Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

හත්පොලේ ගා ගත් පොලීසිය , මස් වැදිලි මාධ්‍ය හා සැකකරුවන් දඩයම

හත්පොලේ ගා ගත් පොලීසිය , මස් වැදිලි මාධ්‍ය හා සැකකරුවන් දඩයම

ජනමාධ්‍ය ඔස්සේ ඇති තරම් පට්ටා ගැසූ කොටදෙණියාවේ සිදුවීම සම්බන්ධයෙන් අනවරත පරීක්ෂණ හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ කෙළවරක් නොපෙනෙන අතර මේ වනවිට නව සැකකරුවන් සොයා යාමේ මෙහෙයුමක් දියත් කොට ඇති බව වාර්තා විය.

කෙසේ නමුත් මෙම සිදුවීම මුළුමනින්ම පොලිස් පරීක්ෂණයන්හි අදූරදර්ශී භාවය පෙන්නුම් කිරීමේ මනා නිදසුනක් ද වේ. මුළින්ම සේයා දූෂණය කොට ඝාතන කිරීමේ වරදකරුවන් සේවීම සදහා කොටදෙනියාව පොලීසියට භාර වූ අතර ඔවුන් තමන්ට සැකයැයි සැලකෙන නානාවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට නිදහස් කළේය. පසුව සේයා දැරියගේ නිවස ආසන්නයේ සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකු ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ තිබූ ෆෙස්බුක් සටහනක් මත පදනම්ව අත්අඩංගුවට ගත්තේය. ඒ සමගම එක් දරු පියෙකු අදාළ දැරියගේ අවමංගල්‍යයට සහභාගී නොවීම හා එදින කොණ්ඩය කැපීම සැකයට භාජනය කොට අත්අඩංගුවට ගෙන අනේක විධ වද හිංසනය පමුණුවා සිරගත කොට තැබීය. පරීක්ෂණ මගින් ඔවුන්ගේ කිසිදු සාක්ෂියක් නොවූයේන් නිදහස් කිරීමට අධිකරණය තීරණය කළ අතර ඒ වන විට ඔවුන්ට සමාජයන් සිදුවිය යුතු අපකීර්තිය හා අපවාදයන් රට පුරා ප්‍රචාරය කොට අවසන්ව තිබුණේය.

අනතුරුව සැකයට භාජය වූ පුද්ගලයින් වූයේ නිවස ආසන්නයේ සිටි මෙවැනි අපරාධයන් කළා යැයි මීට පෙර අවලාද නැගූ කොණ්ඩයා නැමැති තරුණයාය. ඔහුගෙන් ප්‍රශ්න කොට බිය වද්දා ගත් කටඋත්තරයෙහි වූයේ තමා එම වරද කළ බවත් නිවසට ඇතුළු වීම හා දැරිය දූෂණය කළ ආකාරය අපූරු කාතන්දරයය. කෙසෙ නමුත් පසුව ඔහු එම වරදට වෛද්‍ය විද්‍යාත්මක සාධකයන් මගින් තහවුරු නොවූ අතර ඔහුගේ සොහොයුරා එම වරදට සැකකොට අත්අඩංගුවට ගන්නා ලදී.

මේ වන තුරුත් ඔහුගේ ඩී එන් ඒ පරීක්ෂණ වාර්තාවන් එළියට පැමිණ නැත. ඔහු ලබාදුන් පාපොච්චරණයෙහි පෙර සොහොයුරාගේ පාපොච්චාරණය හා සමාන වන අතර ඔහුද එම වරද කළේද යන්න සම්බන්ධයෙන් උභතෝකෝටිකයකට පරීක්ෂකයින් පත්ව සිටී.
මේ අතර මේ ලිපිය ලියන මොහොත වන විට නැවත සේයා දැරියගේ පියාගේ දෙසට ඇගිල්ල දිගු වන බවක් පෙන්නුම් කරමින් පවතින අතර ඔහුගේ ඩී.එන් .ඒ සාම්පල සන්සන්දනය කිරීම සදහා කටයුතු කරන්නේය යන ප්‍රවෘත්තිය සියලු ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කොට හමාරය.
මෙවැනි තත්වයක් තුළ ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිරීක්ෂණ හා නිගමන සම්බන්ධයෙන් විහිළු කාරී තත්වයක් පෙන්නුම් කරමින් සිටින අතර ඒ සදහා ජනමාධ්‍ය යෙන් ලද අනුග්‍රහයද සුළු පටු කොට තැකිය නොහැකිය.

පොලීසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු එම වරදේ වැරදි කරු කිරීමට මූලික අවස්ථාවේදී සැහැසි ජනමාධ්‍ය එකපයින් කටයුතු කළේය. අවසානයේ එකිනෙකා නිවැරදිකරුවන් වන විට මෙකී මාධ්‍යයන් තම පශ්චාත් භාගය බිම ඇන ගෙන ඇති බවට වටහා ගෙන ඇත. එහෙත් පශ්චාත් භාගය බිම ඇන ගැනීමෙන් නොනැවතී නැවත නැවතද එම වරද කිරීමට ජනමාධ්‍ය ආචාර්ය ධර්මයන් තඹේකට මායිම් නොකරන එකී මාධ්‍යයන් කටයුතු කරමින් සිටී.

පොලීසිය හා මාධ්‍ය නොඉවසිලිවන්තව සිදුකරමින් යන මෙකී අපරාධයන් හේතුවෙන් මානව අයිතීන් තූ තූ කොට දැමීමට කටයුතු කරමින් සිටීම අපුල දනවන්නකි. කෙසේ නමුදු මින් අත්පත් වන සමාජ ව්‍යසනය සම්බන්ධයෙන් සමාජ විද්‍යඥයින් යැයි කියා ගන්නා එකදු පුද්ගලයෙකු හෝ ඉදිරිපත් නොවීමද කනගාටුවට කරුණක්ව ඇත.

එහි භයානකම ඉරණම ඉදිරි දිනයන්හිදී සමාජය ඉදිරියේ ඔප්පු වීමට නියමිත අතර කිසියම් සෙයකින් පෙරකී මාධ්‍යයන් විසින් සේයාගේ පියාගේ දෙසට දිගු වූ ඇගිල්ල දෙස බලා අර්ථ කථනයන්ට එළඹීමට වෙහෙසෙන්නේ නම් අත්වන ඉරණම කුමක්ද ?
ඒ අන් කිසිවක් නොව ලෝකයේ ගැහැණු දරුවන් සිටින පවුල්වල බිරිදගේ සැක මුසු ඇස පියා දෙසට එල්ල වීමත් දරුවන්ට දක්වන ආදරය හා පීතෘ ස්නේහය කබාසිනියා කොට දමා වෙනත් මාදිලියේ සමාජ අර්බුදයක් පොළොව මත නිර්මාණය කිරීමත් වන්නේය.

එබැවින් උඩ සිට පහල දක්වා වූ කාකිධර නිල දරුවනි, සැහැසි දඩ බල්ලන් මෙන් පුවතක් අසු වූ සැනින් තමාට ලැබුණු මස් වැදැල්ලට ආශා සංතෘප්තව කෑදරව සිටින අචාර්ය ධර්මයන්ට පස්සා හැරවූ මාධ්‍ය වේදීනි පෙර කී සමාජ ම්ලේච්ඡත්වයට ඔබ වගකිව යුතු වන්නේය.

තුසිත පතිරණ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.