Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

උන් කරන විට කට වසා මුන් කරනවිට උඩුබිරීම හෙවත් සයිටම් ගැන විප්‍රකාරයන්

උන් කරන විට කට වසා මුන් කරනවිට උඩුබිරීම හෙවත් සයිටම් ගැන විප්‍රකාරයන්

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයෙහි වෛද්‍ය උපාධිය පිළිගැනීම සදහා වන තීන්දුව අධිකරණ මගින් මේ වන විට දී අවසන්ය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවේ ස්ථාපිත කිරීමට එරෙහිව අසූව දශකයෙහි සිසුන් දිවි පිදුවේය. ඒ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට දැරූ තැත ව්‍යර්ථ කිරීම සදහාය.


එවක මෙන්ම මෙවකද ශිෂ්‍යයින් නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් මර්දනය හමුවේ වුවද එයට විරුද්ධව විරෝධය දක්වා සිටී.
ශිෂ්‍යයින්ගේ ඉල්ලීම් කාලයෙන් කාලයට වෙනස් නොවන අතර පාලකයින් කාලයෙන් කාලයට වෙනස්ව තම එකම අරමුණ වූ අධ්‍යාපනය පෞද්ලික කිරීම සදහා වන ලෝක බැංකු අණ කිරීම කෙසේ හෝ මුදුන් පමුණුවා ගැනීමට ප්‍රයත්න දරන්නේය.
කෙසේ වුවත් අද (31) මෙකී ලෝක බැංකු උවමනාවට ලංකාවේ අධිකරණයෙන්ද තල්ලුවක් ලැබුනේය. ඒ මාලඹේ ආරම්භ වූ හොර උපාධි කඩයට නීතිමය තත්වයක් සකස් කොට දීමය.
මේ සම්බන්ධයෙන් එවක මෙන්ම මෙවක පාලකයින්ද විවිධ වූ අදහස් දක්වමින් සිටී. මෙකී අදහස්හි ඇති අපුල දනවන අවස්ථා කිහිපයක් අද මාධ්‍ය මගින් වාර්තා කොට තිබුනේය.
ඉන් එක් අවස්ථාවක් වූයේ මාලඹේ වෛද්‍ය විද්‍යාලය පිළිගැනීම සදහා වන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරයාව සිටි එස්.බී. දිසානායක වර්තමාන ආණ්ඩුවේද අධ්‍යාපනයට සම්බන්ධ නොවූ අමාත්‍යංශයක කටයුතු කරමින් සිටියත් මාලඹේ වෛද්‍ය විද්‍යාලයට නීතිමය පදනමක් ගොඩ නැගුණු වහාම මාධ්‍ය කැදවා තමා එවක කළ කාර්යයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් උදම් ඇනීමය. එහෙත් ඔහු වෙනත් කරුණුවලදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිදුවීම් විවේචනය කොට සිටින්නේ අශුචි තැවරුණු තැනක සිට ගොඩ ආ සෙයිනි. මෙහි අරුම දනවන කරුණක් ඔහු ප්‍රකාශ කොට සිටිනුයේ තමා සිටින්නේ ලංකාවේද යන්න ගැන හෝ කල්පනා නොකොටය . ඔහු සදහන් කොට සිටින්නේ මහනුවර දිස්ත්‍රික්කයේ A සාමාර්ථ 03 ක් ලැබූ සිසුවෙකුට ලංකාවේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට නොහැකි වන බැවින් ඔවුන් සදහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ වීම සහනයක් බව දක්වමිනි. මෙහිදි එස්.බී. දිසානායකට අමතක වූ කරුණක් වූයේ එවැනි සාමාර්ථයන් ඇති අයවලුන් හට නොමිලයේ මෙම විශ්වවිද්‍යාල මගින් අධ්‍යාපනය ලබාදෙන්නේද යන්නය. දුප්පත් පවුලක දක්ෂතා ඇති සිසුවෙකු මෙවැනි සාමාර්ථයන් ලැබූවේ නම් ඔහුට හෝ ඇයට මෙවැනි අධ්‍යාපන කඩ වෙත පිය නැගීමට කොතරම් ධනස්කන්ධයක් වැය වන්නේද යන්න ඔහු එහිදී අමතක කොට ඇත. එසේම එවැනි සාමාර්ථයන් ලැබූවෙකුට වෛද්‍ය විද්‍යාලය අහිමි කරනුයේ ඔහු විසින්ම ගොඩ නැගූ Z score නැමැති වර්ගීකරණය මගින් බව ඔහු අමතක කොට ඇත. එසේම රාජ්‍ය මගින් විශ්වවිද්‍යාල වෙත සැපයිය යුතු පහසුකම් සැපයීමට නොහැකි තැන සිසුන්ගේ දක්ෂතාවයන් යළි යළිත් කිරා මැන බැලීමට වන සූත්‍රයන් ගොඩ නැගීම ලංකා අධ්‍යාපනයට රාජ්‍යය විසින් ලබාදි ඇති තැන පිළිබද ශෝකාලාපයක් මිස අන් කවරක් නිසා නොවන බවද එස්.බී. දිසානායක මෙහිදී අමතක කොට ඇත.
අද දිනම වාර්තා වූ තවත් දේශපාලන තුප්පහි කතාවක් වූයේ ඒකාබද්ධ විපක්ෂය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම විසින් සිදුකළ ප්‍රකාශයන්ය.
එහිදී දිනේෂ් ගුණවර්ධන සදහන් කොට සිටියේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවට අනවශ්‍ය බවත්ය. එහෙත් මාධ්‍ය වේදීන් ඔහුගෙන් ප්‍රශ්න කොට සිටියේ ඔහුද නියෝජනය කොට සිටි පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මගින් මේ සදහා අවස්ථාව සකස් කලා නොවේද යන්නය. එයට ආඳාගේ මොඩලයේ පිළිතුරක් ලබා දෙමින් පවසා සිටියේ එවක ආරම්භ වුවත් වෛද්‍ය සභාව විසින් එම තීන්දුව ප්‍රශ්න කොට සිටි නිසා මාලඹේ සක්‍රීය කිරිමට නොහැකි වූ බවත්ය.
මෙවැනි පිළිතුරු සාමාන්‍ය ව්‍යවහාරයෙන් පවසන්නේ නම් මරුය. කාලයට සාපේක්ෂව තමන් විසින් ගොඩනගන ලද විෂ බීජය වර්ධනය වී තවත් පිරිසක් රට කරවමින් සිටියදී එයට ලබාදෙන තීන්දුවක් තම පටු දේශපාලන උවමනාව වෙනුවෙන් විවේචනය කිරිමේදී තමා හිද සිටි තැන් සම්බන්ධයෙන් අමතක කිරීම වැදූ මව් වුව අමතක කිරීමට තරම් මෙකී පාලකයින් දක්ෂ මෙන්මසටකපට උන් වී ඇති බව කියා පාන්නකි.
වෛද්‍ය සභාවට එවක කෙතරම් බලපැම් කළේද යන්න කාලෝ ෆෝන්සේකා වැන්නවුන් දන්නේය. මහින්ද රාජපක්ෂගේ දැඩි තීන්දු හමුවේ ඇස් කන් නොව තවත් ශරීරාංගයන්ද වසා සිටි මේ පිරිස් අද වන විට කටමැත දෙඩවීම් හා සාධු ජන රංගනයන් සිදුකරනුයේ නැවත වරක් බලය ලබාගැනීම සදහා ජනතාව ගොනාට ඇන්දවීම හැර අන් යමක් නොවන්නේය යන්න මෙකී ප්‍රකාශයන්ගෙන් ඉස්මතු කොට ඇත්තේය.
ඩලස් අලහප්පෙරුම ද සදහන් කොට සිටියේ මාලඹේ සටනට පන දුන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු අත්අඩංගුවට ගැනීම මේ ආණ්ඩුව විසින් ශිෂ්‍ය මර්දනය සදහා සිදුකළ එක්ක බවයි. එහෙත් මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී එවක සිටි කැදවුම්කරුවන් කිහිප දෙනෙකු විටින් විට සිරගත කොට ශිෂ්‍ය මර්දනය දියත් කළ ආකාරය ඔහුට සහ මුලින්ම අමතකව ගොස් තිබිණි.
කෙසේ වෙතත් එවක මෙන්ම මෙවකද පාලකයින් විසින් සිදුකරමින් සිටින්නේ ද අනාගතයේ මොවුන් බලයට පත්වූ විටද සිදුකිරිමට නියමිතව ඇත්තේද ලෝක බැංකු උවමනාව මිස එස්.බීගේ හෝ දිනේෂ්ගේ හෝ ඩලස්ගේ හෝ තම පෞද්ගලික න්‍යාය පත්‍රයන් හෝ මුසාවාද බිනීම් මගින් සිදුකරන රංගනයන්ට පන පෙවිම නොව ලෝක බැංකු අවශ්‍යතාවය සපල කිරීම හැර අන් යමක් නොවන්නේය.
එබැවින් දුක් විදින ජනතාව ලෙස මෙකී අභිරූපනයන්හි ගොදුරු බවට පත් නොවී සිදු කළ යුතුව ඇත්තේ තම අයිතිවාසිකම් දිනා ගැනීම සදහා වන පෙළ ගැසීම හැර අදමයින්ගේ කර මතින් තම අයිතීන් විහිළු ගන්වා ලීම නොවන බව සටහන් කොට තැබිය යුතුමය. මාලඹේ සයිටම් සදහා කවර අධිකරණ තීන්දු ප්‍රකාශයට පත් කළද හොර වෙද කඩය හොර වෙද කඩයමක් මිස අන් යමක් නොවන බව පමණක් පසුගිය කාල වකවානුවේ සිදුවූ සිදුවීම් මතකයට නගමින් සදහන් කළ යුතුමය.
තුසිත පතිරණ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.