Menu

logo new 2015-5-11

Shamrock-png

විජේවීර පවුලේ කැරැල්ල

විජේවීර පවුලේ කැරැල්ල

මාතර කෝට්ටේගොඩදී 1943 ජුලි 14වැනිදා උපන් පටබැදිගේ දොන් නන්දසිරි විජේවීර 1965 මැයි 14වැනිදා ඇරඹූ ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) නිර්මාතෘවරයාය. ඔහුගේ පියා කොමියුනිස්ට් ආධාරකරුවෙකු සහ සුළු ව්‍යාපාරිකයෙකු වූ දොන් නන්දසිරි විජේවිරය. පවුලේ සොයුරු සොහොයුරියන් තිදෙනෙකු සිටි අතර මව නැසිනෝනා වික්‍රම කළුතොටය. විජේවීරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ සුවිශේෂි තත්ත්වයට ගළපන ලද මාක්ස් ලෙනින්වාදයක් හදුන්වාදුන් ජවිපෙ රැඩිකල් ගැමි තරුණ පරපුරේ ආකර්ෂණීය පක්ෂය බවට පත්වූයේ කෙටි කලකිනි.

ජවිපෙ මෙහෙයවීමෙන් 1971 අප්‍රේල් 5වැනිදා රටපුරා පොලිස් ස්ථාන 92කට පහරදී 57ක් විනාශ කරමින් එක්දින ප්‍රහාරයකින් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ප්‍රයත්නයක් දියත් කරන ලදී. සමගි පෙරමුණ රජය මගින් ප්‍රකාශකල දත්ත අනුව එහිදී මරාදමන ලද කැරළිකරුවන් සංඛ්‍යාව 1,200කි. එහෙත් මරාදමන ලද කැරළිකරුවන් සංඛ්‍යාව 5,000කට ආසන්නය. අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 18,000කට පමණ වූ අතර ඉන් 4,200ක් පමණ පොදු දේශපාලන සමාව යටතේ භාරවූ අය වෙති. මෙම ප්‍රහාර වලදී පොලිස් නිලධාරින් 37ක් සහ හමුදා නිලධාරින් 26ක් කැරළිකරුවන් අතින් ඝාතනයට ලක්විය. කැරළිකරුවන් විසින් ඝාතනයට පත්වූ සිවිල් වැසියන් සංඛ්‍යාව 41කි.ජවිපෙ නායක විජේවීර ඇතුළු 5 දෙනෙකුට ජීවිතාන්තය දක්වාද කැරළිකරුවන් සිය ගණනකට සිරදඬුවම්ද නියම විය. විජේවීර ඇතුළු ජවිපෙ සිරකරුවෝ 1977 නොවැම්බර් 2වැනිදා අපරාධ යුත්ති කොමිෂන් සභාව අහෝසිවීමත් සමඟ නිදහස්වී දේශපාලනයට පිවිසියේය.

ප්‍රථම ජනාධිපතිවරණයට 1982 ඔක්තෝබර් 21 වැනිදා ජවිපෙ වෙනුවෙන් තරඟ කල රෝහණ විජේවීර ඡන්ද 273,439ක් ලබාගනිමින් ශ්‍රී ලංකා‍වේ තෙවන දේශපාලන බලවේගය බවට පත්විය. ජවිපෙ 1983 ජුලි 30වැනිදා එජාප රජය මගින් තහනම් කල අතර ඉන් පසු භූගත දේශපාලනයට ජවිපෙ යොමුවිය. ජවිපෙ දෙවන කැරැල්ල 1986 ඇරඹූ අතර එය 1990 සැප්තැම්බර් මස අවසාන වන විට 41,813ක් ඝාතනයට ලක්වී තිබිණි. ආණ්ඩුවේ නිල සහ අතුරු සන්නද්ධ කණ්ඩායම් මගින් එහිදී 34,014ක්ද ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් 1222ක් ප්‍රා සංවිධානය මගින්ද 6,577ක් ජවිපෙ මගින්ද ඝාතනයට ලක්වී තිබිණි. එම කැරැල්ලේදී විජේවීර ඇතුළු ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින් 13 දෙනාගෙන් 12 දෙනෙකුද මධ්‍යම කාරක සභික 30 දෙනා අතරින් 24 දෙනෙකුද ඝාතනයට ලක්විය.

පක්ෂයේ නායක රෝහණ විජේවීර 1989 නොවැම්බර් 12 වැනිදා පස්වරු 2කට උලපනේදී අත්අඩංගුවට පත්විය. එහිදී විජේවීර බිරිඳගෙන් ඉල්ලා සිටියේ සිය දරුවන් සියළු දෙනාටම බෞද්ධාගමේ දිගටම ඉදීමට ඉඩදෙන ලෙසත් උප්පන්න සහතික නිවැරදි ලෙස සකසා උසස් අධ්‍යාපනය ලබාදෙන ලෙසත්ය. දරු පවුලට කිසිදු හිරිහැරයක් නොකරන මෙන් අත්අඩංගුවටගත් ක්ෂණික විහිදුම් බලකායේ අණදෙන නිළධාරියෙක්වූ මේජර් ගාමිණි හෙට්ටිආරච්චි ගෙන් විජේවීර ඉල්ලා සිටියේය. හමුදා කණ්ඩායම විජේවීරගේ බිරිඳ ඇතුළු පිරිසට එම ස්ථානයෙන් හැකි ඉක්මනින් පිටත්වන ලෙස කියමින් ඒ සදහා මුදලක්ද ලබාදී තිබිණි. 1989 නොවැම්බර් 13වැනිදා අළුයම 1.35ට රජයේ හමුදා මගින් බොරැල්ල ගොල්ෆ් පිටියේදී වෙඩිතබා ඝාතනය කරන ලදී. පසුව විජේවිරගේ දේහය එදියම අළුයම 3.13ට බො‍රැල්ල කනත්තේදී ලෙජර් අංක 88268 යටතේ සටහන්කර ආදාහනය කරන ලදී.

ඊට පසුව විජේවිරගේ වැන්දඹු බිරිඳවූ වන්නක්කවත්ත වඩුගේ ශ්‍රීමනී චිත්‍රාංගනී ප්‍රනාන්දු ඇතුළු දරුවන් 5 දෙනා 1989 නොවැම්බර් 19වැනිදා පස්වරු 5ට කොළඹ යුධ හමුදා මූලස්ථානයට ගොස් භාරවිය. විජේවීරගේ මව නැසිනෝනාද ගැබිණි මවක්වූ චිත්‍රාංගනී සමඟ හමුදාවට භාරවූ අතර 1989 නොවැම්බර් 21වැනිදා විජේවීරගේ නැඟණිය වූ චිත්‍රානී මහරගම පොලිසියට භාරවීමෙන් පසු පොලිස් මූලස්ථානය මගින් හමුදාපති හැමිල්ටන් වනසිංහට භාර දුන්නේය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස හමුදාපතිවරයාට නියෝග කළේ විජේවීර දරු පවුලට අවශ්‍ය පහසුකම් සහ රැකවරණය රජය මගින් ලබාදෙන ලෙසය.

ඒ අනුව විජේවීර‍‍ගේ දරුපවුල 1989 සිට 1992 දක්වා රැදී සිටියේ ගනේමුල්ල හමුදා කඳවුරේ නිල නිවසකය. පසුව ඔවු‍න්ගේ ඉල්ලීම පරිදි ත්‍රිකුණාමලයේ තිස්ස නාවික කඳවුරේ නිල නිවසක ජීවත්වූවේය. ඔවුහු වැලිසර ගැමුණු නාවික කඳවුරට 1999 යොමු කරන ලද්දේ ඔවුන්ගේම ඉල්ලීම් සළකා බලමිනි. නාවික හමුදාව මගින් එම නිවසින් 2015 ඔක්තෝබර් 1වැනිදා ඉවත්වන ලෙසට පෙබරවාරි මස ලිඛිතව දන්වනු ලැබූ අතර ඒ සමඟම වර්තමානයේ ඇතිවී ඇති කථාබහ ආන්දෝලාත්මකය.

ජවිපෙ යනු දේශපාලන පක්ෂයක් පමණක් නොව උප සංස්කෘතියකි. අවසාන විග්‍රහයේදී ඒ අනුව ජවිපෙට සිටින්නේ සිය සාමාජිකයින්, හිතවතුන්, ජනතාව සහ ප්‍රතිගාමීන්ය. සාමාජිකයන් යනු පක්ෂය වේ. හිතවතුන් යනු එක්තරා සීමාවක් තුළ විශ්වාසය තබාගතහැකි කොටසකි. ජනතාව කරුණු කාරණා අවබෝධකොටදී දිනාගත යුතු පිරිසකි. ප්‍රතිගාමීන් යනු කිසිදු ඇසුරක් නොපැවැත්විය යුතු තීරණාත්මක අවස්ථාවකදී ඉවත්කල යුතු පිරිසකි. ඕනෑම සිද්ධියක් අවසානයේදී ඉහත උප සංස්කෘතිය අනුව ජවිපෙ සමඟ බැදී පවතී.

රෝහණ විජේවීර කීර්තිය උදෙසා සටන් නොකළේය. භෞතික සම්පත් උදෙසා හෝ අභිලාෂයන් උදෙසා සටන් නොකළේය. ජවිපෙ පවසන පරිදි ඔහු මුලසිටම නිවැරදි මිනිසෙක් විය. පළමු සටනේ සිට ජීවිතය දීමට සූදානම් විය. තවක් එක් සෙබලෙක් පමණක් ලෙස මියයාමට සූදානම්ව සිටියේය. විජේවීර ඝාතනය වනවිට ඔහු වයස අවුරුදු 46ක සයදරු පියෙකි. ඔහුගේ වැඩිමහල් දරුවාවූ දසුන් ඊසාට අවුරුදු 9කි. චේ ගවේරා තම අරමුණු උදෙසා කියුබාවෙන් නික්ම යන විට ඔහුගේ දරුවාට අවුරුදු 4කි. ඉන් තෙවසරකට පසු එනම් 1967 ඔක්තෝබර් චේ ගවේරා ඝාතනය වනවිට ඔහුට වයස අවුරුදු 39කි. ඝාතනයට පෙර චේ සී.අයි.ඒ නියෝජිතයෙකු වූ ෆිලික්ස් රොද්රිගූස්ට, චේ කියා සිටියේ දරුවන් හොදින් බලාගෙන හොද අධ්‍යාපනයක් දෙන ලෙසට කටයුතු කරන මෙන් බිරිඳ අලෙයිඩා මාර්ච්ට දන්වන ලෙසය. මෙවැනිම ඉල්ලීමක් විජේවීරද කළේය. අලෙයිඩා මෙන් චිත්‍රාංගනීද හැකි පමණින් එය ඉටුකල බවක් පෙනේ.

මොරටුවේ විල්ලෝරවත්තේ පදිංචි චිත්‍රාංගනී විජේවීර සමඟ විවාහ වූයේ 1980 මාර්තු 26වැනිදාය. සොයිසා කාන්තා රෝහළේදී 1956 අප්‍රේල් 21 උපන් ඇය සිංහල ක්‍රිස්තියානි මෙතෝදිස්ත භක්තිකයෙකු වූවාය. මොරටු මහ විදුහලේ උප විදුහල්පති වශයෙන් කලක් සේවය කල වික්ටර් ප්‍රනාන්දු ඇයගේ පියා විය. කලක් විමලසිරිද මෙල් සහ ටිරෝන් ප්‍රනාන්දු සමඟ එක්ව දේශපාලනය කල සයදරු පියෙකු වූ වික්ටර් 1975 සැප්තැම්බර් 9වැනිදා මියගිය අතර ඔහුගේ බිරිඳ චාලට්ය. මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය ලත් චිත්‍රාංගනී උසස් පෙළට 1976 පෙනී සිටියේ ජීව විද්‍යා අංශයෙනි. ගණකාධිකරණ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඇය 1979දී පෙනී සිටියාය.

චිත්‍රාංගනීගේ එක් සොහොයුරෙකු වූයේ ලංකා ගරු සංගමයේ ප්‍රධාන ලේකම්වූ හේම නිහාල් ප්‍රනාන්දුය. ගුරු විද්‍යාලය හරහා 1969 ජවිපෙ සාමාජිකයෙකු වූ එච්. එන් 71 කැරැල්ලේදී අත්අඩංගුවට ගත් අතර පසුව 80 ජූලි වැඩ වර්ජනය දක්වා ජවිපෙ සමඟ අනුගතව සිටියේය. චිත්‍රාංගනීගේ තවත් සොහොයුරෙකු වූයේ කලින් කලට පුවත් මවන මතභේදයට තුඩුදුන් චරිතයක්වූ වෛද්‍ය සුභාෂ් චන්ද්‍රා ප්‍රනාන්දුය. කලක් ජවිපෙ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය තිබුණේද චන්ද්‍රා ප්‍රනාන්දුගේ නිවසට යාබදවය.

විජේවීරගේ වැඩිමහල් දියණිය දසුන් ඊසා උපනනේ 1981 ජනවාරි 12වැනිදා ද සොයිසා කාන්තා රෝහලේදීය. දෙවන දියණිය සුපුන් ඡාගාද 1982 අප්‍රේල් 5වැනිදා උපත ලැබුවේ එම රෝහලේදීය. තෙවන දියණිය මායා විභූති 1984 ජුලි 24වැනිදා උපන්නේ බදුල්ල මහ රෝහලේදීය. සිව්වන දරුවා වූ අමා සසරි උපන්නේ 1987 ජනවාරි 20 වැනිදා හල්දුම්මුල්‍ලේ හාල්ඇටතැන්න රෝහලේදීය. පස්වැනියා වූ උවිදු විදුර පුත්‍රයෙකු වූ අතර 1988 මැයි 20 වැනිදා බදුල්ල නර්සින් හෝම්හීදි ඔහු උපන්නේය. හමුදාවට භාරවන විට තෙමසක ගැබිනි මවක් වූ චිත්‍රාංගනීගේ සයවන දරුවා වූ ප්‍රත්‍රයා සුපුල්ය. හමුදාවට 1989 නොවැම්බර් 19වැනිදා භාරවූ චිත්‍රාංගනී 1984 ජනවාරි 12 වැනිදා සිට භූගත දේශපාලනයක නිරතවී සිටි සිය සැමියාවු විජේවීර සමඟ සිය දරුවන්ද සමඟ එක්ව සිටියාය.

දෙවන කැරැල්ලේ පරාජයත් සමඟම ඇද වැටී තිබූ ජවිපෙ අළු දුහුළු ගසා නැගිටින්නේ 1991/93 කාලයේදීය. තංගල්ලේ පක්ෂ සම්මේලනය පැවැත්වීම සහ 1994 මහා මැතිවරණයට ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ යටතේ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ හරහා තරඟ කිරීමෙන් ජවිපෙට හම්බන්තොටින් එක් පාර්ලිමේන්තු ආසනයක් හිමිවිය. එහි මන්ත්‍රීවරයා වූ නිහාල් ගලප්පත්ති විජේවීරගේ දරු පවුල හමුවන්නට ත්‍රිකුණාමලයේ නාවික හමුදා නිල නිවසට යෑම සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලීම සඳහා ජවිපෙ මගින් නම් කෙරිණි. ගලප්පත්ති වරක් දෙවරක් ගියද එම වාතාවරණය තේරුම් ගැනිමට නොහැකිවූ බැවින් විජේවීර පවුල සම්බන්ධයෙන් සොයා බැලීමේ මැදිහත්වීමේ උත්සාහය සාර්ථක වූයේ නැත.

ඒ අතරතුර විජේවීර පවුලේ ඉල්ලීම මත ඔවුහු 1999දී වැලිසර නාවික හමුදා කඳවුරේ නිල නිවසකට මාරු කෙරිණි. ජවිපෙ මගින් විජේවීර දරු පවුල සමඟ සෘජුවම සම්බන්ධ වන්නේ මෙහිදීය. ඒ සඳහා ජවිපෙන් නම් කෙරුණේ ප්‍රධාන ලේකම් ටිල්වීන් සිල්වා සහ කළු‍බෝවිල රෝහලේ වෛද්‍ය දිශාන්ත දසනායකය. ටිල්වින් 1986/89 වකවානුවේ කළුතර සුසිල් නමින් ජවිපෙ ක්‍රියාකාරි දේශපාලනයේ නිරතව සිටි අතර වෛද්‍ය දිශාන්ත, මාතර රාහුල විදුහලෙන් 1988 උසස් පෙල සමත්ව කොළඹ වෛද්‍ය පීඨයට 1991 ඇතුළත් වී 1998දී වෛද්‍යවරයෙකු වශයෙන් සේවයට එක්විය. වෛද්‍ය දිශාන්ත දශකයකට අධික කාලයක් මාසිකව වැලිසර ගොස් පවුලේ අය හමුවූහ. දිශාන්ත පවුලේ අයට අවශ්‍ය අවස්ථාවලදී වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම, විජේවිර‍ගේ දරුවන්ට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පුහුණුව ලබාදිම නොකඩවා ස්වෙච්ඡාවෙන් සිදුකරන ලදී. එයට අමතරව හදිසි ප්‍රතිකාර අවශ්‍ය අවස්ථාවන්හිදී රාගම රෝහලේ වෛද්‍ය ධම්මික පතිරණද ස්වෙච්ඡාවෙන් මැදිහත් විය. චිත්‍රාංගනී ජවිපෙන් කල එම ඉල්ලීම් දෙකට හොද ප්‍රතිචාරයක් ලැබිණි. ඒ දරුවන්ට හොද අධ්‍යාපනය ලබාදීම සහ නිවසක් ලබාදිමය.

වරෙක චිත්‍රාංගනී විදේශ රටක රැකවරණය ලබාගැනීම සදහා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගටද ඉල්ලීමක් කලබව කියති. එහිදී ජනාධිපතිනිය පෙන්නුම් කල බව කියන්නේ වෙන රටක රැකවරණය ලබාදීමට ලාංකීය පුරවැසියෙක් වෙනුවෙන් ඉල්ලීමක් කිරීමට රාජ්‍ය නායකයා ලෙස තමාට නොහැකි වූවද වෙනත් මාර්ගයකින් ඒ සදහා කටයුතු කලහොත් එයට තම රජයේ අමනාපයක් නොවන බවය. ඉන් ගම්‍ය කරනු ඇත්තේ වෙන රටකට ගියපසු විජේවීර දරුපවුල දේශපාලන රැකවරණයක් පැතුවහොත් ශ්‍රී ලංකා රජය එයට එරෙහි ‍නොවන බවකි.

විජේවීරගේ බිරිඳ සහ දරුපවුල වෙත පදිංචියට නිවසක් ලබාදීමට ජවිපෙ මැදිහත්විය යුතු බවට වූ යෝජනාවක් මධ්‍යම කාරක සභාවෙන් සහ දේශපාලන මණ්ඩලයෙන් අනුමත කර තිබිණි. ඒ අනුව මාදිවෙල ලමාරක්ෂක අධිකාරිය පිටුපස පිහිටි සුගත් තිලකරත්නට අයත් දෙමහල් නිවස මුදල්ගෙවා ලබාගෙන පිරිනැමිමට තීරණය විය. එම නිවස කුලී නිවසක් ලෙසින් ජවිපෙ එවකට පරිහරණය කල අතර එහි අනුර දිසානායක මෙන්ම ටිල්වින් සිල්වාද කලක් නවාතැන් ගෙන සිටියහ. එම නිවස වටිනාකම අධික වූවද එය ලක්ෂ 100කට විකිණීමට හිමිකරු එකඟවූ අතර ඒ සදහා මුදල් කොටස් 2 බැගින් ලබාගැනිමටද ඔහු එකඟ විය. ලක්ෂ 10ක අත්තිකාරමක්ද මූලික වශයෙන් ගෙවා තිබිණි. චිත්‍රාංගනී එම නිවස බැලීමට ගෙනආ අතර ඇය විසින් තාප්පය උස්කර දෙන‍ ලෙස ඉල්ලීමක් කල අතර එයට කැමැත්ත පල කළේය. ජනාධිපතිවරණය 2010 පැවැත්වීමේදී ජවිපෙ සරත් ‍ෆොන්සේකාට සහාය දුන් බැවින් මෙම වකවානුවේ ජවිපෙද අතමිටද සරුව තිබූ යුගයක් කියති.

චිත්‍රාංගනී ජවිපෙ පවත්වන කිසිදු ඉල්මහා සැමරුමකට සහභාගි නොවීමද ජවිපෙ නොසතුටට හේතුවී තිබිණි. එහෙත් කිසිදු අවස්ථාවක ජවිපෙ මගින් විජේවීර පවුලේ සාමාජිකයින් දෙසට දේශපාලන පෙළඹවීමක් සිදුකලේ නැත. එම කාලය තුළ අධ්‍යාපනික කටයුතු සඳහා අවශ්‍ය පරිගණක වැනි උපකරණද ජවිපෙ මගින් ලබාදෙන ලදී. ජවිපෙ සහ චිත්‍රාංගනී පවුල අතර සියළු සම්බන්ධතා බිඳ වැටෙන්නේ එක් නිමේෂයකිනි. ඒ දෙවන දියණිය වන සුපුන් ඡාගාගේ විවාහ උත්සවයේදීය. ප්‍රේම සම්බන්ධයකින් පසු තේජාන අබේධීර සමඟ විවාහ වන සුපුන් ඡාගා විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර වසරක් පමණ එහි සේවයද කළාය. එමෙන්ම ඇය නීති උපාධියද කලක් හැදෑරුවාය.
ගෝල්ෆේස් හෝටලයේ පැවති එම විවාහ උත්සවයට සුපුන් ඡාගා වෙනුවෙන් මාමලා සේ යුතුකම ඉටුකිරීමට සිටියේ සෝමවංශ අමරසිංහ සහ ටිල්වින් සිල්වාය. එයට පැමිණි සිටි පිරිස අතර වෛද්‍යවරුන්වූ අතුල සුමතිපාල, දිශාන්ත, ධම්මික පතිරණද විය. පෝරුවේ චාරිත්‍ර නිමවීමෙන් පසු එහි පැමිණියේ අමාත්‍ය විමල් වීරවංශ සහ වෛද්‍ය වසන්ත බණ්ඩාරය. විජේවීර පවුලේ සාමාජිකයින් ඔවුන්වද උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ඒහා සමඟම චිත්‍රාංගනීට යමක් පැවසූ සෝමවංශ අමරසිංහ දිවා ආහාරයද නොගෙන ටිල්වින් සිල්වා සමඟ එම ස්ථානයෙන් නික්ම ගියේය. ඇයගේ විවාහ මංගල්ලය පැවැත්වූයේ ජවිපෙ පූර්ණ අනුග්‍රහයෙන් බවට කරන ප්‍රකාශය සාවද්‍යය. යම් අනුග්‍රහයක් ලැබුණද එය වැයවූ මුදලින් සියයට 10ටත් අඩුය. අමාත්‍ය විමල් වීරවංශද එයට වඩා අනුග්‍රහයක් ලබාදෙන්නට ඇත. මෙම සිද්ධියත් සමඟම ජවිපෙ සහ විජේවීර පවුල අතර සම්බන්ධය බිඳ වැටිණි.

විජේවීරගේ දෙවන සහ තෙවන දියණියන් වන සුපුන් සහ අමා අධ්‍යාපනය ලැබුවේ දේවි බාලිකා විදුහ‍ලේය. පුත්‍රයන්වු උවිදු සහ සුපුල් අධ්‍යාපනය ලැබුවේ ඩී.එස්.සේනානායක විදුහලේදීය. එම දරුවන් පාසැල්වලට ඇතුළත් කිරීම සදහා ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුව මානුෂික හේතුන් මත මැදිහත්වුයේ මහින්ද රාජපක්ෂය. එමෙන්ම නාවික හමුදාව මගින් මෙයට පෙරද දෙවරක් නිල නිවසින් ඉවත්වන ලෙසට දැනුම්දුන් අතර එම තීරණය අහෝසි කරන ලද්දේද ජනාධිපති රාජපක්ෂගේ මැදිහත්වීම මතය. වරක් චිත්‍රාංගනී ජනාධිපති රාජපක්ෂගෙන්ද නිවසක් ඉල්ලා සිටි අතර ඒ පිළිබදව ජනාධිපති ජවිපෙන් කල විමසීමකදී ඔවුන් දැනුම් දුන්නේ නිවසක් ලබාදීමට කටයුතු කරගෙන යන බවකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලයේ සහ වැලිසර නාවික කඳවුරට ගොස් විජේවීර දරු පවුලේ සුවදුක්ද විමසා බැලූ බව වාර්තා වේ.

මෙම කාලයේ ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කේඩර්වරුන් අතර මතවාදීව පෙරටුගාමී පක්ෂය බිහිකිරීමට පෙර ගැටුණු වකවානුවකි. ජවිපෙ හිටපු මහලේකම් උපතිස්ස ගමනායකගේ බිරිඳ කරුණා ගමනායකට ජවිපෙ විසින් සිදුකරන කෙනෙහෙලිකම් චිත්‍රාංගනී විසින් පවසා තිබිණි. කරුණා ගමනායක මෙය ජවිපෙ ලන්ඩන් ශාඛාවට විරෝධතාවක් ලෙස ඉදිරිපත් කල අතර ලන්ඩන් ශාඛාව ඒ පිළිබදව සෝමවංශගෙන් කරුණු විමසන ලදී. සෝමවංශ පසුව චිත්‍රාංගනීට ඒ පිළිබදව දොස් පවරා ඇතැයි කියති. පසුව ජවිපෙ ප්‍රධාන ‍‍ලේකම්වරයා දේශපාලන මණ්ඩලයට වාර්තා කරන්නේ නිවසක් ලබාගැනීම කෙරෙහි විජේවීර බිරිඳ උනන්දුවක් නොදක්වන බවකි.

විජේවීර‍ගේ දූ දරුවන් පවතින දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද ඉගෙනීමට දක්ෂ විය. වැඩිමහල් දියණිය දසුන් ඊෂා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තෙවසරක පාඨමාලාවක් හැදෑරීමෙන් පසු ආයුර්වේද වෛද්‍යවරයෙකු වූවද තවමත් රැකියා විරහිතය. පවුලෙන් වෙන්ව ජීවත්වන ඇය කලක් පන්නිපිටියේ මොරකැටියේ පදිංචිව සිටි අතර දැන් ගම්පහය. තාවකාලික ‍ආයුර්වේද වෛද්‍යවරියක් ලෙස පෞද්ගලික ස්ථානයන්හි සේවය කරයි. දෙවන දියණිය සුපුන්ද රැකියා විරහිත එක්දරු උපාධිධාරිනියකි. තෙවන දියණිය වන අමා කොළඹ සරසවියේ කලා උපාධිධාරිනියක වන අතර ඉන්දියාවේදී ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබදව පශ්චාද් උපාධියක්ද ලබා ගත්තාය. ඇය දේශපාලනය පිළිබදව නිරන්තර අවධානයෙන් පසුවන්නියකි. තවමත් රැකියාවක් නැත. මෙම අධ්‍යාපන කටයුතු සදහා විජේවීර හිතවතුන් විසින් දිරි ගැන්වීම් ලබාදී තිබිණි.

හතරවැන්නා වන උවිදු විදුර රුසියානු සරසවියක සමාජ විද්‍යා ඩිප්ලෝමාවක් හදාරයි. ඒ අවස්ථාව ඔහුම සොයාගත් අතර ඒ සඳහා යන මූලික වියදමක් වශයෙන් චිත්‍රාංගනී ජවිපෙන් රුපියල් ලක්ෂ 6ක් ඉල්ලා තිබිණි. ඉන් ලක්ෂ 3ක් ජවිපෙන් ලැබිණි. ඉතිරි රුපියල් ලක්ෂ 3 පක්ෂයේ හිටපු හිතවතුන් විසින් ලබාදී තිබිණි. පස්වන දරුවා වන මායා දියණිය සිය මව වන චිත්‍රාංගනී සමඟ රැකවරණය ලබයි. හයවැන්නා සහ දෙවන පුත්‍රයා වන සුපුල්ගේ මුහුණ රෝහණ විජේවීරට කිසිදිනෙක දැකගන්නට නොහැකි විය. ඒ විජේවීර ඝාතනය වන විට ඔහුගේ බිරිඳ එම දරු ප්‍රසූතිය සඳහා තෙමසක ගැබිනියක්ව සිටි බැවිනි. පවුලේ බඩපිස්සා වන සුපුල් අපොස සාමාන්‍ය පෙළ සමත්වූයේ ඒ 9ක් ඉහළින්ම ලබා ගැනීමෙනි. පවතින සමාජ වාතාවරණය යටතේ උසස් පෙළ හැදෑරීමට උනන්දුවක් නොදක්වන සුපුල් දැන් 26 හැවිරිදි වියේ පසුවූවද විරැකියාවෙන් සිටී.

වැඩිමහල් දරුවා වන දසුන් ඊසා වරක් සිය වැඩිමහල් සොහොයුරා වූ උවිදු සමඟ ගැටුම්ක්ද ඇතිකර ගත්තේය. මල්ලීට තුවාලවී රාගම රෝහලට ඇතුළත් කෙරිණි. අක්කා අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරගත කෙරිණි. ජවිපෙ නායක සෝමවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති ඇය බැලීමටද එහි පැමිණියේය. මානසික ප්‍රතිකාර සඳහා පරීක්ෂණයකට ඇය රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදීද මන්ත්‍රී හදුන්නෙත්ති පැමිණ තිබිණි.
එහෙත් දෙපාර්ශයම උසාවියට ගෙනආදා ජවිපෙ කියූ පරිදි නීතිඥ සහායක් ලැබුණේ නැත. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නිතිඥයෙකු සහ ජාතික නිදහස් පෙරමුණේ නීතිඥ කපිල ගමගේගේ මැදිහත්වීමෙන් දෙපාර්ශවයටම නීති සහාය ලැබිණි. එම අවස්ථාවට චිත්‍රාංගනී පමණක් නොව කරුණා ගමනායක, චිත්‍රානි විජේවීර එදින උසාවියට පැමිණ තිබිණි. මෙහිදී මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ දසුන් ඊසාගේ භාරකාරත්වය විජේවීරගේ නැඟණිය වෙත පවරා ගැනීම නිසා ඇය නිදහස් විය. නිදහස් වූ ඇය එයට එකඟ නොවීම නිසා මහේස්ත්‍රාත්වරයා මගින් යළි මානසික වෛද්‍යවරයා වෙත බන්ධනාගාරය මගින් යොමුකරන ලදී. පසුව මානසික වෛද්‍ය විශේඥ නීල් ප්‍රනාන්දු අධිකරණයට නිර්දේශ කළේ පවු‍ලේ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ඇය තබන ලෙසය. න‍ඩු නිමිත්ත ඉන් නිමවිය.

විජේවීර පවුලේ පීඩනය අසාධාරණ නැත. විජේවීර පවුල වෙනුවෙන් විවිධ බාධක මැද ජවිපෙ, පෙරටුගාමී සමාජවාදි පක්ෂය සහ ජාතික නිදහස් පෙරමුණ විවිධ අවස්ථාවලදී මෙතෙක් කර ඇති විවිධ උදව් පදව් බැහැර කල හැකි නොවේ. එය 1986 සිට 1990 දක්වා ධවල භීෂණයට මුහුණ දුන් 60,000කට ආසන්න පිරිසකගේ පවුල්වල අය මුහුණ දෙන තවත් එක් කථාවක් පමණක් බවද සත්‍යයකි. එහෙත් විජේවීර සහ ජවිපෙ යනු දෙකක් නොව එකකි. කුමන මති මතාන්තර දැරුවද හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට මින් ගැලවිය නොහැක. විජේවීරගේ දරු පවුලද ඝාතනයට ලක්වූ දහස් සංඛ්‍යාතික පිරිස් මෙන් සහනාධාර මතම නොයැපී තනිවම නැගී සිටීමට වෙර දැරිය යුතුය. ඒ සදහා උදව්වක් අවැසි බව සැබෑය. නිසි උගත්කමක් ඇති විජේවීරගේ දරුවනට සුදුසු රැකියා සොයාදීම වැනි කටයුතු වලින් එයට අත්වැල සැපයීම ජවිපෙ යුතුකමක් මෙන්ම වගකීමකි.

මාවෝ සේතුං කියා ඇති පරිදි වළක වැටීම මොළයට ලැබෙන ලාභයකි. එහෙත් වළක වැටීම මොළයට ලැබෙන ලාභයක් වන්නේ ප්‍රඥාවන්තයින්ට පමණි. අඥානයා ඉන් කිසිවක් ඉගෙන නොගනී. මේවා කාට කාටත් හොද පාඩම්ය. ජවිපෙ හෘද සාක්‍ෂියට එරෙහිව විජේවීර පවු‍ලේ කැරැල්ල රටට නිහඬව කියන්නේ එය වේ.

ධර්මන් වික්‍රමරත්න

ඡායාරූපය - එච්.ඒ.එස්.ප්‍රනාන්දු

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.