Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

එක්නැලිගොඩ ගැන ශාන්ත කතා කරයි.

එක්නැලිගොඩ ගැන ශාන්ත කතා කරයි.

එක්නැළිගොඩව අතුරුදන් කළේ 2009 ජනවාරි 24 වෙනිදාය .ඒ 2010 ජනාධිපතිවරනයට දින (26) දෙකකට පෙරාතුවය. ඔහු අතුරුදන් කර 2016 ජනවාරි 24 වෙනි දිනට අවුරුදු 06 ක් ගත වනු ඇත. මේ කාලය තුළ ,සැබෑවින් එක්නැළිගොඩව අතුරුදන් කළේද? අතුරුදන් කළේ නම් එය සිද්ධ කළේ කාගේ උවමනාවටද? යන්න සොයා බැලීම සදහා ලංකාවේ ඊනියා ජාතික පුවත්පත් ඒ වෙනුවෙන් පිටු කීයක් වෙන් කළේද? එක්නැළිගොඩ නැමැති මාධ්‍ය සගයා පැහැර ගෙන ගොස් අතුරුදන් කළ, අලුගොසුවන් පිටු පස ලුහුබැද ගොස් ඔහුන් හෙළිදරව් කරන්නට එම ඊනියා පුවත්පත් වල මාධ්‍යවේදීන් උනන්දුවක් දැක්වුයේද? නමුත් හමුදා බුද්ධි අංශ එක්නැළිගොඩ එල්.ටි.ටි.ඊ. සමග සම්බන්දයක් පවත්වා ඇතැයි කී සැනින් සත්‍ය අසත්‍යව ගවේෂණය කිරීමකින් තොරව එම ප්‍රවෘත්තිය ඵල කරන්නට ඔහුන් දැක්වු උනන්දුව හා වෙන් කළ හා ඉදිරියේ දී වෙන් කිරීමට නියමිත පිටු ගණන, අතුරුදන් කළ දින සිට මේ වන තෙක් ඔහු ගැන සොයන්නට වෙන් කළ පිටු ගණනට වඩා වැඩිය. ඊනියා ජාතික පුවත්පත් හා එම පුවත්පත් වල සේවය කරන ජන මාධ්‍යවේදීන් එක්නැළිගොඩ එල්.ටි.ටි.ඊ. සමාජිකයකු යැයි හංවඩුව ගසා ඔහුව ද එල්.ටි.ටි.ඊ. මළ කදන් ගොඩට එකතුකර එක්නැළිගොඩ අතුරුදන් කළ සිද්ධිය වසන් කිරීමට යත්න දරමින් සිටිති.

රාජපක්ෂලා සහ මිනී අළු වලට භය විම
එක්නැළිගොඩ 2009 අගොස්තු 29 වෙනිදා පැහැර ගෙන ගියේ හෝමාගම පනාගොඩ යුද හමුදා කදවුර තුළ ස්ථානගත වෙමින් ක්‍රියාත්මක වු කණ්ඩායමක් විසිනි. එම කණ්ඩායම ඔහුව පැහැරගෙන ගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස වු අරලියගහ මැදුරටත්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂටත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටත් සහ ජනාධිපති ලේකම් කාර්යාලයටත් ලියුම් කවර වල බහා මිනී අළු යැවිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිටය. එක්නැළිගොඩ පැහැරගත් කණ්ඩායම මිනී අළු බහා යවන ලද ලියුම් කවර වල ලියා ඇති අත්අකුරු සහ එක්නැළිගොඩ ගේ අත්අකුරු එකින් එකට පරස්පර නිසා , ලියන හා දේශපාලන වැඩ නතර නොකළහොත් මරා දමන බවට තර්ජනය කර පසුව හෝමාගම ප්‍රදේශයේ පාළු ස්ථානයකට ඔහුව ගෙනැවිත් දමා ගොස් තිබුණි. එම පරික්ෂණයෙන් එක්නැළිගොඩ අසමත් වුනේ නම් ඔහුට ජිවිතයෙන් සමුගන්නට නියමිතව තිබුනේ 2009 අගොස්තු 29 වෙනිදාය. නමුත් එක්නැළිගොඩගේ සංයමය නිසා තවදුරටත් ඔහුට ජිවත්විමට හැකියාව ලැබුණි. හමුදා බුද්ධි අංශ පමණක් නොව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික බුද්ධි තොරතුරු එකකයේ නිලධාරීන් ද එක්නැළිගොඩ ගේ ක්‍රියාකාරකම් හා යනඑන තැන් පිළිබදව නිරීක්ෂණය කර තිබේ. ඊට ඇති හොදම සාක්ෂිය එක්නැළිගොඩ අතුරුදන් කළ මුල් සතියේ ඔහු සමග හිටපු හමුදාපති පීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරය සමග සම්බන්ද වී සිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපයේ ක්‍රියාකාරිකයකු වු කෙලී සේනානායකව කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුවට කැදවිමය. මුලින් සේනානායක ගේ අත්අකුරු පරික්ෂා කළ අපරාධ පරික්ෂණ නිලධාරින් පසුව රාජපක්ෂවරුන් ගේ අධ්‍යාපන සුදුසුකම්, වංචා දුෂණ, චණ්ඩිකම් වත්කම් හා රජයේ දේපල අයථා පරිහරනය ගැන ලියා තිබු අත්පිටපතක් ගෙනැවිත් ඔහුට පෙන්වා තිබේ. එම අත්පිටපතේ අකුරු එක්නැළිගොඩ අත්අකුරු බව සේනානායක විසින් හදුනාගෙන ඇත. එහි දී එක්නැළිගොඩට උතුර සමග සම්බන්ධයක් පැවැතියේ ද යන්න පිළිබදව සේනානායක ගෙන් අපරාධ පරික්ෂණ නිලධාරින් ප්‍රශ්න නොකළේ ඒ ගැන අමතක විමකින් නම් නොවෙයි.

එක්නැළිගොඩව පැහැර ගෙන ගොස් මහමගට ගෙනැවිත් දැමිමේ සිද්ධිය ඔහුගේ සමහර මිතුරන් මෙන්ම ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ ඇතුළු එහි සේවය කළ ලියුම්කරු හැර අන් සියලු දෙනා පිළිගත්තේ නැත. එය එක්නැළිගොඩ රට යෑම සදහා කළ රගපෑමක් බව එම සියලු දෙනාගේ මතය වුහ. එක්නැළිගොඩ සංසිද්ධියත් සමග සදරුවන් සේනාධීරලා කුහකකම සහ මජරකම පෙලාපැන්නේය.

අපස්මාර රෝගියකු මෙන් නන්දොඩවන සදරුවන්
නාදුනන ආයුද සන්නද්ධ කණ්ඩායමක් විසින් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් ගෙනැවිත් දැමිමේ සිද්ධිය වන විටත් ඔහු ලංකා ඊ නිවිස් කාර්යාලයට පැමිණියේ කාලාතුරකිනි. ලංකා ඊ නිවිස් මගින් එවකට විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ගිය පදනම් විරහිත දේශපාලන මඩ ව්‍යාපාරය ඊට අසන්නම හේතුව වී තිබුණි. 2010 ජනාධිපතිවරනයට ෆොන්සේක පොදු අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමත් සමග එක්නැළිගොඩ නැවැතත් රාජගිරියේ පිහිටි ඊ නිවිස් කාර්යාලයට පැමිනේනට විය. ලියුම්කරු ලංකා ඊ නිවිස් වෙබ් අඩවියට සම්බන්ද වන්නේ 2007 අගභාගයේදිය. ඒ කාලයේ එක්නැළිගොඩ එම වෙබ් අඩවියේ දේශපාලන ලියුම්කරු මෙන්ම එහි කාටුන් ශීල්පියකු වශයෙන් ද කටයුතු කළේය. ඔහුගේ ලිපි සහ කාටුන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කතා බහට ලක් විය. 2007 වර්ෂයේ එක්නැළිගොඩ ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදියකු වශයෙන් පිළිගෙන, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට ගේ අස්සනින් ඔහුට මාධ්‍ය හැදුම්පතක් නිකුත් කර තිබුණි. නමුත් එක්නැළිගොඩ අතුරුදන් කිරිමත් සමග එක්නැළිගොඩ මාධ්‍යවේදියකු ද යන ප්‍රශ්නය ඔහු අතුරුදන් කළ සිද්ධියටත් වඩා බරපතළ ප්‍රශ්නයක් ලෙස මතු කෙරිණ. එක්නැළිගොඩ මාධ්‍යවේදියක් නොවන බවත් ඔහු මාධ්‍යවේදියක් යැයි පොරබැදීම තේරුමක් නැතැයි ලංකා ඊ නිවිස් කර්තෘ සදරුවන් ලියුම්කරු සමග පැවැසිය. පසුව ලියුම්කරු විසින් ලංකා ඊ නිවිස් වෙබ් අඩවියට ලියන ලද“ එක්නැළිගොඩ පැහැරගත් මිතුරන් දෙදනා කවුද?“ යන ලිපිය එක්නැළිගොඩ සම්බන්ධයෙන් උඹ දරන මතය ඊ නිව්ස් මතය නොවන බව කියා ඔහු විසින් එම ලිපිය ගලවා දමන ලදි. එක්නැළිගොඩ පැහැරගත් මිතුරන් දෙදනා කවුද? යන ලිපිය එ.ජා.පයේ නිල වෙබ් අඩවිය වන එක්ස් නිව්ස් වෙබ් අඩවියේ ඵල කළ අතර පසුව එහි අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ රුවන් ෆර්ඩිනැන්ඩස් ඊ නිවිස් කර්තෘ ගේ ඉල්ලීම මත එම ලිපිය ඉවත් කළේය. ඊට පසුව එක්නැළිගොඩ පැහැර ගෙන ගිය ජයලත් කවුද? යන නමින් එම ලිපිය ජනරළ පුවත්පතේ මගින් ඵල කෙරිණ. සදරුවන් අපස්මාර රෝගියකු මෙන් සෙම පෙරාගෙන නන්දොඩවන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ මාධ්‍ය නිදහ‍සේ තරම ඔහු ගේ ඉහත භාවිතාව මගින් එළිමහනට පමනුවා ඇත.

එක්නැළිගොඩ සහ ජන මාධ්‍ය කුහකයෝ
එක්නැළිගොඩ අතුරුදන් කළේ ඇයි ? කවුද? ඔහු ජිවතුන් අතර සිටිනවාද? යන ප්‍රශ්නය මතු කරනවා වෙනුවට එක්නැළිගොඩ මාධ්‍යවේදියකු දැයි යන ප්‍රශ්න නැගීම රාජපක්ෂ රේජීමය විසින් ඔහුව අතුරුදන් කළ සිද්ධිය වසන් කිරිම සදහා ගෙන යන ප්‍රචාරක ව්‍යාපෘතියට දැනුවත්ව හෝ නොදැනුවත්ව රුකුල් දිමකි. එක්නැළිගොඩව පැහැර ගන්නා මෙහොත දක්වා ඔහු ලංකා ඊ නිවිස් වෙබ් අඩවියට ලිපි ලියමින් කාටුන් අදිමින් සේවය කළේය. ඔහු ඒ සදහා මුදල් අය කළේ නැත. මාධ්‍ය ක්ෂත්‍රයේ එක්නැළිගොඩ දැන හදුනාගෙන සිටියේ ඉතාමත් සුළු පිරිසක් පමණි. ඔහු දේශපාලන විශ්ලේෂකයකු ලෙස මිස කිසිදු තැනක ඔහු මාධ්‍යවේදියකු වශයෙන් පෙනිසිට නැත. ඔහු සැබෑවින්ම දේශපාලන ක්‍රියාදරයකි. ලියුම්කරුට ඔහු ගැන තිබු අවබෝධය අනුව එක්නැළිගොඩට ජන මාධ්‍යවේදියකු හෝ වෙබ් අඩවියක අයිතිකරුවෙකු විමේ ආශාවක් නොතිබුණි. ඔහු මාධ්‍යවේදියකු යැයි එළියට පැවැසුවේ අප විසින්මය. එය අපේ ප්‍රශ්නයක් මිස එක්නැළිගොඩ ගේ ප්‍රශ්නයක් නොවෙයි. එක්නැළිගොඩ මාධ්‍යවේදියකු යැයි එළියට කී සමහරුන් ,දැන් පෙරළා ඔහු ඇත්තටම මාධ්‍යවේදියකු දැයි ප්‍රශ්නයක් තමන් ගෙන්ම අසති. ඒ ධනපති ජනමාධ්‍ය මගින් එක්නැළිගොඩ කොටි සංවිධානය සමග සම්බන්ධතා පවත්වා ඇතැයි යන ප්‍රවෘත්තිය ඵල විම ඊට හේතුවයි. ලියුම්කරු එක්නැළිගොඩව මාධ්‍යවේදියකු යැයි දිගින් දිගටම ලියමින් උද්ඝෝෂනයක් ගෙන ගියේ ඔහු ගේ ජිවිතය බේරා ගැනීම සදහා මිස එක්නැළිගොඩ මාධ්‍යවේදියකු කිරීමට නම් නොවෙයි. ඔහුට ඒ සදහා සුජාතභාවයක් ද ඇත. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මෙන්ම එක්නැළිගෙඩ අතීතයේ යුක්තිය , සියරට ,මාවත සහ අමුදුරේ යන පුවත්පත් වල සහ සගරා වල දේශපාලන ලියුම්කරුවෙකු හා පරිගණක ශීල්පියකු වශයෙන් කටයුතු කර තිබේ.

එක්නැළිගොඩ සහ එල්.ටි.ටි.ඊ. තවේන්දරන්
එක්නැළිගොඩ මන්නාරමේ පියනමක් මාර්ගයෙන් තවේද්‍රරන් හදුනාගෙන ඇත. තවේද්‍රරන් එල්.ටි.ටි.ඊ. ටොසී බුද්ධි අංශයේ ප්‍රබලයකු බව පියනම දැන සිට නැත. පසුව තවේන්ද්‍රරන් හා එක්නැළිගොඩ අතර සම්බන්ධය දුරකතන ඔස්සේ පවත්වාගෙන ගොස් තිබේ. එක්නැළිගොඩට දෙමළ කතා කළ නොහැකි අතර ඔහුගේ ඉංග්‍රීසි කතා කිරිමේ හැකියාව ද එතරම් සාර්ථක නැත. නමුත් තවේද්‍රරන්ට චතුර ලෙස සිංහල කතා කළ හැකිය.තවේද්‍රරන්ට සිංහල භාෂාව කතා කිරිමේ හැකියාව නිසා ඔහුන් අතර දේශපාලන අදහස් හුවමාරු කර ගැනිමක් සිදු වී ඇත. 2008 වර්ෂය අවසානයේ කොළඹ ඇතුළු අනිකුත් පළාත්වල ස්ථානගත කර සිටි ටොසී බුද්ධි අංශයේ සියලුම කාඩර්වරු එම බුද්ධි අංශයේ ප්‍රධානියා වන පොට්ටු අම්මාන් තුන්වන ඊලාම් යුද්ධය සදහා වන්නියට කැදවන ලදී. තවේද්‍රරන්ද ඒ අනුව වන්නිය බලා යන්නේය. 2009 ජනවාරි මසයේ රාජයේ ආරක්ෂක හමුදා මගින් එල්.ටි.ටි .ඊ. සමාජිකයින් මැඩපැවැත් විම සදහා එල්ල කරන ලදැයි කියන රසායනික අවි ප්‍රහාරය සම්බන්ධයෙන් තවේන්ද්‍රරන් එක්නැළිගොඩව දැනුවත් කර ඇත. පසුව එම මිලේච්ඡ ප්‍රහාරය සම්බන්දයෙන් ජාතික හා ජත්‍යන්තර සංවිධාන මෙන්ම බුද්ධිමතුන් ද දැනුවත් කිරිමට ඔහු පියවර ගත්තේය . ඊනියා මානුෂික යුද මෙහෙයුම් යන අතර වරේ ලංකාවට පැමිනි ,ලෝක ක්‍රිස්තියානි සංගමයේ සභාපති ආචාර්ය සහිමන් ටු ටු පියනම ඇතුළු පිරිසක් , එක්නැළිගොඩව බෞද්ධා ලෝක මාවතේ පිහිටි පල්ලියකදී මුන ගැසි ඇත. එහි දී රජයේ හමුදා රසායනික ප්‍රහාර එල්ල කරමින් සිදුකරන සමුලඝාතන සම්බන්ධයෙන් එක්නැළිගොඩ ඔහුන්ව දැනුවත් කෙරිණ. මෙම අවස්ථාවට නව සමසමාජ පක්ෂයේ ආචාර්ය වික්‍රමබාහු කරුනාරත්න ඇතුළු ප්‍රගතිශීලි බුද්ධිමතුන් පිරිසක් ද සහභාගි වී තිබේ. ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ගේ පුර්න අනුග්‍රහය හා උපදෙස් යටතේ රාජපක්ෂ රේජීමය ඊනියා මනුෂික මෙහෙයුමට මුවා වි සිදු කළ අමානුෂික ක්‍රියා පිළිබදව තවේද්‍රරන් එක්නැළිගොඩට දුරකතනයෙන් කතාකර දිනපතා වාර්තා කර තිබුණි.

එක්නැළිගොඩට තවේද්‍රරන් සමග තිබු සම්බන්දය යුද්ධය අවසාන කාලයේ දී විසන්ධි වන අතර පසුව තවේද්‍රරන් 2009 වර්ෂය අවසානයේ ඔහුට නැවැත කතා කර ඇත. තවේද්‍රරන් 2009 මැයි 17 වනදා රජයේ සන්නද්ධ බුද්ධි බළකාය මගින් අත්අඩංගුවට ගත්බව හමුදා බුද්ධි අංශ හෙළි කරයි. නමුත් එක්නැළිගොඩ තවේද්‍රරන්ව රජයේ හමුදා අත්අඩංගුවට පත්වු බව හෝ අත්අඩංගුවට පත්විමෙන් පසු ඔහු හමුදාවේ ඔත්තුකරුවෙකු වී සිටින බව හෝ දැන සිට නැත. තවේද්‍රරන් 2009 අවසාන භාගයේ එක්නැළිගොඩට නැවැත කතා කරන තෙක් තවේද්‍රරන්ට සිදු වුයේ කුමක්ද? ඔහු ජිවතුන් අතර සිටිනවාද? යන්න පිළිබදව දැනගැනිමට වෙනත් සම්බන්දයක් ඔහුට නොතිබුනු බව පැහැදිලිය. නමුත් එක්නැළිගොඩ තවේද්‍රරන් අමතරව කොළඹ ක්‍රියාත්මක වු වෙනත් එල්.ටි.ටි.ඊ. කාණ්ඩායම් සමග ගනුදෙනු තිබි ඇති බව ද 2009 අගොස්තු 29 වෙනිදා ඔහු පැහැරගෙන ගොස් මුදාහැරියේ තවේද්‍රරන්ට සමග සම්බන්දකම් පවත්වන බව දැනගත් එල්,ටි.ටි.ඊ. කන්ඩායමක් ද නැතිනම් රාජය යටතේ ක්‍රියාත්මක වු වෙනත් කණ්ඩායමක් ද යන්න පිළිබදව එක්නැළිගොඩ සමග ගනුදෙනු කළ සියලු පාර්ශව වලට ගැටළුවක් තිබු බව “එක්නැළිගොඩ සිද්ධියෙන් කරළියට ආ ඔපරේෂන් ඩබල් එජ්“ නමින් රිවිර පුවත්පතේ ඵල වු ලිපියේ සදහන් වේ. එල්.ටි.ටි.ඊ. සංවිධානය මිලිටරි වශයෙන් පරාජය කරන්නේ 2009 මැයි 18 වෙනිද්‍රය. 2009 අගොස්තු 29 වෙනිද්‍ර පලමු වරට එක්නැළිගොඩ පැහැරගෙන ගොස් පසුව මුද්‍රහැරිණ. ප්‍රදීප් හා රංජිත් යන නමින් පෙනි සිටිමින් කොටි ක්‍රියාකාරකම වලට සහාය දැක්වුවා යැයි කියන එක්නැළිගෙඩට රජයේ බුද්ධි අංශ සමග සම්බන්දයක් ඇද්දැයි සොයා බැලීම සදහා එවකට (2009අගොස්තු) කොළඹ ක්‍රියාත්මක එල්.ටි.ටි.ඊ. කණ්ඩායමක් ඔහුව පහැරගෙන ගියේද යන්න ප්‍රශ්නයක් සංජිව කරුනාරත්න නැමැති තක්කඩියා මතු කරයි. 2009 අගොස්තු 29 වෙනිද්‍ර එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මහමග දමා ගියේ රජයේ හමුදා බව දැනුවත් කරුනාරත්න ඒ බව වසන් කිරීමටත් ඔහු ප්‍රබල එල්.ටි.ටි.ඊ. කාරයකු යැයි මතයක් සමාජයට කාන්දු කිරීමටත් ඔහු නරුම උත්සහායක නිරතවෙයි. එම උත්සහය එතරම් අහිංසක නැත. මන්ද එක්නැළිගොඩ කොටියකු කර, ඔහු අතුරුදන් කිරිමට වගකිවයුතු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හමුදා බුද්ධි නිලධාරින්, බේරා ගැනීමේ අන්ත තුනේ මෙහෙයුමක් හෙවත් ඔපරේෂන් ත්‍රිබල් එජ් ආරම්භ කර ඇති නිසාය.

ලියුම්කරුට ලැබි ඇති හමුදා හා පොලිස් බුද්ධි තොරතුරු පෙරාගත් විට එක්නැළිගොඩට තවේද්‍රරන් සමග දේශපාලන සම්බන්දයක් පැවැති බව සත්‍යයකි. නමුත් ඔහු රටේ ජනතාවට හෝ ඊනියා ජාතික ආරක්ෂාවට එරෙහිව කටයුතු කර නැතැයි එම හමුදා හා පොලිස් බුද්ධි තොරතුරු මගින්ම තහවුරු කිරිම විශේෂත්වයකි .
එක්නැළිගොඩව විනාශ කිරීමට රාජපක්ෂ රේජීමය තවේද්‍රරන්ව උගුලක් කරගෙන ඇත. හමුදා බුද්ධි බළකාය මගින් 2009 මැයි 17 වෙනිද්‍ර තවේද්‍රරන් අත්අඩංගුවට ගත්තේය. තවේද්‍රරන් ඇතුළු බුද්ධි නිලධාරින් පිරිසක් 2010 ජනවාරි 24 වෙනිද්‍ර රාජගිරියේදී එක්නැළිගොඩ පැහැර ගන්න ලදී . තවේද්‍රරන් අත්අඩංගුවට පත්විමත් එක්නැළිගොඩ පැහැර ගැනිමත් අතර කාලපරාසය මාස අටකි. ඊනියා ජාතික පුවත්පත් සදහන් කරන ආකාරයට එක්නැළිගොඩ ප්‍රබල කොටි ක්‍රියාකාරකයකු වි සිටියේ නම් එම මාස අට තුළ හමුදා බුද්ධි බළකාය මගින් ඔහු අත්අඩංගුවට නොගත්තේ ඇයි? එකි කාලපරාසය තුළ එල්.ටි.ටි.ඊ. සක්‍රීය පැවැතියේ නම් එක්නැළිගොඩ අත්අඩංගුවට නොගත්තේ ඔහුගේ ක්‍රියාකාරකම් නිරික්ෂණය කිරීමට යැයි තර්ක කළ හැකිය. නමුත් හමුදා බුද්ධි බළකාය මගින් එක්නැළිගොඩ අත්අඩංගුවට නොගත්තේ ඔහු එල්.ටි.ටි.ඊ. ක්‍රියාකාරිකයකු යැයි තහවුරු වී නොතිබු නිසා බව ලියුම්කරු ගේ අදහසයි. හමුදා බුද්ධි බළකාය තවේද්‍රරන්ගේ මගපෙන් විම යටතේ එල්.ටි.ටි.ඊ.ක්‍රියාකාරිකයින් හා එම සංවිධානයට සහාය දැක්වුවන් 17 දෙනෙක් අත්අඩංගුවට ගන්නා බවත් ඒ අය අතරින් කිපදෙනෙකු නිදහස් කර, තවත් සමහරු ඝාතනය කර ඇති බවත් බුද්ධි නිලධාරියෙක් ලියුම්කරු සමග කිය.

එක්නැළිගොඩ හිටපු හමුදාපති පීල්ඩ්මාෂල්ට 2010 ජනාධිපතිවරණයේ දී වැඩ කිරීමත් රජයේ හමුදා එල්.ටි.ටි.ඊ. සමාජිකයින්ට එරෙහිව රසායනික අවි භාවිතා කළා යැයි ජාත්‍යන්තරයට පැමිනිලි කිරිමත් රාජපක්ෂ රේජීමයේ අභ්‍යන්තර තොරතුරු හෙළි කරමින් ලියා තිබු පවුල් ගහ පොත නිසාත් හමුදා හා පොලිස් බුද්ධි අංශ එක්නැළිගොඩ පිළිබද දැඩි සෙවිල්ලකින් පසු වී ඇත. ඊට අමතරව ඔහුට රාජපක්ෂලාට මිනී අළු යැවිම ගැන ද චෝදනා එල්ල වී තිබුණි. මෙම සිද්ධි සම්බන්දයෙන් හමුදා බුද්ධි අංශ විමර්ශන සිද්ධ කරද්දී , එක්නැළිගොඩට තවේන්ද්‍රරන් සමග පැවැති සම්බන්දය හෙළි වි ඇත.පසුව එම සම්බන්ධය පාවිච්චි කර ඔහුව අත්අඩංගුවට ගනි. නමුත් එක්නැළිගොඩ අත්අඩංගුවට ගන්නා කාරනයේ පදනමේ පැවැතියේ ඔහු රාජපක්ෂලාට එරෙහිව කටයුතු කිරිම බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන පරික්ෂණ වලදී අනාවරනය කර ගෙන ඇත.

එක්නැළිගොඩ හමු විම සදහා 2010 ජනවාරි 24 වන දින රාජගිරියට සුරේෂ කුමාර් හෙවත් තවේන්ද්‍රරන්, කොප්‍රල් ජයලත් හෙවත් නාදන් හා ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලයේ විදේශ බුද්ධි අංශ ප්‍රධානියා වු ලුතිනල් කර්නල් ෂම්මි කුමාරරත්න පැමින තිබේ. ලුතිනල් කර්නල් කුමාරරත්න එක්නැළිගොඩ පැහැර ගැනීම සදහා පැමින ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගේ නියෝගයක් මත බව බුද්ධි තොරතුරු තහවුරු කරයි.

ලුතිනල් කර්නල් කුමාරරත්න ඇතුළු පිරිස එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය ඊනිය ජාතික ආරක්ෂාව සම්බන්දයෙන් ගත් පියවරක් නොව රාජපක්ෂලා ගේ කොන්ත්‍රාත් එකක් මත සිදු වුවක් බව දැනටමත් හෙළි වී ඇත.

එක්නැළිගොඩ සිදු වුයේ කුමක්ද ? අන්ත දෙකේ මෙහෙයුම හෙවත් (ඔපරේෂන් ඩබල් එජ්) රාජපක්ෂලා ගේ මාෆියාව දකුණේ කළ මෙහෙයුම්, ඊලග කොටසින් බලාපොරෝත්තු වන්න.

ශාන්ත විජේසූරිය

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.