Menu

logo new 2015-5-11

Shamrock-png

මුදල් ඇමති මංගල වෙත ,

මුදල් ඇමති මංගල වෙත ,

අභිනව ජනමාධ්‍ය සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙතය.

මේ ලියමන ‘තෙරුවන් සරණය’ සිට ‘සුභ අනාගතයක්’ දක්වා වන ආශීර්වාදයෙන් ආරම්භ නොකළේ හේතු ඇතුවය. ඉන් ප්‍රධාන හේතුව නම් කොතරම් බලවත් අමාත්‍ය ධුරයක් ලබා සිටියත් මෙරට ආර්ථිකය පත්ව ඇති තත්ත්වය අනුව ඔබට හිතේ සහනෙන් නිදාගන්නවත් ඉඩක් නැති වන බව ටක්කෙටම පැවසිය හැකි නිසාය.

ඇමැතිතුමනි, ඔබ මුදල් අමාත්‍යවරයා වන්නටත් ඒ වෙනුවෙන් වන කැබිනට් සංශෝධනයේ දී ‘රවී මාරුව’ සිදු කළේ මන්ද යන්න සහ ඒ වෙනුවෙන් හාත්පස නිර්මාණය වුයේ කෙසේද යන්නත් ගැන ඔබට අමුතුවෙන් කිවයුතු යයි අප සිතන්නේ නැත. අප අදහස නම් ඔබ ඒ ගැන ඇති තරමට දැනුවත්ව ඇති බවය.

අනෙක් අතට මේ මොහොතේ මංගල මුදල් ඇමැති වන්නේ ඔබ සතු හසල මූල්‍ය සහ ආර්ථික දැනුමට වඩා ‘මංගල නමට හොරකම් නැති නිසා’ බව සක්සුදක්සේ පැහැදිලිය. ඒ බව කවුරුත් දන්නා නිසා ගහ දන්නා අපි අපිට අපි අපිම කොළ කඩාගත යුතු නැත. ඒ අනුව දැන් ඇත්තේ මංගලට වැඩ කරන්නටය. විශේෂයෙන්ම රජයේ ආදායම් පාර්ශ්වය වැඩි කොට පෙන්වීමේ අභියෝගය ඔබ හමුවේ ඇත. ඉතින් රජයේ ආදායම් ඉපයීමේ ප්‍රධාන වැඩ කොටස හිමි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එහිදී ඔබට අතිශය තීරණාත්මක වනු නිසැකය. එහෙයින් ඒ ගැන වගකීම් සහිත අනාවරණයක් කරන්නට අපට සිත්විය.

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියේ වසන්ති මංචනායක ය. එහෙත් ඇගේ සැමියා ගාමිණී සෙනරත්ගේ විශ්වවිද්‍යාල කණ්ඩායමේ කෙනකු වීම හා ව්‍යාපාරික සගයකු වීම මත ඒ අවස්ථාව මංචනායක මහත්මියට අහිමි විය. ඒ යහපාලනයේ ආරම්භක සමයේ ඇයව ඉවත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව තුළින්ම ආ බලපෑම හමුවේ ය. පසුව එම තනතුරට පත් කරන ලද්දේ කල්‍යාණි දසනායක ය. ආයතනයේ ජ්‍යේෂ්ඨත්ව අනුපිළිවෙළින් එම තනතුර දසනායක මහත්මියට ලැබීම ගැන තර්කයක් නැත. එහෙත් ඊට වඩා කල්‍යාණි නෝනා යහපාලන ආණ්ඩුවේ ටයිකෝට් දාන ඇමැතිවරයකුගේ බිරිඳකගේ ළඟම හිතවතියක් වීම අදාළ තනතුර ලැබීමට තවත් සුදුසුකමක් වූ බවට ද කතා ඇත. ඒ කතා ඇත්ත කළේ අප නොව කල්‍යාණියගේම හැසිරීමය. සැබවින්ම කොහොඹ ගසේ කරවිල වැල ගියාට වඩා වැඩි වෙනසක් එහි දී දක්නට ලැබුණේම නැත.

මේ ලියන්නේ ඒ ගැනය.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ වංචාසහගත ක්‍රියාකලාපය හේතුවෙන් බදු එකතු කිරීමේ සිට සාමාන්‍ය පරිපාලනය දක්වා වූ සියලු කටයුතු බරපතළ ලෙස බිඳ වැටී ඇතැයි පළමුවරට හෙළිකරන්නේ දේශීය ආදායම් සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින්ය. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඇතුළු ඉහළ කළමනාකාරිත්වය ව්‍යවස්ථාමය හා රෙගුලාසිමය අවශ්‍යතාවලට අනුකූලව කටයුතු නොකිරීමෙන් මේ අර්බුදකාරී තත්ත්වය උද්ගතව ඇති බව එහි දී ජනාධිපති අගමැති සහ විෂය භාර ඇමති ඇතුළු වගකිව යුත්තන් දැනුවත් කෙරුණත් ඊට අදාළ කිසිදු පියවරක් ගැණුනේ නැත.

සැබැවින්ම අනතුරුව අප ද සිදු කළ සොයා බැලීම්වල දී හෙළි වූයේ බදු ලිපිගොනුවල විගණන සහ විමර්ශන කටයුතු ප්‍රමාද කිරීම, බදු ගෙවන්නන්ගේ නියම ආදායම් මාර්ග සැඟවීම, ගෙවිය යුතු ප්‍රමාණයට වඩා අඩුවෙන් බදු අය කිරීම, මහා පරිමාණ සමාගම්වලින් බදු අය කරගැනීම හිතාමතාම ප්‍රමාද කිරීම සහ සමාගම්වලින් බදු අයකර ගැනීම අනියම් එකඟතා මත සැඟවීම දේශීය ආදායම් සේවාවේ බිඳවැටීමට අදාළව සැලකිය යුතු සෘජු මැදිහත්වීම් ප්‍රමාණයක් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඇතුළු ඇය මත යැපෙන නඩය හරහා සිදුවන බවය.

මේවා නිකං කතා පමණයි කියා ඉවත දැමිය හැකි වුවත් වත්මන් කොමසාරිස් ජනරාල්වරියගේ අත්තනෝමතික සහ වංචාසහගත ක්‍රියා කලාපය ගැන ඕනෑවටත් වඩා සාක්ෂි අප සතුය. එසේම අප ඒවා අවස්ථා කිහිපයකදීම හෙළිකරන්නටද කටයුතු කර ඇත. මේ ඊට නිදර්ශනය. වර්තමානය ගොඩනගන්නේ ඉතිහාසය විසින් බව අප විශ්වාසය වන බැවින් දේශීය ආදායමේ මහතැන ගැන ද ඉතිහාසයේ පටන් නිදර්ශන ගෙනෙන්නට අපට සිත්විය.

1. 2013 වසරේ දී රුපියල් මිලියන 50 ක අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ද කල්‍යාණි දසනායක මහත්මියට චෝදනා එල්ල වී ඇත. ඒ ප්‍රකට මෝටර් රථ ව්‍යාපාරික ආයතනයක් වන විල්ස් ලංකා ආයතනයෙන් අයකර ගත යුතුව තිබූ වැට් බදු සම්බන්ධයෙනි. මේ සම්බන්ධයෙන් එවකට දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් කේ. ජී. ජේ. එන්. දේශප්‍රිය එවකට සිටි කොමසාරිස් ජනරාල් වසන්ති මංචනායකට ලිඛිතව පැමිණිලි කළ නමුත් ඒ යටපත් කෙරිණි. එම ලිපි ගොනු අංකය TIN 114146889 වන අතර ඒ භාරව තිබුණේ ද විශාල බදු ගෙවන්නන්ගේ අංශයේ ප්‍රධානී කල්‍යාණි දසනායක සතුවය. විල්ස් ලංකා සමාගම වසර 7 ක් තිස්සේ බදු මුදල් ගෙවීම පැහැර හැර තිබිය දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම ආයතනයට එරෙහිව තක්සේරු දැන්වීමක් පිළියෙළ කර හිඟ බදු අත්පත් කර ගැනීමට කටයුතු සම්පාදනය කළ ද දිසානායක මහත්මිය විසින් මිලියන 50 ක සන්තෝසමක් ගෙන ඒ වැළැක්වූ බවට මේ චෝදනාව ඉදිරිපත් විය. විල්ස් සමාගම තමන්ට ව්‍යාපාරයෙන් පාඩු බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මෙසේ බදු මුදල් ගෙවීම පැහැර හැර තිබූ නමුත් එම සමාගම මිලියන දහස් ගණනින් ව්‍යාපාර කටයුතු සිදු කර තිබූ බව ද හෙළි කර ගැනීමට දේශීය ආදායම් නිලධාරීන් සමත්ව තිබිණි. මෙලෙස රටට අහිමි වූ බදු මුදල මිලියන සිය ගණනක් දහස් ගණනක් හෝ විය හැකිය. එහෙත් ඒ ගැන වත්මන් යහපාලනයෙන් ද විමර්ශන නැත.

2. ප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයකුගේ කැසිනෝ සමාජ ශාලාවලට අදාළව 2010 වසරේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වැට් බදු මුළුමනින්ම අත්හිටුවීමට තීරණය කිරීම. ඒ අනුව TIN - 409235220 - 7000 බදු ලිපි ගොනු අංකය යටතේ, අංක 6492075 යටතේ පළමු කාර්තුව, අංක 6492076 යටතේ දෙවන කාර්තුව සහ අංක 6492731 යටතේ තෙවන කාර්තුව සඳහා වන ලිපි ගොනු ප්‍රකාරව ගෙවිය යුතු වැට් මුදල් කපා හැරීම සිදු කර ඇති අතර ඒද වත්මන් කොමසාරිස් ජනරාල්වරියගේ මැදිහත්වීම ඇතිවය.

3. ලලිත් කොතලාවල මහතා සතුව තිබූ එෆ් ඇන්ඞ් ජී. පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක පත්වීමට උත්සහ කිරීම.

4. මේ කාරණා පිළිබඳව අප හෙළි කළ කාරණා අප පුවත්පතේ නිල වෙබ් අඩවියේය http://sathhanda.lk/business/2504-2016-08-10-05-21-01 සහ http://sathhanda.lk/feature/2579-2016-08-19-05-27-58 මෙන්ම http://sathhanda.lk/feature/2603-2016-08-23-05-00-52 සහ http://sathhanda.lk/feature/3686-2017-01-28-19-08-54 යන සබඳතා ඔස්සේ දැනගන්නට පුළුවන.

5. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක 2014 - 2015 තක්සේරු වර්ෂයේ කෝටිපති ව්‍යාපාරික ලක්ෂ්මන් බාලසූරියගේ නමට ^Sporting Times Turf Accountants and Kandy Lake Club& ස්පෝර්ටින් ටයිම්ස් හී ආදායම් බදු එකතු කිරීම වෙනුවෙන් වන ලිපිගොනුව ඇස්තමේන්තු තක්සේරු නිකුත් කිරීම අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කර ඇත. 2017 ජනවාරි 16 වනදා CGR /2017/3 - 1දරන එම නියෝගය නිකුත් කර තිබෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයටය. එකී අත්හිටුවීමේ නියෝගයට අදාළ ආදායම් බදු ලිපිගොනුවේ අංකය වන්නේ 86/9002 - 03 ය. ඒ හරහා එක් තක්සේරු වර්ෂයක් සඳහා රුපියල් බිලියන 2 කට ආසන්න බදු මුදලක් රටට අහිමිව යන අවදානමක් පැනනැග ඇති අතර අප ඒ බව ද සවිස්තරාත්මකව මීට පෙර හෙළිකර ඇත. http://sathhanda.lk/feature/3833-2 යන සබඳතාව ඔස්සේ අප පුවත්පතේ වෙබ් අඩවිය හරහා ඒ කියවීමට හැකියාව ඇත. එසේම මේ වන විටත් අප වෙත වාර්තා වී ඇති ආකාරයට වත්මන් කොමසාරිස් ජනරාල්වරිය එම විමර්ශන නිලධාරීන් වෙත බලපෑම් කරමින් සිටියි.

6. රුපියල් 10,000කට වඩා දුරකථන ගාස්තු ගෙවන ග්‍රාහකයන්, අලුතින් වාහන මිලදී ගන්නා පුද්ගලයන්, සුපිරි නිවාස සංකීර්ණවල නිවාස මිලදී ගන්නන්, මාසිකව ක්‍රෙඩිට් කාඞ් බිල රුපියල් ලක්ෂය ඉක්මවන්නන් කැඳවා ඔවුන් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දඩ ගසන බවට තැරැව්කරුවන් හරහා බිය ගන්වමින් කප්පම් ගන්නා මාෆියාවක් ක්‍රියාත්මක කිරීම. මේ සම්බන්ධව ද අප විශේෂ හෙළිදරව් කිරීමක් සිදුකර ඇති අතර ඒ ද අප පුවත්පතේ නිල වෙබ් අඩවියේ වන http://sathhanda.lk/news/4076-2017-04-08-04-55-36 සබඳතාව ඔස්සේ කියවා ගැනීමට අවස්ථාව ඇත.

ඉතින් අභිනව මුදල් අමාත්‍යතුමනි සමස්ත රාජ්‍යයේ බදු ආදායම් එකතු කරන ආයතනයේ ලොකුම පුටුවේ කෙරුවාව කෙසේද යන්න තේරුම් ගන්නට ඔබට මේ නිදර්ශන කිහිපය වුවත් ප්‍රමාණවත් වනු ඇත. තවත් මේ ගැන නිදර්ශන අවශ්‍ය නම් ඔබ කළ යුතුව ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවංක සේවකයන් කැඳවා මේ ගැන වැඩිදුරටත් විමසා බැලීමය. එහෙත් ඒ මේ වන විටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීයමය තත්ත්වය වෙනුවෙන් කැපවීමට ගොස් ඒ නිසාම පරිපාලන දඬු අඬුවට හසුවී සිටින එම නිලධාරීන්ව කබලෙන් ලිපට දමන්නට නම් නොවේය. අප ඒ බව ද ලියා දන්වන්නේ මේ වන විට කල්‍යාණියගේ උදහසට ලක් වූ විට ඒ සේවකයන්ට අත්වන ඉරණම ගැන ද අප හොඳින්ම දන්නා නිසාය. දේශීය ආදායම ඔසවා පොළොවෙ ගසන්නට කල්‍යානිට කොහෙන්ද හයියක් මෙතරම්? යන ශීර්ෂයෙන් යුතුව අප ඒ ගැන ද හෙළිකර ඇති අතර අවශ්‍ය නම් අප පුවත්පතේ http://sathhanda.lk/feature/3686-2017-01-28-19-08-54 සබඳතාව ඔස්සේ ඒ ගැන දැනුවත් වන්නට පුළුවන.

මේ අයුරින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුව ඉහළ තනතුරු දරන නිලධාරීන් කල්ලියක් සමඟ වංචනිකව ඒකරාශී වී සිදුකර ඇති දූෂණ, මුදල් රෙගුලාසි සහ ආයතන සංග්‍රහයේ නියාමන නොතකා හැරීම්, කලට වේලාවට ආදායම් රැස් කිරීම ප්‍රමාද කිරීම ඇතුළු කාරණා රාශියක් පෙන්වා දෙන්නට පුළුවන. සමහර විට මේ දවාලේ යහපාලනය යටතේ එවැනි දෑ සිදුවූවා දැයි ඔබ විශ්වාස නොකරන්නට ද පුළුවන.

ඉතින් ඇමතිතුමනි, යහපාලන ආණ්ඩුවෙන් මංගලට මුදල් අමාත්‍යංශය දුන්නේ වැඩක් කර පෙන්වන්නට නම් දැන් ඔබට අවස්ථාව උදාවී ඇත. එසේම හොරකම් නොකළ මංගලට එවැනි ඉතිහාසයක් මෙන්ම වර්තමානයක් ද ඇති බව පෙන්වා දෙන්නට ඔබට අවස්ථාව ඇත. මේ කාරණාවලට අදාළ ලිඛිත සාක්ෂි රැසක් අප සතු බැවින් අවශ්‍ය නම් ඒවා ද ඉදිරිපත් කරන්නට අප සුදානම්ය. එතෙක් “මංගල ඇමැතිතුමාටත් පිදුරු වේළන්න මතක් වෙන්න හෙණ ගහලා වහින්නට වෙයිද” යන ඇස ඔබ දෙසට විවරව ඇති බව දන්වමින් දැනට නවතිමි.

සංජය ලියනගේ
සත්හඬ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.