේ උත්සාහය කුමක් විය යුතුද?
හොදයි! දැන් බැදගත් බෙරය ගැසිය යුතු හෙයින් තාවකාලිකව හෝ මේ තත්ත්වය සමනය කිරීමට ඇවැසි තවත් ක්‍රම රාශියක් තිබියදී ඊට ගොවීන් පොළඹවන අවස්ථා මගහරවමින් එකම අවස්ථාව ලෙස පෙන්වා දෙන්නේ මේ වස විස ය. ඒසදහා මහාචාර්ය වරු කුමකටද? සමාගම්වල අට පාස් උගතුන් හොදටම ප්‍රමාණවත්ය.

වෙනත් කෘෂිකර්මයක් සොයා ගැනීමට, ලෝකයේ නව ප්‍රවණතාවයන් හදුනා ගැනීමට මොවුන්ගේ කිසිදු උත්සාහයක් නොමැත. මොවුන් මහාචාර්ය වරුන්ද? මේ වස විස පිටුදැකීමට මොවුන් ගෙන ඇති පියවරයන් මොනවාද?

සෞඛ්‍ය අමාත්‍යංශය ඩෙංගු රෝගය මර්ධනයට ක්‍රියාත්මක කර ඇති දීප ව්‍යාප්ත වැඩසටහනෙන් ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීයය. සාමූහිකව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, ගෙදරදොර පවිත්‍රව තබා ගැනීම, ජනතාව අතර සිදුකරනු ලබන දැනුම්වත් කිරීම් සහ අවශ්‍ය විටක යම් රසායනයන් යෙදීම යනාදිය එහි මූලිකාංග වේ. එහෙත් කෘෂිකර්ම විද්‍යාඥයෙකු එම තීන්දු තීරණ ගන්නා මණ්ඩලයක නොසිටීම ජනතාවගේ වාසනාවකි. එවැන්නෙක් එහි සිටියේ නම් ඔහු ඉදිරිපත් කරනු ලබන විසදුම නම් හොද කෘමිනාශකයක් අඛණ්ඩව ක්ෂේත්‍රයට යෙදීමය. එය අවශ්‍ය නම් දිනපතා යෙදීමටද ඔහු නිර්දේශ කරනු ඇත.

මේ වන විට යම් ගොවි ප්‍රදේශයන්හි අජිනෝමොටෝ වල් නාශකයක් ලෙස භාවිතා කරන නිසා අජිනෝමොටෝ ආහාර රසකාරකයක් ලෙස යොදාගැනීම අත්හැරීම මෝඩකමක් ලෙස මේ මහා ආචාර්යවරයා උපහාසයට ලක් කරයි. අප එදිනෙදා ආහාරයට ගන්නා ද්‍රව්‍යයක් වල් මර්ධනයට යොදා ගන්නේ යැයි ද එනිසාම එම ආහාරයෙන් ඉවත්වීමට මිනිසුන් තීරණය කිරීම අස්වාභාවික ක්‍රියාවලියක් ද? මොහු කෙතරම් රසායනික ක්‍රමවේදයේ ගැත්තෙක්ද? කෑම මේසය කූඩයකින් වසා තැබීම, ප්‍රදර්ශනය කරන්නේ නම් කඩුවක් වැනි ආයුධයක් මිනිසෙකුට එකවර ගත නොහැකි තැනක ප්‍රදර්ශනය කිරීම, කනේරු ඇටකා මිනිසුන් මියයන ප්‍රතිශතය වැඩිවන බව දුටු සෞඛ්‍ය අමාත්‍යංශය කනේරු ගස් විනාශ කිරීම ( එම තත්ත්වයට විසදුමක්ද යන්න වෙනස සලකා බැලිය යුතු කරුණකි.) පළිබෝධනාශක නිවසේ ගබඩා නොකිරීම, අත් සෝදා ආහාරයට සූදානම් වීම මේවා කුඩා කල සිට අපට පුරුදු පුහුණු කළේ ඇයි?
රෝගය සුව කිරීමට වඩා ආරක්ෂා වීම වැදගත්ය යන කරුණ මත නොවේද. මේ අති සරල කරුණු කාරණාවලටත් මේ මහාචාර්යවරුන් සංවේදී වන්නේ නැත.

බුදුහාමුදුරුවන් පවා වදාරා ඇත්තේ තමන්ගේ බිරිදට වරදේ බැදීමට අවශ්‍ය පසුබිම ඇති නොකරන ලෙසයි. ඇය වරදේ බැදෙන්නේ නැතැයි පවසා නැත. පැරකොට් යොදාගනිමින් මිනිසුන් සියදිවි නසා ගැනීම හා ඒ නිසා පැරකොට් භාවිතය තහනම් කිරීම උපහාසයට ලක් කරන මහාචාර්යවරයාට ඉහත කරුණු කුඩා කළ හෝ දෙමාපියන් හෝ වැඩිහිටියන් තේරුම් කර දී නැති බවක් අප දකිමු. ඔබතුමාගේ දෙමාපියන් පවා අපට සිහිවන්නේ මේ නිසා නොවේද? පැරකොට් වලට ලෝකයේ කිසිදු තැනක විෂ නාශකයක් නැතැයි කෘෂිකර්ම උපදේශකතුමා අප ට නිරන්තරයෙන් දැනුම්වත් කිරීම පිළිබදව අපගේ ස්තූතිය. මේ මහාචාර්යවරයා ඒ බව වත් දන්නවා නම් මෙවැනි කතා කියන්නේ නැත. ග්ලයිපොසේට් තහනමද එබන්දකි. ග්ලයිපොසේට් විෂ නොවන බවත් ඒවා තවත් මහාචාර්යවරයෙකු එම පර්යේෂණ සංඛ්‍යා නිවැරදි නොවන බවත් පෙන්වා දෙන බව මේ මහාචාර්යවරයා පවසා තිබේ.

එයට පිළිතුරක් ලෙස අප හට සිහිවන්නේ අප සංවිධානය හා සිය දැනුම බෙදා හදා ගන්නට මෙහි පැමිණි බටහිර පර්යේෂිකාවක් පැවැසූ කථාවකි. ලංකාවේ යම් වස විසක් නොමැති පසක් සොයා ගැනීමට අවශ්‍ය නම් ලංකාවේ ආචාර්ය, මහාචාර්යවරු විසින් ඉදිරිපත් කර ඇති පර්යේෂණ පත්‍රිකා කියවිය යුතු බව උපහාසයෙන්ඇය පැවැසීය. කන්න ඕනෑ වූ විට කබරගොයා තලගොයා කරන්නේ ඔය මහාචාර්යවරුන්මය. අඩුවෙන් විස ඇති ග්ලයිපොසේට් ගැනද පැවැසීමට ඇත්තේ මෙබන්දකි. මහාචාර්යතුමනි. බාගෙට ගර්භනී විය හැකිද? ගර්භනී වූවා නම් එසේ වූවාමයි නේද?

අප මිතුරකුගේ නිවස ආසන්නයේ ජීවත්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලැබූ මගේ මිතුරෙකුට මෙම ලිපිය පෙන්වූ විට ඔහුද යස කථාවක් අපහට පැවැසීය. කලබල වෙන්න එපා ඔය සංඛ්‍යාත්මක දත්ත ඉදිරිපත් කරන මහාචාර්යවරයා සිගරට් බොනවා. සිගරට් බොන එක ගැටළුවක් වන්නේ නැතැයි සංඛ්‍යාත්මකව අපට ඔප්පු කරල පෙන්වනව, දවසක් අපේ දේශනයකදි සිගරට් එක බොන ගමන්ම පැවසුවායැයි අපහට සපථ කළේය. ඔහු තවත් කථාවක් කීවේය. හරමානිස් අයියෙ හොරාගෙ අම්මගෙන් පේන අහන්න එපා ඔයා ඔය පේන අහන්නෙ හොරාගෙන්මයි. ඔය කියන මහාචාර්යවරු මෙරටට වස විස ගෙන්වන සමාගම් වල නියෝජිතයින්. ඔය පත්තරේ තියෙන වෙබ් සයිට් එකටම ගිහින් බලන්නැයි ඔහු එය අපට විවෘත කර පෙන්වීය. ඔහු ලංකාවට වස විස ගෙන්වන ප්‍රබල සමාගමක අධ්‍යක්ෂකවරයෙකි. අහෝ මහජන මුදලින් අධ්‍යාපනය ලැබ රටට සේවය කරනු වෙනුවට සමාගම්වල සුජාත භාවය වෙනුවෙන් තමන්ගේ උගත්කම පාවාදෙන මෙවන් මහාචාර්යවරුන් ජාත්‍යන්තර දේශගුණික සමුළුව ඇමතීමට ගිය විද්වත් කණ්ඩායමේ ප්‍රධානියා කලේ කවුරුන්ද?
.
අපේ උගතුන්ට හේතුව වහන්නට හැකියි

මේ මහාචාර්යවරු අපේ රෝගවලට හේතුව, තව කල්පයක් ගියත් නොසොයන බව අපිට හොදට විශ්වාසයි. ඒ ඔවුන් මෙම සමාගම් වලින් ලබන දේ වෙනුවෙන් සිය ආත්මයත්, ඔවුන් ට ඉගැන්වූ රටේ ආත්මයත් ඇපයට තබා ඇති හෙයිනි. ඉතින් අප පේන බලා ඇත්තේ හොරාගේ අම්මගෙන් නොව හොරාගෙන්ම බව හරමානිස් අයියා පැවැසූ කථාව සක්සුදක්සේ ඔප්පු වී ඇති බව පෙනේ.
අපි මෝඩයන් නෙමේ.

පුහුල් හොරා කරෙන් අල්ලාගන්නා හැටි අපි දනිමු.

මහාචාර්යවරුනි ඔබේ විෂය කරුණු කෙසේ වෙතත් අවම වශයෙන් ආත්මගරුත්වයවත් ආරක්ෂා කරගන්න. මන්ද අපේ දරුවන්, අපේ දරුවන්ගේ දරුවන් වුවද මහාචාර්යවරුන් වීමේ අවකාශය තවමත් අපේ රට තුළ පවතින බැවිනි.

ඔබ නැතිකරමින් සිටින්නේ සමස්ථ ලාංකිකයාගේම ගරුත්වයයි

රවින්ද්‍ර කාරියවසම්

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.