Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

25000 දඩයෙන් පසු බස් ?

25000 දඩයෙන් පසු බස් ?

ඉතිහාසයේ ප්‍රථම වතාවට අයවැයක් මගින් වැඩිකිරීමට යෝජනා කළ රථ වාහන දඩ කොළයට කුමක් සිදුවේවිද? ඒ පිළිබඳව ආණ්ඩුවේ බලධාරීන් මේ දිනවල විශේෂ කමිටු පත්කොට පුළුල්ව සාකච්ඡා කරමින් සිටී මෙකී දඩ කොළය වැඩි කිරීමට පෙර ආණ්ඩුවේ ප්‍රධානීහු මෙලෙස ඒ පිළිබඳව සාකච්ඡා කළේ නම් සුහසක් මගී ජනතාව මහ පාරේ අතරමං කරනු ලැබූ බස් වර්ජනයක් ක්‍රියාත්මක නොවන්නට ඉඩ තිබුණි. තවද ලංගම බස් රථ 128කට අලාභහානි සිදු නොවන්නේය. එපමණක් නොව ලංගම බස් රථවල එම දිනයේ ගමන්ගත් මගීහු අට දෙනෙකුට හා ලංගම රියැදුරු කොන්දොස්තර මහතුන් 23 දෙනෙකුටද තුවාලද නොවන්නේය.


කරෙයිනගර් සිට මහනුවර බලා එදින ධාවනය වූ ලංගම බස් රථයේ සිටි යුද හමුදා කෝප්ප්‍රල්වරයකු ලංගම බස් රථයකට එල්ල කරනලද ගල් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබිය. ඔහු දින 4ක්ම සිහිසුන්ව අනුරාධපුර මහ රෝහ‍ලේ තවමත් ප්‍රතිකාර ලබමින් සිටියී. මෙකී වර්ජනයකට කිසිදු සම්බන්ධයක් නැති එම යුද හමුදා කෝප්ප්‍රල්වරයාගේ හිසට මේ වන විටත් ශල්‍යකර්ම දෙකක් සිදු කොට ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද පසුගිය දා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කළේය. ඔහු එහිදී මෙම හමුදා කෝප්ප්‍රල්වරයාට ගල් ප්‍රහාරය එල්ල කළේ ආණ්ඩුවට විරුද්ධ දේශපාලන පක්ෂයක් විසින් බවට චෝදනා කළේය.
පෞද්ගලික බස් රථ වර්ජනයක් රටේ පවතින විට එදින ධාවනය වන ලංගම හෝ වර්ජනයට සහය නොදක්වන වෙනත් පෞද්ගලික බස් රථයකට වුව ප්‍රහාර සිදුවන බව ඉතිහාසය පුරා පැවැති පෞද්ගලික බස් වර්ජන පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පෙනෙන්නට ඇත. මෙවැනි ප්‍රහාරවලට සම්බන්ධ වන්නේ පෞද්ගලික බස් වර්ජනයට සහය දක්වන පිරිස්ය. බොහෝ විට ප්‍රාදේශීය බස් සංගම් නියෝජිතයන් විසින් මෙකී ප්‍රහාර සැලසුම්කරන බව ‍පොලිස් වාර්තාවල සඳහන්ව ඇත.
පසුගිය සතියේ පැවැති බස් වර්ජනයේදීද මීගමුව ප්‍රදේශයේදී ලංගම බස් රථවලට ප්‍රහාර එල්ල කළ බවට ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයට සම්බන්ධ කටුනායක ප්‍රදේශයේ බස් නියෝජිතයෙකු හා තවත් කිහිප දෙනෙකුය.
මෙවර බස් වර්ජනයද මූලිකව ඉලක්ක කර තිබුණේ අයවැය මගින් වැඩිකිරීමට යෝජනා කළ රථ වාහන සඳහා බලපාන රුපියල් 20ක අවම දඩය රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමටය.
ඉන් පසු සියලු බස් සංගම්, ත්‍රිරෝද රථ සංගම්, යතුරු පැදිකරුවන්ගේ සංගම් ඒ සඳහා විරුද්ධ විය. නමුත් ඒ මොහොතේ මුදල් අමාත්‍ය රවි කරුණානායක ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හා තවත් බස් නියෝජිතයන් කිහිප දෙනෙකු සමග මුදල් අමාත්‍යාංශයේදී සාකච්ඡා කර රථවාහන මගින් සිදුකරන ප්‍රධාන වැරදි 7කට බලපාන අවම දඩය රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට තීන්දුවක් ගනු ලැබිය.
බිමත්ව රිය පැදවීම, රක්ෂණ සහතිකය නොමැතිව රිය පැදවීම, රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, රියැදුරු බලපත්‍රයක් නොමැති අයෙකුට රිය පැදවීමට ලබාදීම, වමෙන් ඉස්සර කිරීම, අධික වේගය, දුම්රිය ගේට්ටු හරහා අපරික්ෂාකාරීව රිය ධාවනය යන වැරදි සඳහා මෙලෙස 25,000ක දඩයක් නියම කරනු ලැබිය. මෙම 25000ක දඩය සඳහා අයවැයෙන් කිසිදු සම්බන්ධයක් නොමැත. මේ සමග බස් සංගම් නියෝජිතයින්ටද රුපියල් 20ක අවම දඩය රුපියල් 2500ක් කිරීමට අයවැය මගින් කළ යෝජනාව අමතක විය. මැති ඇමැතිවරු පමණක් නොව කඩපි‍ලේ පවා මෙකී 25,000ක දඩය ගැන කතා කරන්නට විය. සමහරු මෙම වැරදි සඳහා දඩය රුපියල් 25000 කිරීම අනුමත කළේය. සමහරු එම වැරදිවලින් වැරදි කිහිපයක් සඳහා පමණක් 25000ක දඩයක් ගැසීම අනුමත කළේය. තවත් සමහරු මෙම වැරදි 7 සඳහා දඩය රුපියල් 25000ක් කිරීම අසාධාරණ බව කීවේය.
තත්ත්වය මෙසේ තිබියදී සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු, අන්තර් පළාත් පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති සරත් විජිත කුමාර දකුණු පළාත් බස් රථ ආයෝජකයන්ගේ සංගමයේ සභාපති චන්දන සොයිසා, රූබන් සිල්වා යන බස් සංගම් ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් මෙකී 25000 ක දඩ මුදලට එරෙහිව බස් වර්ජනයක් සූදානම් කරනු ලැබිය. මෙකී සංගම් ප්‍රධානීහු වර්ජනයට නියමකරගත් දිනට සතියක් තිබියදී මාධ්‍ය සාකච්ඡාවක් තබමින් මෙම දඩ මුදලට එරෙහිව දීප ව්‍යාප්ත වර්ජනයක් කරන බව පැවැසූහ. පසුව ඒ සඳහා ත්‍රිරෝද රථ සංගම් කිහිපයක්ද සහයට එකතු විය.
මේ වන විට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සිටියේ වර්ජනයට විරුද්ධවය. ඔහු පැවැසුවේ කිසිවිටකත් මෙම වර්ජනයට සහය නොදක්වන බවයි. බස් කිව්වොත් ගැමුණු ගැමුණු කිව්වොත් බස් වැනි මතයක් රටේ ගොඩනැගී තිබුණත් ගැමුණු විජේරත්නගේ කිසිදු සම්බන්ධයක් නැතිව මෙම වර්ජනය දියත් කරන බව ස්ටැන්ලි ප්‍රනාන්දු, සරත් විජිත කුමාර හා අංජන ප්‍රියංජිත් යන බස් සංගම් නායකයෝ පැවැසූහ.
පෞද්ගලික බස් රථ කර්මාන්තයේ වසර 15කට වැඩි කාලයක් ක්‍රියාකාරීව කටයුතු කරන ගැමුණු විජේරත්න මහතාට ඔහුගේම ක්ෂේත්‍රයේ අනිකුත් බස් සංගම්වලින් මේ තරමට විරෝධයක් ගොඩනැගී ඇත්තේ ගැමුණු විජේරත්න මහතා ඉතිහාසයේ සිටම පවතින ආණ්ඩුවට එකතු වී බස් හිමියන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පාවාදෙන නිසා බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ ආයෝජකයන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවැසීය.
කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ අනිකුත් සියලු බස් සංගම් ප්‍රධානීන් බස් කර්මාන්තයේ ගැටලු විසඳීමට හා බස් හිමියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් තමා ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා නඩු පවරමින් බස් හිමියන්ගේ අයිතිවාසිකම් රැකගැනීමට කටයුතු කර ඇති බවත්ය. එවැනි නඩු ගොනු අති විශාල ප්‍රමාණයක් ගැමුණු විජේරත්න මහතා සතුව තිබේ.එලෙසම මුදල් අමාත්‍යවරයා විසින් ගෙන එන ලද රුපියල් 25000ක දඩ මුදල දැන්ම ක්‍රියාත්මක නොවන නිසා පසුගියදා පැවැති බස් වර්ජනයට තමා සහය නොදැක්වූ බවද විජේරත්න මහතා පැවැසීය.
වර්ජනය ක්‍රියාත්මක කිරීමට පෙර දිනයේදීද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වර්ජනය නොකර සාකච්ඡාවට එන ලෙස වර්ජනයේ නිරත පිරිස් වෙත ආරාධනා කළේය. ගැමුණු විජේරත්න මහතා ඒ මොහොතේ ජනාධිපතිවරයාගේ ආරාධනය පිළිගෙන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට ගියේය. නමුත් අනිකුත් බස් සංගම් ප්‍රධානීහු වර්ජනය කර ඉන්පසු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ගැටලුවලට විසඳුම් ලබාගන්නට බලා‍පොරොත්තුවෙන් වර්ජනයට පෙර දිනයේ ජනාධිපතිවරයා ආරාධනා කළ සාකච්ඡාවට නොගියෝය. ගැමුණු විජේරත්න මහතා වර්ජනයට සහය නොදැක්වූ නිසා ඔහු ජනාධිපතිවරයාගේ සාකච්ඡාවට ගියත් ඊට පසු මාධ්‍ය මගින් රට අමතා වර්ජනය අත්හරින බවට ප්‍රකාශයක් කර මගී ජනතාව බස් වර්ජනයෙන් බේරා ගැනීමට ගැමුණු විජේරත්න මහතාට නොහැකි විය.
පසුගිය සතියේ සිකුරාදා දිනයේ වර්ජනය ක්‍රියාත්මක විය. ඉන්පසු සෙනසුරාදා දිනයේ සෙසු බස් සංගම් නියෝජිතයෝ බලා‍පොරොත්තු වූ පරිදි ජනාධිපතිවරයාගේ ආරාධනා පරිදි ජනාධිපති නිල නිවසේ විශේෂ සාකච්ඡාවකට සහභාගි වූහ. ඒ සඳහා බස් සංගම් නියෝජිතයෝ 20 දෙනෙකු පමණ සහභාගි වූහ. ගැමුණු විජේරත්න මහතානම් බලධාරීන් සමග සාකච්ඡාවට යන්නේ තනිවම බවත් නමුත් තම සංගම් එසේ නොකරන බවත් ‍ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවැසීය.
ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී බස් සංගම් ප්‍රධානීහු සිය කර්මාන්තයේ අනාදිමත් කාලයක සිට පවතින ගැටලු හා වැඩි කිරීමට යෝජනා කරන ලද දඩ මුදල්වලට තම තමන්ගේ අදහස්, යෝජනා ජනාධිපතිවරයාට පැවැසූහ. රාජ්‍ය නායකයා සමග ඉතා සුහදව පැවැති මෙකී සාකච්ඡාවේදී බස් සංගම්වල සියලු ගැටලු විසඳීමට ජනාධිපතිවරයා විශේෂ කමිටුවක් පත්කරනු ලැබිය.
ප්‍රවාහන අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති මෙම කමිටුව, මුදල් අමාත්‍යාංශයේ අතිරේක ‍ලේකම්වරයකු, ජනාධිපති කාර්යාලයේ අතිරේක ‍ලේකම්වරයෙකු, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ නියෝජිතයෙකු, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු පත්කර සිටිති.බිමත්ව රිය පැදවීම, දුම්රිය ගේට්ටු මතින් අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රුපියල් 25000ක් නියම කරන ලද ප්‍රධාන වැරදි 4කට පමණ බස් සංගම් නියෝජිතයන්ගේ විරුද්ධත්වය නොමැත. නමුත් මෝටර් රථ ආඥා පනතේවත් සඳහන් නැති වමෙන් ඉස්සර කිරීමට රුපියල් 25000ක දඩයක් නියම කිරීමට බස් සංගම් නියෝජිතයෝ විරුද්ධ බව ප්‍රකාශ කර ඇත්තේය. එලෙස අධික වේගය සඳහා දඩය රුපියල් 25000 කිරීමටද ඔවූහු විරුද්ධය. කෙසේ වෙතත් වමෙන් ඉස්සර කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ගෙන එන ලද රුපියල් 25000ක දඩය සංශෝධනය කරන බව වර්ජනයට පෙර සිටම ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණි. නමුත් නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග සාකච්ඡා කිරීමට වර්ජනයේ නිරත බස් සංගම් ප්‍රධානීහු අකමැති වූහ.
අපි රැවටුණා, එක එක්කෙනාගේ ප්‍රකාශ නිසා රැවටුණා. ජනාධිපතිවරයාගේ සාකච්ඡාවෙන් පසු අපි සියල්ල තේරුම් ගත්තා. අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා එලෙස පැවැසුවේ ජනාධිපතිවරයාගේ සාකච්ඡාව නිමවා මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා මෙම 25000ක දඩ සියල්ල නියම කළේ තමන් බව කීවේය. මහ මග මියයන මිනිසුන් ගැන සිතා මෙලෙස දඩ පැනවූ බවද ඔහු කීවේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව නැවත අධ්‍යයනය කිරීමට පත් කරන ලද කමිටුව මෙකී දඩ මුදල් පිළිබඳව මූලික වටයේ සාකච්ඡාවක් මේ වන විට පවත්වා තිබේ. මෙහිදී මෙම දඩ මුදල් නැවත සංශෝධනය කිරීමටත් අවම දඩය රුපියල් 2500ට වඩා අඩු කිරීමටත් යෝජනා වී තිබේ. එලෙසම මේ පරණ මෝටර් රථ ආඥා පනතේ සඳහන් සියලු දඩ මුදල් නැවත සංශෝධනය කිරීමටත් නියමිතය. ඉන් පසු ඒ පිළිබඳව ප්‍රථමයෙන් බස් සංගම් ප්‍රධානීන් සමග සාකච්ඡා කොට නැවත අඩුපඩු සකස් කර එකී දඩ ‍ලේඛනය නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇත. අනතුරුව එය ගැසට් කර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරවාගත යුතුය. ඉන්පසු මෙම දඩ මුදල් ක්‍රියාත්මක කෙරෙනු ඇත. නමුත් ඒ සඳහා තවත් මාස 3ක පමණ කාලයක් ගතවනු ඇත. සමහරවිට ලබන වසරේ මුල් කාලයේ රජය විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් මෙම නව දඩ මුදල් ‍ලේඛනය ක්‍රියාත්මක කිරීම තවත් ප්‍රමාද වනු ඇත.

පානුක රාජපක්ෂ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.