Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

පුදපු ගමන් කාපි යකා

පුදපු ගමන් කාපි යකා

පසුගිය ජනාධිපතිවරණයේදීත් ඊට පසුවත් කිසිදු විවේචනාත්මක දැක්මකින් තොරව මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහාය දුන් ලිබරල් සිවිල් සමාජයේ බහුතර පිරිස දැන් ඔහු මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීම සම්බන්ධයෙන් පවසන්නේ මේ සියවසේ මහා පාවාදීම සිදුකළ බවයි. එහිම දිගුවක් ලෙස තවත් අයෙක් පවසන්නේ පක්ෂයකට සම්බන්ධ ඔහු වැන්නෙක් නොදමා ජනාධිපතිවරණයට සෝභිත හාමුදුරුවන් වැනි අපේක්ෂකයෙක් යොදා ගත්තේ නම් තත්වය වෙනස් වනු ඇති කියාය. කෙසේ වුවත් සියල්ලන්ම සිය අදහස් පළ කරන්නේ යහපාලන කතිකාව කේන්ද්‍ර කොටගෙනය. රනිල්-මෛතී‍්‍ර දීගය මාස හයකට එහා ගෙන යා නොහැකි වූයේ මන්ද යන්නට ලිබරල් සිවිල් බුද්ධිමතුන්ගේ හා මාධ්‍ය වේදීන්ගේ සෝ සුසුම් හැරුණු විට තවමත් පැහැදිලි දේශපාලනික විග‍්‍රහයක් දක්නට නොමැති තරම්ය.

ඒ නිසාම අප ඇසිය යුත්තේ ස්වර්ග රාජ්‍යය පෙනි පෙනී තිබියදීම යහපාලන දීගය පවත්වා ගැනීමට නොහැකි වූයේ ඇයිද යන්නය. මගේ අදහසට අනුව නම් එයට හේතුව රනිල්ගේ ‘Good Governance’ හා සෝභිත හිමියන් පෙරටුකරගත් ලිබරල් සිවිල් බුද්ධිමතුන්ගේ ‘යහපාලනය’ එකක් නොව දෙකක් වීමය. මෙය හාස්‍ය දනවන ආකාරයෙන් කිවහොත් මේ දෙක එකක් ලෙස ගැනීම ‘Mom’ හා ‘අම්මා’ එකක් ලෙස ගැනීමකි. එනම් ඊට අදාල කාරණා රැසකි. රනිල්ගේ Good Governance වලට අදාල වන්නේ රාජ්‍යය ආර්ථිකයෙන් ඈත් කිරීම, රාජ්‍ය මූලික සුභසාධන සේවා කපා හැරීම, අල්පේච්ච ජීවිතයක් (Austerity) වෙනුවෙන් ජනතාවට යෝජනා ගෙන ඒම, රාජ්‍යය ලෞකික කිරීම හා ෆෙඩරල් විසදුමක් ගැන අදහස ශක්තිමත් කිරීම ආදිය යි.

එහෙත් සෝභිත හිමියන් ප‍්‍රමුඛ නඩයේ යහපාලනයට අඩංගු වන්නේ රාජ්‍යය මූලික වූ ආර්ථිකයක්, සිංහල බෞද්ධයාට මුලිකත්වය දෙන එහෙත් අනෙක් ජන කණ්ඩායම්වලට නිසි තැන දෙන පාලන ක‍්‍රමයක් හා දුෂණයෙන් තොර රටක් යන්නයි. මෙම අදහස් දෙක එකක් නොව දෙකක් බව වැටහෙන්නට බොහෝ අයට කල් ගොස් ඇතුවා සේය. ඒ පුපුරා යාම අද සටහන් විය. මහින්ද ආමන්ත‍්‍රණය කළේ මෙම නොගැලපීමටය. සිංහල බෞද්ධ ජාතිකවාදය පෙරට ගෙන එමින් නැති ත‍්‍රස්තයක් මවා පාමින් ඔහු නැවතත් සිය බලය අතට ගෙන ඇත.

එමෙන්ම වැදගත් ලෙසම මෙම මෛත‍්‍රී- රනිල් දීගයේ පංති සාධක නොසැලකීම ද මෙහි තවත් අර්බුදයකි. රනිල්ගේ ලෝකය හා මෛත‍්‍රීගේ ලෝකය අහසට පොළොව මෙනි. මෛතී‍්‍රට සෝබනකාරී ජීවිතයක් නැතැයි පවසා වසා ගන්නට හැදුවේ මෙම නොගැලපීම බව මගේ අදහසයි. රනිල්ට ලංකාවේ වත්මන් පාලනය ලෙහෙසි එකක් වනු ඇත කියා මම සිතන්නේ නැත. මන්ද වත්මන් පරිපාලනයේ සිටිනා මිනිසුන් ද ගැහැණුන් ද රනිල්ගේ පංතියේ රස දරා නොසිටීම ඊට හේතුවය. කොළඹ කේන්ද්‍ර කරගත් මධ්‍යම පන්තියක් වෙනුවට දැන් සිටින්නේ ගමෙන් උගෙන ඉහළ තනතුරවලට පැමිණි සාමාන්‍ය ප‍්‍රජාවගෙන් ලත් බහුතරයයි. කුමාරි ජයවර්ධනගේ අර්ථයෙන් කිවහොත් මේ ලොක්කන් වූ සොක්කන්ගේ පාලන කාලයයි. තවදුරටත් භාෂාමය නොහැකියාවන් මේ අයට නොමැති මුත් ඊනියා කොළඹ මධ්‍යම පන්තියේ රුචි අරුචිකම් ඔවුනට නොවීම මෙම නොගැලපීමයි. ඔවුන් සිතන්නේ සිංහල බෞද්ධ ඇගයුම් දරාගෙනය. ඔවුන් තවදුරටත් රනිල්-චන්ද්‍රිකා පන්තියේ අගනාකම් දරා සිටින්නන් නොවේ. ඒ වෙනුවට අපට දැකිය හැක්කේ කොළඹ මධ්‍යම පන්තියට වැඩ පෙන්වන්නට කැමතිව සිය මර්ධනකාරී ආධිපත්‍යය මුදාහරින තෝතැන්නක් ලෙස සිය රැකියාවන් ප‍්‍රයෝජනයෙහි යොදවන්නන්ය. මෛත‍්‍රී පාවා දුන්නේ මෙම නොගැලපීම මිස ඔහු විශ්වාස කරන දේශපාලන මාදිලිය නොවේ. අප මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දේශපාලන සත්වයෙකු ලෙස ගත්තේ නම් මේ තරම් ෆැන්ටසියක් ඔහු වෙනුවෙන් ගොඩ නොනගා ගන්නට තිබුණි. පසමිතුරුතා අක්ෂ නම් කරන විට මහින්ද රෙජීමය අනෙකා කිරීම හැර දේශපාලන වතාවත් තීරණය කරන වෙනත් දේශපාලන ගතිකයන් පිළිබද විශ්ලේෂණයන් නොවීම ඛේදයකි.

එසේ තිබුනේ නම් මහින්ද සංස්කෘතිය පරදවමු යන්න දේශපාලන විශ්ලේෂණවල දක්නට නොතිබෙනු ඇත. මේ සංස්කෘතිය පිළිබඳ චින්තනයේ තිබෙන විහිළුව නම් ඔවුනට අනුව වාස් ගුණවර්ධන සොරෙකු වන විට තිලංග සුමතිපාල, රවි කරුණානායක වැන්නන් ඒ ගොඩේ නොවීමයි. වාසනාවකි! ලිබරල් ධනවාදී ව්‍යාපෘතිය සිංහල බෞද්ධ ජාතිවාදී මොඩලයෙන් අධිනිෂ්චව කි‍්‍රයාත්මක වන අප සමාජ සැකැස්ම (Social Formation) අවබෝධ කොට නොගෙන සිවිල් බුද්ධිමතුන් හඳුන්වා දෙන සංස්කෘතිය පිළිබද විශ්ලේෂණ ජනතාව බාර ගත යුතුද?

මහින්දගේ ආගමනය විසින් ලිබරල් සිවිල් බුද්ධිමතුන් මෛතී‍්‍ර පිළිබඳව ගොඩ නැගූ ෆැන්ටසීන් බිඳ දැමීමට හේතු වූවා සේම ඉදිරියේදී මහින්දට දිවිදෙන ගැහැණු මිනිසුන්ගේ ‘මහින්ද ඇදහිල්ලේ’ අනාගත භෞතික පැවැත්ම කවරාකාර වේද යන්න නිෂ්චය කරදෙනු ඇත. ජනවාරි අට වෙනිදා කඳුළු සලා සතුටින් ඉපිල ගිය අයට දේශපාලනිකය (political) වෙනස් කිරීමේ සැබෑ අරගලය දැන් අභිමුඛ වී ඇත. සීතල බුද්ධිමතුන්ගේ දේශපාලන ආතල් කැඩීමේ ගෞරවයත් මහින්දටම හිමිවීම ඛේදවාචකයකි.

 

ගීතිකා ධර්මසිංහ

 

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.