Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ජාතික හෘදය සාක්ෂියක් නැති තැන දෙමළෙන් ගැයෙන්නේ කවර හැඟීමක්ද?

ජාතික හෘදය සාක්ෂියක් නැති තැන දෙමළෙන් ගැයෙන්නේ කවර හැඟීමක්ද?

ජාතික ගීය දෙමළෙන් ගැයීම ගැන සංවාදයක් ඇති වී තිබේ. සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට ඔසවා ඇත. ඒ ගැන සංවාදයක් නැත.

මුහුණු පොත යනු බොහෝ සංවාද ඇවිලෙන තැනකි. බොහෝ මතවාද පළවන තැනකි. සංවාද ඇවිලී යාමේ හෝ අදහස් මතවාද පළවීමේ අවුලක් කා තුළවත් නැත. ඒත් සියල්ල පරයමින් ජාතිවාදී ව්‍යාපෘතිවල වැසිකිලි දුගඳ හැම අතෙකින්ම හමා එන බැවින් යමක් ලිවිය යුතු ය.

මූණු පොතේ පළ වූ සාධනීය ඇවිලීම් කිහිපයක් පළමුව උපුටමි. ඒවා සාධනීය වන්නේ ඒවා ලියලන්නේ ලියන්නන්ගේ ආධ්‍යාෂය තුළ ම වීම නිසා ය. උත්ප්‍රාසය මෙහිදී සිංහල භාෂාමය වරප්‍රසාදයක් වී ඇතුවා මෙනි.

පෙරටුගාමී සමාජවාදී ගමන්මඟ නිවැරදි නොවැන්නේ යැයි ඉන් ඉවත් වූ රුවන් නෙලූ නිර්මාණාත්මකව මෙසේ පවසයි.

"බුදු අම්මෝ, රට ඉවරෝ, කොටියට දෙනෝ ..!!"

මරාවාදීන් ගේ විලාපය එක් අතකින් සාධාරණ ය. දැන් දෙමළුන් තමන්ට තේරෙන භාෂාවෙන් තමනුත් ශ්‍රී ලාංකිකයින් බව පවසද්දී, "මං පැරදුනේ ඊළාම් චන්ද නිසා " යැයි කියූ එකාගේ ගෝලයින්ට ඇඬෙන්න ම ඕනෑ ය.

මේ වනාහී කිසියම් නිර්මාණාත්මක ‘කින්ඩියකි‘.

ජාතික ගීය දෙමළෙන් ගැයූ බවට සාක්‍ෂි දක්වමින් බුකී පිටියට අවතීර්ණ වන කපිල එම්. ගමගේ ඍජුවම මෙසේ පවසයි.

"රටක් එක්සේසත් කෙරෙන්නේ තමන් සමග ජීවත්වෙන අනෙකාගේ හිස මතට බෝම්බ හෙලීමෙන්ද? අනෙකා මුහුණපාන ගැටළුවලට සාධාරණ විසඳුම් ලබාදීමෙන්ද?

මේවා පිළිබඳව සාධාරණව මධ්‍යස්ථව සිතන්නට බැරි උදවියට මේ දියුණු දේශපාලන තීරණය කොරහේ කිඹුලන් දැකීමක් ලෙස ගන්නේ ශ්‍රී ලංකාව ලෝකය යැයි සිතන බැවිනි. (ජාතික ගීය භාෂා කිහිපයකින් ගායනා කරන රටවල් ගැන සොයා බලන්න)"

කපිල වරහන් ඇතුළේ කියා ඇති දෑ ගැන එවන් රටක ජීවත් වෙන රන්සිරිමල් ප්‍රනාන්දු වෙනත් තැනකදී පවසයි. තමන්ගේ අද්දැකීම ඇසුරිනි.

"දැන් සමහරු ලෝකෙ කොහෙවත්ම රටක ජාතික ගීය භාෂා දෙකකින් නෑ කියලා කෑ ගහන්නෙ එහෙම කරාපු එකම රට ලංකාවය කියලා ගිනෙස් පොතේ ලියන්න ද නොදන්නා මුත් අපි ඉන්නා පලාතෙ නං ඔය සිංදුව භාෂා දෙකෙන්ම ලියලා නීති පොතෙත් අච්චු ගහලා තියන බව දැන...අපි නං ඉතින් පරණ පුරුදු විදිහටම.................................සුවසේ වෙසෙමු.....!"

බුද්ධික බස්නායක, ජාතික ගීය දෙමළෙන් ගැයීමේ, මේ ඊනියා විරෝධයට එරෙහිව තම උත්ප්‍රාසාත්මක විරෝධය මෙලෙසින් දක්වයි.

‘‘ජාතික ගීය ද්‍රවිඩ බසින් ගැයීමට විරුද්ධව බුකියේ අදහස් දක්වන මාගේ මිත්‍රවරුණි:

‘‘චිරාත්කාලයක් නොවෙනස්ව පැවතී, ආවේණික යයි අගයන යමක්, වෙනෙකෙක් කොපි කරන විට, ‘රිමික්ස්‘ කරන විට, කෝපයක් මෙන්ම පිළිකුලක්ද ඇතිවීම ඉතා සාධාරණ ය.

ඒ නිසා, උඩරට රදළයන් නොවන ඔබලා සියල්ලන්ම පාහේ මුල් ඇඳුම් සහ ‘කැන්ඩියන්‘ ඇඳන් ෆේස්බුක්වල පවා අප්ලෝඩ් කර ඇති මගුල් පොටෝ දකින විට, හතර වරිගෙම රදළ ලේ ඇත්තන්ට ඇතිවන ශෝකය සහ ජුගුප්සාව දැන්වත් ඔබට තේරෙනු ඇතැයි සිතමි. රදළයන්ට පමණක් කැප තුප්පොට්ටි හත්මාල ආදිය, පිළිකන්නෙන්වත් ගෙට නොගන්නා හැත්තක් අඳිනවා දකින්න වේවි යයි මොණරවිල කැප්පෙටිපොල දිසාව කිසි දිනක සිතන්නට ඇද්ද?

රදළ නාමයටද, උඩරට සම්ප්‍රදායටද හිනස්සවන මේ සිරිත් කොල්ලය සියවසක් තිස්සේ ලංකාව පුරා පැතිරෙනවා දැක දැකත්, සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේ කිසිදිනක අඩු තරමින් ෆේස්බුක් ස්ටේටස් එකකින්වත් ප්‍රකාශ නොකිරීමට තරම් සංවර වීම ගැන රදළයින්ට කෘතඥතා පූර්වක විය යුතුය."

ඔහුගේ උත්ප්‍රාසාත්මක රදළ නිදසුන මට වෙනත් උත්ප්‍රාසාත්මක රදළ නිදසුනක් මෙනෙහි කරවයි. ඒ රදළයන්ගේ ස්වයං පාලන ඉල්ලීම ගැන ය. ජාතික ගීය දෙමළෙන් ගැයීම ගැන පතරංග සංවාද කෙරෙන භූමියේ මුලින්ම ස්වයං පාලන ඉල්ලීමක් කෙරුණේ රදළයන් විසිනි. ඒ 1927 දීය. සුද්දාගෙනි. ඩොනමර් සාමි අබියස ය. තමන් වෙනම ජාතියක් ලෙස කල්පනා කළ උඩරට සිංහලයන් නියෝජනය කළ 'උඩරට ජාතික සභාව' ඩොනමෝර් කොමිසම ඉදිරියේ ඉල්ලා සිටියේ ඇමෙරිකානු පන්නයේ ෆෙඩරල් ක්‍රමයකි. තමන්ගේ ශුද්ධ ජාතිකත්වය රැකගනු පිණිස ය. ශුද්ධවර සියල්ලට ඉංගිරිසි කොළණිකාරයා කෙළවා හමාර කළ පසු ඇතිවූ ඉංග්‍රිසි සිංහල ව්‍යාවස්ථා හා සංශෝධන මගින් දිගින් දිගමට දෙමළ ජනතාවට කෙළවන්නට උඩරට පහතරට භේදයකින් තොරව සියලු සිංහලයෝ එක පෙළට සිට ගත්හ. සිංහලය නම් එහෙම ය. එතනින් නොනැවතී පීඩනයට එරෙහිව දෙමළ මිනිසා කරලියට ගෙනා සටන මර්දනය කරන්නට වෙනම ජාතියක් වූ උඩරට සිංහලයා, පහතරට සිංහලයා සමග සම අසුන් ගත්හ. සිංහලය නම් එහෙම ය.

එබැවින් සියල්ල කෙසේ වුවද මට කියන්නට ඇත්තේ වෙනත් අදහසකි. එය අරඹන්නේ නම් මෙහෙම ය.

'ජාතික ගීයෙ නාමෙන්
සිංහල ළයෙහි රාවය
දෙමළෙන් උසුරුවන
දෙමළ සොයුරිය සෝයුර
කම්පාවක් ය ඔය හඬ
නිනද නැඟෙනා මා තුළ.'

මේ වනාහී සිංහල නිජබිම නොවේ. එසේ හිතන්නේ ඉතිහාසය ගැන කොම්බුවක් තරම් වත් නොදන්නා උංකුං බබාලා පමණකි. ඒ අනුව එසේ පැවසීම බබා උක්කුං වැඩකි. ඓතිහාසිකව ගත් කල මෙය භූමියක් ලෙස විවිධ යුගයන්හි තිබුණේ විවිධ පාලන ක්‍රමවේදයන් ය. උත්කර්ෂයට නැංවෙන ‘සිංහලය‘ නිර්මාණය වීමට පෙර පවා මෙහි වෙනත් ගෝත්‍ර විසූ බව පැහැදිලි ය. 1982 කුරුවිට බටදොඹ ලෙනින් හමුවූ මානව දත පිළිබඳ පර්යේෂණයන්ට අදාළ වාර්තාවක් පළ කරන ජාත්‍යන්තර 'සයන්ස්' සඟරාවේ 2015 මාර්තු කලාපය පවසන්නේ එකී දත අවම වශයෙන් වසර 20,000ක්වත් පැරණි බව ය. දෙමළ දත් කඩන්නට බලන් සිටිනා සිංහලයාට මෙවන් දත් ගැන අදහසක් නැත. ඇතැම් විට එවන් දතක් ගැන ඇසූ විට දතකට පූට්ටු වේ.

සමාජීය වශයෙන් සහ පංතීමය වශයෙන් පවතින සියලු විෂමතා විසුණු කරලීමට පාලකයන්ට යොදා ගත හැකි උසස්ම වර්ගයේ බර අවිය හෝ සුරතල්ම වර්ගයේ බෝම්බය ජාතිවාදය බව කීමට වචන පුනුරුච්චාරණය කරන්නට අවශ්‍ය නැත. යුද්ධය අවසාන කළා යැයි කියූ මොහොතේ දෙමළ නිජබිමට හතරවටින්ම ආ රණ විරුවන් මුල්ලිවයික්කාලෛ පටු බිම් තීරුවට ගොඩවැදුණේ මෙකී සිංහල ජාතික ගීය ගයමිනි. ඔවුන් අත වූයේ සිංහල ජාතික කොඩිය ය. එබැවින් එහි කිසිදු ‘ජාතික’උරුමයක් දෙමළාට නැති බව අප සිහිතබා ගත යුතු ය.

ඒ වන විට ඉහළින් බෝමබ දමමින්, නා නා විධ පොකුරු බෝමබ ගසමින් මරා දැමුණු දෙමළ පුරවැසියන් යහපාලනයකට පවා තවම ගණනය කරන්නට බැරි ය. එතරම් ය. ලෝකයේ කිසිම ජාතියක් තමන්ගේම ජාතියේ හිස මතට මෙසේ බෝම්බ හෙළා ඇතැයි ඔබ අසා තිබෙනවාද? එසේ බෝම්බ හෙලුයේ දෙමළා වනාහි තමන්ගේ ජාතියට අයත් නොවන ජීවියෙකු බව සක් සුද සේ සුපැහැදිලි නිසා ය. එය එසේ බව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් පැවසීමට බැරල් ගණන් උපැහැරණ ගෙන හැර පෑ හැකි ය.

ඊළාම්වාදීන් යැයි මරාවාදීන් විසින් හැඳින්වෙන 'යහපාලන රජය' ෆීල්ඩ් මාර්ෂල් තනතුරට ඔසවා තබන්නේ දෙමළාගේ හිස මතට මෙසේ පොකුරු බෝමබ විදීමට අණ දීමෙන් පමණක් නොනැවතී, එය රූපවාහිනී දේශපාලන ගුබ්බෑයම්වලට පැමිණ තලු මරන සරත් ෆොන්සේකාව ය. ඔහු මෙසේ පවසයි.

‘‘මං උදාහරණයක් කියන්නම්. මේ අවසාන සටන කාලෙ චීනයේ ඔලිම්පික්ස් තිබුණා. ඒ කාලෙ මාස පහක් එක දිගට මට පතුරං නැව් ආවෙ නෑ චීනෙන්. ඒ කාලෙදි මගේ කාලතුවක්කු පතුරං ඉවරවුණා ඔක්කොම. අපි වෙඩි තියනකොට සාමාන්‍යෙයන් මල්ටි බැරල් රොකට් හතලිහක් එකපාරට අරින්න ඕනි. ඒ කාලෙ අපි දවසටම එක රොකට් එකයි පත්තු කරන්නෙ. පතුරං ගන්න සල්ලි ඉල්ලුවා, සල්ලි දුන්නෙත් නෑ මට. ඔය අතර අසළ රටක හමුදාපතිට මිත්‍රකමට මං පුද්ගලිකව මං කතා කරලා එයාගෙ තොගවලින් මං ණයට ඉල්ල ගත්තා ඩොලර් මිලියන හැටක පතුරං. එයාට දෙන්න පුළුවංකම තිබුණෙ එච්චරයි. එහෙම කරලා තමයි ඒ මාස පහේ යුද්ධ කළේ.’’

පැවති මරා පාලනයේ ජාතික වීරවරයන් මල්ටි උණ්ඩ ඇණවුම් නොකර සිටි වකවානු වල පවා අන් රට වලින් 'යාලුකමට' ඒවා ණයට ඉල්ලා ගෙන දෙමළ හිස් ගෙඩි මත වපුරන්නට අණ දුන්නේ මොහු ය. ජාතික ගීය දෙමළෙන් ගැයීමට අවසර ලැබෙන්නේ ද එක් පසෙකින් සරත් ෆොන්සේකා ඔසවා තබන මෙකී යහපාලන ආණ්ඩුවෙන්ම ය. මේ සිද්ධි දෙක පමණක්ම සළකා බැලූ විට හිත තුළ ඇතිවන්නෙ වමනකාරක වූ මාරාන්තික උත්ප්‍රාසයකි.

ඇත්ත වශයෙන්ම නම් මේ ඉල්ලීම කළ දෙමළ දේශපාලකයන් කළ යුතුව තිබුණේ මෙකී සිංහල ජාතික අභිමානී සිංහල ගීතයක දෙමළ පරිවර්ථනයෙන් පැන නැඟෙන මානසික බර අනාගත දෙමළ දරුවා මත බලහත්කාරී ලෙස නොපටවා හිඳීමයි. අවම වශයෙන් ඊට වෙර දැරීමයි. සිංහල සීතිමක් දෙමළ මනස ඇතුළේ සාධාරණීයකරණය නොකර සිටීමට වග බලා ගැනීමයි. නමුත් එය අලුත් වටයකින් සිද්ධ වී ඇත. ජාතික විධායක සභාවේදී මෙම ගැයුම යෝජනා කළ මනෝ ගනේෂන් පන්නයේ දෙමළ දේශපාලන ක්‍රියාකරුවකුට මෙහි බරපතලකම නොතේරීම අරුමයක් නොවන්නේ ය. දෙමළ දේශපාලකයා හා දෙමළ පීඩිතයා අතර ඉතිහාසය පුරාම පැහැදිලි බෙදුම් රේඛාවක් තිබිණ. සිංහල දෑත් ශක්තිමත් කරන්නට නියම්ව හෝ අනියම්ව දායකවුණු දෙමළ දෑත් නම් කොතරම්ද? දෙමළ ජනතාවට ජයග්‍රහණ අත්පත් කර දෙන උවමනාව වඩා බරපතල ලෙස සිතිය යුතු වන්නේ එබැවිනි.

කෙසේ හෝ සිංහල ජාතිවාදීයා අමන හඬින් මොරදෙමින් සිටින්නේ මෙම සිංහල හිතවාදී 'දෙමළ' ව්‍යපෘතියටයි. නූතන සිංහල වර්ගවාදයේ 'පඤ්ඤා' වන නලින් ද සිල්වා මහාචාර්වරයා සිටින්නේද මෙම වාග් සන්නද්ධ අංශයේ ය. ‘ජාතික හෙළ උරුමය’ ට්‍රැක් එක මාරු කර ඇත. මෙන්න! ජාතික හෙළ උරුමයේ ස්ථාවරය:

‘‘ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් වාදයක් ඇති වී ඇත. එය මුල්කරගෙන ඇතැම් පිරිස් නැති ප‍්‍රශ්න ඇති කිරීමට උත්සාහ කරමින් ඇත. පටු දේශපාලන උවමනාවන් මත ජාතික සංහිඳියාවට හා ජාතික එක්සත්භාවයට හානි කරන ලෙස දක්වන එම මත අදහස් අපි පිළිකුලෙන් බැහැර කරන්නෙමු.‘‘

උපුටනය, එහි මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ හෙවත් කමල් දේශප්‍රිය විසින් නිකුත් කෙරුණු නිල නිවේදනයෙනි. ඒ ඒ බනිසයන්ට අනුකූල වන පරිදි ඒ ඒ රඹකැන් තෝරා ගැනෙන න්‍යායික භාවිතයන් වනාහි, සිංහල ජාතික අවස්ථාවාදයේ නිරාකූල පරාවර්ථනයන් බව මගේ අදහසයි.

කොළඹ නව නගර සභා ශාලාවේ පැවති සිංහල - දෙමළ කලා උළෙලට සහභාගී වූ මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි ඇතුළු වයෝවෘධ, ප්‍රවීන, ප්‍රකට දෙමළ කලාකරුවන් හා විද්වතුන්ට පහර දීමට ‘ශුද්ධ සිංහල තර්ජනාංගුලි‘ ළෙලවමින් ආ සිංහල උරුමයේ සිංහල බල සෙනඟට නායකත්වය සැපයූ නයුවෙකු වූයේ මේ නිවේදනය නිකුත් කර ඇති කමල් දේශප්‍රිය ම ය. මෙවන් සිංහලයන්ට එකම ආත්මය තුළ නැවත නැවතත් මැරි මැරී ඉපදෙන්නට පිළිවන. මෙම සිංහල දස මහා යෝධයෝ මෙවන් දේශපාලන ගන්දබ්බ අවදීන්හි හැසිරෙන්නේ ‘‘කැවුම් කෑමට රුසියෝ’’ මෙන් ය.

මෙවන් ‘‘ජාතික හෙළ උරුම‘‘කාරයන්ගේ නිර්දේශ හා අනුමැති මගින් මාගේ ප්‍රවාදය තවදුරටත් සාක්ෂාත් වනු ඇත. මට අනුව, මෙම ගීත සංවාදය කෙසේ වෙතත් ගීත භාවිතය අවසානයේදී සිද්ධ වන්නේ එකම එක දෙයකි. එනම්, සිංහලයා ශ්‍රී ලංකාව නම් වන භූමියට සිංහලයාට ඇති ස්වාමීත්වය ගැන සිංහලයා හිතන ආකාරය එයාකාරයෙන්ම විඳගැනීමට දෙමළ මිනිසාට සිද්ධවීමයි. එය ජාතික පීඩනයේම වෙනත් ස්වරූපයකි. එනයින් ගත් කල මෙය තවත් එක් සිංහල දේශපාලන ව්‍යාපෘතියක් පමණක් බව අවධාරණය කළ යුතුය

මංජුල වෙඩිවර්ධන

http://www.jdslanka.org/s/index.php/2014-12-20-03-23-32/2014-12-30-18-26-09

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.