Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

වියපත් මිනිසුන්ගේ මනමාලකම් සමාජයට ප්‍රබල බලපෑමක් - මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා

වියපත් මිනිසුන්ගේ මනමාලකම් සමාජයට ප්‍රබල බලපෑමක් - මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා

අපේ සමාජයේ සදාචාර බිඳවැටීමක් සිද්ද වෙමින් පවතිනවාය කියන කාරණය නිතරම අහන්න ලැබෙන එකක්. මේක අපේ සමාජයට විතරක් සීමාවුණු දෙයක් නෙවෙයි. සමාජ පරිනාමය කියන නිරන්තර ක්‍රියාවලිය තුළ තත්කාලීන සදාචාර මට්ටම වලත් යම් යම් වෙනස් වීම් දකින්න ලැබෙනවා. නමුත් පොදුවේ මේ වෙනස් වීම් බොහෝ දෙනෙක් දකින්නේ පිරිහීම් විදිහට ; නමුත් මේ ක්‍රමික සමාජ පරිනාමයන්ද අමතරව යම් යම් සුවිශේෂ සංසිද්ධීන් මුල් කරගෙන සදාචාර විපරිනාමයක් ද සිද්ධ වෙනවා; බොහෝ වයස්ගත පිරිමියකු තරුණ කාන්තාවක විවාහ කර ගැනීම මුල් කොට මේ දිනවල සමාජය පුරා පැතිර යන ආන්දෝලනය ද ඒ වගේ සදාචාර විපරිනාමයකට මුල් වී තිබෙනවා. සමාජ සංස්කෘතිකමය වශයෙන් මෙය කෙසේවත් යහපත් තත්වයක් නොවෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාජ විද්‍යඥයකු වන සේවා සම්මානිත මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් මේසේ අදහස් දැක්වීය.

අපරදිග සංස්කෘතියට සාපේක්ෂව අපේ පෙරදිග සංස්කෘතිය තුළ වීරාභිවන්දනයට ප්‍රමුඛ තැනක් හිමිවෙනවා. අපගේ පෙරදිග සංස්කෘතික සංදර්භය තුළ පරමාදර්ශී චරිත කෙරෙහි පූජනීයත්වයක් ආරෝපණය වීමේ වැඩි නැඹුරුවක් තිබෙනවා. ඒ අනුව පොදු සමාජයේ වීරාභිවන්දනයට ලක්වන පරමාදර්ශී චරිතයක් සමාජය හමුවේ හැසිරෙන ආකාරය තුළින් ඒ සමාජයට ප්‍රබල බලපැමක් සිදුවිය හැකියි. වයස අවුරුද දහ අටට වැඩි ඕනෑම පිරිමියකුට වයස අවුරුදු දහ අටට වැඩි ස්වඥාතියකු නොවන ඕනෑම කාන්තාවක් විවාහ කර ගැනීමේ නීතිමය අවසරයක් තිබෙනවා. නීතිය කියන්නේ ප්‍රධානතම සමාජ ආරක්ෂණ ව්‍යුහය බව ඇත්ත. නමුත් ඕනෑම සමාජයක ඒ නීතියට අමතරව සංස්කෘතික සහ සදාචාර පදනමක් තිබෙනවා. එයත් ප්‍රබල සමාජ ආරක්ෂණ පවුරක්.

මිනිසා කියන්නේ සමාජ සත්වයෙක් නම් නීතිය පදනම් කරගෙන හෝ තමන් ජීවත් වන සමාජයට නරකක්, නපුරක්, අයහපතක් නොකිරීමේ සමාජමය වගකීමක් සෑම මිනිසකු තුළම තිබිය යුතුයි.

මහාචාර්යවරයා කියයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කරන ඔහු මෙසේ ද කියා සිටියි.

අපේ පෙරදිග සංස්කෘතිය අනුව වැඩිහිටියා කියන්නේ බාල පරපුරේ සදාචාර පරමාදර්ශකයා. ඒ නිසා වැඩිහිටියන් කුමන නොපනත්කමක් කළත් එය රහසිගතව කිරීමේ යම් නැඹුරුවක් සමාජය තුළ තිබෙනවා. ඒ තුළින් සමාජයේ සදාචාර මට්ටමේ යම් අවනතියක් වුණත් එහි විපරීතයක් සිදුවන්නේ නැහැ. ඊට හේතුව එම නෙපනත් කම් සමාජය හමුවේ අනාවරණය වීමත් සමඟ ඒ පුද්ගලයා ඒ සමාජයෙන් කොන්වීමකට ලක් කෙරෙන නිසයි. ඒ අනුව නීතිය මගීන් කෙසේ වෙනත් සම්මත සදාචාරයට එකඟ නොවන අන්දමට තමන් ගේ දරුවන්ටත් වඩා ළාබාල කාන්තාවක හා විවාහ වූ සමාජයේ පරමාදර්ශී පුද්ගලයකු තමන්ට හිමි ඒ නීතිමය හිමිකම සංයමයෙන් භුක්ති විදිය යුතුව තිබුණා. එසේ නොකොට තමන්ගේ ජනප්‍රියත්වය මුල්කොට ගත් ජනතා ඉල්ලීම් පදනම් කර ගනිමින් හෝ තමන්ගේ පෞද්ගලිකත්වය සමාජගත කිරීම නාන කාමරයේ හෝ නිදන කාමරයේ කරන ක්‍රියා එළිපිට සිදු කිරීමක් හැටියට යමකුට හඳුන්වන්නට පුළුවන්.

අපගේ බෞද්ධ සංස්කෘතික පදනම අනුව මව් පදවිය - පිය පදවිය කියන්නේ ඉතා උතුම් පදවි දෙකක්. මව් ගුණය, පිය ගුණය කියන්නේ මිනිස් සමාජය කියන මහා දියවර පෝෂණය කරන ප්‍රධානතම උල්පත් දෙක විදිහටයි අපේ සමාජය හඳුන්වන්නේ. ඒ දියවර පෝෂණය කරන ජලය තමයි සදාචාරය කියන්නේ. ඒ අනුව තමයි විවාහපත් වන තරුණ බිරිඳ, සැමියා මාතෘත්වයට, පීතෘත්වයට පත්ව වයසින් මුහුකුරා යත්ම ඔවුන් කෙරෙන් මව් පදවියට පිය පදවියට හිමි විශේෂ හැදියාවක් විනයක් සංවරයක් සමාජය බලාපෙරොත්තු වෙන්නේ. ඒ වගේම ඒ තැනැත්තා සමාජයේ පරමාදර්ශී චරිතයක් වීම තුළ ඔහුට සමාජය හමුවේ පොදු පීතෘත්වයක් ආරෝපණය වෙනවා. එවැනි වියපත් පුද්ගලයකු තමන්ගේ පෞද්ගලිකත්වය මුල් කර ගෙන සමාජය හමුවේ යෞවනයකු, මනමාලයකු සේ හැසිරීමෙන් එක් අතකින් තමන්ගේ පීතෘත්වයට වගේම සමාජ පරමාදර්ශී ප්‍රතිරූපයට බරපතල හානි පමුණුවා ගන්නවා. ඒ මගින් ගුණ නුවණින් යුතු දැන උගත් සමාජයේ ගර්හාවට අවමානයට ලක්වෙනවා.

මෙම විවරණය කළ මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා මහතා අවසානයේ මෙසේ ද කීය.

"නමුත් මේකේ තියන නරකම තත්වය සමාජයේ පරමාදර්ශී පුද්ගලයන් තමන්ගේ වයස තරාතිරම ගැන නොසිතා මේ විදිහට මව් - පිය පදවි හෑල්ලු කිරමින් මනමාල වෙස් ගැනීම ඔස්සේ සමාජ සහ ජීවිත පරිඥානයෙන් අඩු පුද්ගලයන් අන්ධානුකරණයට යොමු වීමයි. එමගින් සමාජයේ පැහැදිලි සදාචාර විපරිනාමයක් සිදු වීමට පැහැදිලි ඉඩක තියෙනවා. මෙවැනි කිසිම කෙනෙක් තමන්ගේ නිදන කාමරය හෝ නාන කාමරය සමාජ කරලියක් කරගත යුතු නැතැයි මා තරයේ අවධාරණය කරන්නේ ඉහත සඳහන් සමාජ විද්‍යාත්මක පසුබිම මුල් කර ගෙනයි.

දමයන්ති ගමගේ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.