Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ගුවන් යානා අතුරුහන්වීමේ අබිරහසේ අබිරහස්

ගුවන් යානා අතුරුහන්වීමේ අබිරහසේ අබිරහස්

ලෝකයේ ගුවන් ගමන් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ලොකුම අබිරහස ලෙස බොහෝ දෙනා සලකන මලයාසියානු එම්.එච්. 370 ගුවන් යානය අතුරුදන් වී පසුගිය මාර්තු 8 වැනිදාට වසරක් සම්පූර්ණ විය. නමුත් මගීන් 239 දෙනෙකු සමග අතුරුදන්ව ගිය මෙම යානයට සිදු වූයේ කුමක්දැයි සොයන ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම් තවමත් සිටින්නේ මීට අවුරුද්දකට පෙර ඔවුන් සිටි තැනමය. එසේ කියන්නට සිදුව ඇත්තේ තවමත් මේ කිසිවෙකුට මෙම ගුවන් යානය ගැන මොනම හෝඩුවාවක්වත් සොයා ගන්නට නොහැකිව ඇති නිසාය. සීට් කවරයක්, ගමන් බෑගයක්, ඇඳුමක කොටසක් තරම් දෙයක්වත් සොයා ගන්නට නොහැකි වීම සැබැවින්ම දැවැන්ත ප්‍රහේළිකාවක් විනා අන් කවරක්ද? එය හරියට ගුවන් යානය පිටසක්වළ ආක්‍රමණිකයන් පිරිසක් කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර රැගෙන ගියාක් වැනි මහා අබිරහසකි.
ගුවන් යානයට සිදු වූයේ කුමක්ද යන්න ගැන කිසිවක් සිතා ගැනීමට නොහැකි පසුබිම තුළ මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය තුළ වඩ වඩාත් පිළිගැනීමට සහ ආන්දෝලනයට ලක් වෙමින් සංසරණය වන කතාවක්ද තිබේ. එනම් මලයාසියානු යානය පැද වූ ප්‍රධාන ගුවන් නියමුවා වන සහාරි ෂා , යානය සහ එහි ගමන්ගත් පිරිසත් රැගෙනම සිය දිවි නසා ගැනීමේ අවසන් ගමනක නිරත වූවාද යන්නයි.
මෙම තර්කය මීට පෙරද වරින් වර මතු වූවක් වුවද දැන් එය වඩාත් වලංගුභාවයක් ලබමින් ඇති බවක් පෙනෙන්නේ පසුගියදා කපිතාන් සයිමන් හාඩි නමැති, අත්දැකීම් බහුල ගුවන් නියමුවා විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් පැහැදිලි කිරීම් සහ නිරීක්ෂණයන් කිහිපයක් නිසාය. ගුවන් යානය එහි අවසන් හෝරා කිහිපය තුළ ගමන් කර ඇති රටාව විශ්‍ලේෂණය කරමින් ඔහු ගොඩනගා ඇති තර්කයන් නිසා මෙම සිය දිවි නසා ගැනීම පිළිබඳ සැකය වඩාත් තහවුරු වෙමින් ඇති බවක් පෙනී යයි.
කපිතාන් සයිමන් හාඩි, විශේෂයෙන් ආසියානු කලාපයේ ගුවන් ගමන් මාර්ග පිළිබඳ හසල අවබෝධයක් ඇති, වසර 17 ක් තිස්සේ බෝයිං 777 ගුවන් යානා පැදවීමේ අත්දැකීම් ඇති, මෙම විෂයය පිළිබඳ විශේෂඥයකු ලෙසිනි සැලකෙන්නේ. (අතුරුදන් වූ යානයද බෝයිං 777 වර්ගයේ යානයකි). කපිතාන් හාඩි පවසන්නේ සහාරි ෂා සිය ගුවන් යානය, වුවමනාවෙන්ම නියමිත ගමන් මාර්ගයෙන් පිටතට ගෙන, ඉතා දක්ෂ ලෙස රේඩාර් පද්ධතිවලින් සඟවාගෙන සැතපුම් දහස් ගණනක දුරක් පදවාගෙන ගොස් ඇති බව තමාට ස්ථිර බවයි. යානය මහ සයුර මැදදී අතුරුදන්ව ඇත්තේ ඔහු මේ ආකාරයෙන් වුවමනාවෙන්ම යානය සඟවාගෙන ගමන් කිරීමෙන් පසුවය යන්න කපිතාන් හාඩිගේ විශ්වාසයයි.
ගුවන් යානය අවසන් වරට ගුවන් ගමන් පාලක මැදිරියක රේඩාර් තිරයක සටහන් වූයේ එය දකුණු චීන මුහුදට ඉහළින් චීනයේ බිජිං දෙසට පියාසර කරමින් තිබියදීය. යානයේ ගමනාන්තය වූයේ බිජිං ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. නමුත් පසුව චන්ද්‍රිකා තොරතුරු වලින් අනාවරණය වූයේ එය එම ස්ථානයේ සිට, ආපසු හරවාගෙන, ගුවන් ගමන් පාලක රේඩාර් තිරවලට පවා හසු නොවී පැය ගණනක් තිස්සේ පෙරළා මලයාසියාව දෙසට ගමන් කර ඇති බවයි.
යානය අවසන් වරට ගුවන් ගමන් පාලකයින්ගේ සම්බන්ධතාවලින් ගිලිහී යාමෙන් පසු එය ගමන් කර ඇති මාර්ගය තුළ අවධානයට ලක් විය යුතු බොහෝ හෝඩුවාවන් ගැබ්ව ඇති බව කපිතාන් හාඩි අවධාරණය කරයි. එතැන් සිට යානය ආපසු හැරී ගමන් කර ඇත්තේ මලයාසියානු සහ තායිලන්ත දේශ සීමාව ඔස්සේය.
'යානය අට වතාවක්, මේ රටවල් දෙකේ ගුවන් කලාපවලට ඇතුළු වෙමින් පිටවෙමින් ගමන් කර තිබෙනවා. මෙය අහඹු සිද්ධියකට වඩා ඉතා දක්ෂ පියාසර කිරීමක් හැටියටයි සඳහන් කළ හැකි වන්නේ. හැම විටම එක් රටක ගුවන් ගමන් පාලකයන් යානය ඇත්තේ අනෙක් රටේ සීමාව තුළ යයි සිතා ඒ ගැන අවධානය අත හැරීමට මේ නිසා ඉඩ තියෙනවා.' කපිතාන් හාඩි සඳහන් කරයි. මේ තත්ත්වය තුළ නියමු සහාරි ෂාට රේඩාර් තිරවලින් සඟවාගෙන ගුවන් යානය තමාට වුවමනා තැනට ගෙන යාමට ඉඩ ලැබෙන්නට ඇතැයි යන්න ඔහු ඉඟි කරයි.
කපිතාන් හාඩි විසින් ඉදිරිපත් කරන ලද තර්ක අතරින් කාගේත් වැඩි අවධානය දිනා ගන්නට සමත් වූ තර්කය මේ කිසිවක් නොවේ. මැ‍ලේසියානු ගුවන් යානය එහි ගමන් මගෙහි එක් අවස්ථාවක 'පෙනාන්ග්' නමැති දූපත අද්දරින් කිසියම් අසාමාන්‍ය ගමන් රටාවක් අනුගමනය කරමින් ගමන් කර ඇතැයි යන්න හාඩි ඔහුගේ තර්කය සනාථ කිරීමට ගෙන හැර දක්වන ප්‍රබලම සාධකය බව පෙනේ. 'පෙනාන්ග්' යනු අතුරුදන් වූ ගුවන් යානාව පැද වූ නියමු සහාරි ෂා ගේ උපන් බිම පිහිටි දූපතයි. එම දූපත අද්දරින් යානය ගමන් කර ඇති රටාව අනුව කපිතාන් හාඩි අනුමාන කරන්නේ කිසිවකු පෙනාන්ග් දූපත දෙස අවසන් වරට බලන ආකාරයේ හැඟීම්බර නිරීක්ෂණයක යෙදෙමින් යානය පදවා ඇති බවයි.
'පෙනාන්ග් දූපත අද්දරින් යානය පදවා තිබිම කිසියම් අසාමාන්‍ය තත්ත්වයක්.' හාඩි පෙන්වා දෙයි. 'මම බොහෝ වේලාවක් මේ ගැන කල්පනා කරමින් කාලය ගත කළා. එය හරියටම කලකට ඉහත මා ඕස්ට්‍රේලියාවේ අයර්ස් පර්වතය අද්දරින් යානයක් පදවාගෙන ගිය අවස්ථාවට සමානයි. එහිදී ගුවන් ගමන් මාර්ගය වැටී තිබෙන්නේ හරියටම අයර්ස් පර්වතයට කෙළින් ඊට ඉහළිනුයි. ඒ නිසා එම මාර්ගයේ යානයක් පදවාගෙන යද්දී මෙම පර්වතය හරියාකාර දැකගන්න ලැබෙන්නේ නැහැ. මොකද එය හරියටම යානයේ බඳට යටින් පිහිටන නිසා.
'එම නිසා මෙම පර්වතය හොඳින් දැකබලා ගන්නට නම් ඔබ යානය මඳක් දකුණට හෝ වමට හරවා පර්වතය අද්දරින් එය පදවාගෙන ගොස් නැවත වංගුවක් ගෙන නියමිත මාර්ගයට පැමිණිය යුතුයි. පර්වතය හොඳින් දිස්වන්නේ මේ ආකාරයෙන්, ඊට හරියටම ඉහළින් නොව, එය අද්දරින් යානය පදවාගෙන ගියහොත් පමණයි.
එම්.එච්. 370 යානයේ ගමන් රටාව නිරීක්ෂණය කරද්දිත් අපට පෙනාන්ග් දූපතට ඉහළදී මෙවැනි අසාමාන්‍ය වංගු ගැනීමක් දැකගත හැකියි. එක් වංගුවක් නොව වංගු තුනක්ම අරගෙන ඇති බවයි පෙනෙන්නේ. මෙයින් අනුමාන කළ හැකි වන්නේ කිසිවකු පෙනාන්ග් දූපත දෙස කිසියම් හැඟීම්බර නිරීක්ෂණයක යෙදෙන්නට උත්සාහ කර ඇති බවයි.'
මේ කතාවෙන් ඉඟි කෙරෙන්නේ යානය පැදවූ නියමු සහාරි ෂා යානයත් සමග දිවි නසා ගන්නට පෙර අවසන් වතාවට තම උපන් බිම දැක ගනු පිණිස එවැනි අසාමාන්‍ය ගමන් රටාවක් අනුගමනය කරන්නට ඇති බවයි.
ගුවන් නියමුවකු මේ ආකාරයෙන් සිය යානයද එහි සිටින මගීන්ද සමග සිය දිවි නසා ගැනීමේ ගමනක යෙදීම ඉතා කලාතුරකින් සිදුවිය හැක්කක් වන නමුත් එය සිදු නොවිය හැකි දෙයක් යැයි බැහැර කිරීමේ හැකියාවක් නැති බවද ගුවන් ගමන් විශේෂඥයෝ පෙන්වා දෙති. එමෙන්ම කපිතාන් හාඩිගේ ඉහත කී නිරීක්ෂණ නිසා එම මතයට මේ වනවිට විශාල වලංගුභාවයක් ලැබෙමින් ඇති ආකාරයක්ද පෙනේ.
බෝයිං 777 වර්ගයේ යානා පැදවීම සම්බන්ධයෙන් මහත් අත්දැකීම් ඇති තවත් විශේෂඥයකු වන ස්ටීව් ලැන්ඩෙල්ගේ නිරීක්ෂයන්ද කපිතාන් හාඩිගේ මතයට තවදුරටත් රුකුල් දෙන්නක් ලෙස සැලකිය හැක්කකි. යානය රේඩාර් තිරයක අවසන් වරට දිස් වීමෙන් පසු එය නැවත දකුණට හරවා එක දිගට පැය හයක කාලයක් සෘජු ගමන් මාර්ගයක ගමන් කර තිබිම ඔහුගේ අවධානයට හසු වෙයි. මෙතරම් කාලයක්, මෙතරම් දුරක් ගමන් කරන තුරු යානයේ නියමු කුටිය තුළ සිටි කිසිවකු රේඩියෝ පණිවුඩයක්වත් නොදුන්නේ මන්ද යන්න ඔහු ප්‍රශ්න කර සිටියි. එසේම එවැනි පණිවුඩයක් ලබා දීමට බාධාවක් විය හැකි කිසිදු තාක්ෂණික ගැටලුවක් බෝයිං 777 යානාවල නැති බවද ඔහු පෙන්වා දෙයි.
යානය හෝ නියමු කුටිය තුළ හෝ මහත් විනාශකාරී ගින්නක් ඇති වීම වැනි අවස්ථාවක නම් රේඩියෝ පණිවුඩයක් දීමේ ගැටලුවක් මතු විය හැකි බව ඔහු පිළිගනියි. නමුත් ලැන්ඩෙල් පෙරළා ප්‍රශ්න කරන්නේ යානයේ නියමු කුටිය තුළ එවැනි මහා ගින්නක් තිබුණා නම් යානය පැය හයකට අධික කාලයක් ගැටලුවකින් තොරව පියාසර කළ බවක් පෙන්වන්නේ කෙසේද යන්නයි.
ලැන්ඩෙල්ගේ මෙම තර්කනයද බොහෝ විට අවසානයේ අපව ගෙන යන්නේ යානය තුළ කිසියම් අසාමාන්‍ය සිදුවීමක් සිදුවන්නට ඇතැයි යන අනුමානයටයි. කිසිවකු වුවමනාවෙන්ම සියලු සම්බන්ධතා බිඳ දමා ඇති බවට සැකයක් මේ අනුව ඇති වෙයි. අනෙක් අතට යානය පැහැර ගැනීමක් හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයක් හෝ සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක්, වගකීම භාර ගැනීමක් නොමැති වීමද මෙම 'දිවි නසා ගැනීමේ න්‍යාය' සනාථ කරන්නක් බවද බොහෝ දෙනා පෙන්වා දෙති.
එවැන්නක් සිදු වී නම් ගුවන් නියමුවකු සිය යානයද සමග දිවි නසා ගත් බවට සැක කරන නව වැනි අවස්ථාව බවට මෙය පත් වනු ඇත. මීට පෙර එවැනි අවස්ථා අටක් පිළිබඳව වාර්තා වන බව ඇමෙරිකානු ගුවන් ගමන් ආරක්ෂක ජාලය (උඉ ඒමඪචබඪධද ඉඥජභපඪබර ව්ඥබඹධපඬ) සඳහන් කරයි.
පළමු වරට එවැනි සිද්ධියක් වාර්තා වී ඇත්තේ 1976 සැප්තැම්බර් මාසයේ රුසියාවෙනි. ගුවන් නියමුවකු ඇන්ටනෝව් 2 යානයක් සොරා ගෙන එය පදවාගෙන ගොස් තට්ටු නිවාසයක ගැටෙන්නට සලස්වා ඇත්තේ සිය දික්කසාද වූ බිරිඳ එහි ජීවත් වූ නිසාය. නියමුවා සහ තට්ටු නිවාසයේ පදිංචිකරුවන් 11 දෙනෙකු මෙහිදී මරණයට පත්ව ඇති නමුත් නියමුවාගේ බිරිඳ ඒ අතර සිට නැත.
දෙවැනි වරට එවැනි සිද්ධියක් වාර්තා වී ඇත්තේ 1979 වසරේ කොලොම්බියාවෙනි. රැකියාවෙන් පහ කරන ලද ගුවන් යානා කාර්මිකයකු හමුදාවට අයත් කුඩා යානයක් සොරා ගෙන පදවාගෙන ගොස් බොගොටා නම් ජනාකීර්ණ ප්‍රදේශයකට කඩාපාත් කර තිබේ. මෙම සිද්ධියෙන් සිව් දෙනෙකු මරණයට පත්ව ඇත.
ඊළඟ සිද්ධිය වාර්තා වී ඇත්තේ 1994 රුසියාවෙනි. ගුවන් හමුදා ඉංජිනේරුවරයෙකු මොස්කව් ආසන්නයේ පිහිටි කුබින්කා කඳවුරෙන් ඇන්ටනෝව් 26 යානයක් සොරාගෙන අනතුරුව කුබින්කා නගරය වටා වාර ගණනාවක් ගමන් කරමින් සිට ඇත. අවසානයේ යානයේ ඉන්ධන අවසන් වීමෙන් එය අනතුරට පත්ව නියමුවාද මරණයට පත්ව තිබේ.
1994 වසරේම නියමුවකුගේ දිවි නසා ගැනීමක් ගැන සැක කරන තවත් සිද්ධියක් සිදුව ඇති අතර එය වාර්තා වන්නේ මොරොක්කෝවෙනි. රාජකීය මොරොක්කෝ ගුවන් සේවයට අයත් යානයක් ගුවන් ගත වී සුළු මොහොතකට පසු ඇට්ලස් කඳුවැටියට කඩා වැටී තිබේ. නියමුවා යානයේ ස්වයං නියමු පද්ධතිය ක්‍රියා විරහිත කොට යානය කඳු වැටිය වෙතට යොමු කර ඇති බව සැලකිණි. මෙම අනතුරින් 44 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
පස්වැනි සිද්ධිය ඉන්දුනීසියාවෙන් වාර්තා වෙයි. මෙම අනතුරින් 104 දෙනෙකු මරු වැළඳගත් අතර අනතුරට ලක් වූයේ සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ බෝයිං 737 වර්ගයේ යානයකි. මෙහිදීද නියමුවා යානය වුවමනාවෙන්ම පහතට කඩා වැටෙන්නට සලස්වා ඇති බවට සැක කෙරිණි.
මීළඟ අනතුර 1999 වසරේ වාර්තා වන්නේ බොට්ස්වානාවෙනි. මෙම අවස්ථාවේ නම් තමා වුවමනාවෙන්ම යානය කඩාපාත් කරන බව නියමුවා රේඩියෝ පණිවුඩයක් මාර්ගයෙන් ගුවන් ගමන් පාලක මැදිරියට දැනුම් දී තිබේ. ඒ අනුව ඔහු සිය යානය ගැබරෝන් ගුවන් තොටුපළට කඩාපාත් කළ අතර ගුවන් තොටුපළේ තිබූ යානා දෙකක්ද එහි ගැටී අනතුරට පත් විය. එක් අයෙකු මරණයට පත් විය.
නියමුවා සිය දිවි නසා ගැනීමෙන් සිදු වූ බවට සැක කරන ගුවන් අනතුරු අතරින් වැඩිම පිරිසක් මිය ගිය අනතුර ලෙස සැලකෙන්නේ 1999 වසරේම ඇමෙරිකාවේ සිදු වූ අනතුරයි. ඊජිප්තු ගුවන් සේවයට අයත් බෝයිං 767 ගුවන් යානාවක් ගුවන් තොටුපළින් අහසට නංවා ටික වේලාවකට පසු පහතට කඩා වැටෙන්නට පටන් ගත් අතර ප්‍රධාන ගුවන් නියමුවා මඳකට නියමු කුටියෙන් ඉවත ගිය අවස්ථාවක සහයක නියමුවා වුවමනාවෙන්ම මෙම අනතුර සිදු කරන්නට ඇති බවට සැක කෙරිණි.
අවසන් වරට මෙවැනි දිවි නසා ගැනීමක් යයි සැක කෙරෙන්නේ 2013 වසරේ නැමීබියාවේ සිදු වූ සිද්ධියකි. මොසැම්බික් සිට ඇන්ගෝලාව බලා පියාසර කරමින් තිබූ යානයක් හදිසියේම පහතට කඩා වැටෙන්නට පටන් ගත් අතර මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එය නියමුවා වුවමනාවෙන්ම සිදු කරන ලද අනතුරක් බවයි. මෙම අනතුරින් මිය ගිය සංඛ්‍යාව 33කි.
කෙසේ නමුත් මලයාසියානු එම්.එච්. 370 ගුවන් යානයේ නියමු සහාරි ෂා යානයත්, එහි ගමන් ගත් 239 දෙනාත් රැගෙන දිවි නසා ගත්තා නම් වැඩිම මගීන් පිරිසක් මරණයට පත් කළ එවැනි සිදුවීම මෙය බවට පත් වනු ඇත

ලක්බිම

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.