Menu

logo new 2015-5-11

Shamrock-png

පොලිස් දේශපාලනය සහ දේශපාලනික පොලිසිය

පොලිස් දේශපාලනය සහ දේශපාලනික පොලිසිය

ලොව කවර රටක වුවද පොලිස් දෙපාර්තමේන්තු සැලකිය හැක්කේ රාජ්‍යය විසින් පුරවැසියා අරබයා සෑම විටම පවත්වා ගැනීමට තැත්කරන බලාධිකාරිය සිහිගන්වන ‘සාංකේතික බලව්‍යුහයක්’ වශයෙනි. මේ අතරම, අවශ්‍යයෙන්ම හෙජමොනික ස්වරූපයක් උසුළන දේශපාලනික හා ආයතනික බල ව්‍යුහ යටතේ ක්‍රියාත්මක වන පොලිස් දෙපාර්තමේන්තු අතින් නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ මෙහෙවර නිසි පරිදි ඉටු වෙතැයි සිතීමද මුළාවකි. පුරවැසියන් යටපත් කිරීමේ රාජ්‍ය දෘෂ්ටිවාදය සෑම විටම පාහේ ක්‍රියාත්මක කරනු ලැබෙන්නේ පැහැදිලි වශයෙන්ම සන්නද්ධ හමුදාවලටත් වඩා, ඍජු දේශපාලනික නායකත්වයෙහි ඉත්තන් බඳු පොලිස් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආදිය හරහාය. බොහෝ විට සමාජයේ ආන්තික පුද්ගලකාරකවලට එරෙහිව ආණ්ඩු විසින් සිය ම්ලේච්ඡත්වය යෙදවීමට පොලීසිය පොළඹවනු ලැබෙන්නේද එනිසාමය.

නියතයක් වශයෙන්ම වාගේ පොලීසිය අත්අඩංගුවට ගැනීමට පුදුමාකාර උනන්දුවක් දක්වන්නේද ‘ආගමික’ සුචරිතවාදීන් අතින් නොයෙක් වර ගර්හාවට ලක් කෙරෙන කාන්තා ලිංගික ශ්‍රමිකාව මිස ඇගේ සේවා සම්පාදනයෙහි ඵල නෙළා ගන්නා පිරිමියා නොවන බවද අපි දනිමු. අප විසින්ම තැන්පත් කරන ලද අපේම මුදල් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් හරහා ආපසු ගැනීමට උත්සාහ කරන විට ඒ සඳහාද වෙනම ගාස්තුවක් අපෙන් ‘කොල්ල කන’ මහා පරිමාණ බැංකුවල ‘ඉහළ පැළැන්තියේ’ කොල්ලකරුවන් ගැන හාංකවිසියක් නැතිව දරිද්‍රතාව හේතුවෙන් මගීන්ගේ සාක්කුවෙන් මුදල් ඩැහැගැනීමට පෙළඹෙන පික්පොකට්කරුවන් ඉතාම පහසුවෙන් පොලිස් ඇසට හසු වන අයුරුද අපි දැක ඇත්තෙමු. මහපාරේ සිටින ආන්තික ‘බේබද්දන් ‘ පසුපස හඹා යන පොලීසිය, බලවතුන් සමග ඍජු සබඳතා පවත්වමින් සිත් සේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ‘කෙරුමන්’ නොදැක්කා සේ සිටින අවස්ථාද එමටය. සමස්ථයක් ලෙස ලොව පුරාම සමලිංගිකයින් පොලිස් ස්ථානවලදී ලබන්නේද මානෂීය සැලකිල්ලක් නොවන බවද පෙනෙන්නට තිබේ. ඇමරිකාවේ කලු ජාතිකයන් සහ ඉන්දියාවේ දලිත් ප්‍රජාවට එරෙහි පොලිස් ප්‍රචණ්ඩත්වය ‘අමතක කරනු ලැබෙන’ අවස්ථාද අනන්තය. පොලිස් බලාධිකාරියේ විහිදීම හා හැසිරීම ලොව සෑම රටකටම පාහේ පොදු ලක්ෂණ දරන බව මින් පෙනී යයි. මේ අතරම, LTTE සංවිධානයේ ත්‍රස්ත දේශපාලනය මුලින්ම ඉස්මතු වූයේද දකුණේ දෘෂ්ටිවාදයට හිතකර ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පා වැනි දේශපාලනඥයින් යටතේ හැදී වැඩුණු, මිනිස්කමේ සීමාවලට බොහෝ ඈතින් සිටි පොලිස් නිලධාරීන්ට (වැඩි වශයෙන්ම සිංහල කතා කළ) එරෙහිව බවද සඳහන් කළ යුතුය.

police attack_1රාජ්‍යයට පොලීසිය වැදගත් වන්නේ ‘සිවිල් ආධ්‍යාත්මය’ හීලා සහ ‘විනයගරුක’ කිරීම අරමුණු කරගත් සමාජ පීඩක උපකරණයක්/ආයතනයක් ලෙස වන අතර, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන්හි පුරවැසි සමාජ ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් වෙතම හොට දමමින් හාරා ඇවිස්සීමට තරම් පොලිස් දෙපාර්තමේන්තුව බලාත්මක කෙරෙනුයේද එම හේතුව නිසාය. සරලම උදාහරණයක් ඇසුරින් කියන්නේ නම්, මා මගේ ප්‍රේමවන්තිය/ප්‍රේමවන්තයා සිප ගත යුත්තේ කවර තැන්වලදීද, ඒ කෙසේද යන අතිශය පෞද්ගලික තේරීම පවා මට ‘උගන්වන්නට’ අවශ්‍ය බලය රාජ්‍යය විසින් පොලීසිය වෙත පවරා තිබේ!

පුදුමසහගත ලෙස ශ්‍රී ලංකාව තුළ සෑම ආකාරකම බලාධිකාරීන් ක්‍රියාත්මක වන්නේ 35 වසක යුද්ධය සහ ඒ සමගම සබැඳුණු හදිසි නීති කතිකාව තුළ ‘අසාමාන්‍ය ලෙස සාමාන්‍යකරණයට ලක් ව ඇති සමාජ-විරෝධී සාධාරණීකරණයන්’ තුළ බව පිළිගන්නට සිදු වේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ලිබරල්/ප්‍රජාතන්ත්‍ර විරෝධී අණ පනත් මේ වන විටත් සම්මතයන් බවට පත්ව තිබේ. නීතිය ක්‍රියාත්මක කිරීමේ සමස්ථ ආයතන ව්‍යුහයම විසින් දායාද කර ඇත්තේද ‘හදිසි තත්ත්ව’ යන රෙදිකඩට මුවා වී සිදු කරන ම්ලේච්ඡ හා අමානුෂීය සංස්කෘතියකි. එපමණක්ද නොව, රට පුරාම පිහිටි පොලිස් ස්ථාන අතරින් අති බහුතරය සතුව ඇත්තේ එතරම් ‘හොඳ’ ප්‍රතිරූප නොවේ. අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්, එලෙස අත්අඩංගුවට ගනු ලැබෙන සැකකරුවන් කායික මානසික වධබන්ධනයන්ට ලක් කිරීම් පමණක් නොව අත්අඩංගුවේ සිටියදී ගුප්තසහගත ලෙස මිය යාම් ආදී අවක්‍රියා සම්බන්ධ චෝදනා/චර්යා වාර්තා ඒවා සතු බව කීම අතිශයෝක්තියක් නොවේ. මෙම මර්ධන උප-සංස්කෘතියේ තරම හඳුනාගත හැකි සතුටුදායක අධ්‍යයන එකක්වත් මේ දක්වා සිදුව නොමැති බව මම සිතමි.

එහෙත් මේ තත්ත්වයට වගකිව යුත්තේ පොලිස් දෙපාර්තමේන්තුව පමණකැයි සිතීම මුළාවකි. පොලීසියේ ජ්‍යෙෂ්ඨ තනතුරු දැරූ ඥාතීන්/මිතුරන් පිරිසක් මටද ඇත. ඔවුන් දරන මතය වන්නේද මේ සමස්ථ පද්ධතියම මුළුමනින්ම පුනරුත්ථාපනය කළ යුතු බවයි. නිදහසින් පසු බලයට පත් සෑම ආණ්ඩුවක්ම සිය පීඩක පාලනය පුරවැසි කරමත පැටවීම සඳහා හැකි සෑම ආකාරයකින්ම පොලිස් දෙපාර්තමේන්තුව හා එහි නිලධරයන් නිර්ලජ්ජිත ලෙස භාවිත කළ අයුරු අපි දැක ඇත්තෙමු. රාජපක්ෂ රෙජීමය මේ දක්වා එහි උච්ඡතම අවධිය සනිටුහන් කළේය. මෙම පසුබිම තුළ, දූෂිත දේශපාලනඥයන්ගේ දූෂණ, මිනීමැරුම් ඇතුළු ජඩකම් සුරකින අතරම නිරායුධ සිවිල් වැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය හා භීෂණය පැතිරවීම පොලීසියට අදාළ ‘පොදු ස්වභාවයන්’ ලෙස සමාජගත වී ඇත.

මිෂෙල් ෆූකෝ, ලොස් ඇංජලිස්හි ආන්තික ප්‍රජාවන්ට එරෙහිව පොලීසිය වැනි මර්ධක ආයතන ක්‍රියාත්මක කළ ප්‍රචණ්ඩත්වය අත්දැක එය න්‍යායගත කිරීමට පෙළඹුණු පළමු දාර්ශනිකයා විය. “ශික්ෂණය හා දඬුවම” (Discipline and Punish) යන මහාර්ඝ කෘතිය බිහිකිරීමට ඔහුට උපකාරී වූයේ ඒ පිළිබඳව ඔහු විසින් සිදු කළ විශ්ලේෂණයන් වූ අතර එම කෘතියේදී ෆූකෝ මෙසේ කියයි:

ආයතනයක් වශයෙන් පොලීසිය සංවිධානය කරනු ලැබ ඇත්තේම රාජ්‍ය උපකරණයක ස්වරූපයෙන් වුවද, එසේම, එය නිසැකවම දේශපාලනික ස්වෛරීභාවය නමැති සංකල්පයේ කේන්ද්‍රය වෙත ඍජුවම යා කර තිබෙන්නේ වුවද, එමගින් ක්‍රියාත්මක කරනු ලැබෙන බල මාදිලි, එමගින් මෙහෙයවනු ලැබෙන යාන්ත්‍රණ හා එය අදාළ වන සමාජ සාධක යනාදිය සුවිශේෂී ඒවාය. පොලීසිය වනාහි එය විසින්ම වැළඳගන්නා ලද අන්තවාදී සීමාකිරීම් පමණක් නොව සමස්ථ සමාජ ව්‍යුහයේම ක්ෂුද්‍ර යාන්ත්‍රණය තුළම සමාජ ශරීරය සමග සහ-පැවැත්මක් පවත්වාගත යුතු උපකරණයකි. (ෆූකෝ, 1977: 2013)

‘අවම බලය’ යන්නෙහි තේරුම

පසුගිය සිකුරාදා කොළඹ නගර මධ්‍යයේ මහ දවල් අප අත්දුටු පොලිස් පහරදීම් පිළිබඳව අදහස් දක්වමින් ‘අවම බලය’ ‘අවශ්‍ය බලයක්’ ලෙස හුවා දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සිදු කළ අපූරු සාධාරණීකරණය ෆූකෝ විසින් මතු කරන ලද ‘අන්තවාදී සීමාකිරීම්’ සඳහා හොඳම නිදසුනක් වන අතරම, ලැප්ටොප් පරිගණකයක් පදනම් කරගෙන ඉතාම අත්තනෝමතික ලෙස පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන හිංසා කිරීම ‘සමස්ථ සමාජ ව්‍යුහයේ ක්ෂුද්‍ර යාන්ත්‍රණය’ සමග පොලීසියට ඇති ‘ඇයිහොඳයියේ’ තරම මැනවින් කියා දෙන්නකි. මෙය, රාජ්‍යය විසින් එහිම වැසියන්ට එරෙහිව පවත්වාගෙන යනු ලබන ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය මැනවින් ඉස්මතු කරන අවස්ථාවකි. එසේම, පශ්චාත් යුධ රාජපක්ෂ රෙජීමය යටතේ පොලීසියට පවරා දී තිබුණු ‘මිලිටරි’ බලාධිකාරිය අත්හැරීමට ඇති නොකැමැත්තද පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ‘සාධාරණ හේතු දැක්වීමෙන්’ මොනවට පිළිබිඹු වෙයි. පසුගිය කාලය පුරාවටම පොලීසියට ලබා දී තිබුණේ ‘අල්ලපන්-ගහපන්’ පන්නයේ ආඥා/බලතල විය. සමස්ථ පොලිස් සේවයේම ආචාරධාර්මික විඥානය මෙන්ම පොලීසිය විසින්ම රැකීමට නියමිත ‘නීතියට ඇති බිය’ සහමුලින්ම පහව යාමට බලපෑ කරුණද එයම බව පෙනී යයි. මේ නිසාම, මහපාරේ රාජකාරීන්හි නිරත රථවාහන පොලිස් නිලධාරියාගේ සිට ඉහළම පොලිස් නිලධාරියා දක්වා සෑම තරාතිරමකම නිලධාරීන් රටේ සිවිල් නීතිය තුට්ටුවකට මායිම් නොකරන තත්ත්වයක් අපි අද අත්දකිමු. වත්මන් පොලීසිය අපට පෙනෙන්නට ඇත්තේ ‘රාජ්‍යය තුළම ඇති හෙංචයියන්ගෙන් සමන්විත තවත් රාජ්‍යයක්’ පරිද්දෙනි. දේශපාලනික බලය නමැති සාධකය හේතුවෙන් භය පක්ෂපාතීත්වය දැක්විය යුතු සහ එසේ කිරීම අනවශ්‍ය වශයෙන් පුරවැසියන් තෝරා වෙන්කර ගන්නා පොලීසිය සෑම විටම පාහේ මේ දෙවනුව කී බල රහිත සිවිල් වැසියා කෙරෙහි ප්‍රකට කරන්නේ ඉතාම ආවේගශීලී හා ප්‍රකෝපකාරී හැසිරීමකි.

මෙහි ඇති ඛේදනීයම තත්ත්වය නම් මෙවැනි ම්ලේච්ඡ හා අමානුෂික ක්‍රියා වෙත සහාය දක්වන නින්දිත (අ)සංස්කෘතියක්ද මුල්බැස ගෙන තිබීම බව කිව යුතුයි. විශේෂයෙන්ම, අර්බුදයක් ඇති වීමේ ඉඩක් ඇතැයි පෙනෙන සිදුවීම්වලදී බුද්ධිමත් ලෙස ගැටුම් නිරාකරණ ක්‍රම පිළිවෙත් අනුගමනය කරනවා වෙනුවට ජල ප්‍රහාරක රථ, කඳුළු ගෑස්, බැටන් පොලු හා රබර් උණ්ඩ ආදිය කෙරෙහි විශ්වාසය තබා හැසිරීම අනුමත කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පෙළඹීමෙන්ම මෙය පැහැදිලි වෙයි. සත්‍ය වශයෙන්ම, නිල ඇඳුමේ චණ්ඩිකම වනාහි ‘පුරවැසිභාවය’ පිළිබඳව රාජ්‍යය දරන ආකල්පය විදහා දක්වන කැඩපතක් වැන්න!

‘ශික්ෂණය’ හා ‘දඬුවම් කිරීම’ විෂයික බල ව්‍යුහය පිළිබඳ ෆූකෝගේ විශිෂ්ට විග්‍රහය අවධානය යොමු කරන්නේ ආන්තිකකරණය (marginalization) සහ සමාජ-දේශපාලනික බල සබඳතා ජාලය තුළ ආන්තිකකරණයට ලක් වීමේ සීමා මායිම් වෙතයි. අන්තයේ සිට කේන්ද්‍රය දක්වා, එනම් දුබලයාගේ සිට බලවතා දක්වා බලය ව්‍යුහගත වන්නේ කෙසේද යන්න විග්‍රහ කිරීම ඔහුගේ විශ්ලේෂණයේ අරමුණයි. මෙම කරුණ සිත්හි තබාගෙන විමසන විට පෙනී යන පැහැදිලි සත්‍යයක් තිබේ. පසුගිය සිකුරාදා රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සහ ‘පිරිස් පාලනය’ සඳහා විශේෂයෙන්ම පුහුණු කර ඇති ප්‍රචණ්ඩයින් වෙත නියමිත ආඥා නිකුත් කළ, එසේම රටේ මහජනතාවගේ බදු මුදලින් වේතන ලබන, සියලු දෙනා සහසුද්දයෙන්ම දැන සිටි එක් කරුණක් විය. එනම්, අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණ කරමින් සිටි සිසුන් අතර දහම් සිරිසේන කෙනෙකු හෝ චතුරිකා සිරිසේන කෙනෙකු කොහෙත්ම නොසිටි බවයි! මේ දරුණු ප්‍රහාරයට ලක් වූ පිරිස අතර සිටි සියලුම දෙනා බොහෝ විට ග්‍රාමීය පෙදෙස්වල වැඩකරන පන්තියේ මව්පියන්ගේ දූවරුන් හා පුතුන් බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. ඇත්තෙන්ම, මේ ඉල්ලීම් මුල්කරගෙන උද්ඝෝෂණ කරමින් පාරට බහින්නට ඔවුනට සිදු ව ඇත්තේද ඒ හේතුව නිසාමය. මේ අතරම, ලේ පිපාසාවෙන් පෙළුණු ශ්‍රී ලංකා පොලීසියේ මුග්ධ ප්‍රහාරවලට ලක්වීමට ඔවුන් සතුව තිබූ එකම ‘සුදුසුකම’ වූයේද එයම බව පිළිගැනීමට අපි නිහතමානී විය යුත්තෙමු.

නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පාලකයන් විසින් මනාව පුහුණු කරවන ලද ආයුධ සන්නද්ධ ‘පොලිස් තාක්ෂණය’ දුබලතමයාගේ ‘ජෛවීය දේශපාලනයට’ (bio-politics) අත පොවන්නේ මෙවැනි පසුබිමක් තුළය. ශාරීරික පමණක් නොව ව්‍යුහාත්මක අතින්ද පුරවැසියාගේ සාමූහික අධිෂ්ඨානය සුණු විසුණු කර දමා අඩපණ කිරීම එහි එකම ආධ්‍යාශය බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ. අන් සෑම ‘ජෛවී දේශපාලනික’ උත්සාහයකදීම මෙන්ම මෙහිදීද අසරණ සිසුවියන් තමන්ගේ ‘මෘදු ඉලක්ක’ ලෙස සලකා ක්‍රියාත්මක වීමට මේ ආයුධ සන්නද්ධ කුලී හේවායන් පෙළඹුණු හේතුවද එයමය.

දැනටමත් මනාව ස්ථාපිතව පවතින බිහිසුණු පාලන/පීඩක උපක්‍රම උඩුයටිකුරු කිරීමට ‘යහපාලනය’ වැනි දෘෂ්ටිවාද හා සංකල්ප මාත්‍රයන්ට හැකි බව සිතීම විහිළුවකි. ජේ. ආර්. ජයවර්ධන යටතේ 1983 සිට 88-89 ප්‍රේමදාස ආණ්ඩුව දක්වා පැවැති පීඩක රෙජීමයන්හි කැබිනට් ඇමතිවරයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතාද ආණ්ඩුවේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහාය පළ කරමින් සිටි යුගයක් තිබූ බව අපට කළ නොහැක. දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා දැකීමෙන් ඔහු කම්පනයට පත් වේ නම්, ඒ ඉතාම අඩු වශයෙනැයි සිතන්නට සාධාරණ හේතු අපට ඇත.

මේ නිසා, ආණ්ඩුවේ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා වෙත අවදියෙන් සිටිමින් ‘සැබෑ වෙනසක්’ වෙනුවෙන් හඬනැගීම ජනවාරි 08 දින ලංකා දේශපාලනයේ වෙනසක් උදා කිරීමට එකා මෙන් කැප වූ සහ එම කැපවීම අගෝස්තු 17 දින තවදුරටත් තහවුරු කළ සිවිල් බලවේග සතු සමාජ කාර්යභාරයක් වන්නේය. ආණ්ඩුකරණය, රාජ්‍ය-සිවිල් සමාජ සම්මුතිය ආදිය ආශ්‍රිත එවැනි වෙනසක් අපේක්ෂා කරන අයට පොලීසිය හොඳ තෝරාගැනීමක් වනු ඇත.

ශ්‍රී ලංකා පොලීසිය තම ආයතනික දර්ශනය, බඳවා ගැනීමේ හා පුහුණු කිරීමේ පරිපාටිය පමණක් නොව තමන් පිළිබඳව හා සමස්ථ සමාජය වෙතත්, තමා පාලනය කරනු ලැබෙන බලවේග වෙතත් දක්වන ආකල්පය කැපී පෙනෙන වෙනසකට බඳුන් කළ යුතු කාලය දැන් එළැඹ තිබේ. එවැනි අවශ්‍යතාවක් ඉස්මතු කරනු පිණිස රටේ ජීවනාලිය බඳු තුරුණු රුධිරය මහමග හෙළන්නට වීම කණගාටුවට කරුණකි. එහෙත්, ඉතාම වගකීම්සහගතව මෙවැනි සිදුවීම්වලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය සිය පුරවැසියන්ට සලකන ආකාරය වෙනස් කරගත යුතුය යන අවශ්‍යතාව ඉස්මතු කිරීමට අප පැකිළෙන්නේ නම්, සිකුරාදා ලෙයින් තෙත් වුණු මහපොළොව යළිත් වියැළී නුදුරු අනාගතයේදීම නැවතත් එලෙසම පෙඟී යන අයුරු දකින්නට අපට සිදු වනු නොඅනුමානය!

මූලාශ්‍ර – Foucault, M. (1977) Discipline and Punish. New York: Vintage Books.

*ආචාර්ය සුරේන් රාඝවන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන සඳහා වන ඔක්ස්ෆර්ඩ් කේන්ද්‍රයේ (Oxford Centre for Buddhist Studies) ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්වතෙකි. මෙය, ‘Politics of Policing’ යන හිසින් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පළ වූ ලිපියක සිංහල පරිවර්තනයකි. පරිවර්තනය අශාන් වීරසිංහ විසිනි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.