Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

මම මම වීම හෙවත් නීට්ෂේනියානු ශාන්තිය

මම මම වීම හෙවත් නීට්ෂේනියානු ශාන්තිය

දසත විසිරුණු මල් පෙති කුමක්දෝ කතාවක් කියන්නට ගොස් ලත් තැනම ලොප් වී ඇත්තා සේය. නමුදු මල් පෙති එකින් එක පිරිමද්දමින් යළි එය සැකසිය යුතුව ඇත. මම ඒ ඉසියුම් වූ කාරණාවට අත ගසන්නෙමි. චේතනාව පාරිශූද්ධය. නමුත් අමනත්වයේ නාමයෙන් ස්වකීය භාවිතාව වරෙක උත්කර්ෂත්වයට නැං වූ ‘නෝ විසිටර්ස් ප්ලීස්‘ බෝඩයක් තම නිවසේ දොරෙහි එල්ලාගෙන තනිව ජීවත් වූ ඒ මිනිසා කවරෙක් දැයි කියා මා මුලින්ම ඔබට කිව යුතුව තිබේ. සැබැවින්ම ඔහුගේ ඒ අපේක්ෂාභංගත්වය තුළ කොයිතරම් නම් පශ්චාත්තාපයක් ගැබ්ව තිබුණා දැයි කියා අවලෝකනය කිරීමට ඔහුගේ ගෙදොරෙහි එල්ලා තිබූ බෝඩයම සාක්ෂියකි. එනම් කර්තෘ හර්මන් හෙස ය. බීමතින් පාරවල්වල ඇවිද ගොස් කොකේන් පානයට පවා පුරුදුව සිටි කළු භාවිතාවක් සහිත වූ සුදු පරිකල්පනාත්මක මිනිසා ඔහුය. ඔහු අතින් බිහි වූ නිර්මල කුසුමක් වැනි වූ සිද්ධාර්ථ නම් වූ ග්‍රන්ථය ගැන කියවීමක නිරත වීම අපගේ මෙම ලිපියේ අභිලාෂයයි.

වරක් ඩබිලියු.ඒ.අබේසිංහ මහතා සිද්ධාර්ථ කෘතිය පිළිබඳව තම සාහිත්‍ය සංසාර චාරිකා ලිපි පෙළෙහි මෙසේ සඳහන් කළේය.
“ලෝක සාහිත්‍යයයේ නව ප්‍රබන්ධ කලාවේ මේ තරම්වන අනෙක් අසිරියක් ඇත්දෝහෝයි ඇතැම්විට සිතෙන්නට වෙයි.“ (සාහිත්‍ය සංසාර චාරිකා 2- පිටු අංක 28-29)

ප්‍රබුද්ධ අගැයීම් සිද්ධාර්ථ වටා ඒකරාශී වී තිබෙන්නේ ඒ අයුරිනි. ඒ අන් කිසිවක් නිසා නොව එහි වූ අපූර්වත්වය නිසාවෙනි. සිද්ධාර්ථ යනු පරිකල්පිත චරිතයක් වනු ලබන අතර ඔහු ගෞතම බුදුන්ගේ ගිහි කල නාමයෙන් හැඳින් වූ අයෙකි. හෙතෙම බ්‍රාහ්මණ තරුණයෙක් විය. ඔහු කිසි දෙයකින්(කිසිඳු මතවාදයකින් හෝ න්‍යායයකින් එසේත් නැතිනම් පූජා විධික්‍රමයන්ගෙන්) තෘප්ත වූයේ නැත. සැකෙවින් සළකා බලන කල එහි නාස්තිකවාදී දෘශ්ටිවාදයක් ගැබ්ව තිබුණ ද සැබැවින්ම සිද්ධාර්ථ කෘතියේදී සිදු වනුයේ නාස්තිකවාදය පළවා හැර ෆ්‍රෙඩ්රික් නීට්ෂේගේ, තමා තමාම බවට පත් වීමට කතුවරයා ගනු ලබන වෑයමයි. හෙසගේ ලියන මේසය මත නීට්ෂේගේ අනුරුවක් තැන්පත්ව තිබීමත්, ඩේමියන්හිදී ඔහු නීට්ෂේගේ කෘති තමා අසළ තබා ගැනීමෙන් තුටු පහටු වූ අයුරු දක්වා තිබීමත්, අපේ ප්‍රස්තූත කෘතියේ සන්සන්දනාත්මක ද්වි ඝට්ඨනයන්ය.

ප්‍රතිවාදී කිතුණුවාහිදී නීට්ෂේ ක්‍රිස්තියානිය යල් පැන ගිය දහමක් බවට දෙස් දෙවොල් තැබුවේය. එපමණකින් නොනැවතී ඔහු බුදු දහම අගය කරන්නට ද විය. කෙසේ වුවද බුදු දහමේ පරමාභිලාෂය වූ නිවන හෙවත් ශුන්‍යයත්වය? නීට්ෂේ විසින් බැහැර කරන ලදී. ඔහු එය ලඝු කළේ, බුදුන්ගේම භාවිතාවේ උප භාවිතාවක් වශයෙනි. එනම් තමා තමා බවට පත් වීමයි. මෙයින් අදහස් කෙරෙන කරුණ සිද්ධාර්ථගේම වදනින් පවසන්නේ නම්, ප්‍රඥාව ලබා ගත හැකිය. නමුත් එය කවරෙකුටවත් දිය නොහැකි බවත්ය. සිද්ධාර්ථ නම් වූ බ්‍රාහ්මණ තරුණයාගේ චරිතය මගේ සිහියට නංවනු ලබන්නේ, ග්‍රීකයෙකු වූ ෆිලොස්ට්‍රාටස් ගේ ඇපලෝනියස් දුටු ඉන්දියානු යෝගීන් නම් වූ කෘතියේ සිටින ඇපලෝනියස්වය. ඔහු ඉන්දියානු තාපසවරයන් මුණ ගැසෙනු ලැබුවද ඔවුන්ගෙන් වෙන්ව යන සඳ ඔහු ඔහුටම පවසා ගන්නේ මෙයයි. ඔහු එහිදී උපයෝගීකොට ගන්නේ , ටැන්ටලස් නම් වූ ප්‍රවාදයයි. එම ප්‍රවාදය ගෙන හැර පෑමෙන් ඇපලෝනියස් අදිටන් කරනුයේ තමන් උකහාගත් දෙයක් (ඉන්දියානු යෝගීන්ගෙන්) නොමැති බවයි.
ටැන්ටලස්ගේ කතා පුවත ඔබගේ දැන ගැනීම පිණිස මම කෙටියෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි. ඔහු ග්‍රීක සාම්ප්‍රදායික පාතාලයේ විසූ කුප්‍රකට පව්කාරයෙකි. ඔහු තම කරවටා ජලය පිරී තිබුණද ඒවා පානය කිරීමට නොහැකි කමින් පීඩිතව විසුවේය. සිද්ධාර්ථගේ හා ඇපලෝනියස්ගේ චරිතය එකිනෙකට සමපාත වනුයේ එම ස්ථානයේදීය. සිද්ධාර්ථ සැබැවින්ම යහපතත් අයහපතත් අතර වූ බෙදුම් රේඛාව මකා දමා එය සංයුක්ත ප්‍රපංචයක් බවට පත් කොට ස්වාභිමතය පිළිබඳව සවිඤ්ඤාණික වෙනු ලබයි.

තම මිතුරු ගෝවින්ද හා සමඟ ඔහු ගෞතම බුදුන් බැලීමට ගිය අවස්ථාවේදී කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව ඔහු ගෞතමයන්ව හඳුනා ගනු ලබන්නේ සුප්‍රකට බෞද්ධ ග්‍රන්ථයක් වන මිළින්ද ප්‍රශ්නයෙහි එන සිදුවීමක් මතකයට නංවමිනි. ඉතා පැරණි බෞද්ධ ග්‍රන්ථයක් වන මෙය මිළින්ද ප්‍රශ්නය යනුවෙන් සිංහලෙන් නම් තබා තිබුණද, එම රජුගේ සැබෑ නම මිතැන්ඩර් නම් විය. ඔහු ග්‍රීක ජාතිකයෙකු බව විශ්වාස කෙරේ.

මිතැන්ඩර් රජු නාගසේන හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදී කිසිවෙකුගේ අනුදැනුමකින් තොරවම කිසිඳු ආයාසයකින් තොරවම දහසක් භික්ෂූණ් පිරිවරා සිටින නාගසේන හිමියන් තමන් විසින්ම හඳුන්වා ගන්නා ලදී. සිද්ධාර්ථ කෘතියේද සිද්ධාර්ථ විසින්ම ඒ අයුරින් බුදුන් හදුන්වා ගන්නා ලද අතර එය අතීත සාංසාරික පැවැත්මක නිර්මාණාත්මක හුවා දැක්වීමක් බඳුය.
දැනුමට අප ගලවා ගත යනුවෙන් අප ඥාන විභාගයක යෙදුනද සැබැවින්ම දැනුම යනු ලෝකයේ භාෂාත්මක ගොඩනැංවීමේ අතුරු ඵලයක් සහ තව තවත් ගැටළු ඇති කරනු ලබන දෙයකි. සිද්ධාර්ථට මිදීමට අවැසි වන්නේ එයිනුයි. එම නිසා ඔහු තවුස් දම් හැර දමා සුඛෝපභෝගී ධනවතෙකු බවට පත් වී කමලා නම් නගර සෝභිනියගේ පෙම්වතා බවට පත් වෙනු ලබයි.

නගර සෝභිනිය යනු සංස්කෘත සාහිත්‍යයට අනුව ගණිකාවන් අතර ප්‍රධාන ගණිකාවකට හිමි වෙනු ලබන තනතුරක් මිසෙක හුදු වෛශ්‍යාවක් පමණක්ම නොව. ඔහු ඈ ගෙන් ඉගෙන ගැනීමට පටන් ගනී. නමුත් එහි පරිපාකය වනුයේ ඔහු සුඛාස්වාදය තුළ ගිලී තම සැබෑ අරමුණ වූ ශාන්තිය හෙවත් විමුක්තියෙන් වෙන් වනු ලැබීමයි. මෙහිදී හෙස විමුක්තිය යනුවෙන් හඳුන්වා තිබෙන්නේ, නීට්ෂේ පවසන පරිදි තමා තමාම වීමය.
අධික කාමභෝගී ජීවිතය ගැන කලකිරෙන සිද්ධාර්ථ නැවත නගරයෙන් පළා යයි. ඔහු නවතිනු ලබන්නේ ඉන් වසර විස්සකට පමණ පෙරාතුව ඔහුව ගඟකින් එතර කළ තොටියෙකුගේ පැළෙහිය. මෙම තොටියා ප්‍රබන්ධය තුළ ඉතා වැදගත් ස්ථානයක් හිමි කරගන්නා චරිතයකි. ඔහු ගඟට ඇහුම්කන් දී බොහෝ දේ එයින් උගනී. ත්‍රිපිටකයේ සඳහන්වන පරිදි බුදුන් වරෙක ප්‍රකාශ කරන්නේ අරක නම් ශාස්තෘවරයා මෙසේ පැවසූ බවයි. ‘එනම් ඔබට එකම ගඟට දෙවරක් බැසිය නොහැක‘ යන්නයි. මෙහිදී ග්‍රීක දාර්ශනිකයෙකු වූ හෙරක්ලීටස්ද(මගේ මතකය නිවරදි නම්, ඒ හෙරක්ලීටස් නොවේ නම් මා නිවරදි කරනු මැනවි) මෙම මතයම ප්‍රකාශ කර ඇත. අරක සහ හෙරක්ලීටස් අතර සබැඳියාව කවරාකාරද යන්න තොරතුරු සොයා ගැනීමට මට නොහැකි වුණි. බොහෝ විට ඒ දෙදෙනා එකම අයෙකු විය හැක.

ගඟ නම් වූ මේ රූපිකය මෙහිදී වර නැගී තිබෙන්නේ සංසාරය හුවා දැක්වීම පිණිසය. එය ක්ෂණයක් පාසා වෙනස්වෙනු ලබයි. නමුත් එය වෙනස්වෙන බවක් නොපෙන්වයි. සිද්ධාර්ථ තොටියා සමඟ සාවධාන වීමෙන් අසා දැන ගන්නේත් ඉගෙන ගන්නේත් එයයි. අවසානයේ සංසාරය දෙසට ඔහු යොමු කර සිටින මෙම අවලෝකනය ඔහුගේ ශාන්තිය පිණිස හේතු වේ. එමෙන්ම තොටියාද ශාන්තිය අත් පත් කරගෙන සිද්ධාර්ථගෙන් අවසානයේ වෙන්ව යනු ලබයි. සුප්‍රකට කවියා ජිබ්රාන්ගේ ආප්තය සිහි ගන්වමින් එනම්, ‘විප්‍රයෝගයේ මොහොත උදා වෙනතුරු ඔබ ඔබේ සැබැඳියාවේ ගැඹුර වටහා ගනු ලබන්නේ නැහැ‘ යන්න එය අපට පසක් කරවයි.
සමාලෝචනය
සුප්‍රකට ලේඛක නිකෝස් කසන්ට්සාකිස් වරෙක තම සෝර්බා නම් ග්‍රීකයා කෘතිය හරහා පවසනු ලැබුවේ බුදු දහම තුළ ගොඩ නැගෙන ආචාර ධාර්මික ලෝකය හැරෙන්නට එහි කියවෙන මනඃකල්පිත ශුන්‍යයත්වයෙන් වැඩක් නොමැති බවයි. සැබැවින්ම කියනවා නම් සිද්ධාර්ථද සංදිග්ධතාවයකට අසු වෙනු ලබන්නේ මෙම ලක්ෂ්‍යයයේදීය. ඔහු ගෞතමයන් හමු වුවද ඔහුගේ දහම පිළි අරගෙන මහණ දිවියට නො එළඹේ. නමුත් ඔහුගේ මිතුරු ගෝවින්ද ගෞතම සාසනයේ සව්වෙකු වෙනු ලබයි. කෙසේ වුවද කෘතිය අවසානයේදී ගෝවින්ද යළි සිද්ධාර්ථ වෙත පැමිණ ඉගෙන ගැනීමට තැත් කිරීම උඩ මා විසින් සඳහන් කරන ලද නිවන හෙවත් ශුන්‍යයත්වය(සසර පැවැත්මේ ශුන්‍යයත්වය) යළි යළිත් පාඨකයා අභිමුව සංශයට බඳුන් කරවන හෙස පාඨකයාව රැගෙන යනු ලබන්නේ නීට්ෂේගේ තමා තමාම බවට පත් වීම වෙතටයි.

මේ ලිපිය මේ වන විටත් බොහෝ ව්‍යාකූල වී ඇති බැවින් මම එය නතරකර දැමීමට කැමැත්තෙමි. නමුත් අවසාන වශයෙන් යමක් පවසන්නේ නම්, මා අභියස මා නිරන්තරයෙන් තබා ගන්නා කෘති කිහිපය තුළ සිද්ධාර්ථ කෘතියද අඩංගු වෙන බව ඔබට නොවළහා කිව යුතුය. එම කෘතියේ ආනන්දය ඔබ මෙතෙක් විඳ නොමැති නම් මෙවර සාහිත්‍යය මාසයේදීවත් එම මහඟු අවස්ථාව උදා කරගනු මැනවි.


බාසුරු ජයවර්ධන
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.