Menu

logo new 2015-5-11

Shamrock-png

2016 සිදුවීම් ගොන්නක් සමග ගලා ගියේය

2016 සිදුවීම් ගොන්නක් සමග ගලා ගියේය

අදින් ගෙවී යන 2016 වර්ෂයේ ආරම්භය විදෙස් මාධ්‍යවලට වාර්තා කිරීමට සිදුවූයේ ඩුබායිහි ‘දි ඇඩ්‍රස්’ නම් උස් ගොඩනැගිල්ලේ ඇති වූ දරුණු ගින්නත් සමඟය. මේ වසරේ අවසානයට දින කිහිපයක් තිබියදී යළිත් විදෙස් මාධ්‍යවලට වාර්තා කිරීමට සිදුවූයේ දැවැන්ත ඛේදවාචකයකි. ඒ, රුසියානු හමුදා භට පිරිසක්, එරට මුල්පෙළේ වාද්‍ය වෘන්දයක් හා මාධ්‍යවේදීන් පිරිසක් සමඟ සිරියාව බලා පියාසර කරමින් තිබූ රුසියානු ගුවන් යානයක් කළු මුහුදට ඉහළ අහසේදී අනතුරට පත්වීමය.

විනාශයකින් ඇරැඹී විනාශයකින් කෙළවර වූ බව පෙනෙන 2016 වසර ලෝකයට දැනුණේ කෙසේද? එය වැඩිදෙනකුගේ නෙතඟට කඳුළු නැංවූ වසරක් වීද නැතිනම් වැඩිදෙනකුගේ මුවහට සිනා මතු කළ වසරක් වීද? ඒ ඒ ක්ෂේත්‍රවල දක්නට තිබූ ප්‍රගතිය හෝ අවගමනය මත මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගැනීමට හැකිය.

ආසන්න වසර ගණනාවක මෙන්ම මේ වර්ෂයේද ලෝකයේ වැඩි අවධානයක් දිනාගත් මාතෘකා කිහිපයක්ම තිබේ. යුද්ධය හෝ සාමය, ත්‍රස්තවාදය, අන්තවාදය, ආර්ථික අර්බුදය, දේශගුණික සංක්‍රමණික අර්බුදය, දේශගුණික විපර්යාස ආදී ව‍ශයෙන් ඒවා පෙළගැස්වීමට පුළුවන.

2017ට ඇදී ගිය ත්‍රස්ත ප්‍රශ්නය

සිරියානු අර්බුදයට 2016 දී ද විසඳුමක් නොලැබීමෙන් එය 2017 ට ද ගමන් කරනු ඇත. රුසියාව අයි.එස්. ත්‍රස්තවාදී ඉලක්ක වෙතට ගුවන් ප්‍රහාර දියත් කිරීමත් සමඟ අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ පසුබෑමක් දක්නට තිබේ. එහෙත් ඔවුන් මුදාහැරි කෲරත්වයේ නිමාවක් දක්නට නැත. බොකොහරාම් වැනි ත්‍රස්තවාදී කණ්ඩායම්ද වරින්වර මතුවී මේ වසර තුළදීද විනාශකාරී ක්‍රියා සිදුකළේය. ගෝලීය ත්‍රස්තවාදය පිටුදැකීම 2017 වසරේදීද ලෝකය ඉදිරිපිට ඇති අභියෝගයකි.

මූලික වශයෙන්ම ලොව තැන තැන දැකිය හැකි යුද ගැටුම් නිසාද, ස්වභාවික ව්‍යසන වැනි සිද්ධීන් නිසාද අවතැන් වූ සහ සරණාගතයන් බවට පත්වන්නා වූ සංඛ්‍යාව ඉහළ නඟිමින් පවතී. 2016 වසරේදී සරණාගත හා සංක්‍රමණික අර්බුදය උත්සන්න වනු දැකිය හැකිවිය. විශේෂයෙන් එය යුරෝපයට දැඩි බලපෑමක් එල්ල කළේය.

බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් සමුගනියි

යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් පැවැති ජනමත විචාරණයේදී ඉන් ඉවත්විය යුතු බවට බ්‍රිතාන්‍ය ජනයාගෙන් බහුතරය තීන්දු කළහ. ඒ සමඟ අගමැති ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්විය. බ්‍රිතාන්‍යයේ තීරණය ඔවුන්ට සහ යුරෝපා සංගමයට කෙලෙස බලපානු ඇත්දැයි ඉදිරි වර්ෂයේදී බොහෝදුරට දැක ගත හැකිවනු ඇත. කෙසේ වුවද මෙහිදී බ්‍රිතාන්‍ය ජනයා ජාතිකවාදී හැඟීමකින් ක්‍රියාකර ඇති බව පැහැදිලි විය.

හදිසි සෞඛ්‍ය තත්ත්වය

සිකා වෛරසය මර්දනය කිරීම අසීරු වී ඇති පසුබිමක හා එය වේගයෙන් ව්‍යාප්තවීමත් සමඟ ගෝලීය වශයෙන් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට 2016 දී ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදුවිය.

වසර කිහිපයකට ඉහතදී අමෙරිකාවෙන් ආරම්භ වී සෙසු ලෝකයටද බලපෑ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට තවමත් ලෝකයට හැකිවී නැත. 2015 වසර සඳහා චීනයේ ආර්ථික වර්ධන වේගය 6.9%ක් වූ බව ප්‍රකාශයට පත්වූයේද 2016 දීය. එය එරටින් 25 වසරක ඉතිහාසයේ වාර්තා වූ අඩුම වර්ධන වේගයයි. ලෝක ආර්ථික අර්බුදයෙන් බලවත් රටවල් වෙතට පවා පීඩනයක් එල්ලව තිබියදී තවමත් ආදායම් බෙදීයාමේ බරපතළ විෂමතාවක් ඇති බවද හෙළිදරව් විය. ලොව ධනවත්ම පුද්ගලයන් 62 දෙනාගේ ආදායම ලෝක ජනගහනයෙන් හරි අඩකගේ ආදායමට සමාන බව OXFAM සංවිධානය ප්‍රකාශයට පත් කළේය.

ඉතාලි ජනයාගේ අගමැති ප්‍රතික්ෂේපය

ඉතාලි අගමැති මතියෝ රෙන්සිට ඉල්ලා අස්වීමට සිදුවූයේද ජනමත විචාරණයක ප්‍රතිඵලය හේතුවෙනි. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පැවැති එම ජනමත විචාරණයේදී ඉතාලි ජනයා එය ප්‍රතික්ෂේප කළහ. ඔවුන් ආණ්ඩුවට ලබාදුන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට වඩා ආර්ථික අර්බුදයට පිළියම් යෙදීම ප්‍රමුඛ හා හදිසි අවශ්‍යතාවක් බවය.

උණුසුම් පෙබරවාරියක්

සුළි කුණාටු, ගංවතුර, නායයාම් වැනි ස්වභාවික ව්‍යසන හේතුවෙන් 2016 දී මිය ගිය පිරිස දස දහස් සංඛ්‍යාතය. දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ආපදා හේතුවෙන් අවතැන් විය. විනාශය බරපතළ වීමට මිනිස් ක්‍රියාකාරකම් හේතුවී ඇති බව යළි යළිත් සනාථ කෙරිණි. නාසා ආයතනය කියා සිටියේ 2016 පෙබරවාරි මාසය ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම පෙබරවාරිය බවය. ගෝලීය උෂ්ණත්වය ඉහළ නැඟීම හා දේශගුණික විපර්යාස ගෙවී යන වසරේද බොහෝ ජාත්‍යන්තර වේදිකා හා සංවාද මණ්ඩපවල ප්‍රධාන මාතෘකාවකි. 2017 දීද එය එලෙස වනු ඇත.

පැනමා හෙළිදරව්වෙන් ලෝකය කැ‍ලඹෙයි

2016 දී ලොව කැලැඹූ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් වූයේ පැනමා පත්‍රිකා හෙළිදරව්වයි. එය විකිලීක්ස් හෙළිදරව්වටත් වඩා බරපතළය. අක් වෙරළ නීති උපදේශක සේවා සමාගමක් වන මොසැක් ෆොන්සේකා සතු රහස්‍ය ලේඛන මිලියන 11.5 ක් හෙළිදරව්වීමත් සමඟ අයිස්ලන්ත අගමැති සිග්මන්ඩ් ඩේවිඩ්ට ධුරයෙන් ඉල්ලා අස්වීමට පවා සිදුවිය.

අමෙරිකා ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩි තැබීමේ සිදුවීම වාර්තා වූයේද ගෙවීයන වර්ෂයේදීය. ඩර්ලැන්ඩෝ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක දී තරුණයකු කළ වෙඩිතැබීම්වලින් 49 දෙනකු ජීවිතක්ෂයට පත්විය. තරුණයා අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පැවැති අයකු බව හඳුනා ගැනිණි.

රෝමය එරට පළමු හා ළාබාලම පුරපතිනිය වශයෙන් වර්ජිනියා රුධී තෝරාපත් කර ගත්තේද ලන්ඩනයේ පළමු මුස්ලිම් පුරපති වශයෙන් සදික් ඛාන් තේරීපත්වූයේද 2016 දීය.

කොලොම්බියා - ෆාර්ක් සටන් විරාමය

තැන තැන නිමක් නැති යුද ගැටුම් අතර සතුටුදායක හා අස්වැසිල්ලක් ලද හැකි ඓතිහාසික එකඟතාවක් කොලොම්බියාවේදී ඇතිවූයේද මේ වර්ෂයේදීය. පනස් වසරකට වැඩි කාලයක් පැවැති යුද ගැටුම් නිමාකරමින් කොලොම්බියා රජය සහ ෆාර්ක් ගරිල්ලන් අතර අත්සන් තැබුණු සටන් විරාමය කොලම්බියා ජනාධිපති හුවාන් මැනුවෙල් සැන්ටොස් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීමටද හේතුවිය.

අමෙරිකාවේ මිනසෝටා, ලුයිසියානා වැනි ප්‍රාන්තවලදී වරින්වර පොලිස් වෙඩි පහරින් කළු අමෙරිකානු තරුණයන් ගණනාවක් මිය යාමත් සමඟ විරෝධතා ව්‍යාපාරද දියත්විණි.

31 වැනි ඔලිම්පික් බ්‍රසීලයේ

31 වැනි ඔලිම්පික් උළෙල බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවරදී පැවැත්වුණේද ගෙවී යන වර්ෂයේදීය. අමෙරිකානු පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස් 23 වැනි ඔලිම්පික් රන් පදක්කමද දිනාගනිමින් කෙළිබිමෙන් සමුගැනීමද සිදුවිණි.

ඔබාමාගේ සමුගැනීම සහ ට්‍රම්ප්ගේ ආගමනය

2016 මුලදී ඇරැඹි අමෙරිකා ජනාධිපතිවරණ ක්‍රියාදාමය නිසාද මේ වර්ෂය දෙසට වැඩි අවධානයක් යොමුවිය. ඩිමොක්‍රටික් අපේක්ෂකත්ව සටනින් හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ද රිපබ්ලිකන් අපේක්ෂකත්ව සටනින් කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් ද ජයගත් අතර අමෙරිකා ඉතිහාසයේ වඩාත් උණුසුම් මෙන්ම මඩ අවලාදවලින් පිරි මැතිවරණ ව්‍යාපාරයද දැකිය හැකිවිය. අමෙරිකා මාධ්‍ය වඩාත් බරවූයේ හිලරි ක්ලින්ටන්ටය. ඇය එරට පළමු ජනාධිපතිවරිය වනු ඇතැයි අනුමාන කෙරිණි. ට්‍රම්ප් දැක්වූ අදහස් හා ඔහුගේ පොරොන්දු නිසා විශාල ආන්දෝලනයක් ඇතිවිය. අවසානයේදී අමෙරිකාවේ මීළඟ ජනාධිපති වශයෙන් එරට ජනයා තෝරාගත්තේ ට්‍රම්ප්ය. සිය පෞද්ගලික ඊමේල් ගිණුම රාජ්‍ය කටයුතු සඳහා යොදා ගැනීමෙන් ඇය රාජ්‍ය ලේකම්වරිය වශයෙන් බරපතළ ලෙස වගකීම් විරහිත වී ඇතැයි FBI මඟින් ප්‍රකාශ කිරීමද හිලරිට අවාසියට හේතුවිය. අනෙක් අතට එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණය බඳු තීරණයක් අමෙරිකානුවන් මෙහිදී ගත් බව පැහැදිලි වේ. ලබන ජනවාරි 20 වැනිදා ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් අමෙරිකාවේ මීළඟ ජනාධිපති වශයෙන් දිවුරුම් දී රාජකාරි අරඹනු ඇත. මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇති කාරණයක් වන්නේ ඔහුගේ පාලනය සෙසු ලෝකයට කෙසේ බලපානු ඇතිද යන්න දෙයයි. වෙනත් රටවල පාලන තන්ත්‍ර වෙනස් කිරීමට කිසිසේත් නොයන බවද අමෙරිකාවට විසඳා ගත යුතු ප්‍රශ්න දෙස අවධානය යොමුකරන බවද ඔහු දැනටමත් ප්‍රකාශ කර තිබේ.

අයි. එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ඔහු දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැයි පෙනෙන්නට තිබේ. ට්‍රම්ප්ගේ පත්වීමත් සමඟ බැරක් ඔබාමා ධුරයෙන් සමුගැනීමද සිදුවනු ඇත.

එජා මහලේකම් ගුටරෙස්ගේ පත්වීම

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මීළඟ මහලේකම් ධුරය සඳහා තෝරාගැනීමද ගෙවී යන වර්ෂයේ විශේෂ සිදුවීමකි. පෘතුගාලයේ හිටපු ජනාධිපති අන්තෝනියෝ ගුටරෙස් මීළඟ මහලේකම් වශයෙන් පත්ව සිටී. බෑන් කී මූන්ගේ ධුර කාලය අදින් නිමාවීමත් සමඟ ගුටරෙස් හෙට සිට රාජකාරි අරඹනු ඇත. ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය ඇතුළු අභියෝග ගණනාවක් නව මහලේකම් ගුටරෙස් ඉදිරිපිට තිබේ. එ.ජා.සරණාගතයන් පිළිබඳ හිටපු මහකොමසාරිස් වශයෙන්ද එ.ජා.යාන්ත්‍රණය ගැන ඔහුට අත්දැකීම් තිබේ.

කස්ත්‍රෝගේ සමුගැනීම

කියුබානු විප්ලවය ජයග්‍රහණය කරා මෙහෙයවමින් හා දශක 5ක් පමණ කියුබාවට නායකත්වය දුන් හිටපු කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ 90 හැවිරිදි වියේදී ජීවිතයෙන් සමුගත්තේද මේ වසර ගෙවී යමින්
තිබියදීය. එය ලොව පුරා සමාජවාදීන් කම්පනයට පත් කළ කාරණයක් විණි.

ජයලලිතා සමුගනියි

දකුණු ඉන්දීය මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් ද මේ වසර ගෙවීයමින් තිබියදී ජීවීතය හැර ගියාය. තමිල්නාඩු ජනයා ඇයගේ අභාවයත් සමඟ කැළැඹීමට පත්විය.

ගුවන් අනතුරකින් බ්‍රසීලයේ පාපන්දු කණ්ඩායම ජීවිතක්ෂයට පත්වූයේ නොවැම්බරයේදීය. දෙසැම්බරයේදී රුසියාවේ ප්‍රකට සංගීත කණ්ඩායමක් ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත්විය.

ලෝකය 2016 සමුදෙන්නේ දුක, සතුට, කඳු සහ සිනහව අතරිනි. සෑම වර්ෂයකදීම මෙන් 2017 ද ලෝකය සතුටින් බාරගනු ඇත. ඒ සතුට රඳවා ගැනීම අභියෝගයයි.

උපුටනය - දිනමින

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.