Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

පොලිස් ලොක්කන්ගේ ලිංගික සෙල්ලම් බඩු වූ පොලිස් කතුන්

පොලිස් ලොක්කන්ගේ ලිංගික සෙල්ලම් බඩු වූ පොලිස් කතුන්

පොලිස් කාන්තා නිලධාරිනියන්ට, ‍පොලිස් ස්ථාන තුළදී මුහුණ දෙන්නට සිදුවන අමිහිරි සිදුවීම් බොහෝය. කාන්තා නිලධාරිනියන්ට අඩුම තරමින් ‍පොලීසිය තුළ සම තැන වත් නැත. එය වඩාත්ම පැහැදිලිවන්නේ ඒ වෙනුවෙන් සම තැන ඉල්ලා කාන්තා නිලධාරිනියන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට සිදුවීමෙනි.

කාන්තා නිලධාරීන්ට ‍පොලීසිය තුළදී මුහුණ දෙන්නට සිදුවන අනේකවිධ හිරිහැර අතර බරපතළ ලෙසම සිදුවන්නේ ලිංගික හිංසනයන්ය. එය ශාරීරික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද සිදුවන්නේ කාන්තා නිලධාරිනියන්ට ‍පොලීසිය එපා කරවමිනි. ඒ අතර ඉහළ නිලධාරීන්ගෙන් කාන්තා නිලධාරිනියන්ට සිදුවන ලිංගික හිරිහැර අපමණය. එහෙත් ඉහළ නිලධාරීන්ට ඇති බියෙන් ඒවා ඇතැම් නිලධාරිනියන්ට සිදුවන්නේ විඳදරාගෙන සිටීමටය.
රට වැසියාට අප්‍රසිද්ධ, එහෙත් ‍පොලීසියේ ප්‍රසිද්ධ මේ ලිංගික හිංසනය ගැන ප්‍රසිද්ධ හෙළිදරව්වක් කරනු ලබන්නේ ජාතික ‍පොලිස් කොමිසම විසිනි. ඒ ජාතික ‍පොලිස් කොමිසම පිහිටුවා වසරක් ගෙවී යන දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ජාතික ‍පොලිස් කොමිසමේ ‍ලේකම් ආරියදාස කුරේ පවසන්නේ ‍පොලීසිය තුළ කාන්තා නිලධාරිනියන්ට සිදුවන ලිංගික හිරිහැර ඇතුළු ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට කාන්තා නිලධාරිනියන්ටම පවරා ඇති බවය. දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි එක් පළාතකට සහකාර ‍පොලිස් අධිකාරිනියක් වශයෙන් සහකාර ‍පොලිස් අධිකාරීවරියන් 09 දෙනෙකු පත්කර ඇති බවද ඔහු පවසන්නේය. ඒ තුළින් පිරිමි නිලධාරියෙකු ඉදිරියේ පවසන්නට බැරි කාරණා පවා ඒ අනුව නිලධාරිනියන්ට කියන්නට දැන් අවස්ථාව ලැබි ඇති බව ආරියදාස කුරේ කියන්නේය.
‍පොලිස් කාන්තා නිලධාරිනියන්ට ‍පොලිස් සේවයේදී මුහුණ දෙන්නට සිදුවන ලිංගික හිංසනය මෙන්ම වෙනත් ගැටලු ගැන කියන්නට සහ පැමිණිලි කරන්නට සහකාර ‍පොලිස් අධිකාරිනියන් පත්කිරීමට පවා ජාතික ‍පොලිස් කොමිසමට අද සිදුව ඇත්තේ ‍පොලීසිය තුළ දැවෙන ප්‍රශ්නයක් බවට මෙය පත්වී තිබුණු නිසා වන්නට පුළුවන.
ඇතැම් ඉහළ නිලධාරීන් සිතාගෙන සිටින්නේ කාන්තා නිලධාරීන් ඔවුන්ගේ කෙළිබඩු ලෙස බව කාන්තා නිලධාරීන්ම පවසන කතාවකි. බහුතරයක් කාන්තා නිලධාරිනියන් ඉහළ නිලධාරීන්ගේ අයුතු යෝජනාවලට එකඟ නොවී විවිධ තාඩන පීඩනයන්ට ලක්වෙමින් ආත්ම ගරුත්වයක් ඇතිව සේවයේ නිරතව සිටියත් එසේ නොවන නිලධාරිනියන්ද ‍පොලිස් සේවයේ නැතුවාම නොවේ. එහිදී සියලු වරප්‍රසාද ඉහළ නිලධාරීන්ගෙන් ලැබෙන්නේ ද ඒ අයටය. ‍පොලීසියේ එවන් ප්‍රසිද්ධ චරිත කිහිපයක්ද සිටින බව කාන්තා නිලධාරිනියන්ගෙන් ඇසෙන කතාවකි.
එසේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ‍පොලිස්පතිවරුන්ගේ ඔඩොක්කුවල සිටි කාන්තා නිලධාරිනියන්ද නැතුවා නොවේ. ‍පොලිස් රාජකාරි කරන සැමියාව රාජකාරියේ යොදවා කාන්තා නිලධාරිනියන්ගේ නිවෙස්වලට මහා දවා‍ලේ රිංගූ ‍පොලිස්පතිවරුන්ද ඉතිහාසයේ නැතුවාම නොවේ.
‍පොලීසියේ ඇහැට කනට පේන්නට සිටි කාන්තා නිලධාරිනියක් ඇගේ ‍පොලිස් පෙම්වතා සමග හෝටල් කාමරයක එකට සිටින වීඩියෝ දර්ශනයක් පසුගිය කාලයේ ‍පොලීිසියේ නිලධාරීන්ගේ අතින් ගොස් තිබුණේය. එම වීඩියෝව එළියට දමා තිබුණේ ඇගේ ‍පොලිස් පෙම්වතාය. ඒ ගැන විමර්ශනයක් කරනවා වෙනුවට එම වීඩියෝ දර්ශන දඩමීමා කරගනිමින් ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් උත්සාහ ගන්නේ ඇයව ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට උත්සාහ කිරීමය. ඇය ඊට එකඟ නොවන තැන සිදුවන්නේ ඇයව සේවයෙන් නෙරපා හැරීමය. ඒ ඇගේ වීඩියෝ දර්ශනය පදනම් කරගනිමිනි. එහෙත් අදටත් ඇය සමග එම වීඩියෝ දර්ශනයේ සිටි නිලධාරියා සම්බන්ධයෙන් හෝ එම දර්ශනය රූගතකර බෙදා හරින ලද නිලධාරියා සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගයක් ගැන දැනන්නට නැත.
නාඩි වැටෙනවනම් ඕනෑම කාන්තාවක් සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට යොදා ගන්නා බවට ප්‍රසිද්ධියක් ලැබූ ඉහළ ‍පොලිස් නිලධාරියෙක් ගැනද ‍පොලීසියේ අමුතුම කතා ඇත. එම නිලධාරියා සිය මෝටර් රථය පවා යහනාවක් බවට පත්කර ගෙන සිටි බව සඳහන්ය.
එසේම ඇහැට කනට පේන කාන්තා නිලධාරිනියන් ඉදිරියේ පෙම් බස් කියන නිලධාරියෙක්ද ‍පොලිස් සේවයේ නිරතව සිටියේය. ඔහු විශ්‍රාම ගන්නේ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙක් ලෙසිණි. ඔහුගේ නියෝග පරිදි ඔහු යන යන තැන කාර්යාලවල වීදුරු කළු කෙරුණි. ඇහැට කනට පේන නිලධාරිනියන්ව සිය කාර්යාලයේ සේවයට ගත්තේය. එනමුත් ඒ කාර්යාල සේවයට නොව, තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා සඳහාය. කාන්තා නිලධාරිනියන් කිහිප දෙනෙක්ටම මේ නිලධාරියා නිසා ‍පොලීසිය අතහැර යන්නටද සිදුවී තිබුණේය.
කෙසේ නමුදු ‍පොලීිසියේ ළමා හා කාන්තා කාර්යාංශය යනු ළමුන්ට සහ කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැර ඇතුළු අනේක විද කරදර සම්බන්ධයෙන් විභාග පවත්වන්නට පිහිටුවනු ලැබූ ‍පොලීසියේ ඇති සුවිශේෂී අංශයකි. කාලයක් මේ අංශයේ සේවයේ නිරතව සිටි කාන්තා නිලධාරීන්ටද සිදුවී තිබුණේ අනේක විද ලිංගික හිරිහැරවලට මෙන්ම තාඩන පීඩනවලට ලක්වන්නටය. ‍පොලීසිය ඇතුළෙන් කියැවෙන්නේ දුක කියන්නට එහි පැමිණි කාන්තාවන් පවා ඇතැම් නිලධාරීන්ගෙන් මානසික මෙන්ම ශාරීරිකවද ලිංගික හිංසනයට ලක්වූ බවය.
පසුගිය කාලයේ එක් ඉහළ ‍පොලිස් නිලධාරියෙක් ඔහු යන තැන කාර්යාලවල කාමරයට ඇතුළුවන දොරට ඉහළින් රතු සහ කොළ පැහැති විදුලි බුබුළු සවි කළේය. රතු පැහැ විදුලි බුබුල දැල්වෙන්නේ නම් කිසිදු නිලධාරියෙකුට කාර්යාල කාමරයට ඇතුළු වීම තහනම්ය. ඒ වෙලාවට එහි සිටින්නේ කාන්තා නිලධාරිනියක් සහ ඔහු පමණි. රතු එළිය දැල්වෙන්නේ කුමක්දැයි කොයි කවුරුත් දැන සිටියහ.
“අපි හැමවිටම අසරණයි. කොස්තාපල්වරියකට එස්.එස්.පී. කෙනෙක් එක්ක හැප්පෙන්න බැහැනේ. එක්කෝ ඒ අය කියන දේ අහගෙන එයාලට ඕනේ විදිහට ඉන්න ඕනේ. නැතිනම් ‍පොලීසිය දාලා යන්න ඕනේ. ඉහළ නිලධාරීන්ගේ අයුතු යෝජනා නිසා ‍පොලීසිය දාල ගිය නිලධාරිනියන් කිහිප දෙනෙක්ම ඉන්නවා.” ‍පොලිස් කාන්තා නිලධාරිනියක් මේ කතාව කීවේ ‍පොලීසියේ කාන්තා නිලධාරිනිය කොතරම් අසරණදැයි කියා පාමිනි.
“එහෙම කියල හැම කාන්තාවක්ම ඉහළ නිලධාරීන්ගේ ගොදුරු බවට පත්වන්නේ නැහැ. ඒ වගේම තමයි හැම නිලධාරිනියක්ම ලොක්කෝ එක්ක ඉඳල තමන්ගේ වැඩේ කර ගන්නෙත් නැහැ. කාන්තාවකට උපතෙන්ම ලැබෙන මායම් ටිකක් දාලා ඉහළ නිලධාරීන්ගෙන් බේරිල ඉන්න අයත් ඉන්නවා. හැබැයි එකක් කියන්න ඕනේ හැම ඉහළ නිලධාරියෙක්ම එහෙම නැහැ. කිහිප දෙනෙක් නිසයි මේ හැම දෙයක්ම. හැබැයි ඒ අය බලසම්පන්න නිසා එයාලට කවදාවත්ම නීතිය නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙක් විදිහට ඉන්න නිලධාරියකුට විරුද්ධව කාන්තා නිලධාරිනියක් පැමිණිලක් ඉදිරිපත්කරල තිබුණා. එතකොට එම නිලධාරියා ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරිවරයෙක්. කාන්තා නිලධාරිනියට විවිධ බලපෑම්කරල පැමිණිල්ල අහක්කරගෙන තමයි ඔහු ඩී.අයි.ජී. කෙනෙක් වුණේ.” ඉහළ නිලධාරියාට ‍පොලීසියේ ඇති බලය එසේ හෙළිදරව්ව කරනු ලැබුවේද කාන්තා ‍පොලිස් නිලධාරිනියකි.
ඉහළ ‍පොලිස් නිලධාරීන්ට අවැසි ආකාරයට නොසිටියහොත් රාජකාරිමය මට්ටමින් පළිගන්නේ ‍පොලීසිය එපාකරවමින් ‍පොලීසිය දමා යන්නට තරම් මානසික පීඩාවක් ඇතිකරවමින් බව කාන්තා නිලධාරිනියන්ගෙන් එල්ලවන ප්‍රබල චෝදනාවකි. ‍පොලීසියේ කාන්තා නිලධාරීන්ට අත්විඳින්නට සිදුවන හිරිහැර අතරින් මේ කිහිපයක් පමණි. ‍පොලිස් කොමිසම පැත්තෙන් කියැවෙන ආකාරයට අනුව ‍පොලීසියේ කාන්තා නිලධාරිනියන්ගේ ප්‍රධානතම දැවෙන ප්‍රශ්නයක් බවට මෙය පත්වී හමාරය.
ජාතික ‍පොලිස් කොමිසම ‍පොලීස්පතිවරයා සමග එක්ව ඊට විසඳුම් සොයමින් සිටින්නේ ‍පොලීසියේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන්ය. ඒ කාන්තා නිලධාරීන්ට හිංසනයෙන් තොර ‍පොලීසියක් බිහි කරන්නටය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.