Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

විජේවිර, විප්ලවය හා චිත්‍රාංගනි නම් මව

විජේවිර, විප්ලවය හා චිත්‍රාංගනි නම් මව

පශ්චාත් නිදහස් සමය ගත් විට රෝහණ විජේවීර තරම් මෙරට ග්‍රාමීය තරුණ පරපුර තුළ ආස්වාදයක් ඇති කළ වෙනත් දේශපාලන නායකයකු නොමැති තරම්ය. එය, ඔහුගේ දේශපාලන සතුරන් පවා පිළිගන්නා කාරණයකි. රාජ්‍ය ක්‍රියාකාරිත්වය දැඩිව ප්‍රශ්න කරමින්, ඊට එරෙහිව ගැසූ අසාර්ථක කැරලි දෙකකට නායකත්වය සපයමින් එය මෙහෙයවූ විජේවීරගේ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් සමාජය තුළ ඇත්තේ විවිධාකාරව වූ කියවීම් ය. කෙනකු ඔහුව වීරයකු ලෙස දකිද්දී, තවත් අයකුට අනුව ඔහු ද්‍රෝහියෙක් විය. කෙසේ වෙතත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම මේ සටහන තුළ අපගේ අරමුණ නොවේ. අප සූදානම් වනුයේ ඊට වඩා වෙනස් කාරණයක් පිළිබඳ කථා කෙරුමටය.

අභිරහස් ලෙස ඝාතනයට ලක්ව මේ වන විට වසර විසිහයක් ගතව තිබුණද තවමත් රෝහණ විජේවීර පිළිබඳ මතකය වරින්වර මෙරට සමාජ දේශපාලන කතිකාව තුළ සංවාදයට බඳුන් වේ. විශේෂයෙන් ම ජවිපෙ සමාරම්භක නායකයා පිළිබඳ මතකය වඩාත් උත්කර්ෂයට නැංවීම සිදු වනුයේ අප්‍රේල් හා නොවැම්බර් මාසවලදීය.

මියගිය රෝහණ විජේවීර පිළිබඳ මතකය එසේ කතාබහට ලක් වන මුත් ජීවත්ව සිටින ඔහුගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ මෙරට මාධ්‍ය හා සමාජ අවකාශය තුළ කථා නොවන තරම්ය. එවැනි පසුබිමක් තුළ ජවිපෙ නිර්මාතෘවරයාගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ ගෙවුණු සත‍ියේ වාර්තා වූ ප්‍රවෘත්තියකට ඉහළ වැදගත්කමක් මාධ්‍ය අවකාශය තුළ හිමිව තිබිණි.

විජේවීර මහතාගේ මරණයෙන් පසු දැනට හමුදා රැකවරණය යටතේ වැලිසර නාවික හමුදා කඳවුරේ නිවස්නයක රැඳී සිටින විජේවීර මහත්මියට හා දූ දරුවන්ට එළඹෙන ඔක්තෝබර් පළමුවැනිදා සිට ඉන් ඉවත් වන ලෙස කර තිබූ දැනුම්දීම එම ප්‍රවෘත්තියට පසුබිම සපයා තිබිණි. ඒ පිළිබඳව දන්වමින් චිත්‍රාංගනී විජේවීර මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපි යොමු කර තිබූ අතර, ඒ නිසා තමන් හා දරු පවුල ගැටලුවකට මැදිව සිටින බව ඇය එහිදී සඳහන් කර තිබිණි. බලාපොරොත්තු විය යුතු ආකාරයටම ඇගේ එම ප්‍රකාශය දේශපාලන “කාල බෝම්බයක්” ම විය. රෝහණ විජේවීරගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ බොහෝදෙනාට සිහිපත් වූයේ රටේ ජනතාව ඔවුන් පිළිබඳ කථා කරන්නට වූයේ ඉන් අනතුරුවය.

කවුරුද මේ චිත්‍රාංගනී විජේවීර? ඇයට වැලිසර නාවික හමුදා කඳවුරට පැමිණීමට සිදූ වූයේ ඇයි?

ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දුගේ පියා වූයේ මොරටුව විල්ලෝරාවත්තේ පදිංචිව සිටි ගුරුවරයකු වූ සැමුවෙල් වික්ටර් ප්‍රනාන්දු ය. හෙතෙම ලංකාවේ සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් විය. වේල්ස් කුමර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ චිත්‍රාංගනීට සහෝදරයෝ සිව්දෙනෙක් ද සහෝදරියක් ද සිටියහ. විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළ සමත් වූ මුත් ඇය විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ නැත. ඒ වෙනුවට ඇය වරලත් ගණකාධිකාරී පාඨමාලාවක් හැදෑරුවාය. පසුකලෙක ලංකා ගුරු සංගමයේ ලේකම් ධුරය දැරූ එච්.එන්. ප්‍රනාන්දු ඇගේ සොහොයුරෙක් විය. වාමාංශික දේශපාලන නැඹුරුවක් තිබූ එච්. එන්. රෝහණ විජේවීරගේ දේශපාලන හිතවතෙක් වූයේය.

ඒ නිසාම ඔවුන්ගේ “මහගෙදර” රෝහණට කිසිසේත් ම ආගන්තුක තැනක් නම් නොවීය. කොළඹ පැමිණි විට නිතර ඔහු එහි ආ ගිය අතර ඒ ව විට චිත්‍රාංගනී කුඩා දැරියක් වූවාය. “නිහඬ” චරිතයක් වූ චිත්‍රාංගනී හා රෝහණ අතර “සම්බන්ධය” කෙසේ ඇතිවුණාදැයි නිශ්චිතව පැවසිය නොහැකි වූ මුත් ඇය 1980 මාර්තුවේදි ජවිපෙ නායකයා හා රහසේම අතිනත ගත්තාය. රටට තියා ජවිපෙ ක්‍රියාකාරිකයන්ටද එම පුවත රහසක් ම වූ අතර බොහෝ පක්ෂ සාමාජිකයන් ඒ පිළිබඳ දැනගත්තේ පසුදින “ඩේලිනිව්ස්” පුවත්පතේ මුල් පිටුවේ වම්පස තීරුවක පළ කර තිබූ ඊට අදාළ කෙටි විස්තරය හේතුවෙනි.

එච්.එන්. ප්‍රනාන්දු මඟින් චිත්‍රාංගනීව දැන හඳුනාගත් මුත්, විවාහ වී කෙටිකලක් ඇතුළත තම මස්සිනා සමඟ විජේවීර විරසක විය. ඒ 1980 ජූලි වැඩවර්ජනයට අදාළ කාරණයක් මුල් කර ගනිමිනි. එම වැඩවර්ජනයට ලංකා ගුරු සංගම් ලේකම්වරයා ජවිපෙ සහාය ඉල්ලා සිටි මුත් විජේවීර ඊට අකැමැති විය. එවැනි ක්‍රියාමාර්ගයක් ඔස්සේ තම පක්ෂ සාමාජිකයන් පිටතට අනාවරණය වීමක් සිදු වන බව කියමින් ඊට එක්වීම ඔහු තරයේ ප්‍රතික්ෂේප කළේය.

එම අනාගත අවදානම භාර ගැනීමට සූදානම් නොවීම තුළ එච්.එන්. හා පැවති දේශපාලන සම්බන්ධය බිඳ වැටුණු මුත් එය තම පවුල් දිවියට බාධාවක් කරගැන්මට වි‍ෙජ්වීර කටයුතු නොකළේය. 1981 ජනවාරි දොළොස් වැනිදා චිත්‍රාංගනී දසුන් ඊෂා දියණිය මෙලොවට බිහි කළ අතර ඊළඟ වසරේ අප්‍රේල් පස්වැනිදා සුපුන් චායා දියණිය ඔවුන්ගේ කැදැල්ලට එකතු විණි. එම දරු ප්‍රසූතීන් දෙකම සිදුවූයේ ද සොයිසා කාන්තා රෝහලේ ය. අතිශය කාර්යබහුල කාලසටහනක් හා පැටලී සිටියද ස්වාමිපුරුෂයකු හා පියකු ලෙස තම පවුලේ වැඩකටයුතු පිළිබඳ සොයා බැලීමට ද විජේවීර කිසිවිටෙක අමතක නොකළේය. එහෙත් 1983 කළු ජූලිය ඒ සුමට ගලායෑම වෙනස් කළේය.

රටට විශාල අපකීර්තියක් අත් කර දුන්, රට ලේ සාගරයක ගිල්ලීමට පාර කැපූ කුප්‍රකට “කළු ජූලිය” ට මුවා වී පිළිගත් දේශපාලන පක්ෂ තුනක් තහනම් කිරීමට එවකට පැවැති රජය කටයුතු කළේය. නව සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඒ පක්ෂ තුන විය. තහනම් කිරීමෙන් නතර නොවී ඒවාහී නායකයන් අත්අඩංගුවට ගැනීමට ද රජය නියෝගයක් නිකුත් කළේය. එය යටිබිම්ගත ජීවිතයකට විජේවීරට ආරාධනා කළේය. තමන්ව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කළ

වහාම, බිරිය හා දරු දෙදෙනා ද සමඟ විල්ලෝරාවත්තේ නිවෙසින් පිට වූ විජේවීර තම මව රැඳී සිටි තංගල්ල මැදකැටියේ පිහිටි නිෙවසට පැමිණ එහි චිත්‍රාංගනී, ඊෂා හා චායාව නතර කළේය. එසේ නතර කර පිටව ගිය විජේවීර අනතුරුව කුඩා සෙල්ලකතරගම වනාන්තරයේ හා පුනගල හා කොස්ලන්ද ප්‍රදේශවල අප්‍රකට දිවියක් ගත කිරීම ඇරඹුවේය. වරින් වර ඉඳහිට පැමිණ ආරක්ෂිත ස්ථානවලදි පවුලේ සාමාජිකයන් මුණගැසුණු මුත් විජේවීරට දින දෙක තුනකට වඩා ඔවුන් සමඟ රැඳී සිටීමට හැකියාවක් නොවීය. ඒ ආරක්ෂක අංශ ඔහු පසුපස නොනවත්වා ලුහුබඳිමින් සිටි බැවිනි. එම දුෂ්කර තත්ත්වය මැද වුවද විජේවීර තම පවුලේ සමාගම ප්‍රිය කළේය. ඒ වන විට විජේවීර මුහුණ පුරා වැවුණු රැවුළ කපාදමා තිබූ අතර ඒ නිසා එක එල්ලේ ඔහු හඳුනා ගැනීම සමීපතමයකුට පවා පහසු නොවීය.

මාස නවයකට වැඩි කාලයක් ඉඳහිට හමුවෙමින්, වෙන්වෙන්ව ජීවත් වූ විජේවීර පවුල යළි එක් තැනකට එක් වයේ නවසීය අසූහතරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුවය. විජේවීර හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ජීවත් වීම සඳහා පක්ෂය හල්දුමුල්ලේ හලතාතැන්න ආනන්ද විද්‍යාලය අසල නිවෙසක් මිල දී ගත් අතර, ජවිපෙ සාමාජිකයකු වූ බැංකු නිලධාරියකු තමන්ගේ නමින් එය රුපියල් 135,000 ක් ගෙවා මිල දී ගෙන තිබිණි. හල්දුමුල්ලට පැමිණි විජේවීර රෝගී තත්ත්වයේ පසුවන විශ්‍රාමික මැණික් වෙළෙන්දකු ලෙස පෙනී සිටින්නට විය. යටිබිම්ගත ජීවිතයට හැඩගැසීමෙන් පසු ඔහු හා පවුලේ සාමාජිකයන් වැඩිම කාලයක් රැඳී සිටියේ එම නිවෙසේය.

1987 ජූලි වන තෙක් ජවිපෙ නායකයා රැඳී සිටියේ එහි ය. ඉවුම් පිහුම් වැඩකටයුතු සඳහා චිත්‍රාංගනී ඒ හැටි උනන්දුවක් හා කුසලතාවක් නොපෙන්වූ බැවින් ගේදොර වැඩකටයුතු සඳහා පක්ෂයේ කාන්තා අංශයේ නායිකාවක්ද, පසුව තවත් කාන්තාවක් ද ඔවුන්ට සහාය වීමට එකතුවූහ. එහෙත් තමා මේ සේවය කරනුයේ ජවිපෙ නායකයාට බව ඒ දෙදෙනා දැන සිටියේ නැත. විජේවීර පවුලට තුන්වැනි දරුවා එකතු වූයේ මේ කාලයේ ය. 1984 ජූලි 24 දා බදුල්ලේ දී උපන් ඒ දරුවාට නම තැබුවේ, අත්තනායක මුදියන්සේලාගේ මායා ලෙස ය. ඒ වන විට වි‍ෙජ්වීර තම නම අත්තනායක මුදියන්සේලාගේ ශාන්ත නිමල්සිරි ලෙස වෙනස් කරගෙන තිබූ අතර, චිත්‍රාංගනී, සමරකෝන් ආරච්චිලාගේ ශ්‍රියානි චන්දිමා විය. මේ වෙනසට අවශ්‍ය ලෙස උප්පැන්න සහතික, උපතිස්ස ගමනායක විසින් විජේවීර අත පත් කර තිබිණි.

මේ කාලය තුළ ආරක්ෂාව කෙරෙහි ජවිපෙ නායකයා කොතරම් සැලකිලිමත් වූවාද කියතොත් විජේවීර තම බිරියට ඇගේ පවුලේ සාමාජිකයන්වත් හමුවීමට ඉඩ දුන්නේ නැත. ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටි තම සොහොයුරු සරත් ප්‍රනාන්දුව මුණගැසීමට අවශ්‍ය බව චිත්‍රාංගනී කිහිපවරක් ම ඇවටිලි කළ මුත් පක්ෂයේ අවසරයක් නොමැතිව ඊට ඉඩ දිය නොහැකි බව කියමින් විජේවීර එය ප්‍රතික්ෂේප කළේය. ඥාතීන් හා පයුරුපාසානයට ඉඩ නොදුන් මුත් තම දරුවන්ට බෙහෙත්හේත් ගැනීමට විජේවීර යුවළ මේ කාලයේ කිහිප වරක් ම කොළඹ පැමිණියේ ය. මහාචාර්ය රොහාන් ගුණරත්න පවසන අන්දමට ජේ.බී. පීරිස්, කොල්වින් සමරසිංහ හා රංජනි ගමගේ වැනි විශේෂඥ නාමධාරි වෛද්‍යවරුන් රැසකගේ සේවාව තම දරුවන්ගේ රෝගාබාධ සඳහා විජේවීර යුවළ මේ කාලය තුළ ලබා ගෙන තිබේ.

හල්දුමුල්ලේ සිට කොළඹ බලා පැමිණි අවස්ථාවලදී කිහිපවරක් ම හමුදා මුර කපොලුවලදි විජේවීර පවුල පරීක්ෂාවන්ට ලක් වූ මුත් ඒ කිසිවෙකුට ජවිපෙ නායකයාව හඳුනාගැනීමට නොහැකි විය. වේශ නිරූපණය ඒ තරමට ම සාර්ථක මට්ටමක විය. ගමනායක විසින් සාදාදුන් උප්පැන්න සහතිකද බිය සැකයකින් තොරව සංචරණයට අවශ්‍ය විශ්වාසය විජේවීර පවුලට සලසා තිබිණි. පසුව අත්තනායක මුදියන්සේලාගේ දීපානි ශ්‍යාමලි හා අත්තනායක මුදියන්සේලාගේ සුරනි විදීෂා ලෙස නම් දී තම වැඩිමහල් දියණිවරුන්ව වලහපුතැන්න මහා විද්‍යාලයට ඇතුළත් කිරීමට ද විජේවීර සමත් විය. මේ අතර 1987 ජනවාරි විසිවැනිදා, විජේවීර පවුලේ සිව්වැන්නා ද මෙලොව එළිය දුටුවේය.

හල්දුම්මුල්ලේ වසර තුනක් රැඳී සිටි වි‍ෙජ්වීර ආරක්ෂක හේතු මත එතැනින් 1987 ජූලියේදී බණ්ඩාරවෙල නෙළුව ලෙව්වේගොඩ වතුයායේ පිහිටි බංගලාවකට මාරු වූයේය. පසුව ජවිපෙ මූලස්ථානය ද වූ අක්කර දහතුනකින් සමන්විත මේ වතුයාය, එදා ජවිපෙ මිලදී ගෙන තිබ‍ුණේ රුපියල් ලක්ෂ දහතුනකට ය. විජේවීර පවුලේ පස්වැන්නා වූ උවිඳු ව ප්‍රසූත කිරීම සඳහා 1988 මැයි විසිවැනිදා බදුල්ලේ පිහිටි පෞද්ගලික ආරෝග්‍යශාලාවකට චිත්‍රාංගනී පිටත්ව ගියේ මේ නිෙවසේ සිටය.

එහෙත් එහි වැඩි කාලයක් විජේවීරලා රැඳී සිටියේ නැත. දිනක් මල් වගයක් රැගෙන යෑමට යැයි කියමින් පොලිස් භට කණ්ඩායමක් ලෙව්වේගොඩ වතුයායට පැමිණ තිබිණි. එම පොලිස් කණ්ඩායම එහි පැමිණ තිබුණේ වැරැදීමකිනි. මල් රැගෙන ඒමට අසල පිහිටි නෙළුව වතු බංගලාවට යා යුතුව තිබුමුත් වැරදීමකින් ඔවුන් ලෙව්වේගොඩ වත්තට පැමිණ තිබිණි. එහෙත් එය වි‍ෙජ්වීර තුළ විශාල සැකයක් නිර්මාණය කළේය. ඔහු තම පවුලේ සාමාජිකයන් ද කැටුව වහා ම පාදුක්ක බලා පිටත් විය. පාදුක්ක මීගොඩවත්තේ පිහිටි නිවෙසක මසකට ආසන්න කාලයක් රැඳී සිටි ජවිපෙ නායකයා අනතුරුව පැමිණියේ තම ඉරණම විසඳූ උලපනේ ශාන්ත මේරි වතුයායේ පිහිටි බංගලාව වෙතය.

1988 සැප්තැම්බර් පළමුවැනිදා විජේවීර උලපනේට පැමිණෙද්දී ජවිපෙ ක්‍රියාකාරිත්වය හා ජවිපෙට එරෙහි ක්‍රියාකාරිත්වය ද පිම්මේ වර්ධනය වී තිබිණි. භීෂණයෙන් රට භීතියට පත්ව තිබූ අතර අනාගතය පිළිබඳ ජනතාවට වූයේ අඳුරු බලාපොරොත්තුවකි. මේ අතර රුපියල් ලක්ෂ 08ක් ගෙවා, මිලදී ගත් නව බංගලාව හා ඉඩමට ඔප්පුව ලිවීමේදී එහි වටිනාකම ලෙස දක්වා තිබුණේ රුපියල් ලක්ෂ හතරක් පමණි. වැවිලිකරුවකු ලෙස අත්තනායක නමින් ම උලපනේ දී පෙනීසිටි විජේවීරගේ මේ ජීවිතය පිළිබඳ කිසිවකුට සැක සංකා ඇති නොවීම පිණිස එය වඩාත් සුඛෝපබෝගී එකක් බවට පත් කිරීමට ජවිපෙ කටයුතු කළේය. ඒ අනුව තම නායකයාගේ පරිහරණය වෙනුවෙන් සුදු පැහැති මිට්සුබිෂි ස්ටේෂන් වැගන් වර්ගයේ මෝටර් රථයක්, දුරකතනයක් හා “මිනිබාර්” එකක් උලපනේ බංගලාවේ ස්ථාපිත කිරීමට ගමනායක ඇතුළු පක්ෂයේ ඉහළ නායකත්වය කටයුතු කළේය.

දුරකතනයේ අංකය 52413 වූ අතර, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙතින් මෝටර් රථය මිල දී ගෙන තිබුණේ රුපියල් දෙලක්ෂ විසිදහසක මුදලකටය. “අත්තනායක මොඩල්” නමින් පසුව රටේ ප්‍රචලිත වූයේ ඒ මාදිලියේ මෝටර් රථය. උලපනේ නිවෙස පෙරට වඩා ආරක්ෂිත ස්ථානයක් වුව ද ඊටත් වඩා විජේවීර එක් කාරණයක් පිළිබඳ දුක් විය. ඒ තම දියණිවරුන්ට අධ්‍යාපනය ලැබිය හැකි මට්ටමේ පාසලක් උලපනේ අවට නොවීම සම්බන්ධයෙනි. අවට තිබූ පාසල් මිශ්‍ර පාසල් විය. දැඩි හිතක් සහිත විප්ලවවාදියෙකු වුවද රෝහණ වි‍ෙජ්වීර තුළ ආදරණීය පියෙක් ජීවත් විය. ඔහු තම දියණිවරුන්ට අසීමිතව ආදරය කළේය. ඊෂා ඇතුළු දියණිවරුන්ව කන්‍යාරාමයකට යවා හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ඔහු ප්‍රිය කළේය. උලපනේදී ඔහුව අත්අඩංගුවට පත් වූයේ ඒ වෙනුවෙන් සැලසුම් සකසමින් සිටියදීය.

වි‍ෙජ්වීර උලපනේ ශාන්ත මේරි වතුයායේ වෙසෙන බව තහවුරු කරගැනීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදු කළේ එවකට බ්‍රිගේඩියර්වරයෙකු ලෙස කටයුතු කළ ජානක පෙරේරා හා කර්නල් ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු විශේෂ හමුදා කණ්ඩායමකි. තුවක්කුවක් හෝ පත්තු නොකරමින් සිවිල් ඇඳුමින් සැරසුණු මේ පිරිස වි‍ෙජ්වීරව අත්අඩංගුවට ගෙන කොළඹ බලා රැගෙන ඒමට සැරසෙද්දි බ්‍රිගේඩියර් ජානක පෙරේරා, සන්සුන් ස්වරයෙන් වඩාත් ආචාරශීලී ලෙස චිත්‍රාංගනීට පැවසුවේ වහා දරුවන් ද රැගෙන ආරක්ෂිත ස්ථානයකට පිටව යන ලෙස ය. අතිශය හැඟුම්බර මොහොතක් මැද වුවද විජේවීර ද උසස් හමුදා නිලධාරියාගේ ප්‍රකාශය අනුමත කළේය. උලපනේදී විජේවීරගේ රියැදුරා වූයේ ‘කළුමල්ලි’ නම් පුද්ගලයාය. උලපනේ පදිංචිකරුවකු වූ කළුමල්ලි මේ වන විට රියැදුරකු ලෙස විදේශයක සේවය කරමින් සිටියි. විදේශගත වීමට මත්තෙන් මේ සිදුවීමෙන් පසු ඔහු කලක් පෞද්ගලික බස් රියැදු‍රකු වශයෙන් ද කටයුතු කළේය.

බ්‍රිගේඩියර් ජානක පෙරෙරා ඇතුළු භට කණ්ඩායම විජේවීරව රැගෙන යෑමෙන් පසු වහා එතැනින් පිටව යා යුතු බවට තර්කයක් චිත්‍රාංගනීට නොතිබුණ මුත් යා යුතු තැනක් පිළිබඳ අදහසක් ඇයට නොවීය. අවසානයේ කොළඹ බලා යෑමට ඇය තීරණය කළාය. මරණ ගෙදරක යෑම පිණිස වෑන් රියක් රැගෙන එන ලෙස “කළු මල්ලි” ට දැන්වූ ඇය අනතුරුව ඒ මොහොතේ ගෙන යා හැකි සියල්ල මිටි බඳින්නට විය. පසුකලෙක ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නාවලපිටිය ආසන සංවිධායකවරයා වූ ලෙස්ලි වීරක්කොඩි ට අයත් “හයිඑස්” වර්ගයේ වෑන් රියක් උලපනේ තිබූ අතර, “කළුමල්ලි” පැමිණ කොළඹට “හයර්” එකක් යෑමට ඔහු කැමති කරවාගත්තේය.

එහි අංකය 40 ශ්‍රි 927 වූ අතර, එදින රථය පැදවූයේ බන්දුල නමැත්තෙකි. වෑන් රියට ගොඩ වූ පසු වතු බංගලාවේ සිටි සියලු දෙනා තුළින් දැකගත හැකි වූයේ ශෝකී හැඟීමකි. විශේෂයෙන් ම ඊළඟට සිදුවීමට ඉඩඇති දේ පිළිබඳව අවබෝධයක් චිත්‍රාංගනීට තිබූ අතර, ඒ පිළිබඳ සිහිකරමින් ඇය හඬා වැටෙද්දි, ඊෂා ඇතුළු දරුවෝ ද එයම කළහ. චිත්‍රාංගනී ඇතුළු පිරිස මහරගමට පැමිණ ඥාති නිවෙසකට ගිය මුත්, ඔවුනට එහි රැඳී සිටීමට හැකි වූයේ පැය විසිහතරකටත් වඩා අඩු කාලයකි. “වි‍ෙජ්වීරගේ මරණය” පිළිබඳ පුවත ගුවන්විදුලියෙන් ප්‍රචාරය වීමත් සමඟ ඔවුන්ව තවදුරටත් එහි තබාගැනීමට ඥාතීන් බිය වූ අතර, ඒ නිසාම කුඩා දරුවන් පස්දෙනා හා ඒ වන විට තම කුස තුළ සිටි බිලිඳා ද රැගෙන පාරට බැසීමට ඇයට සිදු විණි. කිසිවකුගෙන් පිහිටක් නොලැබුණු කල අවසානයේ චිත්‍රාංගනී, යුද හමුදා මූලස්ථානයට යෑමට තීරණය කළාය. වි‍ෙජ්වීර අත්අඩංගුවට ගත් මොහොතේ බ්‍රිගේඩියර් ජානක පෙරේරා මහතා ඇයට දැනුම් දුන්නේ යෑමට තැනක් නොමැති නම් දරුවන් ද සමඟ යුද හමුදා මූලස්ථානයට පැමිණෙන ලෙසය. හමුදා මූලස්ථානයට ආ ඇය ඇතුළු දරුවන්ට කෙටිකලක් යුද හමුදාවේ කාන්තා බළසේනාවේ රැකවරණය ලැබුණු අතර, අනතුරුව ඔවුහු ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම කඳවුරු සංකීර්ණයක් වන ත්‍රිකුණාමලය බලා පිටත් කර යවන ලදි.

දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව නැගෙනහිර ඉන්දියාව අවට තම ප්‍රධාන නාවික ක්‍රියාකාරිත්වය මුදාහළේ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගෙනය. එය ඒ සා විශාල භූ දේශපාලනික වැදගත්කමක් ඇති නාවික මර්මස්ථානයක් විය.

1994 තෙක් ත්‍රිකුණාමලයේ රැඳී සිටි චිත්‍රාංගනී ඇතුළු විජේවීර පවුලේ දූ දරුවන්ට වැලිසරට පැමිණී‍ෙම් අවස්ථාව හිමි වූයේ එවකට ධීවර ඇමැතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමක් නිසාය. දිනක් අහම්බෙන් මෙන් චිත්‍රාංගනීලා රැඳී සිටි නාවික කඳවුරට රාජපක්ෂ මහතා පැමිණියේ විවෘත කිරීමේ උත්සවයකට සම්බන්ධ වීමෙන් අනතුරුවය. ඒ අවස්ථාවේදී තමන්ගෙන් ඉටු විය යුතු යමක් ඇත්දැයි රාජපක්ෂ මහතා විමසූ විට චිත්‍රාංගනී ඔහුට දැනුම් දුන්නේ තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ අවට පැමිණීමට අවස්ථාවක් ඇත් නම් එය වඩාත් පහසුවක් බවය. ත්‍රිකුණාමලයේදි කඳවුරු ජීවිතයකට පමණක් හුරුව සිටි විජේවීර පවුලේ සාමාජිකයන්ට, වැලිසරට පැමිණි පසු නිදහසේ කඳවුරු භූමියෙන් පිටව යෑමට පමණක් නොව තම සමීප ඥාති මිත්‍රාදීන්ව කඳවුරු නිවස්නයට ගෙන්වා ගැනීමේ නිදහස ද හිමි විය.

“වැලිසර” නාවුක හමුදා කඳවුරේ දෙමහල් නිවස්නයකට වී ගෙවූ ජීවිතය තුළදී අටලෝ දහමට එකසේ අනුගතවීමට චිත්‍රාංගනී විජේවීර ඇතුළු පවුලේ සාමාජිකයන්ට සිදු වූ බව රහසක් නොවේ. එහෙත් ඒ සියලු තත්ත්වයන් මවක ලෙස චිත්‍රාංගනී විජේවීර එක සේ සමසිතින් විඳ දරා ගත්තාය. වැඩිමහල් දියණිය ඊෂා තරමක් මුරණ්ඩු ගතියක් පෙන්නුම් කළ ද, දෙවැනි දියණිය දරු සුරතල් ද බලමින් මේ වනවිට කෝට්ටේ ප්‍රදේශයේ සාර්ථක විවාහ ජීවිතයක් ගතකරමින් සිටියි. ඇගේ විවාහ මංගල උත්සවය පවත්වන ලද්දේ අගනගරයේ ප්‍රකට හෝටලයකය. ඊට අමතරව වි‍ෙජ්වීර පවුලේ දරුවන් සදෙනාගෙන් දෙදෙනෙක් ම මේ වන විට විදේශයන්හි අධ්‍යාපනය හදාරති.

රට තුළ මේ වන විට උදා වී ඇති සාමකාමී වාතාවරණය තුළ නිදහසේ ජීවත් වීමට අවශ්‍ය වටපිටාව තවත් තහවුරු කරලීම වෙනුවෙන් විජේවීර පවුලේ සාමාජිකයන්ව හමුදා භාරයෙන් නිදහස් කිරීමට තීරණය කළ ද චිත්‍රාංගනී මහත්මිය ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට යැවූ ලිපි සමඟ ඒ තීරණය පිළිබඳ යළි සානුකම්පිතව සලකා බැලීමට දැන් තීන්දු කර ඇත. ඒ අනුව පසුගියදා ආරක්ෂක කවුන්සිලය සමඟ සාකච්ඡා කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ බලධාරීන්ට දැනුම් දුන්නේ රෝහණ වි‍ෙජ්වීර පවුලේ සාමාජිකයන්ට ඔක්තෝබර් පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස 06ක් වැලිසර නාවික කඳවුරේ වාසය කිරීමට ඉඩ දෙන ලෙස යි.

චාමර ලක්ෂාන් කුමාර

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.