Menu

logo new 2015-5-11

Shamrock-png

ගිලෙන අයගේ දේශපාලනය – සී.ජේ.අමරතුංග

ගිලෙන අයගේ දේශපාලනය – සී.ජේ.අමරතුංග

අධික වැස්ස නිසා ඇති වූ ජලගැලීම් හා නායයාම් තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට සියලු දෙනා එක්සත්වීම පැසසිය යුතු තත්ත්වයකි. විවිධ දේශපාලන මතභේද තිබුණද සියලු දෙනා කීවේ ජාතික ව්‍යසනයකදී සියලු භේද දුරලා ක්‍රියාත්මක විය යුතු බවයි. එසේ වුවද ඒ අතරේ විවිධ අසත්‍ය ප්‍රචාර යවමින් ආණ්ඩුව අප්‍රසාදයට පත්කිරීමේ උත්සාහයක්ද ක්‍රියාත්මක වූ බවද අමතක කළ නොහැකිය. විදුලි බලාගාර ජලාශවලින් එකවර ජලය මුදාහැර ඇති බව, නිල්වලා ග‍ඟේ ආරක්ෂක බැම්ම කඩා ඇති බව ආදී මෙකී නොකී අසත්‍ය තොරතුරු අන්තර්ජාලයෙන්, කටකතා මගින් හා වෙනත් ආකාරවලින් ප්‍රචාරය විය.

වරෙක දකින්නට ලැබුණේ තත්ත්වය වඩා බිහිසුණුකොට පෙන්වීමේ උත්සාහයකි. පාර්ලිමේන්තුවද යටවී ඇතැයි යන්න එබඳු එක් ප්‍රචාරයකි. එයින් ඒ අවට ප්‍රදේශවල පදිංචි ජනයා මෙන්ම දුර බැහැර සිටින ඥාතීහුද කලබලයට පත්වන්නට ඇති බවට සැකයක් නැත.

මෙබඳු ප්‍රචාර කුමන අරමුණකින් කළ ද ඒවායේ බලපෑම විනාශකාරී බව කිව යුතුය. මෙබඳු බොරු ප්‍රචාර යනවිට මහජනයාට සැබෑ අනතුරු ඇඟවීමක් කළද නොතකා හරින තත්ත්වයක් මතුවිය හැකිය. එවිට සිදුවන්නේ ජීවිත හා දේපළ විනාශ වීමයි. මේ අවස්ථාවේදීද විනාශය වැඩිවීමට හේතුවූයේ ජලගැලීම් හා නායයාම් ගැන අවධානයෙන් සිටින ලෙස කල්තියා කර තුබූ අනතුරු ඇඟවීම් ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වීමයි.

තවත් පිරිසක් උත්සාහ කරමින් සිටින්නේ මේ විපත මිනිසාගේ නිර්මාණයක් බව කියන්නටය. එනම් සංවර්ධන ක්‍රියාවලියට පහර ගසන්නටය. සංවර්ධන ක්‍රියාවලියේ ද ඇතැම් වැරදි නිසා මෙන්ම ජනගහණය වැඩිවීම නිසාද සිදුවූ විපතේ ප්‍රමාණය වැඩි වූවා විය හැකිය. එසේ වුවද මෙය සංවර්ධන ක්‍රියාවලියේම ප්‍රතිඵලයක් බව කීම අන්තවාදී වීමකි.

අනුරපුර ගංවතුර

මෙබඳු ව්‍යසන අතීතයේදී ඕනෑතරම් සිදුවී ඇති බවට තොරතුරු ඇත. 1957 දී ඇති වූ මහා ගංවතුර නිසා අනුරාධපුර නගරය යට වූ අයුරු එහි සිංහ කුළුණ අසල බිත්තියක සටහන්කොට ඇති ජල මට්ටමෙන් දැකගත හැකිය. එය රටේ විශාල ප්‍රදේශයකට බලපෑ ජල ගැල්මකි. ඒකාලයේ මෙතරම් ආන්දෝලනයක් සිදු නොවූයේ ඒ සඳහා සන්නිවේදන මාර්ග නොතිබූ නිසා විය හැකිය. අද තිබෙන නිදහස් ජනමාධ්‍ය එදා නොතිබුණි. තිබුණේ රජයේ ගුවන් විදුලියත්, පුවත්පත් කිහිපයකුත් පමණි. ගම්වල ජනයාට ගුවන් විදුලි යන්ත්‍ර තිබුණේ නැත. පුවත්පත් කියවන්න තරම් බොහෝ දෙනාට සාක්ෂරතාවයද නොතිබිණි.

අද තරම් පුළුල් රාජ්‍යතන්ත්‍රයක්ද එදා තිබුණේ නැත. ගම්වලින් තොරතුරු ලැබීමේ මාර්ගද සීමා සහිත විය. දුරකථන ඇමැතුමක් ගන්නටද පැය ගණන් බලාසිටිය යුතු විය. එම පහසුව පවා තිබුණේ ප්‍රධාන නගරවලට පමණකි.

ඊටත් අතීතයට ගියහොත් තත්ත්වය වඩාත් නරකය. රත්නපුර දිස්ත්‍රික්කයේ ඉලුඹකන්ද ගමට ගිය අවස්ථාවක මෙම ලියුම්කරුට දැනගන්නට ලැබුණේ එම මුළු ගමම වසර සියයකට පෙර අවස්ථාවක නායයාමට ලක් වූ බවයි. ගමෙන් ඉතිරි වූයේ එක් පවුලක් පමණකි. ඒ ඔවුන් මගුල් ගෙදරකට සහභාගීවීමට ගොස් සිටි හෙයිනි. නායගොස් යට වූ සිරුරු සොයන්නට අද මෙන් ත්‍රිවිධ හමුදාව හෝ ශක්තිමත් රාජ්‍ය සේවයක් නොතුබු බව පැහැදිලිය. ඒ කාලයේ මෙබඳු නායයාම් අනන්තවත් සිදුවන්නට ඇත. ඒවායේ තොරතුරු ඇත්තේ ස්වල්ප වශයෙනි.

අප රටේ වසර දහ හතරක් පැවැති බව කියන ‘බැමිනිටියා සාය’ නම් සාගතය තුබුණේ වලගම්බා රජුගේ කාලයේය. ඒ කාලයේ මේ සංවර්ධනය නොතුබූ බවත් ගෝලීය උණුසුමට හේතුවන වායු මුදාහැරීම සිදු නොවූ බව කැලෑ කැපීමද දරුණු නොවූ බවත් අමුතුවෙන් කිව යුතු නැත.

දින හතක් පවතින මුරුගසන් වරුසාවෙන් ලෝකය විනාශවන බවට කතාවක් ඇත. එයින් ගම්‍ය වන්නේ ලොවට විශාල විනාශයක් කරන වැසි ගැන මහජනයාට අත්දැකීම් තුබූ බවයි. එබඳු වැස්සක් එක දිගට දින හතක් පැවතීමෙන් ලෝක විනාශය වන බවට විශ්වාසයක් ගොඩනැගීමට හේතුව එය විය යුතුය.

විවිධ කාලවල ඇති වූ සාගත තත්ත්ව ගැන තොරතුරු ඉතිහාසයේ සඳහන් ය. ඒ කිසිවක් මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වූ දේ නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

ලෝකයේ සත්ත්වයන් බිහි වූ පසුව නොයෙක් කාලවල අධික උෂ්ණ යුග හා ශීතල යුග පැවැති බව විද්‍යාඥයෝ කියති. ඒවාට නොයෙක් හේතු තිබිය හැකිය. ඩයිනසෝරයන් වඳවී යාමට ද හේතුව එවැන්නක් බව කියති. එය කෙසේවත් මිනිස් ක්‍රියාකාරකම් නිසා විය නොහැක්කේ ඒ වනවිට මිනිසා මිහිමත බිහි වී නොසිටි හෙයිනි.

තේරුම්ගත යුතු කාරණය නම්, නියඟය, වැස්ස, ජල ගැලීම්,නායයාම්,භූ කම්පන, සුනාමී ආදී සියල්ල ස්වභාවික සිදුවීම් බවය. මේවා නවතන්නට මිනිසාට හැකියාවක් නැත. එසේ නැත්නම් කිව හැක්කේ ඒවා නවතන්නට තරම් මිනිසා තවමත් දියුණු නැත කියායි. කෙසේ වෙතත් විපතේ ප්‍රමාණය අඩු වැඩි වීමට මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑමක් තිබිය හැකිය. ඒ ගැන උනන්දුවීමත් එමගින් විපත් අවම කරගැනීමත් අවශ්‍යය.

පහත්බිම් ගොඩකිරීම, ජලය බැසයන මාර්ග අවහිර කර ඉදිකිරීම ආදිය ජලගැලීමේ විපත වැඩිකිරීමට හේතු වූ බව වාර්තා වී ඇත. එවැනි ක්‍රියා පසුගිය කාලයේ සිදුවූයේ අත්තනෝමතික ආකාරයෙනි. බොහෝවිට එබඳු ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූයේ ද නැත. ඒ එවැනි ක්‍රියා දේශපාලන බලවතුන්ගේ අනුග්‍රහය මත සිදු වූ හෙයිනි. ඇතැම් විට දේශපාලනඥයන්ගේ අත්‍තනෝමතික තීන්දු තීරණ නිසා ද මෙබඳු දෑ සිදුවී ඇත.

කෙසේ වෙතත් ඇතැම් මිනිස් ක්‍රියාකාරකම් නිසා ජලගැලීමේ විපත් අඩු වූ බවද තේරුම්ගත යුතුව ඇත. කඳුකරයෙන් ගලා එන ගංගා හරහා වේලි බැඳ ජලාශ ඉදිකර තිබීම එවැන්නකි. විදුලිය නිපදවීමට හා වාරි කටයුතු සඳහා ඉදිකළ එම ජලාශ මතින් මහ වැස්සේ ජලය එකවර පහළට ගලා ඒම නවතා ප්‍රමාද කිරීමක් සිදුවෙයි. ජල ප්‍රමාණයක් රඳවා ගැනීමද සිදුවෙයි. එබඳු මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුව තිබෙන්නේ ජල ගැලීමේ හානිය අඩුවීමයි.

ගිං ගඟ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන කාලයේ එම ප්‍රදේශයේ සංචාරය කළ මෙම ලියුම්කරුට දැකගන්නට ලැබුණේ සෑම නිවසකම පාහේ ඔරුවක් තිබෙන ආකාරයයි. ඒ ගිං ග‍ඟේ ඔරු පදින්නට නොවේ. නිතර එන ගංවතුර විපතේදී දිවි රැකගෙන ආරක්ෂිත ස්ථාන කරා යන්නටය. ගිංගඟ යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණ වූයේ ගංවතුර පාලනයයි. එය හිතාමතාම ගංවතුර පාලනය සඳහා කළ ක්‍රියාකාරකමකි.

නවසිය හැත්තෑඑක කැරැල්ල සමයේ ජනතා විමුක්ති පෙරමුණ රට පුරා ඇල වූ එක් පෝස්ටරයක සටන් පාඨය වූයේ ‘ගංවතුරත්’, නියඟයත් නැති කළ හැක්කේ විප්ලවයට පමණී යන්නය. එහි තේරුම නම් ගංවතුරත් නියඟයත් එකල පවා ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්න වූ බවයි.නියඟයට මුහුණදීමට මහවැලි යෝජනා ක්‍රමයත්, ගංවතුර පාලනයට ගිං ගඟ යෝජනා ක්‍රමයත් තවත් තැන් තැන්වල සකස් කළ ඇළ වේලිත් මෙම ප්‍රශ්නයට විසඳුම් වශයෙන් කරන ලද ඉදිකිරීම්ය. එයින් මේ විපත් පාලනය කළ හැකි වුවත් නැවැත්විය හැකි වී නැත. අපට තේරෙන හැටියට නම් විප්ලවයටද එය කළ නොහැකිය.

වැරදි මතවාද

එබැවින් පසුගියදා ඇති වූ ජලගැලීම්, නායයාම් ආදිය මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ලෙස දැකීමත් මේ සියල්ලට හේතුව සංවර්ධන ක්‍රියාකාරකම් බව පෙන්වා සංවර්ධන විරෝධී මතවාදයක් ගෙන යන්නට හැදීම බරපතළ වරදකි. මේවා කිසිවකුට වැළකිය නොහැකි ස්වභාවික විපත් වන අතර කළ හැකි වන්නේ එහි හානිය අඩුකර ගන්නා ආකාරයට කටයුතු කිරීමත්, නිසි අවදානයෙන් මුහුණදෙමින් විපත් අවම කරගැනීමත් පමණකි.

කෙසේ වෙතත් සංවර්ධනයට කියා ගන්නා ලද අත්තනෝමතික තීරණ නිසා හානි වැඩි වූ බවද මගහැරිය නොහැකි සත්‍යයකි. පරිසර සාධක නොතකා ගන්නා දේශපාලන තීන්දු නිසා විපතට පත්වන්නේ අහිංසක ජනතාවයි.

මේ විපතත් සමග බොහෝ පරිසරවේදින් නැවතත් පෙන්වා දුන් කාරණයක් වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී එවකට පැවැති මහින්ද රාජපක්ෂ රජය ගත් වැරදි තීන්දුවේ ප්‍රතිඵලය පිළිබඳවයි. එය මුලින් සැලසුම්කර තුබුණේ ගුවන් මාර්ගයක් ලෙස බව කියති. එනම් කණු මත ඉදිකරන මාර්ගයක් වශයෙනි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ තීරණයකොට ඇත්තේ මෙය පොළොව මතුපිටින් දිවෙන මාර්ගයක් ලෙස ඉදිකළ යුතු බවයි. ඒ එයින් එම ප්‍රදේශවල ජනයාගේ ජන ජීවිතයට සිදුවන හානිය මෙන්ම පාරිසරික බලපෑමද සැලකිල්ලට නොගනිමිනි.

හිතුවක්කාර තීරණ

දැන් සිදුව තිබෙන්නේ තෙත් කලාපයේ විශාල ප්‍රදේශයක් හරහා කර ඇති මෙම ඉදිකිරීම නිසා ජලය බැසයාම අවහිරවීමයි. කඳුකරයෙන් ගලා එන ජලය එලෙස අවහිර වූ විට එම ප්‍රදේශ ජලයෙන් යටවීම බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි. පරිසරවේදීන් මේ බව පෙන්වා දී තිබියදී එය නොතකා කටයුතු කළා නම් එය අපරාධයකි. එමෙන්ම නිසි පරිසර ඇගයීමකින් තොරව මේ තීරණය ගත්තා නම් එය වඩාත් බරපතළ අපරාධයකි. වගකීම් විරහිත ක්‍රියාවකි. මහින්ද රාජපක්ෂ පාලනය පරිසර සාධක නොතකා ක්‍රියා කළ ආකාරය පෙන්වන තවත් සාධකයක් නම් මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීමයි. එම ප්‍රදේශය කුරුලු පාරාදීසයක් නිසා ගුවන් යානාවලට මෙන්ම කුරුල්ලන්ටද හානිවිය හැකි බව පරිසරවේදීන් පෙන්වා දී තිබිණි. එසේ තිබියදී එම ස්ථානයේම ගුවන්තොටුපළ ඉදිකිරීමට තීරණය කළේ පරිසරවේදින්ගේ අදහස් තුට්ටුවකට මායිම් නොකරමිනි. ප්‍රතිඵලය වී ඇත්තේ ඉඳහිට ගුවන්යානා ගොඩබස්වන මෙම ගුවන්තොටේදී මේ වනවිටත් ගුවන් යානා කිහිපයක් අනතුරට ලක්වීමයි. එමෙන්ම මොනරුන් එලවීමට විශේෂ වැඩසටහන්ද ක්‍රියාවට නගන්නට සිදුව තිබීමයි. මෙය ගුවන්තොටුපළ ඉදිරි සංවර්ධනයටද ප්‍රශ්නයකි. අත්තනෝමතික තීරණවල ප්‍රතිඵල එබඳුය.

පරිසරයට කෙලින්ම අදාළ නැතත් රාජපක්ෂ පාලනයේ අත්තනෝමතික භාවය පෙන්වන තවත් සිදුවීමක් පසුගියදා කෝප් කමිටුවේදී හෙළිදරව් විය. එනම් හම්බන්තොට ප්‍රදේශයේ විශ්වවිද්‍යාල පීඨයක් ඉදිකිරීමට තිබූ ස්ථානයක, එම පීඨය නැතිව ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකිරීමයි. එහි ඉදිකිරීමට තිබුණේ කොළඹ සරසවියේ පටක රෝපණ පීඨයක් බව වාර්තා වී ඇත. එය ඉදිකිරීමට කිසිවක් කර නැත. එසේ වුවද කෝටි 22ක වියදමින් සිය දෙනකු සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකොට ඇත. මේ ගැන කිසිවකුත් කතා කර නැත්තේ එය ඉහළම දේශපාලන බලවතකුගේ වුවමනාවට සිදුවූවක් නිසා විය යුතුය.

මෙයින් තේරෙන කාරණය නම් පරිසරය හෝ ජන ජීවිතය හෝ අවශ්‍යතාව හෝ නොතකා මෙබඳු ව්‍යාපෘති කර ඇත්තේ සංවර්ධනයට නොව වෙනස් අවශ්‍යතා සඳහා බවය. එනම් කාට හෝ කොමිස් කුට්ටි ලබාගන්නටය. එමෙන්ම හෙන්චයියකුගේ මඩිය තර කරන්නටය.

අධිවේගී මාර්ගය තරම් කැපී පෙනෙන ලෙස නැතත් මෙබඳු ව්‍යාපෘති රැසක් පරිසර සාධක නොතකා එම යුගයේ ඉදිකළ බව අපි දනිමු. ඒ සියල්ලෙන් සිදුවී ඇත්තේ ජනතාවට ඇති වූ විපත බරපතළ තත්ත්වයට පත්කිරීමයි. ස්වභාවික ආපදාවකින් ජනතාව විපතට පත්වීම එකකි. තමන්ගේ කෑදරකම නිසා ජනතාව විපතේ හෙළීම අනෙකකි. විරුද්ධ විය යුත්තේ , හෙළා දැකිය යුත්තේ එලෙස ජනතාව විපතට පත්කිරීමයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.