Menu

logo new 2015-5-11

Shamrock-png

අපේ ආර්ථිකය වළපල්ලට

අපේ ආර්ථිකය වළපල්ලට

වත්මන් රජයේ ආර්ථික කාර්යසාධනය පිළිබඳව විමසා බැලීම සඳහා 2016 වසරට අදාළව ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත්කර ඇති වාර්ෂික වාර්තාව මඟින් අනගි අවස්ථාවක් ලැබී තිබේ. සෑම මුදල් වසරක්ම අවසන් වී මාස හතරක් ඇතුළත ආර්ථික සහ මූල්‍ය තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණයක් අඩංගු වාර්ෂික වාර්තාවක් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් මුදල් ඇමැතිවරයා වෙත ඉදිරිපත්කළ යුතුය.


එය ශ‍්‍රී ලංකා මහ බැංකුවට පැවරී ඇති නීතිමය වගකීමකි. රටේ ආර්ථිකය ක‍්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විමසා බැලීම සඳහා එය අතිශය වැදගත් ලේඛනයක් වන්නේ රජයේ නිල තොරතුරු සහ සංඛ්‍යාලේඛන එමඟින් ප‍්‍රකාශයට පත්වන බැවිනි. 2016ට අදාළ වාර්ෂික වාර්තාව පසුගියදා මහබැංකුව විසින් මුදල් ඇමැතිවරයාට පිළිගැන්වූ අතර දැන් එම වාර්තාව ප‍්‍රසිද්ධියට පත්කර තිබේ. මෙම ලිපිය මගින් විමසීමට ලක් කෙරෙනුයේ එම වාර්තාව මගින් ප‍්‍රකාශයට පත්කර ඇති ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ තොරතුරුය.


කිසියම් වර්ෂයක රටක ආර්ථික ක‍්‍රියාකාරීත්වය මැනගත හැකි ඉතා වැදගත්ම දර්ශකයක් වන්නේ ඒක පුද්ගල ආදායමයි. එක් වර්ෂයක රටේ මුළු ආදායම එම වර්ෂයේ රටේ මුළු ජනසංඛ්‍යාවෙන් බෙදූ විට ඒක පුද්ගල ආදායම ලැබේ. නව සහශ‍්‍රය ආරම්භයේ සිට ගත වූ වසර 15ක කාලය තුළ ශ‍්‍රී ලංකාව යුද්ධය, සුනාමිය සහ ලෝක ආර්ථික අර්බුද වැනි විවිධ ඛේදවාචකවලට මුහුණ දුන්න ද රටේ ඒක පුද්ගල ආදායම සෑම වර්ෂයකදීම ඉහළ ගියේය. 2001 වසරේදී එය ඩොලර් 838ක් විය. එම වර්ෂයේ සිට සෑම වර්ෂයකදීම සැලකිය යුතු මට්ටමකින් ඒක පුද්ගල ආදායම ඉහළයාම නිසා 2014 වනවිට එය ඩොලර් 3821ක් බවට පත්විය. එහෙත් 2015 වසරේදී එය ඩොලර් 3843ක් විය. වැඩිවීම ඩොලර් 22 කි. 2001 සිට 2015 දක්වා වර්ෂ 15ක කාලය තුළ සිදු වූ අඩුම වැඩිවීම එයයි.

එම සොච්චම් වැඩිවීම ද 2016 වසරේදී අහෝසි වී ඇත. එම වසරේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3835 කි. ඩොලර් 8කින් අඩු වී තිබේ. රජය විසින් ඉදිරිපත්කර ඇති මෙම තොරතුරේ සරල අර්ථය වන්නේ මෙම වසර දෙකේදීම රටේ ආර්ථික වර්ධනය ඛේදනීය ලෙස පරිහානියට පත්ව ඇත්තේය යන්නයි.


මහ බැංකු වාර්තාව අනුව රටේ ඒක පුද්ගල ආදායම අඩු වී ඇති බව රටට හෙළිවීමෙන් පසු රජය ඇතැම් දේශපාලනඥයන් කොතරම් කලබලයට පත්වී ඇත් ද යත් ඩොලර් අගය අනුව එය පහළ ගිය ද රුපියල් අගය අනුව ඒක පුද්ගල ආදායම ඉහළ ගොස් ඇතැයි මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කරන ආකාරය පසුගිය දිනවල දැකගැනීමට හැකිවිය. ඒක පුද්ගල ආදායම ගණනය කරනු ලබන්නේ රට අභ්‍යන්තරයේ භාවිතයට පමණක් නොව මුළු ජාත්‍යන්තරයටම ඉදිරිපත් කිරීම සඳහායි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝකයේ රටවල් අඩු, මධ්‍යම සහ ඉහළ ආදායම් ලබන රටවල් ලෙස වර්ග කරනුයේ ඒක පුද්ගල ආදායමේ ඩොලර් අගය අනුව මිස රුපියල් අගය අනුව නොවේ. වසර ගණනාවක් තිස්සේ එකදිගටම අවප‍්‍රමාණය වී ඇති රුපියල ඒක පුද්ගල ආදායමේ වෙනස්වීම් ගණනය කිරීම සඳහා යොදාගත නොහැකිය. ඇතිව තිබෙන පරිහානිය ආර්ථික විද්‍යාව නොදන්නා සමහර දේශපාලනඥයන්ගේ බොළඳ වදන්වලින් වසන් කළ නොහැකිය.

වත්මන් රජය බලයට පත්වීමෙන්් පසු ආර්ථික වර්ධන වේගය ගණනය කිරීම සඳහා නව පදනම් වර්ෂයක් යොදගනිමින් 2013 සිටම ප‍්‍රකාශයට පත්කර ඇති සංඛ්‍යාලේඛන පවා වෙනස් කරනු ලැබීය. 2015 අපේ‍්‍රල් මස 27 වන දින මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් තම අත්සන ද යොදා මුදල් ඇමැති රවී කරුණානායක මහතා වෙත ඉදිරිපත්කළ 2014 වසරට අදාළ මහ බැංකු වාර්තාවේ 2013 වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 6.3ක් ලෙස ද 2014 වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 7.2ක් ලෙස ද වාර්තා කර ඇත. එහෙත් රජය 2015 දී ගණනය කිරීමේ ක‍්‍රමය සංශෝධනය කිරීම මගින් 2013 වසරේ සහ 2014 වසරේ වර්ධන වේගය අඩු කරනු ලැබීය.

එසේ අඩු කරන ලද ක‍්‍රමවේදය යටතේ පවා පසුගිය රජයේ අවසන් වසර වූ 2014 වසරේ වර්ධන වේගය සියයට 5.0ක් විය. මෙම රජයේ මුල් වර්ෂය වූ 2015 වසරේ වර්ධන වේගය සියයට 4.8ක් විය. 2016 වසරේදී එය සියයට 4.4ක් දක්වා පහළ බැස තිබේ. විදේශ ආයෝජන ගලා එන බවට ද ධනවත් රටවල් සියල්ලගේම ආධාර ලැබෙන බවට ද කෙරෙන ප‍්‍රචාර කෙසේ වෙතත් ආර්ථිකය ගමන් කරමින් සිටින්නේ ප‍්‍රපාතයකට බව රජයේම සංඛ්‍යාලේඛනවලින් හෙළිවේ. රටේ ආර්ථිකයේ වැඩිම වර්ධනයක් ඇතිවූයේ යුද්ධයෙන් පසු ගෙවීගිය වසර පහක කාල පරිච්ෙඡ්දය තුළය. ඒ හා සසඳන විට පසුගිය වසර දෙක තුළ ආර්ථිකය වර්ධනය වී ඇත්තේ අවම මට්ටමකිනි.


මේ රටේ ජනතාවගෙන් බහුතරයක් තවමත් ජීවත් වන්නේ කෘෂිකාර්මික අංශය පදනම් කරගෙනය. එසේ වුව ද එම අංශයේ නිෂ්පාදන මට්ටමේ හෝ ආදායම් මට්ටමේ සැලකිය යුතු ප‍්‍රගතියක් පසුගිය දෙවසර තුළ අත්කර ගැනීමට නොහැකිවී ඇති අතර ආර්ථික පිරිහීමට වැඩි වශයෙන්ම හේතු වී ඇත්තේ එම අංශයේ සිදුව ඇති පිරිහීම බව පෙනී යයි. වී නිෂ්පාදනය 2016 වසරේදී සියයට 8.3කින් පහළ වැටුණි. තේ නිෂ්පාදනය 2015 වසරේදී සියයට 2.7කින් ද 2016 දී සියයට 11කින් ද පහළ වැටුණි. රබර් නිෂ්පාදනය ගතවූ වසර පනහ තුළ වාර්තා වූ අවම නිෂ්පාදන මට්ටම වාර්තා කළේය.

රබර් නිපැයුම 2015 දී සියයට 10.1කින් ද 2016 දී සියයට 10.7කින් ද පහත වැටුණි. පොල් නිෂ්පාදනය 2015 වසරේදී සියයට 6.5කින් ඉහළ ගිය අතර 2016 දී සියයට 1.5කින් පහත වැටුණි. සමස්ත කෘෂිකාර්මික අංශයේ සහ ධීවර අංශයේ නිෂ්පාදන එකතුව 2016 වසරේදී සියයට 2.4න් පහත වැටුණි.

ජාතියට බත සපයන වී ගොවීන් මුහුණ දී ඇති ගැටලූ වී වගා අංශයේ පිරිහීමට ද බලපා ඇත. නිදහස ලබාගත් අවධියේ සිටම සහතික මිල ක‍්‍රමය වී වගාව සඳහා හඳුන්වා දුන්නේ ගොවියා මිල පහළ යෑමේ අවදානමෙන් මුදාගැනීම සඳහාත් වී මිලදී ගන්නන්ගේ කූට ග‍්‍රහණයෙන් මුදවා ගැනීම සඳහාත්ය. සහතික මිල ක‍්‍රමය හඳුන්වාදුන් අවස්ථාවේ සිට 2015 වසර දක්වාම සහතික මිල ඉහළ දැමුවා මිස පහළ දැමීමක් සිදුවූයේ නැත. එහෙත් 2016 වසරේදී පළමු වතාවට සහතික වී මිල පහත හෙළනු ලැබීය. සම්බා වී කිලෝවක මිල රුපියල් 50 සිට රුපියල් 41 දක්වා ද නාඩු වී කිලෝවක මිල රුපියල් 45 සිට රුපියල් 38 දක්වා ද පහත දැමුවේය.

ඒ අතරම රජය විසින් පොහොර සහනාධාරය වෙනුවට හෙක්ටයාරයක් සඳහා රුපියල් 25,000ක් ලබාදීම ගොවීන්ගේ පොහොර භාවිතය අඩුවීමටත් අස්වැන්න අඩුවීමටත් හේතු වූයේය යන්න බැහැර කළ නොහැකි සත්‍යයකි. 2015 දී රජය රුපියල් බිලියන 49,571ක පොහොර ගොවීන් සඳහා ලබාදුන්නේය. එහෙත් පොහොර වෙනුවට මුදල් ගෙවීමේදී රජයට වියදම වී ඇත්තේ 2016 වසරේදී රුපියල් මිලියන 27,771 කි. රජය පොහොර සහනාධාරය කපා හැර 2016 වසරේදී පමණක් රුපියක් මිලියන 21,800ක් ඉතිරි කරගෙන ඇත. රජය පොහොර සහනාධාරය කපා හැර ලාභ ලබද්දී ඒ වෙනුවට පාඩු විඳීමට ගොවියාට සිදු වී තිබේ.

රට දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින්නේ විදේශ වෙළෙඳාම සම්බන්ධයෙනි. නිදහසින් පසු රටේ ඉහළම අපනයන ආදායම වාර්තා කරන්නේ 2014 වසරේදීය. එම වසරේදී ශී‍්‍ර ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 11,130ක් විය. 2015 වසරේදී රටේ අපනයන ආදායම ඩොලර් මිලියන 10,546 දක්වා ද 2016 දී ඩොලර් මිලියන 10,311 දක්වා ද පහත වැටුණි. එහි ප‍්‍රතිඵලය වන්නේ අපට අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට අපනයනවලින් ලැබෙන ආදායමට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවීමයි.

2015 දී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 8388ක් වූ අතර 2016 දී එය ඩොලර් මිලියන 9090ක් විය. විදේශ ගනුදෙනුවලදී සිදුවන මෙම අහිතකර තත්ත්වය තවදුරටත් පැහැදිලි වන්නේ රටේ විදේශ වත්කම් සම්බන්ධයෙන් සිදුව ඇති වෙනස්කම් පරීක්ෂා කරන විටය. 2014 වසරේදී ශ‍්‍රී ලංකාවේ නිල සංචිත ප‍්‍රමාණය ඩොලර් මිලියන 8208.4ක් විය. එය රටේ ඉතිහාසය තුළ රැුස් කරන ලද ඉහළම සංචිත ප‍්‍රමාණය විය. 2015 දී එය ඩොලර් මිලියන 7303ක් දක්වා ද 2016 දී ඩොලර් මිලියන 6019 දක්වා ද පහළ වැටුණි.

රාජ්‍ය ණය පිළිබඳව නිරන්තරයෙන්ම කෙරෙන ප‍්‍රකාශනවල නිරවද්‍යතාව පිළිබඳව අදහසක් ඇතිකර ගැනීමට රටේ දේශීය සහ විදේශීය ණය ප‍්‍රමාණයේ සිදුව ඇති වෙනස්කම් පරීක්ෂා කිරීම මගින් හැකියාව ලැබේ. 2010 වසරේදී රටේ දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 2568ක් විය. 2014 දී එය රුපියල් බිලියන 4277 දක්වා වැඩි විය. එම වසර පහ තුළ දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1712කින් වැඩි විය. වැඩි වූ ප‍්‍රතිශතය සියයට 66 කි. 2010 වසරේදී විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 4590ක් විය. 2014 දී එය රුපියල් බිලියන 7390 දක්වා ඩොලර් බිලියන 2800කින් වැඩි විය. එම වසර පහ තුළ විදේශීය ණය ප‍්‍රමාණය වැඩි වූ ප‍්‍රතිශතය සියයට 61 කි.

එහෙත් 2015 දී විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 4959 දක්වාත් 2016 දී රුපියල් බිලියන 5341 දක්වාත් ඉහළ ගියේය. වත්මන් රජයේ වසර දෙක තුළ පමණක් දේශීය ණය රුපියල් බිලියන 1064කින් ඉහළ ගොස් ඇත. විදේශීය ණය 2015 දී රුපියල් බිලියන 8503 දක්වා ද 2016 දී රුපියල් බිලියන 9387 දක්වා ද ඉහළ ගිය අතර රටේ විදේශ ණය ප‍්‍රමාණය මෙම වසර දෙකේදී රුපියල් බිලියන 1997කින් ඉහළ ගියේය.

2015 සහ 2016 වසර දෙකේදී පමණක් දේශීය ණය සියයට 24කින් ද විදේශීය ණය ප‍්‍රමාණය සියයට 27කින් ද ඉහළ ගියේය. පසුගිය රජයේ අවුරුදු පහක කාලය තුළ දේශීය ණය සියයට 66කින් ද විදේශීය ණය සියයට 61කින් ද වැඩි වෙද්දී මෙම රජය අවුරුදු දෙකක් තුළ ලබාගතහැකි ණය ප‍්‍රමාණය ඒ අයුරින් ඉහළ ගොස් තිබේ. 2004 දී රටේ ණය ප‍්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතය හා සසඳන විට සියයට 102.3ක් විය.

එය පසුගිය රජය යටතේ ක‍්‍රමයෙන් අඩු වූ අතර 2014 දී සියයට 71.3ක් විය. එහෙත් එම අනුපාතය 2015 දී සියයට 77.6 දක්වා ද 2016 දී සියයට 79.3ක් දක්වා ද ඉහළ ගොස් ඇත. එය ජාතික ආදායම වැඩි වෙමින් පැවැතියදීය. පසුගිය රජයේ විදේශීය ණය පිළිබඳව ගෙන යන ප‍්‍රචාර කොතෙක් දුරට සත්‍යයෙන් තොර ද යන්නත් වසර දෙකක් තුළදී වැඩිම ණය ප‍්‍රමාණයක් ලබාගත් රජයක් ලෙස වත්මන් රජය ඉතිහාසගත වන බවත් මෙම සංඛ්‍යාවලින් පැහැදිලි වේ.

2016 වසරේ ආර්ථික ක‍්‍රියාකාරීත්වය තුළ රජය කිසියම් හෝ ප‍්‍රගතියක් ලබාගෙන ඇත්තේ අයවැය හිඟය අඩුකිරීම සම්බන්ධයෙනි. 2014 වසරේදී අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස ගත්විට සියයට 5.7 විය. එය 2016 වසරේදී සියයට 7.6 දක්වා ඉහළ ගියේය. එහෙත් 2016 වසරේදී හිඟය සියයට 5.4ක් දක්වා අඩුකර ගැනීමට හැකි වී තිබේ. අයවැය හිඟය අඩුකර ගැනීමට හැකිවීම රජය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් සතුටුදායක පියවරක් ලෙස හැඳින්විය හැකිය. රජය 2016 වසරේදී අයවැය ලේඛනය මගින් අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 5.9ක් දක්වා අඩු කිරීමට ඇස්තමේන්තු කර තිබුණි. එහෙත් එය ඉලක්කයට ද වඩා හොඳ තත්ත්වයක් ඇතිකර ගනිමින් සියයට 5.4 දක්වා අඩුකර ගැනීමට හැකි වී යැයි බැලූ බැල්මට පෙනෙන්නට ඉඩ තිබේ.

ප‍්‍රශ්නය වන්නේ ඉලක්කයටත් වඩා අයවැය හිඟය අඩුකර ගැනීමට හැකි වී තිබෙන්නේ කවර වියදම් අඩුකර ගැනීම මඟින් ද යන්න පිළිබඳවය. 2016 අයවැය ඇස්තමේන්තු මඟින් සමෘද්ධි සහනාධාරය සඳහා රුපියල් මිලියන 43,950ක් වැයකිරීමට ඇස්තමේන්තු කර තිබුණි. එහෙත් ඒ සඳහා වැයකර ඇත්තේ රුපියල් මිලියන 40,740ක් පමණි. අඩුවීම සියයට 1.9 කි. පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 35,000ක් වෙන්කර තිබූ අතර ගෙවා ඇත්තේ රුපියල් 27,771ක් පමණි. අඩුවීම සියයට 20 කි. 2015 වසරේදී පාසල් නිල ඇඳුම් සඳහා රුපියල් මිලියන 2300ක් වියදම් කළේය. එහෙත් 2016 දී එය රුපියල් මිලියන 2200ක් දක්වා අඩු විය. අඩුවීමේ ප‍්‍රතිශතය සියයට 4.6 කි. අනෙකුත් සහනාධාර සඳහා රුපියල් මිලියන 124,597ක් වෙන්කර තිබුණි. එහෙත් වැයකර ඇත්තේ රුපියල් මිලියන 76,739 කි. අඩුවීම සියයට 38 කි. රාජ්‍ය අයවැය හිඟය අඩුකරගෙන ඇත්තේ මේ රටේ ගොවි ජනතාවට සහ දිළිඳු කොටස්වලට ලැබීමට නියමිතව තිබූ දීමනා ලබා නොදීම තුළින් බව පෙනී යයි.

රජය අතිවිශාල ප‍්‍රමාණයකින් සමෘද්ධි ආධාර ලබන පවුල් සංඛ්‍යාව අඩුකර තිබේ. 2014 වසරේදී සමෘද්ධිය ලැබුණු පවුල් සංඛ්‍යාව 14,79,811ක් වූ අතර 2016 අවසානයේදී එම සංඛ්‍යාව පවුල් 14,07,235 දක්වා අඩුකර ඇත. සමෘද්ධි සහනාධාර තුළින් මෙම වසර දෙක තුළ ඉවත් කරන ලද පවුල් සංඛ්‍යාව 72,586 කි. එක පැත්තකින් දරිද්‍රතාව තුරන් කිරීමේ වසර ආරම්භ කරද්දී අනෙක් අතින් සමෘද්ධි ආධාර තුරන් කිරීම සඳහා වැඩපිළිවෙළක් ද ක‍්‍රියාත්මක කර ඇත.

ශී‍්‍ර ලංකාවේ ආර්ථික ක‍්‍රියාකාරීත්වය පිළිබඳව 2016 වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ එන සංඛ්‍යා සහ තොරතුරු ඇසුරින් ඉහතින් නිරීක්ෂණය කළ කරුණුවලින් පැහැදිලි වන්නේ ආර්ථිකයේ සෑම අංශයක්ම අතිවිශාල පිරිහීමකට ගොදුරු වී ඇති බවයි. පසුගිය වසරේ තත්ත්වය එසේ වුව ද ඉදිරි ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා එම වසරේදී සම්පූර්ණ වී තිබේ නම් අපට සතුටු විය හැකිය. එවැනි මූලික අංශයක් වන්නේ විදේශ ආයෝජන අංශයයි.

ප‍්‍රමාණවත් තරමින් රටේ විදේශ ආයෝජන ප‍්‍රමාණය ඉහළ ගොස් තිබේ නම් අද තත්ත්වය කුමක් වුව ද අනාගතය පිළිබඳව බලාපොරොත්තු රඳවා ගැනීම අපට අවස්ථාව සැලසේ. රජය විසින් දේශපාලන වෙනස්වීම් හේතුවෙන් විදේශ ආයෝජන ගලා එනු ඇතැයි ප‍්‍රකාශකර සිටිය ද සැබෑ තත්ත්වය තුළ නම් එවැන්නක් දක්නට නැත. 2015 වසරේදී රටේ මුළු විදේශ ආයෝජන ප‍්‍රමාණය ඩොලර් මිලියන 1160ක් විය. එය 2016 දී ඩොලර් මිලියන 1079 දක්වා සියයට 6.7කින් අඩු විය.

රටක කොටස් වෙළෙඳපොළ ආයෝජක විශ්වාසය, සුරක්ෂිතතාව මෙන්ම අනාගත ආර්ථික ශක්‍යතා ද පිළිබිඹු කරන දර්ශකයකි. 2014 වසරේදී කොටස් වෙළෙඳපොළේ විදේශ මිලදී ගැනීම් ප‍්‍රමාණය රුපියල් මිලියන 104,771ක් විය. විදේශිකයන්ගේ කොටස් විකිණීම්වල වටිනාකම රුපියල් මිලියන 83,654ක් විය. ඒ අනුව විදේශීය ඍජු ආයෝජන ප‍්‍රමාණය රුපියල් මිලියන 21,213ක් විය. 2016 වසරේ කොටස් වෙළෙඳපොළ විදේශීය මිලදීගැනීම් ප‍්‍රමාණය රුපියල් මිලියන 74,608ක් ද විකිණීම් රුපියල් මිලියන 74,270ක් ද විය. ඒ අනුව ඍජු විදේශ ආයෝජන ප‍්‍රමාණය රුපියල් මිලියන 338ක් පමණක් විය.

2014 දී කොටස් වෙළෙඳපොළේ විදේශීය ඍජු ආයෝජන ප‍්‍රමාණය රුපියල් මිලියන 21,213ක් වෙද්දී 2016 දී එය රුපියල් මිලියන 338ක් පමණක් නම් විදේශීය ආයෝජන පිළිබඳව උදම් ඇනීමට හෝ බලාපොරොත්තු තැබීමට හැකියාවක් ලැබේ ද යන්න පිළිබඳව විමසිලිමත් වීම අවශ්‍යය.

2016 ආර්ථිකය පිළිබඳව රජයේම සංඛ්‍යාලේඛන සහ තොරතුරු පදනම් කරගෙන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් මුදල් ඇමැතිවරයා වෙත ඉදිරිපත්කර ඇති වාර්තාව සහ අනාගත ආර්ථික දැක්ම පිළිබඳ එහි අඩංගු ප‍්‍රකාශ අනුව පෙනී යන්නේ ශ‍්‍රී ලංකා ආර්ථිකය මෑත ඉතිහාසයේ දක්නට නොලැබුණු ආකාරයේ දරුණු අර්බුදයකට ගොදුරු වී ඇති බව සහ එම අර්බුදයෙන් ගොඩ ඒමට හෝ රටේ අනාගත ආර්ථික සංවර්ධනය ඉහළ මට්ටමකට පත්කිරීම සඳහා හුදු ප‍්‍රකාශවලින් හෝ පුරසාරම්වලින් එහාට ගිය කිසිදු වැඩපිළිවෙළක් මේ දක්වා ඉදිරිපත් වී නොමැති බවයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.