Menu

logo new 2015-5-11

Shamrock-png

සිරි ගුණසිංහයෝ දිවි මඩලෙන් සමුගනී

සිරි ගුණසිංහයෝ දිවි මඩලෙන් සමුගනී

ප්‍රකට කවියකු හා නවකතාකරුවකු වූ සිරි ගුණසිංහ මහතා අද(25) අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා 92වැනි වියේ පසුවිය. 1925 පෙබරවාරි 18 වැනිදා ගාල්ලේ උපන් ගුණසිංහ මහතා සිංහල කවියකු, නවකතාකරුවෙකි, කලා ඉතිහාසඥයකු, කලා විචාරකයකු ලෙස සුවිශේෂී කාර්ය භාරයක් කළ අයෙකි.

ඔහු සිංහල භාෂාවේ ද්විරූපතාව අවම කරමින් කට වහරේ ව්‍යාකරණය ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක ලේඛනය සඳහා යොදාගැන්මේ පුරෝගාමියෙක් ද විය. එසේ ම ලේඛනයේ දී මූර්ධජ ණ සහ ළ අක්ෂර ඉවත ලූ ඔහු සිය නම භාවිත කළේ ද ගුණසිංහ වශයෙන් නො ව ගුනසිංහ වශයෙනි.

ගමේ බෞද්ධ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ විසින් පවත්වාගෙන යනු ලැබූ සිංහල පාසැලකින් ද අනතුරු ව රුවන්වැල්ල ප්‍රදේශයේ ද්විභාෂා පැසැලකින් ද, පසු ව ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද පාසල් අධ්‍යාපනය ලැබී ය. මහින්ද විද්‍යාලයේ දී ඔහු සමග එක පෙළෙහි අධ්‍යාපනය ලද සිසුන් අතර පසු ව විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් බවට පත් වූ නන්දදාස කෝදාගොඩ, විනී විතාරණ, සිරිමල් රණවැල්ල හා ධර්මසේන අරම්පත්ත ද කීර්තිමත් මාධ්‍යවේදියකු බවට පත් වූ එඩ්වින් ආරියදාස ද වූහ.

1942 දී ලංකා විශ්ව විද්‍යාලය බවට පත් කෙරුණු එකල යුනිවර්සිටි කොලීජියට ඇතුළත් ව සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රථම පන්තියේ සාමර්ථ්‍යයක් සහිත ව ශාස්ත්‍රවේදී උපාධිය ලබා එහි ම සංස්කෘත පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ ගුණසිංහ මහතා පේරාදෙණි ගුරුකුලය වශයෙන් ජනමාධ්‍ය විසින් නාමකරණය කෙරුණු සාහිත්‍යයික, විචාරක හා ශාස්ත්‍රඥ ප්‍රවණතාවට අයත් ප්‍රමුඛ චරිතයක් බවට පත් විය.

1970 සිට කැනඩාවේ පදිංචි ව සිටින සිරි ගුණසිංහ මහතා එවක පටන් එරට වික්ටෝරියා විශ්ව විද්‍යාලයෙහි කලා ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේ ය.

1956 දී ‘මස් ලේ නැති ඇට‘ නමැති පද්‍ය සංග්‍රහය ලියූ ගුණසිංහ මහතා සාම්ප්‍රදායික ඡන්දස් ශාස්ත්‍රයට අනුකූල ව රචනා නොකිරීම, සිංහල සාහිත්‍ය සම්ප්‍රදායෙහි සුපුරුදු උපමා රූපක ආදිය බැහැර කොට සම්ප්‍රදායෙන් "පිටස්තර" උපමා ආදිය උපයෝගී කරගැනීම, මේ රචනාවන්ගෙන් ප්‍රකට වන ජීවන දෘෂ්ටිය පාරම්පරික සිංහල සංස්කෘතියට පටහැණි වීම යන චෝදනාවන්ට පාත්‍ර විය.

ඉන් පසු පළ වූ ‘අබිනික්මන‘ සහ ‘රතු කැකුළ‘ යන පද්‍ය සංග්‍රහ දෙක ගුණසිංහ මහතාගේ විශිෂ්ට නිර්මාණ විය.

ඔහු 1950 දී The Observer Annual සඟරාවට ලියූ The New Note in Contemporary Sinhalese Poetry නමැති ලිපිය නූතන කාව්‍ය විචාරයේ වැදගත් සන්ධිස්ථානයකි. එහි දී ඔහු එවක ස්ථාපිත ව ද ජනප්‍රිය ව ද පැවති "කොළඹ කවිය" ක්‍රමානුකූල විවේචනයට පාත්‍ර කළ අතර එම ප්‍රවණතාවේ නිශේධාත්මක පැති පෙන්වා දුන්නේ ය.

මීට අමතර ව දිණමිණ පුවත් පතට සැපයූ ගුණසිංහ මහතා 1960 වසරේ පළ කළ හෙවනැල්ල නවකතාව ද එවැනි ම ආන්දෝලනයක් ඇති කළේ ය. මුල් ම වරට විඥානධාරා රීතිය සිංහල නවකතාවක් තුළ භාවිත වූයේ මෙහි දී බැව් සැලකේ. හෙවනැල්ල නවකතාවේ දෙවැනි කොටස ලෙස රචිත ‘මන්දාරම‘ පළ වූයේ 1994 දී ය.

වියුක්ත චිත්‍ර ශිල්පියකු වූ ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ පැවැත්වුණු චිත්‍ර ප්‍රදර්ශනවල දී සිය කෘති ප්‍රදර්ශනය කළ අතර එදිරිවීර සරච්චන්ද්‍රගේ මනමේ නාට්‍යය ඇතුළු විවිධ වේදිකා නාට්‍යවලට රංග වස්ත්‍ර නිර්මාණකරුවකු වශයෙන් සම්බන්ධ විය. ඔහුගේ චිත්‍ර ශිල්පී දක්ෂතා පොත් කවර නිර්මාපකයකු වශයෙන් විශාල කීර්තියක් අත් කර දීමට ද ඉවහල් විය.

විචාරක ප්‍රසාදය මෙන් ම සරසවි සම්මාන ගණනාවක් ද දිනූ “සත් සමුදුර” චිත්‍රපටය ඔහු අධ්‍යක්ෂණය කළ පළමු සහ එක ම සිනමා කෘතිය විය. පසු කලෙක ගුත්තිල කාව්‍යය සංගීතමය ටෙලි නාට්‍යයකට නඟා අධ්‍යක්ෂණය කළේ ද සිරි ගුණසිංහ මහතාය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.