Menu

logo new 2015-5-11

Shamrock-png

වරකා ගහට හෙණ ගහගෙන අස්ගිරියට පායපු සඳ

වරකා ගහට හෙණ ගහගෙන අස්ගිරියට පායපු සඳ

සභ්‍ය ලෝකය ඉදිරියේ මිනීකන්නන්ගේ දේශයක් ලෙසින් නාමකරණයවීමේ ප්‍රපාතය දෙසට රට ඇදගෙන ගිය ප්‍රවේගය යන්තම් මන්දනය කරවාගෙන වසර දෙකහමාරක් පමණි. යළි මානුශිකත්වයකරා, සභ්‍යත්වයකරා කඳු මුදුන දෙසට අසීරුවෙන් ඇදෙන්නට වෙර දරන ගමනට අඩ-කොට තබන්නට රෙදි කරටගෙන ඉදිරිපත්වන උන්නාන්සේලාගෙන් නම් අදටත් අඩුවක් නැත. මෙවර එතැනට පැන ඇත්තේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥානරතන හිමියන්ය.

රාජපක්ෂ නිහීන පාලන යුගයේ මනුශ්‍යත්වයට එරෙහිව කළ අපරාධ සඳහා අවම යුක්තියක් හෝ පසිඳලීම වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු 'අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය' පිහිටුවීමට විරුද්ධ වෙමින් අස්ගිරි මහානායක හිමියන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. වඩාත් ඉදිරියට යමින් උන්වහන්සේ පැහැදිලි කර ඇත්තේ 'අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය' සම්බන්ධයෙන් යෝජනාවක් නව ව්‍යවස්වස්ථා කෙටුම්පතට ඇතුළත් නොවියයුතු බව මෙන්ම දැනට තිබෙන ව්‍යවස්ථාවට හෝ ඒ වෙනුවෙන් සංශෝධනයක් එක් නොවිය යුතු බවය. මුන් වහන්සේගේ මේ අනුශාසනාව රාජ්‍ය පාලකයින් විසින් පිළිපදින්නේ නම්, ක්‍රියාත්මක කරන්නේ නම් අපට සිතාගන්නට වන්නේ ශ්‍රී ලංකා සමාජවාදී? ප්‍රජාතන්ත්‍රවාදී? ජනරජයේ? විධායක ජනාධිපතිවරයා වරකාගොඩ ඥානරතන බවය. මන්දයත් මැතිවරණයකදී ජනතාව ඉදිරියේ තැබූ පොරොන්දුවක්, ජනතාව විසින් අනුමත කරනු ලැබූ පොරොන්දුවක් සිය නිලයේ බලයෙන් වළකන්නට හැකියාව ඇත්තේ හොඳට හෝ නරකට විධායක ජනපතිවරයකුටම බැවිනි. වරකාගොඩ හිමියන් නියෝජනය කරන අස්ගිරි පාර්ශ්වයේ, උරුලෑවත්ත සඟ පරපුරේ උරුමය කෙසේ වෙතත් වරකාගොඩ ඥානරතන හිමියන්ගේ ප්‍රකාශයෙන් හමන උරුලෑ ගඳ නම් අපට දුර තියා ම හඳුනාගත හැකිය. ඒ, 'අසීරුවෙන් එක් කිරීමට වෙර දැරෙන රටක් භේද භින්න කිරීමේ' ජාතිවාදී උරුලෑ ගඳ වන අතර වරකා ගහට හෙණ ගහගෙන මතුවන උරුලෑ පිම්මට එරෙහි වීම සකලවිධ ශ්‍රී ලාංකේය ප්‍රගතිශීලී ජනතාවගේ වගකීම සහ අභියෝගය ලෙස භාරගත යුතුය.

එමෙන් ම, මේ වහන්සේලාගේ පරම පිවිතුරු අරමුණ ලෙස ඉදිරිපත් කෙරෙන්නේ රාජපක්ෂලා ප්‍රමුඛ ඊනියා රණවිරුවන් 'විදුලි පුටුවෙන්' බේරාගැනීම නම් එතැනදීත් අපට කීමට ඇත්තේ මේ වහන්සේලා පිටපොට පටළවාගෙන ඇති බව ය. එක් අතෙකින් හොරාට කලින් කෙසෙල් කැන වැට පනින්නාක් සේ රාජපක්ෂලා බේරාගැනීමක් මෙතැනට වඩම්මන්නේ ම එක් පසෙකින් අතුරුදන් කරවීම් සමඟ රාජපක්ෂලාගේ ඇති සමීප සබඳතාව කොයි වහන්සේත් පිළිගන්නා නිසාය. කෙසේ වෙතත් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සම්බන්ධ පනත ගෙන එන්නේ අතීතයට බලපාන පරිද්දෙන් නොවේ. එය අනාගතයට බලපාන එකකි. එහෙයින් එකල කෙතරම් මිනිසුන් අතුරුදන් කරවූවත් එකී පක්ෂලාට හෝ පක්ෂලාගේ ගොම්පස් ඇල්ලූ පස්සලාට මින් තර්ජනයක් වෙන්නේ නැත. අප ඊට එකඟ වුවත් නැතත් කරුණු සිදුවන්නේ ඒ ආකාරයෙන් බැවින් කලබල වූ වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ පියවි සිහියෙන් පනත් කෙටුම්පත් යෝජනාව යළි කියවා බලන ලෙසය.

ඒ අස්ගිරි පාර්ශ්වය ය. දළදාවේ භාරකාරත්වය ඇති අනෙත් පාර්ශ්වය දෙසටත් හැරී බලමු. දළදා මාළිගාවෙහි ආරක්ෂාව පිළිබඳව හාංකවිසියකහෝ තර්ජනයක් නොපවතිද්දීත් දළදා මාළිගාව අසලින් බූවැලිකඩ දෙසට වන මාර්ගය වසා තබා අධික මාර්ග තදබදයක් ඇතිකර, වාහන දුමට හසුවන දස දහස් ගණනින් පාසල් සිසු සිසුවියන් ඇතුළු ජනතාව ශ්වසන රෝග වලට බිලි කරවීම වූකලී 'පන්සල් ත්‍රස්තවාදය' ය. එකී පන්සල් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නේ මල්වතු විහාරය විසිනි. අස්ගිරි පාර්ශ්වය කවදත් නියෝජනය කළේ ප්‍රතිගාමීත්වය මය. එහෙත් මල්වතු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් හැඳින්වුණේ ප්‍රගතිශීලී යතිවරයෙකු ලෙසය. වෙනෙකක් තබා තිබ්බටුවාවේ හිමියන් මහානායක පදවිය ලබද්දී, අසහාය මාධ්‍යවේදී, දිවංගත අජිත් සමරනායකයන් පැවසූයේ එය භික්ෂු දේශපාලනයේ වාමවාදී යතිවරයෙක් මහනායක පදවියට පත්වීමක් බවය. ඒ පිළිබඳව සමරනායකයන් උදම් ඇනුවා අපට මතකය. අජිත් සමරනායකයන් අද සිටියා නම් මොනවා ලියනු ඇතිද ? තිබ්බටුවාවේ හිමිගේ වාමාංශික නැඹුරුව ගැන ලියූ පත්තර මිටියක් ගෙලේ බැඳගෙන වලාකුළු බැම්ම මතසිට ගැඹුරුම තැනකින් බෝගම්බර වැවට පනිනු ඇතිද ?



ලංකාවේ දේශපාලන කරළියට එදාමෙදාතුර එල්ලවන පන්සල් ත්‍රස්තවාදයේ බලපෑම සම්බන්ධ කතිකාවත් මඳකට පසෙකින් තබමු. ගැටළුව වන්නේ නිරාගමික දේශපාලන පක්ෂයක නායකයා බව කියන අගමැති රනිල් වික්‍රමසිංහත් මේ විගඩම් ඉදිරියේ මුක පූට්ටු කරගෙන බලා හිඳීමය. එසේම මෙතෙක් ලාංකේය දේශපාලනයේ නිරාගමික සංකේතය ලෙස අප විසින් මහත් ගෞරවයෙන් දකින ලද මංගල පින්සිරි සමරවීර ද මුදල් අමාත්‍යධුරය ලද වහා ම විලිලැජ්ජා නැතිව සුදු කලිසමකුත් ඇඳගෙන ම මල්වතු මහනායක හිමියන් බැහැදකින්නට ගියේ කුමකටද යන්නය. මේ පිළිබඳව ඔහුට හිතවත් මාධ්‍යවේදීන් විමසද්දී මංගල පින්සිරි මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ මලික් සමරවික්‍රම විසින් තමන්ව බලහත්කාරයෙන් ඇදගෙන ගිය බවය. එය කෙතරම් විලි ලැජ්ජා නැති කතාවක්දැයි පින්සිරි ඇමතිවරයාට නොතේරෙණ හැඩය. ඇයි ?, මලික් සමරවික්‍රම මංගල සමරවීරගේ ඔළුවට පිස්තෝලයක් තබා තර්ජනය කර ඔහුව බලහත්කාරයෙන් මහානායක හිමි වන්දනා කරන්නට ඇදගෙන ගියාවත්ද ? නොමැතිනම් නිරාගමික බව පිළිබඳව මංගලව විස්වාස කළ සැමට මංගල විසින් කොකා පෙන්වනවා වත්ද ?

කෙසේ වෙතත් මේ යන ආකාරයට ම නාඩගම නැටවෙන්නේ නම් සිදුවනු ඇත්තේ "කසාවතින් රට බබළවනවා සත්තයි" කියා මොරදෙන බෙරවා නඩයේ පදයට ම මංගල පින්සිරි සමරවීරත් ඉක්මනින් හෝ පසු වී නටනා එකය. නිරාගමික රාජ්‍යයක සේයාවක් පිළිබඳව හෝ වන අවසන් බලාපොරොත්තුවටත් එදාට 'අබසරණය'.

~ සුනිත් අරුණශාන්ත.
උපුටනය - LNW

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.