Menu

logo new 2015-5-11

Shamrock-png

සීමා විරහිත ජවිපෙ සහයකයින්ගේ’ ප්‍රතිපත්ති විරහිතභාවය සහ න්‍යායික දරිද්‍රතාව - සුමිත් චාමින්ද

සීමා විරහිත ජවිපෙ සහයකයින්ගේ’ ප්‍රතිපත්ති විරහිතභාවය සහ න්‍යායික දරිද්‍රතාව - සුමිත් චාමින්ද

ජවිපෙ මැතිවරණ ප්‍රකාශණය, පළාත් සභා ක්‍රමය පවා අහෝසි කොට සිංහල ජාතික අධිපතිවාදය වෙනුවෙන් වඩාත් බලවත්ව (හෙළ උරුමය සහ එජනිසයද ඉක්මවා යමින්) පෙනී සිටින බව අප පෙන්වා දුන් පසුව ඒ පිළිබඳව මූනත්තහඩු පොතේ විවාදයක් ඇති විය. බුද්ධිමය දරිද්‍රතාවයකින් පෙලෙන ‘රාවය’ වැනි පුවත්පත් සමකාලීන දේශපාලන ගැටළු පිලිබඳ හරයක් ඇති සංවාද කිරීම අත් හැර ඇති පසුබිමක මෙවන් විවාදයක් නිර්මාණය වීම සාධනීය ප්‍රවනතාවක් යයි සිතමි.

මා මූනත්තහඩු පොතට නොපැමිණි පසුගිය දින දෙකේදී ඉදිරිපත්ව ඇති අදහස් මිට සුළු මොහොතකට පෙර කියවා බැලුවෙමි. ජවිපෙ ජාතිවාදී බව පිළිගන්නා අතරම ජවිපෙට සහාය දීමට තීරණය කොට ඇති (නව ලිබරල් යහපාලනවාදය සමගද අවිවේචනාත්මකව සම්මුතිගත වූ) අපගේ මිතුරන් එතරම් සංගත ලෙස තම ස්ථාවරයන් යුක්ති සහගත කොට නොමැත. ඔවුන් පවසන්නේ අතිශය සරල කාරණයකි. එනම් ව්‍යුහාත්මක සමාජ පරිවර්තන පිලිබඳ මූලධාර්මික ගැටළු වලට වඩා මේ මැතිවරණයේදී තීරණාත්මක වන්නේ (සහ එහෙයින් අවධානය යොමු කළ යුත්තේ) ‘රාජපක්ෂලා යලිත් වරක් පරාජය කිරීම’ පිලිබඳ කාරණය බවය. (මෙය ‘සිරස නිව්ස් ෆස්ට්’ මගින් ප්‍රචලිත කරමින් සිටින දේශපාලන දැක්මට වඩා දශමයකින්වත් ඉදිරියට ගොස් නැත.)

මෙම අදුරදර්ශී සහ ප්‍රතිපත්ති විරහිත දේශපාලන ස්ථාවරය වෙනුවෙන් අති සරල තර්ක කිහිපයක් ඉදිරිපත්ව තිබේ. නමුත් ඒවා මග හැර යා නොයුතු බැවින් ඉතාම කෙටියෙන් මගේ ප්‍රතිචාරය මෙසේ සාරාංශ කරමි. අගෝස්තු 05 වනදා මවිසින් පවත්වන සමාජවාදී අධ්‍යාපන කවයේ මාසික දේශණයේදී මේ පිළිබඳව වැඩි දුර කතා කරන්නට බලාපොරොත්තු වෙමි.

1. මැතිවරණයේදී තමන් කරන ප්‍රයෝජ්‍යතාවාදී තෝරා ගැනීම සහ තමන්ගේ මූලධාර්මික දේශපාලන ස්ථාවරය එකිනෙකින් වෙනස් තලයන් තුළ පවතින බව පැවසීමෙන් යමෙකු නතර වනවා නම් එය ප්‍රතිපත්ති විරහිත කමකි. ප්‍රයෝජ්‍යතාවාදී නොහොත් උපක්‍රමික තෝරා ගැනීම තම දිගු කාලීන උපාය මාර්ගික දැක්ම සමග සම්බන්ධ වන ආකාරය තර්කානුකුලව පැහැදිලි නොකරන තාක් කල් එය හුදෙක් අවස්ථාවාදයක් පමණි.

2. ජවිපෙ ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් දරන ස්ථාවරය සැලකිල්ලට නොගෙන එය විපක්ෂයේ ප්‍රධාන බලවේගයක් කරන්නට යෝජනා කරන අය පළමුවෙන් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන නොමැත. මන්ද යත්, ඊනියා ප්‍රගතිශීලින් 1956දි බණ්ඩාරනායකට ජන්දය දුන්නේ (බණ්ඩා ජාතිවාදී බව නොතකා) එම මැතිවරණයේදී බමුණු කුලය බිඳ හෙලීම ප්‍රමුඛ යයි සැලකූ බැවින්ය. 1965න් පසුව “ඩඩ්ලිගේ බඩේ මසල වඩේ” කියා පෙළපාලි ගිය පැරණි වමට 1970දි ජන්දය දුන්නේ (සමගි පෙරමුණේ ජාතිවාදී සන්ධාරය නොතකා) ආර්ථික සුභසාධනය එම මැතිවරණයේදී ප්‍රමුඛ යයි සැලකීම නිසාය. 1980 ගණන් වල මැද භාගයේ පටන් ජවිපෙ ඊනියා දේශප්‍රේමයට ඇතැම් ඊනියා මාධ්‍යමික වාමාංශිකයන් සහය දුන්නේ යුඑන්පි විරෝධය එදා වඩා වැදගත් කොට සලකාය. ජවිපෙ සහ හෙළ උරුමයේ මෙහෙයවීමෙන් 2005 දී රාජපක්ෂලා බලයට ගෙනෙන විට ඇතැම් ‘වාම ප්‍රගතිශීලින්’ යුඑන්පි විරෝධය ඔස්සේ එයටද සහාය දුන්හ. මට මතක තරමින් එදා නිර්මාල්ද සිටියේ රාජපක්ෂට සහය දිය යුතුය යන මතයේය. xකණ්ඩායමේ මා ඇතුළු බහුතරයක් එයට විරුද්ධ වූ පසුව (2004 බිඳී යාමෙන් පසු x කණ්ඩායම යන නම යම් කාලයක් යන තුරු භාවිතා කලේ අපය) නිර්මාල් කොළඹ නගර සභා මැතිවරණයේදී වාසුදේවට සහාය දීමට ඉදිරිපත් විය. 2005දි රාජපක්ෂට සහය දිය යුතු යයි නිර්මාල් x කණ්ඩායමට ගෙනා යෝජනාවට විරුද්ධ වුවන් අතර දර්ශන ලියනගේ සහ ප්‍රදීප් ජයරත්න ද (මගේ මතකය නිවැරදි නම්) නිශාන්ත කුලරත්න ද විය.

කෙසේ වුවද සිංහල ජාතිවාදය රාජ්‍යය තුළ තහවුරු කෙරුණේ මෙසේ මැතිවරණ වලදී තත්කාලීනව ප්‍රමුඛ ගැටළු ලෙස සැලකූ සෙසු ජනප්‍රිය අහඹු හේතු සලකා බලයට පත් කළ කණ්ඩායම් විසිනි.

3. දෙවනුව, තම ප්‍රතිපත්තීන් පසෙක තබා ජවිපෙට සහය දෙන්නට ඉල්ලන අයට රටේ දේශපාලන දිශානතීන් පිළිබඳ විශ්ලේෂණයක් ද නොමැත. ඉදිරි මැතිවරණයේදී මාධ්‍යය මගින් ඔසවා තබන තේමාව යහපාලනය උවද බලයට පත්වන ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදුවන ප්‍රධාන අභියෝග දෙක වනු ඇත්තේ ආර්ථික අර්බුදය සහ ජනවාර්ගික ගැටලුවයි (බලය බෙදා හැරීමේ දෙමල ඉල්ලීම සහ ජාත්‍යන්තර මානව අයිතීන් පරීක්ෂණය). ජවිපෙ ඉදිරි විපක්ෂයේ ප්‍රධාන කොටසක් වුවහොත්, සහ එජාප ආණ්ඩුවක් බලයට පත් වුවහොත්, එය අනාගත ආණ්ඩු පක්ෂය වීම සඳහා සිංහල ජාතිවාදී ප්‍රචාරක අවියම යලි මුවහත් කරනු ඇත. රාජපක්ෂ පිලත්, යහපාලන පිල නොහොත් චම්පික පිලත් ජවිපෙත් අතර සිංහල ජාතිවාදයේ වඩාත්ම සුජාත නියමුවා වීමේ තරගයක් ඉන් පසු අපේක්ෂා කළ හැකිය. (නිර්මාල්ට අනුව නම් ජවිපෙ ජාතිවාදය හුදෙක් 2009 ට පෙර අතීතයෙන් එම පක්ෂයට ඉතිරි වූ කැළලකි! ඔහුගේ පරිකල්පනය තුළ සිටින ජවිපෙ සෑහෙන තරම් දුරට ප්‍රතිසස්කරණය වී ඇති සෙයකි!!! ). ඒ කෙසේ වුවත්, මගේ මතය නම් අනාගත විපක්ෂය ලෙස පළාත් සභා තුලින් කෙරෙන බලය විමධ්‍යගත කිරීමක් වත් පිලි නොගන්නා පක්ෂයක් තෝරා යැවීම මහත් අනුවණ කමක් වනු ඇති බවයි.

4. ජවිපෙ සහ පෙසප අතර ජනවාර්ගික ගැටලුව අරභයා වන ස්ථාවර සමාන යයි කීම අති සරල තේරුම් ගැනීමකි. පළමුව කිව යුත්තේ ජනවාර්ගික ගැටලුවට යෝජනා කෙරෙන විසදුම සම්බන්ධ කාරණයේදී මම පෙසප කෙරෙහිද විවේචනාත්මක වන බවය. ඒ ගැන මා පසුගිය වසර කිහිපය තිස්සේ ‘ලංකා’ සහ පසුව ‘ජනරළ’ පුවත්පත් වලට ලියු ලිපි වල පවසා ඇත්තෙමි.

කෙසේ වුවත්, ජවිපෙ සහ පෙසප අතර වෙනස නම් පෙසපය තවමත් විජේවීරගේ මුල්කාලීන ප්‍රවාදය යම් තාක් දුරකට පිළිගැනීමත් ජවිපෙ ඒ වෙනුවට වීරවංශගේ විසඳුම පිලිගැනිමත්ය (මේ දෙක එකිනෙකින් වෙනස්ය). පෙසපය විජේවීර අනුයමින් සමාජවාදී ක්‍රමයක් තුළ ජනවාර්ගික ගැටලුවේ ප්‍රභවාත්මක හේතුන් අහෝසි කිරීමට ශපත කරමින් ධනවාදය තුළ යෝජනා කෙරෙන විසදුම් සැබෑ විසඳුම් නොවන බවට තර්ක කරයි. පෙසපය විජේවිරගෙන් යම් තරමකින් වෙනස්ද වේ; විජේවීර ධනවාදය තුළ ඉදිරිපත් කෙරෙන විසඳුම් වලට ප්‍රහාර එල්ල කරන තරම් දුරට ගිය නමුත් පෙසපය මා දන්නා තරමින් එසේ නොකරයි. නිදසුනක් ලෙස, 2013 දී උතුරු පළාත් සභාව පිහිටුවීම පිලිබඳ ප්‍රශ්ණය මතු වූ විට “සිංහල ජනතාව විඳින අවම ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සෙසු ජනතාවන්ටද හිමි විය යුතුය” යන ස්ථාවරයේ සිට පෙසපය එයට සහය දැක්විය. (මා වැරදි නම් පෙසප සාමාජිකයන් මා නිවැරදි කරන්න). පෙසප ඇතුළු වමේ පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ‘ප්‍රාදේශීය ස්වයං පාලනය’ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස පිළිගත්තේය.

නමුත් ජවිපෙ ඉදිරිපත් කරන ආර්ථික වැඩ පිළිවෙල දෙස බලන විට පැහැදිලි වන්නේ ජවිපෙ තම යෝජනා ඉදිරිපත් කරන්නේ සමාජවාදී සුසමාදර්ශය තුළ නොවන බවයි. එය දැන් ධනවාදය තුළ කෙරෙන ආර්ථික සහ ආයතනික ප්‍රතිසංස්කරණ අවසානාත්මක ලෙස පිළිගනී. (අලංකාරෝක්තිමය ලෙස කිවහොත් ‘ඉතිහාසයේ අවසානය’ පිළිගනී). එහෙයින්, පළාත් සභා අහෝසි කොට මධ්‍යම ආණ්ඩුවෙන් ඍජුව හැසිරවෙන පරිපාලන ආයතනයක් උතුරට දීමට ජවිපෙ යෝජනා කරන විට එම යෝජනාව එන්නේ ‘විජේවීර චින්තන සිතිජයකින්’ නොව, ‘පශ්චාත් විජේවීර චින්තන සිතිජයකින්’ ය. මෙහිදී ජවිපෙ වඩා සමීප වන්නේ විමල් වීරවංශට සහ වත්මන් යහපාලනයේ බුද්ධිමය සදාචාර නායකත්වය වන චම්පික රණවකටය.

5. එසේම පෙසපය ජවිපෙට වඩා දෙමල ජනතාව අතර සංවිධානාත්මක තලයේ වැඩ කරයි. (මෙවර ජවිපෙ නාමයෝජනා ලැයිස්තු දෙස බලන්න; යාපනයේ සහ මඩකලපුවේ හැර අන් සෑම සුළුතර ජන කොටස් වෙසෙන ප්‍රදේශයකම කණ්ඩායම් නායකත්වය දරන්නේ සිංහලයන් වීම අහම්බයක්ද?). පෙසපය ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කරන ලෙසත් සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ඉල්ලා රට පුරා පෝස්ටර් ගැසීය; උද්ගෝෂණය කළේය; යහපාලන ආණ්ඩුව මහජන ආරක්ෂක පනත යොදාගෙන රට පුරා ත්‍රිවිධ හමුදාව සිවිල් කටයුතු වලට කැඳවන විට එයට නීතිමය ලෙස අභියෝග කොට එය පරාජය කොට දැමීය; යහපාලන ආණ්ඩුව අත් අඩංගුවට ගත් සැකකරුවෙකු පැය 48ක් රඳවා තබා ගැනීමේ මර්දන නීති පනවන විට එයට එරෙහිව උද්ඝෝෂණය කළේය; මේ සියල්ල සිදු වන විට ජවිපෙ, පුරවැසි බලය, අලුත් පරපුර, රාවය පුවත්පත, නව ලිබරල් යහපාලනයට සහය දුන් සරසවි ආචාර්යවරුන් යනාදී සියලු දෙනා සිටියේ පීඩකයන්ගේ පැත්තේ නොවේද? මා පෙසපය ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් දරන මතය විවේචනයට ලක් කළද එය ජවිපෙ සමග එක පෙළක නොතබන්නේ මේ තතු යටතේය.

6. ඒ අනුව මා පෙසපයට සහය දක්වන අතර ජවිපෙහි ජාතිවාදය විවේචනය කිරීම විරුද්ධාභාශයක් වේය යන නිර්මාල්ගේ මතය වැරදිය. විරුද්ධාභාශය වන්නේ නිර්මාල්, උපුල්, අමාලි ඇතුළු පිරිස රාජපක්ෂ නැවත පරාජය කිරීම ප්‍රධාන අරමුණ ලෙස සලකන අතර එම අරමුණට වක්‍රව බාධාකාරී වන අන්දමින් කටයුතු කිරීමයි (එනම් එජාපයට හිමි වීමට ඉඩ ඇති යම් යම් බෝනස් ආසන එජනිසයට හිමිවීමේ ප්‍රස්තාවන් ඇති කරන පරිදි ජවිපෙ ජන්ද ප්‍රමාණය ඉහල දැමීමට යෝජනා කිරීමයි). තම දේශපාලන ස්ථාවරයට සැබෑ නායකත්වය සපයන්නේ චම්පික රණවක බව පිළිගැනීමට මැළි වීමයි.

7. මහින්ද යලි හිස එසවීම පිළිබඳව යහපාලන සිවිල් සමාජ කොටස් ගොඩ නගන මතය අමුලික මිථ්‍යාවකි. මෙම මිත්‍යාවෙන් වැසී යන්නේ සමාජයේ සැබෑ ආර්ථික, දේශපාලනික ප්‍රතිවිරෝධතාය. මහේන්ද්‍රන්ලාගේ සොරකම්ය; මහරාජාලගේ ප්‍රාග්ධන මෙහෙයුම්ය; රවිලාගේ පාතාල සබදතාය; වොෂින්ටන්-නව දිල්ලි අක්ෂයේ කලාපිය සහ ගෝලීය උපාය මාර්ගික තේරිම්ය; ගෝලීය මුල්‍ය ආයතනවල න්‍යාය පත්‍රය. මහින්ද ජය ගත්තද නැතද තම පැරණි සොර දෙටු ව්‍යාපාරය යළි ස්ථාපනය කරන්නට ඔහුට දැන් හැකියාවක් නැත. ඒ වෙනුවට නව සොර දෙටුවන් දැනටමත් තම කාර්යයන් අරඹා ඇති බවද පසුගිය දිනවල අපි දුටිමු. මහින්දගෙන් සිංහල ජාතිවාදය ගොඩ යනවාට වඩා අද සිදුවෙමින් පවතින්නේ සිංහල ජාතිවාදයෙන් මහින්ද ගොඩ යාමයි. එම සිංහල ජාතිවාදයට (මැතිවරණ වලදී භාවිතා කෙරෙන උපකරණයක් වීමේ තත්වයෙන් ඉහලට ඔසවා) යම් සුජාතභාවයක් ලබා දෙමින් සිටින්නේ ජවිපෙ සහ හෙළ උරුමයයි.

8. ඉදිරි මැතිවරණයේදී ජවිපෙට දෙන ජන්දය ජාතිවාදයට දෙන ජන්දයකි; එජාපයට දෙන ජන්දය නව-ලිබරල්වාදයට දෙන ජන්දයකි. එජනිසයට දෙන ජන්දය ජාතිවාදයට සහ නව-ලිබරල්වාදයට දෙන ජන්දයකි. වමට හැරීම යනු ප්‍රතිපත්ති මුලක දේශපාලනය දෙසට හැරීමය.

kumarayasl.com

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.