Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

රමෝන් මැග්සේසේ සම්මානයෙන් පිදුම් ලබන ශ්‍රී ලාංකික කාන්තාව ගෙත්සි ෂන්මුගම්

රමෝන් මැග්සේසේ සම්මානයෙන් පිදුම් ලබන ශ්‍රී ලාංකික කාන්තාව ගෙත්සි ෂන්මුගම්

පිලිපීනය විසින් පිරිනමනු ලබන, ආසියාවේ නොබෙල් තෑග්ග ලෙස ද ගෞරවයට පාත්‍ර වන රමෝන් මැග්සේසේ සම්මානය 2017දී දිනා ගත් සය දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක ද සිටියි.


ඇය ගෙත්සි ෂන්මුගම් නම් වන්නී ය. ඇය මේ සම්මානයට පාත්‍ර වී තිබෙන්නේ යුද්ධයෙන් වඩාත්ම අවදානමට පත් වන්නන් වන කාන්තාවන් හා ළමයින්ගේ සුබසාධනය වෙනුවෙන් කරන ලද ආදර්ශමත් කාර්යයන් හා ඇපකැප වීම් නිසා ය.
යුද්දයෙන් පීඩාවට පත් වූ කාන්තාවන්ගේ, විශේෂයෙන් ම යුද වැන්දඹුවන්ගේ හා ළමයින් ඇතුළු සරණාගතයන්ගේ මානසික සුවය වෙනුවෙන් උපදේශන සේවා සැපයීම ශක්තිමත් කිරීම සඳහා ඇය දශක හතරක කාලයක් තිස්සේ ඇපකැප වුණා ය.
ගුරුවරියක හා උපදේශන සේවා සපයන්නියක වන ගෙත්සි දැන් 82 හැවිරිදි ය. තමන් බිම් මට්ටමේ වැඩකරුවකු බව නිහතමානී ලෙස පෙන්වා දෙන ගෙත්සි ඇයට හිමි වන රමෝන් මැග්සේසේ සම්මානය ජාතියට හිමි එකක් බව පවසයි.
මෙම සම්මානය පිරිනමනු ලබන්නේ 1957දී ගුවන් අනතුරකින් මිය ගිය පිලිපීනයේ හිටපු ජනාධිපති රමෝන් මැග්සේසේ සිහි වීම පිණිසයි. මේ සම්මාන අගෝස්තු 31දා පිලිපීනයේ මැනිලා නුවරදී පිරිනමනු ලැබේ.
ගෙත්සි ෂන්මුගම් ඇතුළු සය දෙනා ඇතුළුව මෙතෙක් රමෝන් මැග්සේසේ සම්මානය ලැබූ පිරිස 318කි. ශ්‍රී ලාංකිකයන් වන සර්වෝදය ව්‍යාපාරයේ නායක ඒ.ටී. ආරියරත්න, සංගීතවේදී ඩබ්ලිව්.ඩී. අමරදේව, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනී වෛද්‍ය මේරි රත්නම්, මාධ්‍යවේදී ටාසි විට්ටච්චි, චිත්‍ර ශිල්පී එල්.ටී.පී. මංජු ශ්‍රී, ගරු මර්සලීන් ජයකොඩි පියතුමා සහ ෆර්නෑන්ඩස් හර්මන් ජිල් ජෝසෆ් සහෝදරතුමා ද මීට පෙර රමෝන් මැග්සේසේ සම්මානයෙන් පිදුම් ලැබූ හ.
ගෙත්සි 1957දී සිය ගුරු වෘත්තිය ආරම්භ කළේ මහනුවර මව්බ්‍රේ බාලිකා පාසලෙනි. කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ද සේවය කළ ඇය මර්වින් ප්‍රනාන්දු පියතුමා යටතේ උපදේශනය පුහුණු වී, ගැටලුවලට මුහුණ දුන් නව යොවුන් වියේ ගැහැනු හා පිරිමි ළමුන් වෙනුවෙන් අධ්‍යාපනික හා උපදේශන වැඩසටහන් දියත් කළා ය. පසු කලෙක ඇය දකුණු ඉන්දියාවේ වෙල්ලෝර්හිදී උපදේශනය පිළිබඳ වැඩිදුර පුහුණුව ලැබුවා ය.
යුද්ධය ආරම්භ වීමෙන් පසුව ඇය ඉතා දුෂ්කර තත්වයන් යටතේ අවතැන් වූ වැඩිහිටියන්ට හා ළමයින්ට උපදේශනය සැපයීමේ නිරත වූ අතර සිය අත්දැකීම් පාදක කරගෙන පොත් පිංචක් ද පළ කළා ය. වසර කීපයක් රෙඩ් බානා ආයතනයේ ද සේවය කළ ගෙත්සි ඉන් පසුවත් අවතැන් වූවන්ටත්, විශේෂයෙන් ම අවතැන් වූ ළමයින්ටත්, ළමා සොල්දාදුවන් වීමේ අවදානමට මුහුණ දුන් ළමයින්ටත්, වීදි දරුවන්ටත්, උපදේශන, අධ්‍යාපන, පුනරුත්ථාපන, පෝෂණ ආදී වැඩසටහන් දියත් කළා ය. ඒ හා සම්බන්ධ උපදේශිකාවක් ලෙස පෙර පාසල් ගුරුවරියන් ඇතුළු නව පරපුරට මගපෙන්වීම ද ලබා දුන්නා ය.
කුසලතා පූර්ණ උපදේශන සේවා සම්පාදකවරියක හා සමාජ සේවිකාවක ලෙස ඇගේ දිගුකාලීන භූමිකාව රැමොන් මැග්සේසේ සම්මානයෙන් ඇගයීමට ලක් වීම ශ්‍රී ලංකාවට ආඩම්බරයකි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.