Menu

logo new 2015-5-11

Shamrock-png

සංක්‍රාන්තිකයක කාන්තිය

සංක්‍රාන්තිකයක කාන්තිය

පාර්ලිමේන්තුව විසුරුවා ඇත. අගෝස්තු 17 මහමැතිවරණය පැවැත්වීමට නියමිතය. 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කෙරෙන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතැයි සපථ කළ මෛතී‍්‍ර, චම්පික, රාජිත, තුන්බෑයන් සියලූ ලෝක ධර්මයන්ට වඩා දේශපාලන චෙස් පුවරුවේ නීති ධර්ම ප‍්‍රමුඛ වන බව යළිත් පෙන්වා තිබෙයි.

දැන් 19 වන සංශෝධනයට වන්නේ කුමක්ද? ඉන් බලාපොරොත්තු වූ විධායක බලතල සැබැවින්ම අඩු වීද? යෝජිත ප‍්‍රතිසංස්කරණ සිදුවුණිද? සිදුවන්නේ කවදාද?

සැබෑ සිවිල් සමාජය සමග ගැඹුරු සාකච්ඡාවකට නොගොස් තදියමට සම්මත කරගන්නා ව්‍යවස්ථා සංශෝධනයන්ගේ දිග පළල කොහොමටත් තීරණය කරන්නේ දේශපාලන සමාජය (Political Society) විසිනි. ලාංකේය අරුතින් සිවිිල් සමාජය යන්නට ඇත්තේ ඌනිත ලිබරල් හෝ NGO අරුතකි. ග‍්‍රාම්ස්චියානු අරුතෙන් සිවිල් සමාජය යනු දේශපාලන සමාජයට පරිබාහිරව පොදු සමාජය මත සදාචාර හා බුද්ධිමය නායකත්වය අභ්‍යාස කරන අවකාශයයි. ඒ අනුව අප කැමති වුවද අකමැති වුවද මහින්ද රාජපක්ෂ හිතවාදී පුළුල් මතවාදී කඳවුරද (අපේ අරුතින් යටත් වැසි) සිවිල් සමාජයට අයත් ය.

රාජපක්ෂ රෙජීමයට එරෙහිව වසර ගණනාවක් පුරා අප දියත් කළ න්‍යායික-භාවිත අරගලයේදී එහි විශ්ලේෂණීය පදනම ලෙස අප නව ලිබරල් ධනවාදී රාජපක්ෂ හෙජමොනිය යන්න හඳුනා ගත්තේ ඒ සංකීර්ණ අරුතිනි.

ලිබරල් සිවිල් සමාජය විසින් සමාජ ප‍්‍රතිසංස්කරණ පිළිබඳව බෝ කරමින් සිටින ඌනිත නෛතික අර්ථයන්ට ඔබ්බෙන් සැබෑ සිවිල් සමාජය තුළ බුද්ධිමය හා සංස්කෘතික ප‍්‍රතිසංස්කරණයක් ගොඩ නගන්නේ කෙසේද යන්න ඉදිරි සමාජ විමුක්ති අරගලයේ මධ්‍ය ප‍්‍රශ්නය වනු ඇත. ඉදිරි මහ මැතිවරණයෙන් පසු මේ බොහෝ ගැටලූ විසඳා දෙනු ඇත.

මහමැතිවරණයේ තරගකාරී බල පොරය තීරණාත්මකව දෘෂ්‍යමාන වනු ඇත්තේ

එජාපය, මහින්ද කඳවුර, මෛතී‍්‍ර හා/හෝ චම්පික පිල, ජවිපෙ, දෙමළ ජාතික සංධානය, මුස්ලිම් නියෝජනය, පෙරටුගාමී ඇතුළු සුළු වාම පක්ෂ… ආදී ලෙසය.
එහෙත් ඉදිරි මහ මැතිවරණයේ අක්ෂයන් දෙස අප බලන්නේ බහුභූතයෝ චිත‍්‍රපටයේ කණ්නාඩි යුගල පැළඳගෙන වන නිසා අපට පෙළපාළිය පෙනෙන්නේ,

 රැඩිකල් සිංහල බෞද්ධ ජාතිකවාදය
 සම්ප‍්‍රදායික සිංහල බෞද්ධ ජාතිකවාදය
 නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය
 සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය
 ආන්තික වාම පක්ෂවාද
 දෙමළ මුස්ලිම් පීඩිත ජාතිකවාදය

යන දෘෂ්ටිවාදී පෙරමුණු ලෙසින් ය.

(අදාල නියෝජිත පක්ෂ/ව්‍යාපාර ඉහත මතවාදී කඳවුරු සමග ගලපා බැලීම ඔබගේ අභ්‍යාසයකි).

එතනෝල්කාරයන්, කුඞ්ඩන්, පිම්පියන්, සොරුන්, මිනීමරුවන්, දූෂකයන්, සූදුකාරයන් ‘ගිරි දිවයිනට’ පන්නා දමා පාර්ලිමේන්තුව ධර්මශාලාවක් කිරීමේ පොරොන්දුව ඉදිරි මැතිවරණ වේදිකාවේ ජනප‍්‍රිය මාතෘකාව වෙද්දී හා ව්‍යාජ සිවිල් සමාජය එය සුරුවමක් කොට කර තබාගෙන යාමට සූදානම්ව සිටිද්දී අප සාමූහිකය අසන්නේ වෙනත් ප‍්‍රශ්න දෙකකි.

01. විපරීත රාජපක්ෂවාදයට පසු නව ප‍්‍රාග්ධන සමුච්ඡුන තර්කනය කුමක්ද?
02. රාජපක්ෂ යුගයේ පැවති රජ හා වහල් සබඳතාවය විස්ථාපනය වී ගොඩනැගී ඇති නව ස්වාමි-වහල් සම්බන්ධය කුමක්ද?

ඊට පිළිතුරු හඹායන අධිෂ්ඨානය විසින් සැබෑ සිවිල් සමාජ දේශපාලනය ඇරඹෙනු ඇත. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ අපගේ ළැදියාවන් නිර්ණය කෙරෙනු ඇත්තේ යටකී දේශපාලන අභිලාෂයේ උපාය මාර්ගික දැක්මට අදාළ හදිසි උපක‍්‍රම වලට සාපේක්ෂව බවද අවසන කිව යුතුව ඇත.

විදර්ශන කන්නන්ගර
ස. වි. ගිවිසුම/ රස ව්‍යාපාරය

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.