Menu

logo new 2015-5-11

Shamrock-png

මී කුණ සහ මිනී කුණ - දයා නෙත්තසිංහ

මී කුණ සහ මිනී කුණ - දයා නෙත්තසිංහ

එදින නුවර මස්කඩ සියල්ල වසා තිබුණේය. සිටු මැදුරක සිටි බැළලියකට කෙසේ හෝ මස් සොයාගෙන එනු පිණිස සිටු දියණිය විසින් සේවකයකු පිටත් කර හරිනු ලැබීය. මී කුණක් අතැතිව සිටි මිනිසකු සිටු මැදුරේ සේවකයාට හමු විය.

ඔහු මසුරං දහයක් දී මී කුණ මිලට ගත්තේය. මසුරං දහය ලද මිනිසා ඉන් පලතුරු මිලදී ගෙන බීම සාදා වනයෙහි මල් නෙළීම පිණිස ගිය කාන්තාවන්ට අලෙවි කළේය. කාන්තාවන් තමන් විසින් නෙළාගත් මල් මිට බැගින් දී පලතුරු යුෂ පානය කළේය. බීම සාදන්නාට ලැබුණු මල් විකුණා හෙතෙම මසුරං විස්සක් උපයා ගත්තේය. අනතුරුව සිය වෙළෙඳාම තව තවත් පුළුල් කරගනිමින් මී කුණ විකුණූ මිනිසා දැවැන්ත ව්‍යාපාරිකයකු බවට පත් වූයේය. නොබෝ කලකින්ම හෙතෙම නුවර සිටි ප්‍රධාන සිටුවරයාට පමණක් දෙවැනි ධනයකට හිමිකම් කීවේය. නගර වැසියෝ ඔහුට චුල්ලසෙට්ටි සිටුවරයා යැයි නමක් පටබැඳීය. මේ කතා පුවත ඇත්තේ පන්සිය පනස් ජාතක කතා සංග්‍රහයේ චුල්ලසෙට්ටි නම් කතා පුවතෙහිය.

චුල්ලසෙට්ටි මිනිසුන් රැවටීමකට හෝ මුළාවකට පත් කළේ නැත. හෙතෙම සාධාරණ ලෙස සිය වෙළෙඳාමෙන් දියුණුවෙන් දියුණුවට පත් වූ බවක් මේ ජාතක කතාවෙන් අපට කියා දෙයි.

නමෝ නාරායන ජාතකය

මී කුණක් විකුණා සිටුවරයකු විය හැකිදැයි සැක සංකා උපදවා ගත් අයකු ඇත්නම් ඔහු ඊළඟට කියවිය යුත්තේ ‘නමෝ නාරායන’ නමින් ආයතනයක් පවත්වාගෙන යමින් මිනිසුන් මුළා කර හක්බෙල්ලන්ගේ කටු විකුණා ප්‍රකෝටිපතියකු වූ ‘වාලම්පුරි වෙදා’ හෙවත් කීර්ති බන්ධුල දිසානායකගේ කතාවය.

වාලම්පුරියක් ළඟ තබා ගැනීමෙන් ව්‍යාපාරයට ධනය, බලය, වාසනාව, නිරෝගීකම, නුවණ සහ සෞභාග්‍යය උදා කරගත හැකි බවත් ග්‍රහ දෝෂ වාස්තු දෝෂ, භූමි දෝෂ, අපල දෝෂ මඟහැර රැකියාවේ ජය, ගේ දොර පවුල් සමඟිය, අධ්‍යාපන ජය, වාසනාවන්ත විවාහය තුළින් වාසනාවන්ත දරුවන් ලබා ගැනීම වැනි උසස් දේ ලබාගත හැකි බවත් හෙතෙම ප්‍රචාරය කළේය. ඇතැම් රූපවාහිනී ආයතන පවා වාලම්පුරි වෙදාට සිය ප්‍රචාරක කටයුතු සඳහා කාල හෝරාවන් වෙන් කර දුන්නේය. ඉතා කෙටි කලකින්ම කෝටිපතියකු වූ කීර්ති දිසානායක මාසයකට රුපියල් ලක්ෂ පනහක මුදලක් රූපවාහිනී ප්‍රචාරක කටයුතු සඳහා වැය කරමින් සිටින්නේය. රුපියල් ලක්ෂ අසූවක් සෙසු ප්‍රචාරක ව්‍යාපෘති සඳහාය.

වම දකුණ පැටලිල්ල

කීර්ති දිසානායක සිය ජාවාරම සඳහා වාලම්පුරි සම්බන්ධයෙන් නව අර්ථකථනයක් ලබා දුන්නේය. වාලම්පුරි යැයි කියන්නේ වාමාවෘත සංඛ හෙවත් හක්ගෙඩිවලටය. සරලව කිවහොත් වමට කැරකුණු හක්බෙල්ලන්ය. ඒවා ඉතා දුලබය. ලෝකයේ වැඩිපුරම ඇත්තේ දක්ෂිණාවෘත හක්බෙල්ලන් හෙවත් දකුණට කැරකුණු හක්බෙල්ලන්ය. කීර්ති දිසානායක කියන්නේ වාලම්පුරි යැයි කියන්නේ දක්ෂිණාවෘත හක්බෙල්ලන් බවය. ඊට හේතුව බහුලවම ඇත්තේ ඒවා නිසාය. මේ සඳහා තවමත් හෙතෙම පුවත්පත් දැන්වීම් පළ කර සිටින්නේය. ඔහු සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ මේ වැරැදි මතය සමාජගත කිරීම තුළිනි. බොහෝ දෙනකු ඊට හසු වූයේය. රුපියල් ලක්ෂ ගණනින් මුදල් දී බෙලිකටු ළඟ තබාගෙන සිටින මෝඩ මිනිසුන් නිසා කීර්ති දිසානායක සාර්ථක ව්‍යාපාරිකයකු වූයේය.

ඉහමොළ කෑම

කීර්ති දිසානායකගේ මිල ගණන් අනුව කරේ පලඳින කුඩා ප්‍රමාණයේ වාලම්පුරියක මිල රුපියල් තිස්දහසකි. ළඟ තබාගත හැකි වාලම්පුරියක අවම මිල රුපියල් පනස්දහසකි. වී ඇටයක තරම් කුඩා ප්‍රමාණයේ වාලම්පුරියක මිල රුපියල් දසදහසේ සිට විවිධ මිල ගණන්වලට තිබේ. උපායශීලී ලෙස නමෝ නාරායන ආයතනයේ දුරකථන අංකයකට කතා කර අප ලබා ගත් තොරතුරු අනුව පනස් දහසේ සිට ඉහළට ඕනෑම මිලකට ධන ලක්ෂ්මී වාලම්පුරි ලබා දිය හැකි බව ඔහු කීවේය. වාලම්පුරිය මිලදී ගන්නේ නම් උපන්දිනය, උපන් වේලාව වේලාසනින් දැනුම් දී වාලම්පුරිය බලගැන්වීම සඳහා දිනයක් වේලාවක් වෙන් කර ගන්නා ලෙස ද ඔහු අපිට කීවේය. මුදල් ලබා ගැනීමේ නොඉවසිලිවන්තකම නිසාම හදිසියේ අපගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයකින් දැනුම් දී තිබුණේ 0773718206 දුරකථන අංකය අමතා කඩිනමින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගන්නා ලෙසයි.

යස ඉසුරු මිලදී ගැනීම

කීර්ති දිසානායකගෙන් වාලම්පුරි මිලදී ගැනීමට අපේක්ෂා කරන්නන්ට අපි මෙසේ කියමු. ඔබ වෙන් කරන මුදලින් ඉන්දියාවට යන්න. ඔබට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය තරම් බෙලිකටු ඉන්දියාවේ පේමන්ට්වලින් හෝ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලින් මිලදී ගන්නට හැකිය. ඇතැම්විට බෙලිකටු කන්ටේනරයක් කීර්ති දිසානායකගෙන් මිලදී ගන්නා වාලම්පුරියකට වඩා අඩු මුදලකට ඔබට මිලදී ගැනීමට හැකියාව ඇත. ඒවා සියල්ලම දක්ෂිණාවෘත හෙවත් දකුණට කැරකුණු හක්බෙල්ලන්ය. ඉන්දියාවට යාමට බැරි උදවිය සිටී නම් හම්බන්තොට, කුඩාවැල්ල, මන්නාරම, කල්පිටිය ආදී ප්‍රදේශවලට යන්න. ධීවරයන්ගේ දැල්වල පැටලී මිය ගිය හක්බෙලි කටු වැල්ලේ තැන් තැන්වල ගොඩ ගසා ඇත්තේය. දකුණට කැරකුණත් වමට කැරකුණත් මේ බෙලිකටු ඇලඩින්ගේ පුදුම පහන මෙන් පෙළහර පාන්නේ නැත. ඒවා සුරංගනා කතාය. ළදරු විශ්වාසය. බොලඳ බස්ය.

අනුන් රවටා මුදල් උපයන කීර්ති බන්දුල දිසානායකගේ ඇතුලාන්තය සහ භාවිතාව රූපවාහිනියෙන් දකින වාලම්පුරි වෙදාට වඩා හාත්පසින්ම වෙනස්ය. වාලම්පුරියක් ළඟ තබා ගැනීමෙන් ඔහු කියන ආකාරයට වාසනාවන්ත විවාහය තුළින් වාසනාවන්ත දරුවන් ලැබීමට හැකි නම් ධනය, බලය, වාසනාව ලැබේ නම් පවුලේ සමඟිය ඇති වේ නම් පරීක්ෂා කර බලනු කැමැති අයකු කීර්ති දිසානායකගේ එකී පසුබිම විමසා බැලීමෙන් සත්‍යය වටහාගත හැකිය. ඊට වැඩි යමක් අපි නොපවසමු.

මී කුණ විකුණූ සිටුවරයාට වඩා වේගයෙන් මේ රටේ ජනතාව මුළා කර කීර්ති බන්ධුල දිසානායක නම් නළුවා බෙලිකටු විකුණා පොහොසතකු වූයේය. සිටුවරයකු වූයේය.

නමෝ නාරායන මන්දිරය

අංක 94 පොලිස් උද්‍යාන පටුමඟ, මිරිහාන යන ස්ථානයේ ‘නමෝ නාරායන මධ්‍යස්ථානය’ පවත්වාගෙන ගිය කීර්ති දිසානායක නම් වාලම්පුරි වෙදා නොබෝ කලකින්ම කෝට්ටේ

තලවතුගොඩ පාරේ අංක 94 දරන ස්ථානයේ ඉඩමක් මිලදී ගත්තේය. පර්චස් 39 කින් සමන්විත එම භූමිය මිලදී ගත්තේ රුපියල් කෝටි පහකටය. මේ ඉඩම මිලදී ගැනීමට තරම් මුදලක් කීර්ති දිසානායකට උපයා දුන්නේ මිථ්‍යා විශ්වාස නම් ගැඹුරු මුහුදේ ගිලුණු මෙරට මධ්‍යම පාන්තික ජනයා මිස සාමාන්‍ය අප්පුහාමිලා නොවේ.

කීර්ති දිසානායක අදාළ ඉඩමේ ‘නමෝ නාරායන මධ්‍යස්ථානය’ වෙනුවට ‘නමෝ නාරායන මන්දිරයක්’ ඉදිකිරීමට සැලසුම් සකස් කළේය. තමන්ගේ අදහස කීවේ පන්නිපිටිය බොරැල්ල පාරේ අංක 86/01 දරන ස්ථානයේ චන්දන බිල්ඩර්ස් (CHANDANA BUILDERS) ඉදිකිරීම් සමාගමේ ප්‍රධානී ආර්.එම්. චන්දන පුෂ්පකුමාර මහතාටය. චිත්‍රපටවල කොටස් රඟපෑ නළුවකු ලෙසත් නමෝ නාරායන ව්‍යාපාරයේ ප්‍රධානියා ලෙසත් ජනාධිපතිවරයාගේ පටන් සියල්ලන් තමන්ගේ අත්ලෙහි නැටවීමට හැකි තරම් බලයක් තමා සතුව තිබෙනවා යැයි කියපු නිසාත් චන්දන බිල්ඩර්ස් ආයතනය වෙනුවෙන් එහි ප්‍රධානී ආර්.එම්. චන්දන පුෂ්පකුමාර මහතා ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත්තේය. ඔහු මුලින්ම කළේ අදාළ දෙමහල් ගොඩනැගිල්ලට නියමිත සැලසුම ඇස්තමේන්තුව සහ පිරිවිතර (BOQ) පිළියෙල කර දීමය. ඉන් පසුව ඊට අදාළ මූලික පහසුකම් වන නළ ජලය, විදුලි බලය සහ සැලසුම් අනුමැතිය සඳහා සිතියම් සකස් කළේය.
කෝට්ටේ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත්තේ ඉන් අනතුරුවය. ඒ සඳහා සියලු කාර්යයන් ඉටු කළේ චන්දන බිල්ඩර්ස් ආයතනයයි.

සාක්කුවට වැටුණු නීතිය

පාර්ලිමේන්තුවෙන් අනුමැතිය හිමි වී තිබුණේ උසින් අඩි 27 ක් දිගින් අඩි 57 ක් සහ පළලින් අඩි 36 කින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහාය. තවත් සරලව කියන්නේ නම් වර්ග අඩි 2400 ක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහාය. අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවේ 2015 මාර්තු මාසයේ තුන්වන දින හෝ ඊට ආසන්න දිනකදීය. මුල්ගල තැබූ දිනයේම කීර්ති දිසානායක, චන්දන පුෂ්පකුමාරට කියා තිබුණේ “මට මේ ගොඩනැගිල්ල තට්ටු හතරකට සැලසුම් කර දෙන ලෙසයි” කොන්ත්‍රාත්කරුවා ඉදිකිරීමට නියමිත ගොඩනැගිල්ල නැවත සැලසුම් කළේය. ඊට අදාළ ඇස්තමේන්තුව සකස් කළේය.

වෙනස් කළ සැලසුම සඳහා නැවත වතාවක් කෝට්ටේ මහනගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් නැවත අවසර ලබාගත යුතු බව චන්දන බිල්ඩර්ස් ඉදිකිරීම් සමාගමේ ප්‍රධානී චන්දන පුෂ්පකුමාර මහතා කීර්ති දිසානායකට දන්වා සිටියේය. එවෙලෙහි චන්දනට ලැබුණේ අපූරු පිළිතුරකි. “ජනාධිපතිතුමා අගමැතිතුමා ඉන්නේ මාත් එක්ක. දේශපාලකයෝ ඉන්නෙත් මාත් එක්ක. නිලධාරීන් ඉන්නේ මගේ සාක්කුවේ. උඹ බය නැතිව වැඬේ කරපන්” කීර්තිගේ නීති විරෝධී උපදෙස් මත කොන්ත්‍රාත්කරුවා සිය ඉදිකිරීම් ආරම්භ කළේය. අවසානයේ රටේ සිවිල් නීතිය සහ පාර්ලිමේන්තුව අවට ඉදිකිරීම් සම්බන්ධ නීතිමය තත්ත්ව උල්ලංඝනය කරමින් දිගින් අඩි 85 ක් පළලින් අඩි 44 ක් සහ උසින් අඩි අසූවකින් (80) සමන්විත වර්ග අඩි 20,000 ක පස්මහල් ගොඩනැගිල්ලක් ඉදිකළේය.

රූපවාහිනියෙන් වාලම්පුරි ගැන අටමහා දෝෂ, බහිරව දෝෂ ගැන දේශනා කරන කීර්ති දිසානායක මුල්ගල තැබීමට පැමිණි දිනයේ වෙළෙඳපොළෙන් මිලදීගත් මුල්ගලක් තැබුවා මිස කිසිදු නිධන් වස්තුවක් හෝ වාලම්පුරියක් අත්තිවාරමේ තැන්පත් කළේ නැත. කිසිදු ආගමික කටයුත්තක් හෝ වෙනයම් යාතු කර්මයක් සිදු කළේ නැත. අඩුම තරමේ වැඩ කරන මිනිස්සුන්ට කිරිබත් කෑල්ලක්වත් කහට උගුරක්වත් දුන්නේ නැත.

නරුම කොල්ලය

මිථ්‍යා ඇදහිලි සහ විශ්වාසවලින් සාමාන්‍ය ජනතාව මුළා කරන්නේ එහෙව් කපටියෙකි. වාස්තු දෝෂ පිළිබඳව සාමාන්‍ය ජනතාවට වැදි බණ කියන මේ බෙලිකටු වෙළෙන්දා තමන් ඉදිකරවා ගන්නා මන්දිරයේ දිග පළල හරියට කියන්නවත් සැලසුම අඳින්නටවත් දැන සිටියේ නැත. ඒ සියල්ලම කර දී ඇත්තේ කොන්ත්‍රාත්කරුවාය.

ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ දා කීර්ති දිසානායක නම් බෙලිකටු වෙළෙන්දා කොන්ත්‍රාත්කරු වන චන්දන පුෂ්පකුමාරට තවත් අපූරු උපදෙසක් දුන්නේය. “පුතා මේ බිල්ඩිමේ වැඩ කරද්දී ආදායම් බදු එකෙන් ඒවි, නගර සභාවෙන් ඒවි. ඒ කට්ටියට කියපං මේ බිල්ඩිම හදන්නේ මං දුන්නු වාලම්පුරිවලින් වාසනාව උදාකර ගත්තු අය දෙන පරිත්‍යාගවලින් කියලා... උඹ වැඩ කරන්නෙත් ඒක නිසා කියපං” “අනේ සර් මට එහෙම කියන්න බෑ. සර් දෙන සල්ලිවලටනේ මම බිල්ඩිම හදන්නේ...” කොන්ත්‍රාත්කරු එසේ කී විට කීර්ති දිසානායක කියා තිබුණේ “හරි බං ඒක දන්නේ අපි දෙන්නා විතරනේ...!” කියාය. කොන්ත්‍රාත්කරු සමඟ පැවැති හිතවත්කම නිසාම කීර්ති දිසානායක බිල්පත් ඉදිරිපත් නොකරන ලෙස ඔහුට දැනුම් දුන්නේය. වාලම්පුරි වෙදාගේ රුක් දෙවියන් වැඩ සිටිනවා යැයි කියන මිදුලේ රුක් ගහ යට දී ගිවිසා ගත් විශ්වාසය නොබෝ කලකින්ම හෙතෙම බිඳ දැමුවේය. මේ දුෂ්ට සහ අප්‍රසන්න ක්‍රියාව සම්බන්ධයෙන් මිරිහාන පොලීසියටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ආර්.එම්. චන්දන පුෂ්පකුමාර මහතා පැමිණිලි කළේය. ඔහු මුහුණ දී ඇති පීඩාව එම ලේඛනවල දක්වා ඇත්තේ මෙසේය.

“සමාජය පිළිගත් මැති ඇමැතිවරුන් හඳුනන ප්‍රභූ පුද්ගලයකු වශයෙන් මා සිත තුළ විශ්වාසයක් ගොඩනැගී තිබූ බැවින් අදාළ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට මම උත්සුක වුණෙමි.

කීර්ති දිසානායක මහතා විසින් සියල්ල පිළිගෙන මේ සඳහා ගිවිසුම් අත්සන් කිරීම අනවශ්‍ය බවත්, සියලුම ඉදිකිරීම් කටයුතු සඳහා වැය වන මුදල් හිඟයකින් තොරව ඔහු විසින් වාචිකව මා හට දුන් පොරොන්දුව මත මම වැඩ ආරම්භ කළෙමි. නිතරම රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වෙමින්, මුළු රටේම කීර්තිය හා විශ්වාසය දිනාගත් පුද්ගලයකු ලෙස හැසිරෙන ඔහු කෙරෙහි මට අවිශ්වාසයක් නොතිබිණි.

ව.අ. 20,000 පමණ වන මෙම සිව්මහල් ගොඩනැගිල්ල මාස 18 ක් පමණ කෙටි කාලයකින් මම නිමකර දීමට සමත් වුණෙමි.

පළවන, දෙවන, හා තුන්වන බිල්පත්, ගොඩනැගිල්ලේ වැඩ නිම කරන පිළිවෙළ අනුව, මාගේ ආයතනයේ ප්‍රමාණ සමීක්ෂණ නිලධාරීන් ලවා විස්තරාත්මක බිල්පත් ඉදිරිපත් කළ අතර, එම බිල්පත් කීර්ති දිසානායක මහතාට අපැහැදිලි බවත් ඔහුට තේරෙන ලෙස ඔහුත් සමඟ වැඩ බිමට ගොස් වැඩ නිම කළ කොටස් පෙන්වා එම වැඩ කොටස් කොළයක සටහන් කර ඔහු සමඟ නැවත බිල්පත් සාදන ලදී. ඔහු විසින් ඒකපාර්ශ්විකව ඔහු සිදු කරනු ලබන බිල්පත් සෑදීමේ ක්‍රමය පිළිබඳ මා තුළ පැහැදීමක් නොතිබුණු අතර නිම කරන ලද වැඩ සඳහා මුදල් ලබා ගැනීමට ඇති වුවමනාවත් ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු මවිසින් සම්පූර්ණ කර භාරදිය යුතු නිසාත් අකැමැත්තෙන් වුව ද එම ක්‍රමය ඉවසා සිටියෙමි.

එසේ ඔහුත් සමඟ පිළියෙල කළ බිල්පත් සඳහා වන මුළු මුදල මා වෙත නොගෙවන ලදී. ඒ ඉතිරි මුදල පසුව ගෙවීමේ පොරොන්දුව මතය. අය විය යුතු බිල්පත්වල හිඟ මුදල් ඉල්ලා සිටීමේ දී ඔහු විසින් පවසා සිටියේ සම්පූර්ණ ගොඩනැගිල්ලම තමා දන්නා හඳුනන ගම්පහ ප්‍රදේශයේ ප්‍රමාණ සමීක්ෂකයකු ලවා මැන බිල්පත් සකස් කිරීමෙන් පසුව ගෙවීම් සිදු කරන බවයි. ඒ අනුව කීර්ති දිසානායක මහතා විසින් සාදා මා වෙත බිල්පතක් ඉදිරිපත් කළ අතර එහි මුළු වටිනාකම රු. 44,913,290.78 (හාර කෝටි හතළිස් නවලක්ෂ දහතුන්දහස් දෙසිය අනූවයි සත හැත්තෑ අට)කි. මා විසින් කරන ලද වැඩ කොටස අත්හැර දමා එම බිල්පත් සකස් කොට ඇති බැවින් එම බිල්පත මට පිළිගත නොහැකි බව දන්වා සිටින ලදී.

මේ අයුරින් මාස 18 ක් පමණ කාලයක් තුළ මට අය විය යුතු බිල්පත්වලින් ඔහු ළඟ රඳවා ගත් මුදල්වල වටිනාකම සහ අවසන් කාලයේ දී වැඩ නිමකර ඔහු විසින් ගෙවීම් පැහැර හැරි බිල්පත්වල මුදල් වටිනාකම යන දෙකේම එකතුව රු. 27,313,457 (දෙකෝටි හැත්තෑ තුන්ලක්ෂ දහතුන්දහස් හාරසිය පනස් හත) කි. මා ඉදිරිපත් කළ බිල් සඳහා කීර්ති දිසානායක මහතා විසින් ගෙවිය යුතු මුදල රු. 72,224,786 (හත්කෝටි විසිදෙලක්ෂ විසිහතර දහස් හත්සිය අසූහය) ක් වන අතර මා වෙත ගෙවන ලද මුළු මුදල රු. 44,900,000 (හාර කෝටි හතළිස් නවලක්ෂය) කි.

මෙම සිද්ධිය අප දෙපාර්ශ්වය අතර අනවශ්‍ය ගැටලුවකට මුල පුරන්නක් බැවින් මධ්‍යස්ථ වරලත් ප්‍රමාණ සමීක්ෂකයකු යටතේ අදාළ මුළු ගොඩනැගිල්ල සඳහාම නැවත බිල්පතක් සෑදීම සඳහා මා යෝජනා කළ අතර අදාළ වරලත් ප්‍රමාණ සමීක්ෂකයකුට ගෙවිය යුතු සියලුම ගෙවීම් සම්බන්ධ බරපැන මා විසින් දැරිය හැකි බවට ද කීර්ති දිසානායක මහතාට දන්වන ලදී. එම යෝජනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඉහත කාරණය මම සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමයට ද දන්වනු ලැබූ අතර එම ආයතනය විසින් ද වරලත් ප්‍රමාණ සමීක්ෂකයකු මේ සඳහා යෙදවිය හැකි බවට ද ඒ සඳහා එම ආයතනයට කීර්ති දිසානායක මහතාගේ සහාය අවශ්‍ය බව ද පවසා ලිපියක් යොමු කළ අතර එම යෝජනාව ද කීර්ති දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මට අය විය යුතු රු. 27,313,457 (දෙකෝටි හැත්තෑ තුන්ලක්ෂ දහතුන්දහස් හාරසිය පනස් හත) ක හිඟ මුදල මට අයකර ගැනීම සඳහා ලිඛිත ඉල්ලීමක් මා ඔහු වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ අතර ඒ සඳහා ඔහු විසින් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන ලදී.

මේ අතරතුර ඊට දින කිහිපයකට පසුව අදාළ ලිපිය මුල් කොටගෙන මට වැඩ බිමට ඇතුළු වීම කීර්ති දිසානායක මහතා විසින් තහනම් කළ බව ඔහුගේ ආරක්ෂක නිලධාරීන් පවසන ලදී. එකී තහනම කරණ කොටගෙන ඉදිකිරීම් කටයුතු සඳහා මා යොදාගත් ආයුධ, මෙවලම්, යන්ත්‍රෝපකරණ, පලංචි, යකඩ බට ඇතුළු සියලුම ඉදිකිරීම් උපකරණ ඔහුගේ වැඩ බිමේ රඳවා ගන්නා ලදී. පසුව රු. 2,300,000 (රුපියල් ලක්ෂ විසිතුන) ක් පමණ වටිනා එකී සියලුම ඉදිකිරීම් උපකරණ වංචාකාරී ලෙස මගෙන් බලහත්කාරයෙන් අත්පත් කරගෙන රු. 400,000 (රුපියල් ලක්ෂ හතර) කට මිල නියම කොට විකුණා දමා ඇති බව දැනගන්නට ලැබුණි.

ඒ අනුව මම මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි. මා විසින් යෙදවූ සියලුම සේවකයන් කීර්ති දිසානායක මහතා විසින් වැඩි මුදලක් ගෙවීමෙන් රඳවාගත් අතර ඔහුගේ මුදල් බලය, දේශපාලන බලය, මැර බලය ඉදිරියේ අසරණ වූ විට නීතිඥ මහතකුගේ සහාය ලබා වංචා විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි.

සිදු වී ඇති මහා පරිමාණ අසාධාරණයත් මූල්‍ය වංචාවත් මා හට දැඩි මූල්‍ය පාඩුවක් හා චිත්ත පීඩාවක් ගෙන දෙන්නක් විය.”

යකුන්, ප්‍රේතයන්, භූතයන් ගැනත් ග්‍රහදෝෂ, භූමිදෝෂ, අටමහා දෝෂ, බහිරව දෝෂ ගැනත් ධන ලක්ෂ්මී වාසනාව ගැනත් සෞභාග්‍යය ගැනත් රූපවාහිනී නාලිකාවල කටමැත දොඩවන බෙලිකටු වෙදාගේ සැබෑ මුහුණුවර මේකය. ඔහු දැන් කියන්නේ නමෝ නාරායන මන්දිරය දෙවියන් දුන් ත්‍යාගයක් බවය. ධන පරිත්‍යාගවලින් මේ ගොඩනැගිල්ල ඉදිකළ බවය. ඒවා පට්ටපල් කෙප්පය. මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා චන්දන බිල්ඩර්ස් ආයතනය රුපියල් ලක්ෂ හැටක සිමෙන්ති යෙදවූයේය. කම්කරු කුලිය වශයෙන් රුපියල් ලක්ෂ 174 ක් ගෙවා ඇත. යකඩ ටොන් 65 කට වැඩි ප්‍රමාණයකුත් කොටදෙණියාවේ සිට ප්‍රවාහනය කරන ලද රුපියල් ලක්ෂ හතළිහක වටිනාකමින් යුතු ගඩොල් කැටත් යෙදෙව්වේය. ඉදිකිරීම් කළ කොන්ත්‍රාත්කරුවාට ගෙවීමට නියමිත මුදල් නොදීමෙන් හෙතෙම එය දෙවියන් දුන් ත්‍යාගයක් ලෙස හැඳින්වීම පුදුමසහගත නැත. ඉතින් මෙවැනි නරුම තක්කඩියන්ට ප්‍රකෝටිපතියන් විය නොහැක්කේ කුමන කාරණාවක් නිසාද?

- දයා නෙත්තසිංහ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.