Menu

logo new 2015-5-11

Shamrock-png

පුතුට පනදීමට, තම පන පරදුවට තැබූ කථානායකගේ දියණිය වෙනුවෙන් ආයතනයක්

පුතුට පනදීමට, තම පන පරදුවට තැබූ කථානායකගේ දියණිය වෙනුවෙන් ආයතනයක්

කථානායක කරූ ජයසූරිය මහතාගේ දියණියක වන ඉන්දිරා ජයසූරිය මහත්මිය පිළිකා රෝගය හේතුවෙන් පසුගියදා මරණයට පත් වූයේ ලෝකයේ සෑම දෙනාගේම කතා බහට ලක්වූ අභීත කාන්තාවක ලෙසය. ඉන්දිරා ජයසූරිය මහත්මිය පියයුරු පිළිකා රෝගයට ගොදුරුව ඇති බව දැන ගනිද්දී ඇය සය මස් ගැබිනියකව සිටියාය.

පිළිකාවට බෙහෙත් කිරීමේදී ඇගේ දරු ගැබට හානියක් විය හැකි බව වෛද්‍යවරු ප්‍රකාශ කිරීම නිසා ඇය ඖෂධ ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරනු ලැබුවේ මේ කිසිවක් නොදත් දරුවාට මෙලොව එළිය දැකීමට අවස්ථාව උදාකර දිය යුතු බව වෛද්‍යවරුන්ට පසක් කරමිනි.
ඒ වන විට ඇය එක් දරු මවක් වූවත් මෙලොව එළිය නොදුටු කිරි කැටියාට මෙලොව එළිය දැකීමට අවස්ථාව දිය යුතු බව ඇය තරයේ කීවාය. එමෙන්ම ඇය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේ තම නූපන් දරුවා මෙලොවට බිහි කළ පසු හැකිනම් තමන්ට ප්‍රතිකාර කරන ලෙසය.
තමන්ගේ ජිවිතය පරදුවට තබා ඇය පුතකු බිහි කොට ඉන් වසරකට පසු සදහටම දෙනෙත් පියා ගත්තේ ඒ වන විට ප්‍රතිකාර කිරීමේ කාලය ඉක්මගොස් තිබුණ නිසාය. එම උදාර කාන්තාව අනුස්මරණය කරමින් සුවහසක් පිළිකා රෝගීින්ට සරණක් වීමට කථානායක කරු ජයසූරිය මහතා ප්‍රධාන පවු‍ලේ ඥාතීන් තීරණය කළේ මේ අනුවේදනීය සිදුවීමත් සමගය.
''පිළිකා සරණ භාරය'' නමින් ඉකුත් සිකුරාදා (27) එය ආරම්භ කෙරිණි. එක් වෙමු පිළිකාව ජයගමු යන තේමාව යටතේ මේ සද්කාරය ආරම්භ කරනා ලදී. ඒ අනුව පිළිකා සරණ උපකාරක ක්ෂණික ඇමතුම් සේවාව මහරගම අපේක්ෂා රෝහල අසල අංක 45/ඕ, යන ස්ථානයේදී ආරම්භ කෙරුණි. සෞඛ්‍ය, ‍පෝෂණ හා දේශීිය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රධාන ජයසූරිය පවු‍ලේ ඥාතීන් මෙන්ම ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ස්වාමි පුරුෂයා වන බ්‍රිතාන්‍ය ජාතික මාර්ටින් ඩිකර් මහතා හා දරු දෙදෙනාද ඊට සහභාගී විය.

ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වී ඇති රෝග අතරින් සියයට 70 ක්ම අයත් වන්නේ බෝ නොවන රෝග කාණ්ඩයටය. පිළිකාවද ඒ අතරට ගැණෙන අතර ස්ත්‍රී මරණවලින් වැඩි සංඛ්‍යාවක් පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන බව වෛද්‍ය මතයවේ.
පියයුරු පිළිකාව මුල් අවධියේම හඳුනාගත හොත් එය නිට්ටාවට සුව කළ හැකිවේ. නමුත් මෙරට පියයුරු පිළිකාවට ගොදුරු වන කාන්තාවන් බහුතරයක් මුල් අවධියේදී මේ රෝගය හඳුනා නොගන්නේ ඒ වෙනුවෙන් පරීක්ෂාවට යොමු නොවීම නිසාය.
පියයුරු පරීක්ෂා කරන මැමෝග්‍රැෆි යන්ත්‍රවලින්11ක් රජයේ රෝහල් සතු වන අතර පෞද්ගලික රෝහල් සතුව එම යන්ත්‍ර 15 ක් පමණ පවතියි. පෞද්ගලික රෝහලකින් මැමෝග්‍රැෆි පරීක්ෂාවක් සිදු කර ගැනීමට අවම වශයෙන් රුපියල් 7500ක පමණ මුදලක් වැය කළ යුතුය.

පිළිකා සරණ උපකාරක ක්ෂණික ඇමතුම් සේවාව හරහා තමාට හෝ තමාගේ සමීපතමයෙකුට පිළිකාවක් වැළඳී ඇති බවට ආරංචියක් ලදහොත් ඔහුට හෝ ඇයට අත්වෙන මානසික ව්‍යාකූලත්වයෙන් මිදීමටත්, ලබාගත යුතු උපදේශන සේවාවන් ලබා ගැනීමටත් දුරකථන අංක 0112363211 ඇමතිය හැකිය. මේ පිළිකා සරණ උපකාරක ක්ෂණික ඇමතුම් සේවාව සෑම දිනකම උදෑසන 7.00 සිට සවස 7.00 දක්වා කාලය තුළ නොමි‍ලේ ක්‍රියාත්මක කරනු ලබයි.
පසුව මෙම සේවාව පැය 24 ක කාලය පුරාවටම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
පිළිකා සරණ භාරය ව්‍යාපෘතිය අදියර තුනකින් ක්‍රියාත්මකය. එහි පළමු පියවර ලෙස පිළිකා සරණ සේවාව ක්‍රියාත්මක වේ. සෙසු පියවරයන් ලෙස ඉන්දිරා උපකාරක සේවය සහ ඉන්දිරා ජයසූරිය ළමා සත්කාරක සේවය ඉදිරි කාලය තුළදී ක්‍රියාත්මක කෙරෙනු ඇත.
පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීම සඳහා මැමෝග්‍රැෆින් යන්ත්‍රයක් පළමුවෙන්ම ගෙන්වා ඉන්දිරා උපකාරක සේවය ආරම්භ කිරීමට නියමිතය. එය ජංගම සේවයක් ලෙස දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි පරිපාලන දිස්ත්‍රික්ක 25 පුරාම මෙම ප්‍රජාසත්කාරක සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ පළමු වතාවට පියයුරු පිළිකා පරීක්ෂා කෙරෙන ජංගම රථයක් ඉදිරි මාස දෙක තුන ඇතුළත දී මෙරටට ගෙන්විමට ජයසූරිය පවු‍ලේ ඥාතීන් කටයුතු යොදා ඇත. ජර්මනියෙන් අවශ්‍ය උපකරණ මිලදී ගෙන ඒවා ජංගම රථය තුළ සවි කරනු ලබන්නේ ඉන්දියාවේදීය. මේ සඳහා වැය වන මුදල රුපියල් ලක්ෂ 500 ක් පමණ වේ. එම සියලු මුදල් ජයසූරිය පවු‍ලේ ඥාතීන් විසින් දරනු ලබයි.
ඉහත ජංගම රථය මෙරටට ගෙන්විමෙන් පසු දිනකට කාන්තාවන් සියයක් පමණ පහසුවෙන්ම පරීක්ෂා කළ හැකි බව මේ අයගේ අදහස වේ. සිය දියණියට, නැගෙණියට වූ විපත වෙනත් කිසිදු කාන්තාවකට අත් කර නොඳීමේ අරමුණ ඇතිව මේ සද්කාර්ය ජයසුරිය පවු‍ලේ ඥාතීන් ගේ පරමාර්ථයයි.
සුව කළ නොහැකි පිළිකාවට ගොදුරු වී නියත වශයෙන් මිය යන දරුවන්ගේ අවසන් කාලය ප්‍රීතිමත්ව තබා ගැනීම සහා ඉන්දිරා ජයසූරිය ළමා සත්කාර වැඩසටහන යටතේ මධ්‍යස්ථාන දෙකක් අනුරාධපුරයේදී සහ වවුනියාවේදී ආරම්භ කර ඇත. එහි ඊළඟ සත්කාරක පියස මාතර දී ස්ථාපනය කිරීමට නියමිතය.
ඉහත වැඩසටහන් තුළින් කාන්තාවන්ගේ පිළිකා රෝගී තත්ත්වය කලින් හඳුනා ගන්නා සේම පිළිකා රෝගී දරුවන් ආදරයෙන් රැක බලා ගැනීමටද නියමිතය. මෙය රෝගීි ජනතාවට අතිමහත් සහනයකි. පිළිකා සරණ උපකාරක ඇමතුම් සේවාව ආරම්භ වූ දින තුළදී පමණක් ඇමතුම් පනහක පමණ ප්‍රමාණයක් ලද බව එම සේවාව සඳහන් කරයි. එම සේවාව තුළින් අසරණ ජනතාවට පිහිටක් වන අතර එය තව තවත් පුළුල් කිරීමට සංවිධායක කමිටුව සැලසුම් කර ඇත. මේ අතිමහත් පුණ්‍යකර්මය කරගෙන යාමට මේ පිරිසට සැවොම ශක්තිය ධෛර්ය දිය යුතුවේ.

මෙහිදී අදහස් දැක්වූ කථානායක දේශබන්දු කරු ජයසූරිය මහතා මෙසේ කීවේය.
පිළිකා රෝගයට කාන්තාවන් ගොදුරු වීම වැළැක්වීම සඳහා පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමට මැමෝග්‍රැෆින් යන්ත්‍ර ගෙන්වීමට කටයුතු කරනවා. මේ ඇමතුම් සේවාවේ අරමුණ මේ රෝගයට ගොදුරු වූ කාන්තාවන්ට මේ රෝගයෙන් මිදීමට සහය දීමයි. මගේ දියණිය අනුස්මරණය කරමින් මේ සේවාව ආරම්භ කරනවා. අප දියණිය මේ අවාසනාවන්ත රෝගයට ගොදුරු වීමෙන් අප ලද වේදනාව තවත් පියකුට, මවකට, සැමියෙකුට, දරුවෙකුට, ඥාතියෙකුට අත්විඳිනවා දකින්නට අප කැමති නැහැ. මේ නිසා ගෙන්වන මැමෝග්‍රැෆින් යන්ත්‍රය දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි ලබාදීමට කටයුතු කරනවා. අපේ අරමුණ රටේ අහිංසක ජනතාවට සහනයක් අත්පත් කර දීමයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.