Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අනාගතයට ආදර්ශයක්

අනාගතයට ආදර්ශයක්

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන අධිකාරියෙහි හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන දෙදෙනාට ජනාධිපති මැතිවරණ සමයෙහි සිල් රෙදි බෙදාදීම සඳහා රජයේ මුදල් යෙදවීම සම්බන්ධයෙන් මහාධිකරණය දුන් තීන්දුව තවමත් රටතොට කතාබහින් බැහැර ව නැත. දෙදෙනාටම වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ මිලියන දෙකක දඩයක් නියම වීය. ඊට අමතරව රජයට රුපියල් මිලියන 600ක පාඩුව වෙනුවෙන් රුපියල් මිලියන 100 බැගින් ගෙවන්නට ද නියම කැරිණි.

මෙවන් වරදකට එවන් රජයේ උසස් නිලදරුවනට මින් පෙර දඬුවම් පමුණුවා නැත. එහෙයින් කාගේත් අවධානය ඒ දෙස යොමු වීම ස්වාභාවික ය. වඩා වැදගත් වන්නේ මෙම පුද්ගලයන් දෙදෙනාට අත් වූ ඉරණමට වඩා මෙම නඩු තීන්දුවෙන් සමාජයට සහ විශේෂයෙන් ම රජයේ සේවකයන්ට දෙන පණිවිඩය යි.

මෙම තීන්දුව මඟින් එක් කරුණක් අප අවධානයට ලක් කැරැ ඇත. එනම් පසු ගිය දශක ගණනාවක් පැවැති දේශපාලන සංස්කෘතිය සහ භාවිතය නීතියට පටහැනි පමණක් නොව සදාචාරය අතින් ද වැරැදිසහගත බව ය. කවුරුත් දන්නා පරිදි එකල රජයෙහි සේවකයෝ දේශපාලකයන් ගේ සුවච කීකරු ගෝලයන් ව ඔවුන් සතුටු කරවන්නට පරිපාලන නීතිරීති පවා උල්ලංඝනය කළහ. අල්ලස, දුෂණය සහ වංචාව රජ කෙළේ එහෙයිනි. නඩු තීන්දුව කියා දුන් පාඩම වන්නේ ‘‘ඉහළින් ආ අණක්’’ කියා රජයේ සේවකයනට වරදෙන් ගැලැවිය නොහැකි බවය. රටෙහි සහ රාජ්‍ය පරිපාලනයෙහි නීතිරීති සුරැකීමත් ඒ අනුව කටයුතු කිරීමත් ඔවුන් ගේ වගකීම හෙයිනි. ඔවුන් එසේ නොකරන කල ජනතාව මුහුණ දෙන්නේ ‘‘වැටත් නියරත් ගොයම් කා’’ ඇති තත්ත්වයකට ය. දේශපාලනඥයෝ කපටි හෙයින් ලිඛිත නියෝග නොදෙත්. රජයේ සේවකයා වරදෙහි බැඳෙන්නේ එම නියෝග නීතියට පටහැනි වුව ක‍්‍රියාවට නැඟීමෙහි දීය.

මෙම නඩු තීන්දුව රාජ්‍ය සේවාවට යහපත් බලපෑමක් ඇති කරනු නියතය. නීතිගරුක නිලදරුවනට එයින් නව ශක්තියක් සහ විශ්වාසයක් සැපැයෙනු ඇත. එහෙයින් නීති විරෝධී ‘‘ඉහළ අණ’’ නොතැකීමට ඔවුන් පෙළැඹෙනු ඇත. අධිකරණ නියෝගය නොතකා දේශපාලකයන් නීතිියට පටහැනි ‘‘නියෝග’’ ඉදිරියටත් දෙන්නට ඉඩ ඇත. එහෙයින් රාජ්‍ය සේවාව පිරිසුදු කිරීමට ප‍්‍රබල ජනමතයක් ගොඩනැඟිය යුතු වෙයි. නඩු තීන්දුව ඒ සඳහා හොඳ ආරම්භක ලක්ෂ්‍යයකි.

එහෙත් නඩු තීන්දුවට අකැමැති මැති ඇමැත්තෝ රජය තුළද වෙත්. ඇතැම් ආණ්ඩු පක්ෂ මහ ඇමැතියෝද එම මතය ම දරත්. ඔවුන් පවසන්නේ නඩු තීන්දුවෙන් රජයේ සේවකයන් අධෛර්යයට පත්ව රාජ්‍ය සේවාව අකර්මණ්‍ය වනු ඇති බවෙකි. වෙනත් වචනවලින් කිව හොත් එයින් කියැවෙන්නේ නීතිගරුක වුව හොත් රාජ්‍ය සේවය අඩපණ වනු ඇති බවෙකි. මෙය අවනීතියට අත වැනීමක් නොවේ ද?

සියල්ලෝම සතුටට පත්ව නැත්තාහ. ඒකාබද්ධ විපක්ෂය සහ එහි නඬේ ගුරු අසතුටු පිරිසෙහි පෙරමුණෙහිම වෙත්. දඬුවම් ලද දෙදෙනා කිසිදු වරදක් නොකළැයි ඔවුහු කියත්. අපේ කුරුණෑගල දිසා මන්ත‍්‍රීවරයා වහසි බසින් කියන්නේ තමා ජනාධිපති ලෙස කී දෙයක් නීත්‍යනුකූල නියෝගයක් බවය. එය ලිඛිතව දිය යුතු නැතැයි ඔහු තර්ක නඟයි. ලිඛිත භාෂාවට පෙර පැවැති ගෝත‍්‍රික යුගයට මෙරට ගෙන යන්නට ඔහු තැත් කරන්නේ ද? අපේම ඉතිහාසය හෝ ශිෂ්ට ජාතීන් ගේ භාවිත ඔහු නොදන්නේ ද? පෙර දින අපේ රජවරු ශිලා ලිපිවල නියෝග සටහන් නොකළෝ ද?

ඒකාබද්ධ විපක්ෂය නඩු තීන්දුව පිළිගන්නේ නැත. ඔවුන් එය දකින්නේ විදේශීය බලවේග සහ රාජ්‍ය නොවන සංවිධාන එක්ව අප රට ස්වෛරීත්වය නැති කරන්නට කළ කුමන්ත‍්‍රණයක් ලෙසය. එසේ කිරීමට නම් මෙරට නීතිය විදේශීය නිෂ්පාදිතයක් විය යුතුය. ඔවුන් කියන්නේ අපේ අධිකරණය විදේශ බලවේගවලට සේවා කරන බවද? ඔවුන් නඩු තීන්දුව පට්ටා ගසනු පමණක් නොව ඊට අධිකරණය අවමානයට ලක්කිරීම හෝ විධායකය සහ අධිකරණය අතර භේදයක් ඇති එරෙහිව ජනතාව පෙළ ගස්වති. යමෙකු නඩු තීන්දුවට පක්ෂ හෝ විපක්ෂ විය හැකිය. එය ඔවුන්ගේ නිදහසකි. එහෙත් විධායකය සහ අධිකරණය අතර භේදයක් ඇති කිරීම යනු රට අස්ථාවර කිරීමෙහි මාවතකි.

හිටපු ජනාධිපති කියන්නේ සිල් රෙදි බෙදන්නට තීරණය කෙළේ මැතිවරණයට පෙර මාර්තුවෙහි නිසා එය නීත්‍යනුකූල බවය. තීරණය කලින් ගත්ත ද මැතිවරණ සමයෙහි සිල් රෙදි බෙදීම අල්ලසකි. එය ප‍්‍රතිවාදියාට අවාසිදායක ක‍්‍රියාවකි. එහෙයින් වරදකි. හැරත් විදුලි සංදේශ නියාමන අධිකාරයෙහි මුදල් ඒ සඳහා යෙදවීම වරදකි. ඔහු සැබැවින්ම කරන්නේ ජනතාව මුළා කිරීමකි. එයින් ද නතර නොවන ඔහු හඟවන්නේ සිල් රෙද්දක් වත් බෙදන්නට ආණ්ඩුව විරුද්ධ වන බවත් එය බුද්ධාගමට කරන හතුරුකමක් බවත්ය. බුද්ධාගම උගන්වන්නේ නීතිය කඩන්න ද?

ආගම සහ රාජ්‍ය පාලනය පටලවා ගැනීම ඔහුගේ මෙන්ම තවත් බොහෝ දේශපාලකයන් ගේ සිරිතක්ව තිබේ. ඒ අතර ඇතැම් භික්ෂූන් වහන්සේලා ද එම මතයම දරති. කවුරුන් කළත් එය මුසාවකි. පිඩු සිඟා වැඞීම මුදල් සිඟා වැඞීමට පරිවර්තනය කොතෙක් විනයානුකූලදැයි උගත් සිල්වත් යතිවරයාණන් විසින් පැහැදිලි කිරීම යෙහෙකි. පසුගිය දා හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය ඉදිරියේ අභීතව ප‍්‍රකාශ කෙළේ සිල් රෙදි බෙදීමෙහි වගකීම තමා භාරගන්නා බවත් වැරදිකරුවන් වූ දෙදෙනා අහිංසකයන් බවත්ය. එසේ නම් නඩු විභාගයට මැදිහත්ව අධිකරණයට නොගොස් සිය ශ‍්‍රී මුඛය වසා සිටියේ මන් ද?

රාජපක්ෂ පාලනය උසස් රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතු සඳහා යොදා ගත්තේය. එපමණින් නොනැවැතී ඇතැම් ක්ෂේත‍්‍ර නිලධාරීන් දේශපාලන සහ විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන වැඩවලට මහා පරිමාණයෙන් යොදා ගත්හ. ඒ ආකාරයෙන් රාජ්‍ය සේවාව විනාශ කිරීමට ඔහු බොහෝ දේ කෙළේය. ප‍්‍රථම වරට උසස් රාජ්‍ය නිලධාරියකු දේශපාලනයට ප‍්‍රසිද්ධියේ ගෙන එන ලද්දේ නියෝජ්‍ය පොලිස්පති කොටකදෙනිය මහතාට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දේශපාලන ප‍්‍රකාශයක් කරන්නට අවසර දීමෙනි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද ප‍්‍රසිද්ධියේ දේශපාලන කටයුතුවල නිරත වීය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හමුදාපති සරත් ෆොන්සේකා ද ඒ සඳහා යොදා ගත් අතර හතුරකු ලෙස ඔහු ‘‘මාලිගාව’’ විසින් හංවඩු ගසන ලද්දේ පසුවය. ප‍්‍රකට පරිදි ඊට හේතු වූයේ ඔහු ජනාධිපතිවරණයට තරග කිරීමට නීත්‍යනුකූලව තීරණය කිරීම සමඟය.

ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව ආණ්ඩුවෙහි මැති ඇමැත්තන් ඇතුළු වෙනත් උදවිය ද වරදකරුවන් දෙදෙනා ‘‘සොරකම්’’ නොකළ බව පුන පුනා කියමින් ඔවුන් සුදනන් කරන්නටත් අධිකරණ තීන්දුව වැරැදියැයි මතයක් ඇති කරන්නටත් වෙහෙසෙත්. ඔවුන්ට දඬුවම් දී ඇත්තේ සොරකමකට නොව රජයේ මුදල් අවභාවිතය නිසා සහ මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම නිසා ය. රජයේ ඉහළතම නිලධාරියා වූ ලලිත් වීරතුංග මහතා ඒ බව නොදැන සිටි බව ඇදහිය නොහැකිය. නොදත්තා වුව නීතියෙන් ගැලැවීමක් නැත්තේ නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවන හෙයිනි. අනෙක් තැනැත්තා ද ඒ බව දැන සිටිය යුතු ඉහළ නිල දරුවෙකි.

කවුරුන් කුමක් කීවද මහාධිකරණ තීන්දුව යහපාලනය තහවුරු කරන සහ අධිකරණයෙහි කීර්ති නාමය ඉහළට ඔසොවා තබන වැදගත් ඓතිහාසික විනිශ්චයකි. එය මතුවටත් අනු යා හැකි පූර්වාදර්ශයකි. අධිකරණ ක‍්‍රියාවලියට මැදිහත් නොවීමෙන් ආණ්ඩුවද වැදගත් ආදර්ශයක් සපයා ඇත. මෙම නඩු තීන්දුවෙන් නිමා වූ දීර්ඝ සහ වෙහෙසකර විමර්ශන සහ අධිකරණ ක‍්‍රියාවලිය මෙහෙය වූ නීතිය බලාත්මක කිරීමෙහි ආයතන නිලධාරීන්ට ජනතාවගේ ප‍්‍රණාමය හිමි විය යුතු ය. මෑත කාලයෙහි බොහෝ ගැරැවුම් ඇනුම් බැණුම්වලට මුහුණ දුන් නීතිපති දෙපාර්තමේන්තුවට ද සිය කාර්යය ගැන තෘප්තිමත් විය හැකි ය.

ජයතිලක ද සිල්වා

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.