Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

පවුලේ ගුදම ලොකු කළ මුදල් ඇමැතිගේ ඔපරේෂන් ග්ලෝබල් පාක් - සංජය ලියනගේ

පවුලේ ගුදම ලොකු කළ මුදල් ඇමැතිගේ ඔපරේෂන් ග්ලෝබල් පාක් - සංජය ලියනගේ

සිකුරාදා මෙහෙයුම
දිනය 2015 අගෝස්තු මස 28 වනදාය. ස්ථානය රේගු දෙපාර්තමේන්තුවය. එදින සැන්දෑව ලබන විටත් එහි සේවක මණ්ඩලය සිටියේ ඔවුන්ගේ දෛනික රාජකාරි කටයුතුවල නිරත වෙමින්ය.
ඒ දෛනික හැසිරීම මඳක් නොසන්සුන් කළේ ඒ අවස්ථාවේ කාර්යයේ නියුතු රේගු විමර්ශන නිලධාරීන්ට ලැබුණු නියෝගයක් නිසාය. එය රේගුවේ ඉහළම තනතුරකට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරක් වූ අතර ක්ෂණයකින් විමර්ශන ඇරඹීමට ද සිදුව තිබිණ.


ඒ අනුව විමර්ශන අංශ ප්‍රධානීන් සිය නිලධාරීන් කැඳවනු ලැබුණු අතර විශේෂ විමර්ශනයක් වූයෙන් රේගුවේ අනෙක් අංශවල නිලධාරීන් ද ඒ සඳහා කැඳවීමට තීරණය විය. ඊළඟ මොහොත ගෙවී ගියේ රේගුවේ විමර්ශන භාර ප්‍රධානීන් අදාළ විමර්ශනය සම්බන්ධව සිය නිලධාරීන් දැනුවත් කිරීම සඳහාය.
එම කටයුත්ත ද යුහුසුළුව අවසන් වූ අතර ඉන් පසුව විමර්ශන කණ්ඩායම් සිය මෙහෙයුම් ඉලක්කය බලා පිටත් වූහ. ඒ, සීදුව ප්‍රදේශයේ පිහිටි ස්ථානයකටය. එම ස්ථානය රේගු නිලධාරීන් බොහෝ දෙනකුට නුපුරුදු ස්ථානයක් නොවීය. ඒ එම ස්ථානය මෙරට සුප්‍රකට සමාගමක් සතු පෞද්ගලික ගුදමක් (Private Bonds) විය.
අදාළ ඉලක්කය වෙත ගිය විමර්ශන කණ්ඩායම් තම ප්‍රධානීන්ගේ විධාන අකුරට බලපවත්වමින් මෙහෙයුම සිදු කළ අතර හෝරා කිහිපයක් තුළ අදාළ ගුදම රේගුව විසින් මුළුමනින්ම අත්පත් කරගත්තේ එහි සිටි අය තුෂ්ණිම්භූතව බලා සිටියදීය. විමර්ශන නිලධාරීන්ගේ ඊළඟ රාජකාරිය වී පැවතුණේ තමන්ට ලැබුණු නියෝගය මත එම ගුදම සීල් තැබීමය. එය ද අකුරට ඉටු කළ නිලධාරීන් අවශ්‍ය රාජකාරී සඳහා සිය නිලධාරීන් එම ස්ථානයේ තබා එතැනින් නික්ම ආවේ එම මෙහෙයුමේ ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා රේගුවේ අදාළ අංශ දැනුවත් කරමින්ය.
මේ අතර තවත් තැනක ඉඩමක් අත්පත් කර ගැනීම වෙනුවෙන් සාකච්ඡාවක් සිදු වෙමින් තිබිණ. ඊට සහභාගීව සිටියේ ඉහත සඳහන් කළ රේගුව විසින් සීල් තබන ලද පෞද්ගලික ගුදම අයත් සමාගමේ ඉහළ කළමනාකාරීත්වය සහ රේගුව අයත් අමාත්‍යාංශයක් භාර ඇමැතිවරයකුගේ පවුලේ සමාගමක නියෝජිතයන් පිරිසක් අතරය. සාකච්ඡාවේ තේමාව වී තිබුණේ අමාත්‍යවරයාගේ පවුලේ සමාගම විසින් තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලා තිබූ සීල් තබන ලද ගුදම අයත් සමාගමට අයත්ව තිබූ ඉඩමය.
Globle Letterමේ අතර සිකුරාදාට පසු දිනක රේගු විමර්ශන කණ්ඩායම් ප්‍රධානීන් වෙත එහි පාලනාධිකාරිය හරහා දැනුම් දීමක් ලැබිණ. එයින් කියවුණේ සිකුරාදා දිනයේ සීල් තබන ලද ගුදමේ සීල් ඉවත් කර එය නැවත සුපුරුදු කාර්යයන් වෙනුවෙන් නිදහස් කරන ලෙසය.
මේ අතර සිදු වූ තවත් සිදුවීමක් වූයේ එම විධානය රේගුවේ විමර්ශන නිලධාරීන් වෙත ලැබෙන විට අමාත්‍යවරයාගේ පවුලේ සමාගම විසින් ඉල්ලා තිබූ සිකුරාදා සීල් තබන ලද සමාගමට අයත්ව පැවැති ඉඩම ලබාගෙන තිබීමය.
මහ දවාලේ ඉඩම් කොල්ලය
ප්‍රිය පාඨකය, මේ සිදුවීම සිංහල හෝ දමිළ, හින්දු හෝ හොලිවුඞ් සිනමා පටයක අසම්පූර්ණ සඳහනක් නොවේය. එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ සැබෑවටම සිදු වූවක්ය. එසේ කී විට මෙය රාජපක්ෂ සමයේ රජගෙදර අනුහසින් සිදු වූ කොල්ලයක් ලෙස ද වරදවාගත යුතු ද නැත. මේ සිදු වූ දිනය බලන්න. ඒ 2015 අගෝස්තු මස 28 වනදාය. ඒ අනුව මෙය සිදුව ඇත්තේ රාජපක්ෂ රෙජීමයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව යහපාලන මූලධර්ම මත රට කරවන බවට මැතිවරණ වේදිකාවේ නළල් ඇට හම යන තුරු පොළොවේ උලමින් සපථ කළ වත්මන් ආණ්ඩුව යටතේය.
මේ ඉඩම් පවරා ගැනීම අප මහ දවාලේ සිදු වූ ඉඩම් කොල්ලයක් ලෙස හඳුන්වන්නේ හේතු ඇතුවය. ඊට අදාළ පළමු මූලාශ්‍රය වන්නේ ඇමැතිගේ සමාගම විසින් ඉහත ඉඩම හිමිසමාගමෙන් ලබාගත් ආකාරය යි.
අපට ලැබී ඇති විශ්වාසවන්ත තොරතුරුවලට අනුව එම ඉඩම ඇමැතිගේ පවුලේ සමාගමට ලබා දීමට එම සමාගම පළමු වර එකඟතාව පළ කර නැත. එහෙත් එම ඉඩම හොඳින් හෝ නරකින් ලබා ගැනීම ඇමැති පවුලේ සමාගමේ අපේක්ෂාව සහ අවශ්‍යතාව වූ අතර ඉහත සඳහන් සිකුරාදා මෙහෙයුම දියත් වන්නේ ඒ සඳහා ඉඩම හිමි සමාගමේ එකඟතාව ලබා ගැනීමටය. යමෙකු අප මතු කරන එම කාරණය පෞද්ගලික මඩ ගැසීමක් හෝ ද්වේශසහගතව පළ කරන්නක් බව කියනවා නම් අප ඔවුන්ගෙන් අසන්නේ එවැනි එකඟතාවක් තිබුණා නම් ඉහත සමාගමේ පෞද්ගලික ගුදම සීල් තැබුවේ මන්ද කියාය. අනෙක් අතට ඉඩම අත්පත් කර ගැනීම සහ සීල් තැබීම අතර සම්බන්ධයක් නැත්නම් සීල් තැබීමට අදාළ ඉදිරි විමර්ශන නැවතුණු ආකාරය ඔවුන් සඳහන් කළ යුතුව ඇත.
කෙසේ වුවත් මෙසේ නම් ගම් රහිතව ලියන විට මේ කියන්නේ කාගේ පැටිකිරියදැයි මේ කියවන ඔබට බොහෝ වේලාවක සිට ප්‍රශ්නයක් පැනනැගී ඇතුවා නොඅනුමානය. ඒ පසුබිමේ මේ සූදානම ඒ ප්‍රශ්නය විසඳන්නටය.
ග්ලෝබල් ගුදම
අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව ඉහත සීල් තැබූ සමාගමේ ඉඩම අත්පත් කරනු ලැබ ඇත්තේ Global Transportation & Logistics (Pvt) Ltd නම් සමාගම විසින්ය. එම සමාගමේ ලිපිනය 719/17, ලියනගේමුල්ල, සීදූව ලෙසය. එහි අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස සඳහන් වන්නේ මෙලර්නි විරන්ති කරුණානායක (අංක: 1291/6, රජමල්වත්ත පාර, බත්තරමුල්ල) ඔනෙල්ලා විරන්ති කරුණානායක (1291/6, රජමල්වත්ත පාර, බත්තරමුල්ල), ටී.වී. ලක්ෂ්මි කාන්තන් (Little acrc, Ascot road, Maidenhead Berkshire, S16 3LD, United kingdom), ලක්ෂ්මි ශංකර් (Little acrc, Ascot road, Maidenhead Berkshire, S16 3LD, United kingdom) යන අය ය. කරුමයක මහත නම් මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නම් සඳහන් මෙරට දෙදෙනාම ගරු මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ බිරිඳ සහ දියණිය වීමය. තාත්තා ආණ්ඩුවේ අමාත්‍යවරයකු වීම දියණියට සහ බිරිඳට සමාගමක අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කිරීමට තහනමක් හෝ එය පාපයක් ලෙස සඳහන් කිරීමට තරම් අප කුහක නැත. අනෙක් අතට සිංගප්පූරු
මොඩලයේ ආර්ථිකයක් ගැන නිතර කතා කරන පක්ෂයක ප්‍රධාන පෙළේ නායකයකු වූ පමණින් සිංගප්පූරු මොඩලයේ හැසිරීමක් ඔහු හෝ ඇය වෙතින් බලාපොරොත්තු වීමට තරම් අප අඳ බාල ද නැත. ගැටලු‍ව වන්නේ පියා මුදල් අමාත්‍යවරයා වීමය. එහෙත් ඒ ගැටලු‍ව කුමක්ද?
අත්‍යවශ්‍ය පැහැදිලි කිරීමක්
මේ ලියන්න යන්නේ ඒ ගැටලු‍ව කුමක්ද යන්නය. ඒ ගැටලු‍ව වඩාත් හොඳින් තේරුම් ගන්නට නම් පාඨක ඔබට එතරම් හුරු පුරුදු නැති ගැටපද කිහිපයක් විසඳාගත යුතුව ඇත. වඩාත් සරලව කියනවා නම් විදේශයන් හි සිට මෙරටට භාණ්ඩ ආනයනය කරන විට ඒ සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් තීරු බද්දක් අය කරනු ලබයි. එහෙයින් භාණ්ඩ ආනයන සමාගම් එම ආනයනික භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගත යුතු වන්නේ අදාළ තීරු බදු ගෙවීමෙන් අනතුරුවය. එහෙත් භාණ්ඩ ආනයනයට මුදල් වියදම් කළ එම සමාගම් එකී ආනයන භාණ්ඩ තොගය වෙනුවෙන් වන තීරු බද්ද ද එකවර ගෙවීම දුෂ්කරය යන පදනමින් එම භාණ්ඩ තොග සඳහා එකවර තීරු බදු නොගෙවා කොටස් වශයෙන් ඒවා ගෙවීමට සෑම රටකම විධි විධාන යොදවා ඇත. එහි දී සමස්ත භාණ්ඩ තොගය එකවර නිදහස් නොකරන අතර රේගු අධීක්ෂණය යටතේ ඒවා ගබඩා කර තබයි. එම ක්‍රමවේදය අනුව අදාළ භාණ්ඩ තොග ආනයනය කළ සමාගම් තීරු බදු ගෙවිය යුතු වන්නේ ඒ ඒ අවස්ථාවේ නිදහස් කරගනු ලබන භාණ්ඩ තොගය සඳහා පමණය.
ඒ වෙනුවෙන් පෞද්ගලික සමාගම් සිය භාණ්ඩ තොග ගබඩා කර තබා ගැනීම සඳහා පෞද්ගලික ගුදම් (Private Bonds) පවත්වාගෙන යන අතර ඒ වෙනුවෙන් ඔවුන් රජයට වෙනම මුදලක් ගෙවයි. එසේම එවැනි ගුදමක් පවත්වා ගැනීම වෙනුවෙන් අදාළ ගුදමේ ගබඩා කරන භාණ්ඩවල තීරුබදු වටිනාකමට වඩා වැඩි බැංකු ඇපකරයක් තැබීම ද අනිවාර්යය. එවැනි පෞද්ගලික ගුදමක ගබඩා කිරීමට හැකියාව ඇත්තේ අදාළ සමාගම විසින් ආනයනය කරනු ලබන භාණ්ඩ පමණක් වන අතර එය සිදු වන්නේ ශ්‍රී ලංකා රේගුවේ පූර්ණ අධීක්ෂණය යටතේය.
ඊට අමතරව පොදු ගුදම් නැතහොත් General Bonds යනුවෙන් ද ගුදම් විශේෂයක් ඇති අතර මෙතෙක් එවැනි ගුදම් පැවතියේ දෙකක් පමණය. එහි විශේෂත්වය වන්නේ එක් සමාගමක් වෙනුවට ආනයනකරුවන් කිහිපදෙනකුගේ භාණ්ඩ තොග එහි රඳවා තැබීමට හැකි වීමය. එම ගුදම් දෙක පවතිනුයේ කොළඹ වරාය සහ කටුනායක ගුවන් තොටුපළ තුළ වන අතර එය රාජ්‍යය සතුය.
කෙසේ වුවත් පසුගිය දා පාර්ලිමේන්තුවේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මුදල් අමාත්‍ය රවී කරුණානායකට චෝදනා කර සිටියේ ඔහුගේ පවුලට අයත් Global Transportation & Logistics (Pvt) Ltd සමාගම පොදු ගුදමක් බවට පත් කරගෙන ඇති බවය. අප වෙත ලැබුණ ආරංචි මාර්ගවලට අනුව පසුගිය දිනක ගරුකටයුතු මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ දී එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.
දුවගෙන් පියාට ලිපියක්
අපේ මාධ්‍ය භාවිතය තුප්පහි බව කියන මුදල් අමාත්‍යවරයා පත්තිනි අම්මා නම් නොවන බව යළිත් ඔප්පු වන්නේ ඔහුගේ දියණිය අදාළ ගුදම වෙනුවෙන් සිය පියා වන රවී කරුණානායක ගරුකටයුතු මුදල් ඇමැතිට යොමු කළ ලිපිය අප වෙත ලැබී ඇති නිසාය. එය ශ්‍රී ලංකා රේගුව වෙත 2015 නොවැම්බර් 13 වන දා යොමු කර ඇති එම ලිපිය හරහා ඉල්ලා ඇත්තේ Private General Bond පවත්වාගෙන යාමට අවසර ඉල්ලමින්ය.
ඒ අප මීට පෙර සඳහන් කළ 719/17, ලියනගේමුල්ල, සීදුව යන ලිපිනයේ ඇති Global Transportation & Logistics (Pvt) Ltd සමාගම සඳහාය. වත්මන් ආණ්ඩුවේ අපූරු යහපාලනය එළියට පනින්නේ මෙතැනදීය. ළබැඳියාවන් අතර ගැටුමක් මෙහි නැතිද? බැඳුම්කර ගනුදෙනුව වෙනුවෙන් කෝප් කමිටුව තුළත් ඉන් පිටතත් මරාගෙන මැරෙන සෙබළකු මෙන් පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගෙන්මෙන්ම රාජපක්ෂ රෙජීමයේ දූෂණ ලිපි ගොනු අතට ගෙන රට වටේ ගිය ආණ්ඩුවේ අයගෙන් අප අසන්නේ මේවා කෝප් විමර්ශන අවශ්‍ය කාරණා ලෙස නොසලකන්න හේතු මොනවාද කියාය. ඇත්තට නම් ආණ්ඩුවේ සිටින එදා රාජපක්ෂ රෙජීමයේ දූෂණ ගැන කතා කළ මන්ත්‍රීවරු මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් ද අද මෙවැනි සැබෑ ප්‍රශ්න හමුවේ සිටින්නේ ඇටිකෙහෙල් කෑ රිලව් මෙන්ය. කටේ නරි වදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ නිශ්චිත පැහැදිලි කිරීමක්වත් සිදු නොකර එදා රාජපක්ෂ රෙජීමයේ දූෂණ ගැන නන් දෙඩවූ ඇමැති රවී කරුණානායක මේ චෝදනාවල වගඋත්තරකරු වී සිටින ස්වභාවය දකින විටය.
ගරුකටයුතු මුදල් අමාත්‍යවරයා සිය පවුල අත්කරගත් පොදු ගුදම ගැන මොන මොන කතා කියා අමාත්‍ය මණ්ඩලය නොමඟ යවන්නට උත්සහ කළ ද එවැනි යක්කුන්ටත් කොක්කු පෙන්වා කුක්කු පොවන කතා අපට නම් අදාළම නැත. මන්ද, අබ මල් රේණුවකවත් යහපාලනයට අදාළ හිරි ඔතප් නැති ඒ ගුදම වෙනුවෙන් අවසර ගත් සියලු‍ ලිපි ලේඛන අප සතුව ඇති නිසාය.
අප සතු ලිඛිත සාක්ෂිවලට අනුව 2015 නොවැම්බර් 13 ඇමැති දියණිය ඇමැති පියාගේ අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමට වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස අවසර ලබා දෙන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ය. අබේවර්ධන අමාත්‍යවරයා මෙවැනි කරුමවලට කර ගසන්නේ මොන පවක් ගෙවන්නටදැයි අප දන්නේ නැත. එහෙත් අප සතු ලේඛනවලට අනුව නම් 2016 අප්‍රේල් 4 වනදා අමාත්‍යවරයා වැඩබලන අමාත්‍යවරයා ලෙස ඊට සිය අනුමැතිය පළ කර ඇත. එසේම අදාළ කටයුත්ත වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් (Director general - Department of Trade and investment policy) කේ. ඩී. එන්. රංජිත් අශෝක අදාළ ගුදම ලබා දීම සඳහා කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගුව වෙත දැනුම් දෙන අතර ඒ, 2015 අගෝස්තු 12 වනදා ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කරන ලිපිය මඟින්ය. මේ ලිපි හුවමාරුව අවසන් වී ඇත්තේ ඇමැතිගේ පවුලේ සමාගමට අදාළ පොදු ගුදම ලබා දෙමින්ය.
එසේම අපේ ගරුකටයුතු මුදල් ඇමැති සිය පවුලේ සමාගම වෙනුවෙන් මෙම පොදු ගුදම වෙන් කර ගන්නට ඉඩ හසර විවර කර ගන්නේ එවැනි ගුදමක් ගැනීමේ දී තැබිය යුතු බැංකු ඇපකරය පවා නොතබමින්ය. ඒ වෙනුවට රවී ඇමැතිගේ පවුලේ සමාගම තබන්නේ මිලියන 400 ක සමාගම් ඇපකරය. සැබැවින්ම බැංකු ඇපකරයක් මෙවැනි ගුදමක් වෙනුවෙන් තැබීමට නිර්දේශ කරනු ලබන්නේ යම් අයුරකින් අදාළ ගුදමේ ක්‍රියාකාරීත්වය තුළ කිසියම් රේගු විධිවිධානයක් උල්ලංඝනය කළහොත් ඒ වෙනුවෙන් වන මුදල් බැංකු ඇපකරය හරහා රජයට අයකර ගන්නටය. එහෙත් සමාගම් ඇපකරයක් හරහා එවැනි අවස්ථාවක් නොමැත.
මේ අවකල් ක්‍රියාව එතැනින් ද අවසන් නැත. මේ වන විට මෙරටට විදෙස් මත්පැන් ආනයනය කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු සිය පෞද්ගලික ගුදම වසා දමා ඇමැති පවුලේ පොදු ගුදම තුළට රිංගා ඇත. අප ඒ ගැන නම් ගම් සහිතව ලියන්න යන්නේ නැත. එසේ ලියනවා නම් සෙරන්ඩිබ් සමාගම විසින් ඇණවුම් කළ ඉඩම අත්කර ගන්නට උත්සාහ කළ අය ගැන මෙන්ම තවත් බොහෝ දෑ කරුණු සහිතව ලියන්නට අප සතුව ඇත. ඒ අනුව මේ එකක් පමණක් වන අතර තවත් එවැනි සිදුවීම් කීයක් සිදුව ඇත්දැයි සොයා බැලීම වගකිව යුත්තන්ගේ කාර්යභාරය යි.
එහෙයින් දැන් අපේ මාධ්‍ය භාවිතය තුප්පහි කියන අපේ ගරුකටයුතු මුදල් ඇමැති මෙන්ම නළල් ඇට ගෙවෙන තුරු පොළොවේ උලාගෙන යහපාලන මූලධර්ම මත රට කරවන බව කී ආණ්ඩුවේ සියලු‍ පාර්ශ්ව එක පෙළට තබා මෙසේ ප්‍රශ්න කරමු.
රේගුව මුදල් අමාත්‍යාංශය යටතේ තිබිය දී මුදල් ඇමැතිගේ පවුලේ සමාගමක් ලංකාවේ පොදු ගුදමක් හිමි එකම සමාගමක් බවට පත් වීම ඔබලා අනුමත කරනවාද? එවැනි අවස්ථාවක් උදා කළේ තරගකාරීත්වයක් ඇති කිරීමට නම් අනෙක් සමාගම්වලට එම අවස්ථාව නොලැබෙන ලෙස නීති සංශෝධනය කිරීම ඔබලා අනුමත කරනවාද? රේගුව මෙන්ම තීරුබදු තීරණය කිරීමේ බලය ඇත්තේ අදාළ අමාත්‍යාංශයටම බැවින් ඒ තුළ බදු වංචා සිදු වීමට ඉඩක් නොමැතිද? එවැනි දෑ සිදු වනවා නම් රජයට අහිමි වන සහ ජාවාරම්කරුවන් අතට පත් වන ඒ කෝටි ගණනක මුදලේ වගකීම ගන්නේ කවුද? පොදු ගුදම මුදල් ඇමැතිගේ පවුලේ එකක් වීම තුළ ඊට අදාළව නියමිත රේගු විධි විධාන ක්‍රියාවේ යෙදවීමට ඇති සීමාව ඔබ අනුමත කරනවාද?
මේ අයුරින් ප්‍රශ්න රැසක් අපට ඔබ එක පෙළට තබා විමසා සිටීමට පුළුවන. එහෙත් එය තවදුරටත් නිශඵල කාර්යයක් වන්නේ මේ සියල්ල උගුරට හොරා බෙහෙත් බී නැති වග අප තරයේ විශ්වාස කරන නිසාය. මේ හමුවේ සිවිල් සමාජය කියන අටමගල ද අද කෝලමක් බවට පත්ව ඇති අතර දූෂණ විරෝධී පෙරමුණු පවා ලෙඩ නිවාඩු ගෙන ඇති බවක් පෙනී යයි. ඒ පසුබිමේ අප ඔබලා සියලු‍ දෙනාගෙන් අසන්නේ එක පොදු ප්‍රශ්නයක් පමණය. එනම්, ගරුකටයුතු මහතුනි “ඔබලා කී යහපාලනය මෙයද?” කියාය. ඇත්තටම යහපාලනය කියන්නේ තවදුරටත් මහදවාලේ සිදු වන මෙවැනි ක්‍රියාවන් හමුවේ මුනිවත රැකීම නම් අපට අනුව ඒ කියන යහපාලනය රාජපක්ෂ රෙජීමය තරමටම කැතයි; නින්දිතයි මෙන්ම ගඳය.
එතෙක් අප පාඨක ඔබට දන්වන්නේ බටහිර කියමනක අනුව පැවසෙන ලෝකයේ සෑම පාරක්ම රෝමයෙන් වැටී ඇතියි කියන්නා සේ යහපාලනයේ බොහෝ හොරකම්වල මුල මුදල් අමාත්‍යාංශය තුළ ඇති වගය. මේවා රට හමුවේ හෙළි කිරීම හඳුන්වන්නේ ‘තුප්පහි මාධ්‍ය භාවිතය’ කියා නම් එසේ සිතන සියල්ලන්ට අප දැනුම් දෙන්නේ, “ඔව් මහත්වරුනි අපි තුප්පහි තමයි! නමුත් ඒ ඔබලා සිතා සිටින තරමට නොව ඊට වඩා බොහෝ ප්‍රමාණයකින් සහ ගුණයකින් අපි තුප්පහි. ඒ තුළ මේ එවන්නේ මල් පමණක් වන අතර ඉදිරියේ දී පලතුරු ද බලාපොරොත්තු වන්න!

සත්හඩ ඉරිදා

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.