Menu

logo new 2015-5-11

Shamrock-png

වෙනස පන ගනී

වෙනස පන ගනී

සති දෙකකට ඉහත පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී මිශ්‍ර අදහස් දැක්වීම්වලට අවකාශය සකසා දෙමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන්නේ තනතුරු වෙනසක් සිදුකෙරෙන තෙක් යළිත් කැබිනට් මණ්ඩල හමුවක් කැඳවෙන්නේ නොමැති බවය. එහෙත් පසුගිය සඳුදා උදෑසනම ඔහු, කැබිනට් ලේකම්වරයාට උපදෙස් දුන්නේ දින නියමයක් නොමැතිව කල් දැමුණු මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීම, එළැඹෙන දිනයේ එනම් අඟහරුවාදා දින පෙරවරු 10.00ට පැවැත්වෙන බව අමාත්‍යවරුන්ට දැනුම් දෙන ලෙසය.

තනතුරු වෙනසක් සිදුකෙරෙන තෙක් කැබිනට් මණ්ඩල හමුව දින නියමයක් නොමැතිව කල් දැමෙනු ඇති බව ජනපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය කණ්ඩායම සමග පෙර අවස්ථාවක දී පැවැති හමුවකදී ද ඉඟි කළේය. වෙසක් පොහොයට පෙර තමා කැබිනට් මණ්ඩල තනතුරු වෙනසක් සිදුකරන බවට පොරොන්දුවක් දී තිබූ බව ඔහු එහිදී කීවේය. එවන් තනතුරු වෙනසකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද අනුමැතිය පළකර තිබිණ.

මැයි 9 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල හමුවෙන් පසුව කැබිනට් ලේකම්වරයා සාමාන්‍ය පරිදි ඊළඟ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගැනෙනු ඇති කාරණා අන්තර්ගත න්‍යාය පත්‍රය, කැබිනට් අමාත්‍යවරුන් වෙත ලැබෙන්නට සැලැස්වීය. සාමාන්‍යයෙන් මෙවන් න්‍යාය පත්‍රයක ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙන දිනය හා වේලාව ද සඳහන් කැරෙන මුත් මෙම න්‍යාය පත්‍රයේ එවැන්නක් සඳහන්ව නොතිබිණ. ඒ වෙනුවට එහි තිබූයේ ඊළඟ කැබිනට් රැස්වීම පැවැත්වෙන දිනය, වේලාව සහ ස්ථානය නියමිත අවස්ථාවේ දී කැබිනට් ලේකම්වරයා අදාළ අමාත්‍යවරුන් වෙත දැනුම්දෙනු ඇත යැයි සඳහනකි. ඒ අනුව ජනපතිවරයාට එළැඹෙන අඟහරුවාදා කැබිනට් මණ්ඩල හමුවක් පැවැත්වීමට අවැසි වූ බැවින්, වහාම ක්‍රියාත්මක වූ කැබිනට් ලේකම්වරයා දුරකතන ඇමතුම් ඔස්සේ අමාත්‍ය කණ්ඩායම ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කළේය. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරු නොයෙක් අදහස් පළ කළහ. රැස්වීමට පෙර තනතුරු වෙනස සිදු කැරෙනු ඇතිදැයි, එසේත් නැතිනම් කිසියම් ප්‍රකාශයක් සිදුකැරෙනු ඇතිදැයි, ඇතැම්හු විමසූහ. එහෙත් පසුව ඔවුන් දරමින් සිටි මත වැරැදි බව පෙනී ගියේය.

අඟහරුවාදා කැබිනට් මණ්ඩල හමුවේ සාකච්ඡාවට ගැනීම සඳහා කරුණු 25කින් යුත් න්‍යාය පත්‍රයක් සකස් කර තිබිණ. එහි ඇතැම් කරුණු පහත දැක්වෙන අතර, එම කරුණුවල කිසිදු ආන්දෝලනාත්මක ස්වභාවයක් නොමැති බව මනාව පැහැදිලිය.

අප්‍රේල් 25 වැනිදා සහ අප්‍රේල් 7 වැනිදා පැවැති ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ රැස්වීම්වල වාර්තා අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ලබාගැනීම

1951 අංක 21 දරන පුපුරන ද්‍රව්‍ය පිළිබඳ ආඥාපත්‍රය සශෝධනය කිරීම - ආරක්ෂක අමාත්‍ය ජනපති මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව පිළිබඳ තොරතුරු එක්සත් ජාතීන්ගේ මුහුදේ නීතිය සම්බන්ධ ප්‍රඥප්තියේ කටයුතු භාර කාර්යාලය වෙත යොමු කිරීම - විදේශ අමාත්‍ය මංගල සමරවීර

සිවිල් ගුවන් ගමන්වලට භාවිතා කළ හැකි වන පරිදි මඩකළපුව ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම - ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

බත්තරමුල්ලේ රජය කාර්යාලවලට නම්‍යශීලී වැඩකරන වේලාවල් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය - මෙගාපොලිස් සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා ඉතාම වැදගත් වන වෙනස්කම් හඳුන්වාදීම ක්‍රමෝපාය සංවර්ධන සහ අන්තර්ජාතික වෙළෙඳාම් අමාත්‍ය මලික් සමරවික්‍රම

2017 පළමු කාර්තුවේ සැබෑ වියදම පිළිබඳ වාර්තාව - මුදල් අමාත්‍ය රවී කරුණානායක
නැවත රක්ෂණය විය හැකි වැඩපිළිවෙළක් හඳුන්වාදීම - කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක

ප්‍රසම්පාදන කටයුතු අදාළව සාකච්ඡා කිරීමට නියමිත දේ -
සාමසාධක කටයුතු සඳහා සන්නද්ධ ප්‍රවාහන රථ සපයා ගැනීම - ජනපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස

බෙන්තොට පිහිටි ජාතික නිවාඩු නිකේතනය නවීකරණය කිරීම - සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග

මාලේහි සාමසාධක කටයුතු සඳහා අවශ්‍ය සන්නිවේදන උපකරණ සපයා ගැනීම - ජනපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස

නොමිලයේ බෙදා දිය යුතු පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ වගකීම පෞද්ගලික මුද්‍රණ ආයතන වෙත ලබාදීම - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

පසුගිය සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීම විනාඩි 75කට සීමා විය. න්‍යාය පත්‍රයට පරිබාහිරව වෙනත් වැදගත් කරුණක් එහිදී සාකච්ඡාවට නොගැණින. රැස්වීම අවසානයේ ජනපති සිරිසේන අදහස් දක්වමින් ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය සහ එය මර්දනය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග පැවැත්වෙන හමුවකට සහභාගී වීමට තිබෙන හෙයින්, තමා පිටත්වන බව පැවැසුවේය. ජනපතිවරයා නික්ම ගිය පසුව ද බොහෝ අමාත්‍යවරු සිටියේ වික්ෂිප්තවය. රටේ සාමාන්‍ය ජනතාව හා සමානවම, කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු ද රජයේ ඉහළම මට්ටමේ ගැනෙන තීරණ සහ සිදුවන දේ ගැන නොදැන සිටියෝය.

ජනපති සිරිසේන ඊළඟ කැබිනට් රැස්වීමට දින නියම නොකළේ අගමැති වික්‍රමසිංහ චීනය බලා පිටත් වීමට පෙර මැයි 12 වැනිදා ජනපතිවරයා හා පැවැත්වූ සාකච්ඡාවේ දී ගැනුණු තීරණයක් නිසා විය හැකි බව ඇතැම් අමාත්‍යවරු විශ්වාස කළහ.

නියත වශයෙන්ම කැබිනට් තනතුරු වෙනසක් සිදුවන බව ස්ථීර යැයි රැස්වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ද අමාත්‍යවරු සහතික කළහ. එය වඩාත් පැහැදිලි වූයේ ඉරිදා ලංකාදීප පුවත්පත සමග ජනපති සිරිසේන පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු දක්වා තිබුණු අදහස් හමුවේය. තමා වෙසක් පොහොය දිනට පෙර කැබිනට් මණ්ඩල වෙනසක් සිදුකරන බව පැවැසීමෙන් අදහස් කළේ වෙසක් මාසය ඇතුළත එම කටයුත්ත සිදුකරන බව යැයි ජනපතිවරයා කියා තිබිණ. එනම් තවත් වචනවලින් කිවහොත් ඔහු පවසා තිබෙන්නේ කැබිනට් වෙනසට තව කාලය තිබෙන බවය.

කැබිනට් තනතුරු වෙනසක් සිදුවන බවට අනුමාන පළවන්නේ මෙම වසරේ ජනවාරි මාසයේ සිටමය.එවන් ප්‍රකාශ හමුවේ ඇතිවූ ආන්දෝලනය අවස්ථා කිහිපයකදීම වියැකී ගිය ද, ජනපති සිරිසේනගේම ඇතැම් ප්‍රකාශ නිසා ඒවා නැවත නැවතත් ඉස්මතු විය. ඔහු පක්ෂයේ නායකයා නිසාම බොහෝ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කැබිනට් වෙනසක් සිදුවන බව තරයේම විශ්වාස කළෝ ය.එම වෙනස අද (22) සිදුවන බව දැන් ස්ථීරය. පසුගිය සෙනසුරාදා (20) පෙරවරු 8.30 ට ජනපති ලේකම් කාර්යාලය වෙත සියලුම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කැදවීම ද සිදුවිය. කැබිනට් මණ්ඩල වෙනස සිදුවන බවත්, පෙර සිතා සිටියාට වඩා බරපතළ අයුරින් එය සිදුවනු ඇති බවත් ඉන් පැහැදිලි විය.ඇතැම් අමාත්‍යවරුන්ට ඔවුන් දරමින් සිටියාට වඩා වැඩි වගකීම් ලැබෙනු ඇති බවට ඉගි පළව තිබෙන අතර, මුදල්, වරාය සහ සන්නිවේදන අමාත්‍යංශය යනු එවැනි අවස්ථාවකට උදාහරණයකි.

අගහරුවාදා උදැෑසන පැවැත්වෙන කැබිනට් හමුවේ දී ජනපතිවරයා මෙම අලුතින් හැඩ ගැස්වෙන කැබිනට් මණ්ඩලය අමතනු ඇත. පෙර දී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පවසා සිටියේ කැබිනට් තනතුරු වෙනසක් සිදුකිරීමට ඉක්මන් විය යුතු නැති බවත්, වැඩ කිරීමට සහ තම හැකියාව පෙන්වීමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්ට අවස්ථාව ලබාදිය යුතු බවත්ය. එහෙත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු පසුව සිහිපත් කළේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව කිසිවකුගේවත් අදහස් විමසීමකින් තොරව කැබිනට් මණ්ඩල තනතුරු වෙනසක් සිදුකිරීමට ජනපතිවරයාට බලය පවරා දී තිබෙන බවය.

එදින සන්ධ්‍යාවේ ජනපති සිරිසේන නිල සංචාරයක් සදහා සිංගප්පූරුව හරහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත. එය ශ්‍රී ලංකා ජනපතිවරයකු එරට සංචාරයක නියැළෙන පළමු අවස්ථාව වනු ඇත. සැලසුමට අනුව මැයි මස 24 වැනිදා කැන්බරා නුවර දී ජනපති සිරිසේන ඕස්ටේ්‍රලියා අගමැති මැල්කම් ටර්න්බුල් සහ ආණ්ඩුකාර ශ්‍රීමත් පීටර් කොස්ග්රෝව් හමුවනු ඇත. ඔවුන් දෙදෙනට අමතරව තවත් ඕස්ටේ්‍රලියා රාජ්‍ය නායකයන් හමුවීමට නියමිත ශ්‍රී ලංකා ජනපතිවරයා එදින රාත්‍රිය ගතකරනු ඇත්තේ කැන්බරා නුවරමය එළැඹෙන දිනයේ තවත් නිල කටයුතු ගණනාවක නිරත වීමට ඔහු සිඞ්නි නුවර බලා පිටත්වනු ඇත. එදින රාත්‍රිය එනුවර ගතකිරීමට නියමිත ජනපතිවරයා, සිකුරාදා දිනයේ නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙනු ඇත. ජනපතිවරයා සමග ඕස්ටේ්‍රලියාව බලා යන දුත පිරිසට විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග සහ බලශක්ති හා පුනර්ජනනීය ශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා යන මහත්වරු ඇතුළත් වෙති. කෙසේවුවත් කැබිනට් තනතුරු වෙනසින් පසු මෙම දුත පිරිස ද වෙනස් වනු ඇතිදැයි පැහැදිලි නැත.

කැබිනට් තනතුරු වෙනසක් සිදුවන බවට පසුගිය මාස කිහිපයේ දී පළවු අදහස් හමුවේ සන්ධාන රජයට සැලකිය යුතු මට්ටමේ හානියක් සිදු වූ බව පැවසීමේ වරදක් නැත. එවන් අදහස් දැක්වීම් හමුවේ දේශීයව මෙන්ම විදේශීයව වාසය කරන ශ්‍රී ලංකා ජනතාව, රජයේ අර්බුදයක් ඇතිව තිබෙන බව මනාව වටහාගත්හ. මෙවන් අර්බුදයක් හමුවේ සන්ධාන රජයක් තනා ගැනීමෙන් අපේක්ෂිත වූ සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඉහළ දමා ගැනීම, ව්‍යාපෘති සදහා විදෙස් ආයෝජකයන් කැදවා ගැනීම, ආදියට යෙදවිය හැකි ශක්ති ප්‍රමාණය අතිශයින් අවමය. තවද රැකියා ලක්ෂ ගණනින් උත්පාදනය කිරීමට රජයට තිබූ සැලැස්මට මෙම තත්ත්වය හමුවේ එල්ල වන්නේ මරු පහරකි. එදා මැතිවරණ වේදිකාවේ දී මෙම පොරොන්දුව ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

පසුගියදා පැවැති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවක දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා, අඩුම තරමේ රැකියා 10ක් වත් ලබාදීමට රජයට නොහැකිව තිබෙන බව කියා සිටියේ ය.

රජයේ මෙම අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස රටෙහි ක්‍රමයෙන් ඇතිවෙමින් තිබෙන වාතාවරණය ද බරපතළය. නීතිය හා සාමය ක්‍රමයෙන් බිද වැටෙමින් පවතින අතර, අපරාධ හා මත්කුඩු අවභාවිතා කිරීම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මේ අතරට මාර්ග අනතුරු ද ඇතුළත් කළ යුතුය. පසුගියදා පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ කණ්ඩායමකට පිළියන්දල දී මත් ජාවාරම්කරුවන්ගේ වෙඩි පහරක් එල්ල වූ අතර, එහිදී එක් පොලිස් නිලධාරියෙක් මියගියේ ය. කණ්ඩායමේ අනෙක් සාමාජිකයෝ තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. තමන් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවල එළඹෙන්නේ යැයි වෘත්තිය සමිති තර්ජනය කරමින් සිටින්නේ ය.ඒ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇගවීමක් නිකුත් කරමින්, ඛනිජ තෙල් සංස්ථා වෘත්තිය සමිති ද ඇතුළුව එකම අදහස් දරන වෘත්තික කණ්ඩායම් හා එක්ව වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙන බව දන්වා ඇත.මේ සියල්ල මධ්‍යයේ කුඩා කණ්ඩායම් කිහිපයක් නැවත වරක් ජනවාර්ගික ගැටුම් ඇති කිරීමට උත්සාහ කරමින් සිටිති. මෙම ප්‍රවණතා ඉදිරියේ ශීඝ්‍රයෙන් පිරිහී යමින් තිබෙන රටේ විනය හමුවේ පෙනී යන්නේ රටේ පාලනයක් නොමැති බවක් යැයි රජයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු පිරිසක්ම අතිශය කනගාටුවෙන් අදහස් දැක්වූහ.

ආර්ථික වශයෙන් ද ඉතා දැඩි හා බරපතළ අභියෝග රජය හමුවේ ඇත. හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස ජනපති සිරිසේන, අගමැති වික්‍රමසිංහට උපදෙස් දුන්නේ පසුගිය සතියේය. එයට පදනම් වූ කරුණු පිළිබදව පසුගිය සතියේ දේශපාලන තීරුවෙන් මනාව විස්තර කැරිණ. ජනපතිවරයාගේ එම තීරණය ප්‍රධානම හේතුව වූයේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සකස් කැරුණු සහන ගිවිසුම අවසාන මොහොත දක්වාම ඔහුගේ අවධානයට යොමු කිරීමට අදාළ පාර්ශ්ව අපොහොසත් වීමය.

මෙම ගිවිසුම රටවල් දෙකක් අතර ඇතිකර ගැනෙන නෛතික බැදීමක් බැවින්, ශ්‍රී ලංකාවට අහිතකර යමක් එහි තිබුණහොත් ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව එයට පිළියම් සෙවිය නොහැකි නිසා, ගිවිසුම මනාව අධ්‍යයනය කැරෙන තෙක් අත්සන් තැබීම කල් දැමිය යුතුයැයි ජනපතිවරයාගේ තීරණය විය. ගිවිසුමේ අවසන් කෙටුම්පත සකස් කළෝ මලික් සමරවික්‍රම සහ සරත් අමුණුගම යන අමාත්‍යවරු දෙපළය.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය පිළිබද කැබිනට් උපකමිටුවේ සභාපති වන සරත් අමුණුගම පසුගිය දා පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී තම අමාත්‍ය සගයන් වෙත ලියවිල්ලක් ඉදිරිපත් කළ අතර එහි, දැනටමත් අනුමතව ඇති සහන ගිවිසුම, වරාය ව්‍යාපෘතිය පිළිබද කැබිනට් උප කමිටුවේ සාමාජිකයන් දැක්වූ අදහස් යටතේ, ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැක්වූ අදහස් යටතේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධරයන්ගෙන් සැදුම්ලත් ව්‍යාපෘති කමිටුව දැක්වූ අදහස් යටතේ, තවදුරටත් විවරණය කැරුණු බව සදහන් විය.

තාක්ෂණික හා වෙළෙද ක්ෂේත්‍ර හා සම්බන්ධ ගැටලු රැසක් සම්බන්ධයෙන් ඉතා දීර්ඝව සාකච්ඡා කැරුණු බවත්, එම ගැටලු සියල්ලට පාහේ සුදුසු පරිදි සොයා ගැනුණු විසදුම් ගිවිසුමට ඇතුළත් කැරුණු බවත්, තවත් ගැටලු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව හා එම සාකච්ඡාවලින් ඉක්මනින්ම එම ගැටලු වලට ද විසදුම් ලැබෙනු ඇති බවත්. එම ලියැවිල්ලේ සදහන්ය.

මෙම කටයුතු සම්බන්ධයෙන් පිළියෙළ කරගෙන ඇති වැඩ සැලැස්මට අනුව ගතහොත් දැනට අවසන්ව ඇති වැඩ කටයුතු අනුව එහි සාමාන්‍ය ප්‍රගතියක් දැකගත හැකි බව ද, වරාය කටයුතු පිළිබද ආයෝජකයා සහ වරාය අධිකාරිය අතර සිදුවිය යුතු සාකච්ඡාවල ප්‍රමාදයක් පැවතිය ද එම සාකච්ඡා දැන් පැවැත්වෙන බව ද, ඒ අතරම දෙපාර්ශවය අතර මුලින් ඇති කරගත් එකගතාවන්ට විරුද්ධව දැන් ශ්‍රී ලංකා වරාය සැලකිල්ලට ගතයුතුම වන බරපතළ මට්ටමේ කරුණු 12ක් ඉස්මතු කර තිබෙන බව ද, එම ලියවිල්ලේ වැඩිදුරටත් සදහන්ය.

චීනය බලා පිටත්ව යෑමට ප්‍රථමයෙන් එරට සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට නියමිත වූ ලියවිලි දෙකකට කැබිනට් අනුමැතිය ලබාගැනීමට ක්‍රමෝපාය සංවර්ධන සහ අන්තර්ජාතික වෙළෙදාම් අමාත්‍ය මලික් සමරවික්‍රමට වුවමනා විය. එයින් එකක් වූයේ ආයෝජන ප්‍රවර්ධන සහ ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් වන ගිවිසුමකි. මෙම ගිවිසුම පිළිබද විස්තරයක් පසුගිය සතියේ දේශපාලන තීරුවේ පළවිය. අනෙක වූයේ ආයෝජන, ආර්ථික කටයුතු සහ තාක්ෂණික සහයෝගීතාව සදහා දීර්ඝ කාලීන ආයෝජන සැලැස්මක් සකස් කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුමකි.

මෙම ලියවිලි ද්විත්වයටම කැබිනට් මණ්ඩලයේ අනුමැති හිමිවිය. එහෙත් පහත දැක්වෙන පරිදි කොන්දේසි දෙකක් ද පැනැවිණ.

නිල වශයෙන් ගිවිසුම්වලට ඇතුළු වීමට ප්‍රථමයෙන් ඉහත සදහන් වන ලැයිස්තුවේ ඇති, ආයෝජන, ආර්ථික, සහ තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කරගැනීම සදහා වන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සංවර්ධන සැලැස්ම සකස් කරගැනීමේ දී අවධානයට ගැනෙන ව්‍යාපෘතීන් අයත් විෂය පථයට අදාළ අමාත්‍යවරුන් ඉහත අරමුණු ප්‍රකාරව එම ව්‍යාපෘතින් සම්බන්ධව වෙනම කැබිනට් පත්‍රිකාවක්, කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනු ඇත.

ඉහත සදහන් අදාළ ව්‍යාපෘති සම්බන්ධව නිල වශයෙන් ගිවිසුම් අත්සන් තැබෙනු ඇත්තේ එම ව්‍යාපෘති කටයුතු අදාළ සියලුම පාර්ශවකරුවන්ගේ අදහස් හා එකගතාව අනුවය.

කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ මෙම කොන්දේසි සැලකීමේ දී ගිවිසුම් සකස් කිරීමට ප්‍රථමයෙන් එම ගිවිසුම් යටතේ වන ව්‍යාපෘති සම්බන්ධයෙන් අදාළ විෂය භාර අමාත්‍යවරුන්ගේ ආවරණය අනුමැතිය හෝ ලබාගැනීමට අමාත්‍ය මලික් සමරවික්‍රම කටයුතු කර නොමැති බව පැහැදිලිය. එවැනි තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ස්වෛරීභාවයට දැඩි බලපෑමක් එල්ලවිය හැකිව තිබිණ. හදිසියේවත් ගිවිසුමේ සදහන් පරිදි කටයුතු සිදුවන්නට නියමිත වූයේ නම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා කිසිදු අමාත්‍යාංශයක උපදෙස් හා මගපෙන්වීම ලබාගැනීමට අවශ්‍ය නොවේ. අනෙක් පසින් ආයෝජන, ආර්ථික කටයුතු සහ තාක්ෂණික සහයෝගීතාව සදහා දීර්ඝ කාලීන ආයෝජන සැලැස්මක් පිළිබද ඉදිරිපත් කර තිබූ ගිවිසුම බොහෝ දෙනා හමුවේ ප්‍රශ්නාර්ථයක් තැබීය. මෙම ගිවිසුම් සම්බන්ධයෙන් කිසිදු ලියවිල්ලක්, අධ්‍යනය කිරීම සදහා මහජනතාවට හෝ පාර්ලිමේන්තුවට හෝ මේ දක්වාම නිකුත් කර නොමැත.

දෙපාර්ශවය අතර අත්සන් තැබෙන ගිවිසුමේ එක් තැනක සදහන් වන, ගිවිසුම අත්සන් තැබුණු සමයේ පැවැති රජයේ පරිපාලනමය ක්‍රියාකාරීත්වය යටතේ ව්‍යාපෘති වෙනුවෙන් හිමි වූ අවසරය වෙනත් රජයක් බලයට පත්වුව ද, වෙනසක් සිදුනොවන බව සහතික කර කියා සිටින්නේ කෙසේදැයි පැනයක් මතුව ඇත. විවිධ රජයන් බලයට පත්වන විට පරිපාලනමය හා ප්‍රතිපත්තිමය වෙනස්කම් ද සිදුවන නිසා මෙවන් සහතිකයක් ලබාදෙන්නේ කෙසේදැයි මෙහි දී මතුව තිබෙන ගැටලුවයි. දැනට බලයේ සිටින රජය, ඉදිරියේ බලයට පත්වීමට නියමිත රජයන් වෙනුවෙන් දැන් තියාම පොරොන්දු දෙන බව රජයන් බලයට පත්වීමේ දී සිදුවන ප්‍රතිපත්තිමය හා පරිපාලනමය වෙනස්කම් පිළිබද දැනුම්වත් ආරංචි මාර්ගයක් සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය. ශ්‍රී ලංකාවෙන් බාහිර පාර්ශවයකට එවැනි සහතිකයක් ලබාදිය හැක්කේ කෙසේදැයි එම ආරංචි මාර්ගය විමසා සිටියේ ය.

ගිවිසුමේ ශ්‍රී ලංකා පාර්ශවය දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණය පවත්වාගැනීමට සහ තීරණ ගැනීම සම්බන්ධව යාන්ත්‍රණයක් හදුන්වාදෙනු ඇති බවට තිබෙන සදහනක් අරබයා ද ගැටලුවක් ඇත. පෙර සදහන් කළ ආරංචි මාර්ගය තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, මෙවන් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට තරම් ශ්‍රී ලංකාවේ දෙපාර්තමේන්තු පද්ධතිය ශක්තිමත් නොවන බවයි. මේ තත්ත්වය හමුවේ දෙපාර්ශවය අතර ඇති කර ගැනෙන ගිවිසුමේ දී අනිවාර්යයෙන්ම ඉහළ හැකියාවක් ඇති බීජිං පාර්ශවය උසස් මට්ටමක තැබෙනු ඇති බව එම ආරංචි මාර්ගය පැවසුවේ ය. අන්තර්ජාතිකව පිළිගත් තත්ත්වය වන්නේ සම්බන්ධීකරණය ඇති කරගත යුතු පාර්ශවයන් ද්විත්වය එකම ශක්ති මට්ටමක පැවැතිය යුතු බව යැයි එම ආරංචි මාර්ගය වැඩිදුරටත් කීවේ ය.

ගැටලුවට තුඩු දී ඇති තවත් කරුණක් වන්නේ සන්නිවේදන ක්ෂේත්‍රය අරබයා දෙපාර්ශවය අතර ඇතිකරගැනීමට නියමිත එකගතාවයි. මේ යටතේ ජන සන්නිවේදන, තොරතුරු තාක්ෂණ, ජංගම දුරකථන සහ ඩිජිටල් තාක්ෂණ ආදී සියලු ක්ෂේත්‍ර ආවරණය වේ. ජංගම දුරකථන ක්ෂේත්‍රය, තොරතුරු, තොරතුරු තාක්ෂණ, අන්තර්ජාල හා වෙනත් අදාළ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හුවමාරුවක යෙදීමටත්, අන්තර්ජාතික මට්ටමේ ආයතන සමග සම්බන්ධීකරණය වඩා ශක්තිමත් කිරීමටත්, නව තාක්ෂණික ක්‍රම සහ ඩිජිටල් තාක්ෂණ ක්‍රම ප්‍රයෝජනයට ගත හැකි පරිදි ශ්‍රී ලංකාවට අවශ්‍ය පුහුණුව ලබාදීමට සහ කුසලතා සංවර්ධනය කිරීමටත්, චීනය එකග වන බව ද, අන්තර්ජාතික මට්ටමේ තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන සේවා සපයන්නන් සමග අත්වැල් බැදගැනීමට දෙරටේම සමාගම් සදහා අවශ්‍ය සහය ලබාදීමට ශ්‍රී ලංකාව හා චීනය යන දෙපාර්ශවයම කටයුතු කරන බව ද, එම එකගතාව යටතේ සදහන්ය.

මෙම ගිවිසුමෙහි සදහන් වන තවත් වැදගත් කරුණු කිහිපයක සංක්ෂිප්තයක් පහත වේ.
21 වැනි සියවසේ මුහුදු සේද මාවත ගැඹුරින් සංකේතවත් කරමින්, සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගත් නිශ්පාදන සිදුකිරීමට සහ සංචාරක කර්මාන්තය ඉලක්ක කරගත් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට දෙරටම අත්වැල් බැදගනු ඇත. ශ්‍රී ලංකාවේ හෝටල ඉදිකිරීමට සහ ඒවායේ කළමනාකාර කටයුතුවල යෙදීම සදහා ආයෝජනය කිරීමට චීන සමාගම්වලට ඇවැසි සහය ද ලබාදෙනු ඇත.

නිවාස සංවර්ධන සහ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා සදහා චීන සමාගම්වල දායකත්වය ලබාගැනීමට ඇවැසි සහය ලැබෙන බව සහතික කිරීමට දෙපාර්ශවයම කටයුතු කරනු ඇත.

චීන ජාතිකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා උනන්දු කරවනු ඇති චීන පාර්ශවය, ඒ මාර්ගයෙන් චීන සංචාරක වෙළෙදපොළ ඉලක්කකරගත් සංවර්ධන කටයුතු දියත් කිරීම සදහා ශ්‍රී ලංකා පාර්ශවයට ආධාර කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවල ආයෝජනය කර ඇති චීන ආයෝජකයන්ගේ, නීතිමය අයිතිවාසිකම් සහ වුවමනාකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පාර්ශවය බැදී සිටී.ශ්‍රී ලංකා රජය සහ අදාළ ආයතන හෝ ආයෝජකයන් අතර ඇතිකර ගැනෙන සහන ගිවිසුම්, වාණිජමය ගිවිසුම් සහ අදාළ වෙනත් එකඟතා රජය වෙනස්වීම නිසාවෙන් හෝ, නීති පැනවීමක් හෝ ප්‍රතිපත්තිමය වෙනසක් නිසා හෝ, ගිවිසුම් අත්සන් තැබීමේ දී දෙපාර්ශවය එකග වූ පරිපාලනමය රාමුවට කිසිදු වෙනසක් සිදුනොවන බව ශ්‍රී ලංකා පාර්ශවය සහතික කරනු ඇත.

ඒකාබද්ධ සබදතා ඇති කරගැනීම මගින්, සහන ගිවිසුම් සහ වෙනත් සබදතා මගින්, වරායවල මෙහෙයුම් කටයුතු සහ කළමනාකාර කටයුතු වෙනුවෙන්, ගුවන්තොටුපොළ සහ වෙනත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කිරීමට දෙපාර්ශවයේම ආයෝජකයන් උනන්දු කැරෙනු ඇත.
වරාය ආශ්‍රිතව ඛනිජ තෙල් සහ ස්වභාවිත වායු ගබඩා ඉදිකිරීම සදහා, ඒවායේ ප්‍රවාහන කටයුතු සදහා, පිරිපහදු කටයුතු සදහා, සහ වෙනත් ව්‍යාපෘතීන් සදහා ආයෝජනය කිරීමට දෙපාර්ශවයේම ආයෝජකයන් උනන්දු කැරෙනු ඇත.

කෘෂිකර්මාන්තයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා, වැව් - ජල මාර්ග ආදිය සංවර්ධනය කිරීම සදහා, වගුරුබිම් ආශ්‍රිත වායු ජනනය කිරීමේ පද්ධති සහ වෙනත් පහසුකම් ඇති කිරීම සදහා, වන ආයෝජන අවස්ථාවල ආයෝජනය කිරීමට චීන සමාගම්වලට අවශ්‍ය සහය ලබාදෙනු ඇත.මේ මාර්ගයෙන් ශ්‍රී ලංකා කෘෂිකර්මාන්තයේ යටිතල පහසුකම් හි තත්ත්වය ක්‍රමයෙන් උසස් කැරෙනු ඇත.

දේශපාලන, අධ්‍යාපන, සංස්කෘතික, විද්‍යා, තාක්ෂණ, වෛද්‍ය සේවා සහ වෙනත් අංශවලට අදාළව කුසලතා හුවමාරුවක යෙදීමට, පුහුණුවීම් සහ වෙනත් සහය ලබාදීමේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට, ඒ මාර්ගයෙන් චීනය හා ශ්‍රී ලංකාව අතර කුසලතා හුවමාරුව සහ තාක්ෂණික පුහුණුව වඩාත් ගැඹුරු කිරීමට සහ සියලුම ක්ෂේත්‍ර ආවරණ වන පරිදි චීනය හා ශ්‍රී ලංකාව අතර වඩා ගැඹුරු මිත්‍රත්වයක් සහ විශ්වාසයක් ඇති කිරීමට ද චීන පාර්ශවය එකගය.

ගිවිසුම් දෙකෙන් ආවරණය කෙරෙන ව්‍යාපෘති කිසිවක් ඒකාබද්ධ මට්ටමෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති නොව ප්‍රමුඛතාව මත ලැයිස්තුගත කර ඇති ව්‍යාපෘති බව පැහැදිලිය. තවද මෙම ව්‍යාපෘති දියත් කිරීමට සැලසුම් කර ඇත්තේ හම්බන්තොට වරාය මෙන් චීනයේ ණය ලබාගැනීමන් වන අතර, ඒ හමුවේ රටේ ණය බර තවත් ඉහළට යනු නොවැළැක්විය හැකි වනු ඇත. ශ්‍රී ලංකාවේ චීන ජනහගණය තවත් ඉහළට නැංවීම ද ගිවිසුමේ එක් අරමුණක් බව පැහැදිලිය. බරපතලම කරුණ වන්නේ නව රජයක් බලයට පත් වූ පසු එම රජය ගන්නා ප්‍රතිපත්තිමය තීරණයන්ට අනුගත නොවී සිටීම සදහා අවසරයක් මෙම ගිවිසුම්වලින් චීනයට ලැබීමය.

මෙවන් ගිවිසුම් ඇතිකර ගැනීමෙන් ශ්‍රී ලංකාවට විය හැකි හානිය පිළිබද අධ්‍යයනයක් සිදුකිරීමට තරම් වුවමනාවක් අමාත්‍ය මලික් සමරවික්‍රමට තිබී නැති ද? මේවා ඔහුගේ වුවමනාවන් මත සකස් කැරුණු ගිවිසුම් ද? කමිටුවක් හෝ වෙනත් විද්වත් කණ්ඩායමක් හෝ මෙම ගිවිසුම්වල අන්තර්ගතය විමසුමට ලක් කළා ද? පැහැදිලිව පෙනී යන කරුණ වන්නේ කැබිනට් මණ්ඩල සාමාජිකයන් බහුතරය ඔවුන්ට අධ්‍යයනය කිරීම සදහා දෙන ලියැවිලිවලට වැඩි අවධානයක් යොමු නොකිරීමේ සාමාන්‍ය පිළිවෙත මෙම ගිවිසුම් සම්බන්ධයෙන් ද අනුගමනය කර ඇති බවය. මෙම ගිවිසුම් වරක් අධ්‍යයනය කිරීමෙන් පමණක් රටේ ආර්ථිකයේ සෑම කටයුත්තකදීම චීනයේ මැදිහත් වීම සහතික කර තිබෙන බව මනාව පැහැදිලි කරගත හැකිය.

මෙවන් ගිවිසුම් ඇතිකරගැනීම ශ්‍රී ලංකාවට අනෙක් කලාපීය රටවල් සමග, විශේෂයෙන් ඉන්දියාව සමග, ඇති සබදතාවලට කුමන බලපෑම් එල්ල කරනු ඇති ද? දැනටමත් ඉන්දියාව හා අත්සන් තැබීමට නියමිත එක්ටා ගිවිසුමට එරෙහිව මහත් ආන්දෝලනයක් රටෙහි ඇතිව තිබේ. එහෙත් චීනය හා අත්සන් තැබෙන මෙම ගිවිසුම් ද්විත්වයෙන් ප්‍රතිඵල වන විපාක වඩා පුළුල් මෙන්ම ගැටලු රැසක් මතු කිරීමේ සමත්ය. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සැලකුවහොත් එහි ගිවිසුම සම්බන්ධයෙන් නැවත නැවතත් ගැටලු මතු වූ අතර, එසේ ගැටලු මතුවූයේ කැබිනට් මණ්ඩලය එම එක් එක් අවස්ථාවේ ගිවිසුමට අනුමැතිය ලබාදීමෙන් පසුව වීම ද විශේෂය. එනම්, කැබිනට් මණ්ඩලය හම්බන්තොට ගිවිසුම පවා මනා අධ්‍යයනයකට ලක්කර නොමැති බව එයින්ම පැහැදිලිය. මේ අතරම දැන් චීනය හා තවත් ගිවිසුම් දෙකකට එළැඹිීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. පාලනයක් පවත්වාගැනීමට කොන්දේසි දෙකක් ඇතුළත් කිරීමට කටයුතු කෙරුණ ද, එම කොන්දේසිවලින් බලාපොරොත්තු වන අරමුණ ඉටුවනු ඇතිදැයි සැකය. අනාගතයේ විනාශයට තුඩුදෙන ඇතැම් එකගතා බහුතරයකගේ අවධානයට ලක්වීමට ඉඩනොදී සැගවෙනු ඇතැයි ඇතැම් අමාත්‍යවරු බියපත්ව සිටිති.

කැබිනට් තනතුරු වෙනසින් පසුව ද ජනපති සිරිසේන හමුවේ ඇති අභියෝගවල අඩුවක් සිදුනොවනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනපතිධූරය අහෝසි කිරීමට එරෙහිව පෙනී සිටින අතර, ඒ යටතේ ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතුවල නියැළී සිටින මෙහෙයුම් කමිටුවක් ඉදිරිපත් කර ඇති නිර්දේශය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථා කමිටුවේ අවධානයට ලක්කිරීම සදහා වන විශේෂ රැස්වීමක් අද (22) ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට නියමිතය. නිමල් සිරිපාල ද සිල්වා ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාපා, ජෝන් සෙනෙවිරත්න, සරත් අමුණුගම සහ ලසන්ත අලගියවන්න සහභාගීවීමට නියමිතය.

රජයේ පාලන කටයුතු සම්බන්ධයෙන් ද ජනපති සිරිසේනට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුව තිබේ. මුහමාලේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු අගමැතිවරයාට සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතාට දැනුම්දුන්නේ පසුගිය සිකුරාදාය. කැබිනට් තනතුරු වෙනසින් පසු යෙදෙන ඕස්ටේ්‍රලියා සංචාරය නිමවා දිවයිනට පැමිණෙන ජනපතිවරයාට අනතුරුව ගිමන් හැරීමට කිසිදු අවස්ථාවක් නැත. රට පාලන කටයුතුවලට ඔහු සම්පූර්ණ අවධානය යොමුකළ යුතුමය.

සන්ඩේ ටයිම් දේශපාලන ලිපියේ පරිවර්තනය - පරිවර්තනය - කෝවිද ගුණසේකර

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.