Menu

logo new 2015-5-11

Shamrock-png

ජවිපෙන් භීතිකා දෙකක්, මහින්දගේ බිකිනි හා නලින්දගේ සමලිංගික භීතිකාව

ජවිපෙන් භීතිකා දෙකක්, මහින්දගේ බිකිනි හා නලින්දගේ සමලිංගික භීතිකාව

සමලිංගික අයිතිවාසිකම්වලට තමා ‘දැඩි ලෙස විරුද්ධ බව’ ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගිය දිනෙක ඬේලි නිවුස් පුවත්පත හා සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ප‍්‍රකාශ කොට තිබුනි. ඔහුට අනුව සමලිංගිකත්වය අස්වාභාවික දෙයක් නිසා එයට පිලිගැනීමක් ලබාදිය නොහැක.

නලින්ද ජයතිස්සගේ මේ ප‍්‍රකාශය බෙහෙවින් සිත්ගන්නා සුළු එකක් වන්නේ එය මෙරට වාමාංශයේ එක් ප‍්‍රවනතාවයක් වන ජවිපෙ ප‍්‍රවනතාවයේ එක් වැදගත් පැතිකඩක් පරාවර්තනය කරන බැවිනි. ස්ත‍්‍රී හා පුරුෂ සමලිංගික - පාරලිංගික හා සංක‍්‍රාන්ති ලිංගික ජනතාවගේ විමුක්තිය (LGBT Liberation) පිලිබඳ කතිකාව සමකාලීන ලෝක දේශපාලනයේ සාකච්ඡාවට ගැනෙන වැදගත් ප‍්‍රශ්නයකි. එල්ජීබීටී ප‍්‍රජාවන් වූ කලී ඉතිහාසය තුල විශාල පීඩනයකට හා ආන්තිකකරනයකට ගොදුරු වූ ප‍්‍රජාවකි. විශේෂයෙන්ම ඒබ‍්‍රහමික ආගමික සම්ප‍්‍රදායන් විසින් මෙම වෙනස් ලිංගික නැඹුරුතා සලකන ලද්දේ පාපයක් හා අපරාධයක් ලෙසය.
මිනිස් ඉතිහාසය තුල පැවැති පුරුෂමූලිකත්වය තරම්ම මර්ධනකාරී වූත් බැහැරකිරීම්වාදී වූත් සංස්ථාවක් වන්නේ විෂම ලිංගික ඒකාධිකාරයයි. මෙන්න මේ ඒකාධිකාරය නිසා වෙනස් ලිංගික නැඹුරුවක් සහිත ප‍්‍රජාවන් ස්වකීය දෛනික ජීවිතයේ ඉතාම සාමාන්‍ය ක‍්‍රියාකාරකම්වල සිට ඔවුන්ගේ සමාජයීය පැවැත්ම දක්වා වූ බොහෝ ක්ෂේත‍්‍රවල දී තුච්ඡ ලෙස වෙනස් කොට සැලකීමට ලක්වූහ. දැනුත් ඔවුහු එබඳු පීඩාවකට ගොදුරු වී සිටිති.

මෙකී පීඩිත ප‍්‍රජාවන්ගේ විමුක්තිය පිලිබඳ ප‍්‍රශ්නය දේශපාලන සංවිධානාත්මකභාවයකින් යුක්තව මතු කිරීම ආරම්භ වූයේ ‘60 දශකයේ දීය. නව සමාජ ව්‍යාපාර ලෙස හැඳින්වෙන, නිල කොමියුනිස්ට් පක්ෂවල බල ක්ෂේත්‍රයන්ට පිටින් පැන නැගුනු විවිධ විමුක්ති අරගල අතර එක් අරගලයක් වූයේ එල්ජීබීටී ප‍්‍රජාවන්ගේ විමුක්තිය පිලිබඳ අරගලයයි. ස්ත‍්‍රී විමුක්තිය, යුධ විරෝධය හා පරිසර දේශපාලනය මෙලෙස වර්ධනය වූ වෙනත් දේශපාලන ප‍්‍රවනතාවයෝය.

මුල් කාලයේ එල්ජීබීටී ප්‍රජාවන්ගේ විමුක්තිය සම්බන්ධයෙන් ස්ථාපිත දේශපාලන සංස්ථාවන් තුල පැවැතියේ බැහැරකිරීම්වාදී ආකල්පයකි. යුරෝපයේ එවකට පැවැති විශාල වාමාංශික පක්ෂ තුල මෙම අරගලය සම්බන්ධයෙන් ගත යුතු ආස්ථානය පිලිබඳ විශාල වාද විවාද පැවැති අතර ආර්ථික ඌනිතවාදයක් තුල සිරගතව සිටි බොහෝ ස්ථාපිත පක්ෂ පංති අරගලය නොවන මෙබඳු සෙසු ආකාරවල අරගල කෙරෙහි දැක්වූයේ උදාසීන ආකල්පයකි.

කෙසේ වූවද ‘70-‘80 දශකවල මෙම තත්වයෙහි කැපී පෙනෙන විතැන් වීමක් හට ගනී. මේ කාලය වන විට එල්ජීබීටී විමුක්තිය පිලිබඳ ප‍්‍රශ්නය සුලුතර ප‍්‍රජාවක් විසින් මතුකරන ආන්තික ප‍්‍රශ්නයක තැනෙහි සිට ක‍්‍රමානුකූලව ප‍්‍රධාන දහරාවේ ප‍්‍රශ්නයක තත්වයට විතැන් වූයේය. එල්ජීබීටී අයිතිවාසිකම් ලෙස මෙය ලිබරල් අයිතිවාසිකම් කතිකාවතට ඇතුලූ වූ අතර මෙකී අරගලයන්ගේ ප‍්‍රතිඵල ලෙස වෙනස් ලිංගික නැඹුරුතා අපරාධකරනය කරනු ලැබූ ආචීර්නකල්පික නීති වෙනස් කරන තැනට ඇතැම් රාජ්‍යයන් තල්ලූ විය.
මෙම අරගලය මේ මොහොතේ ද සජීවීව පවතින අරගලයකි. නිදසුන් ලෙස සමලිංගික විවාහ සඳහා විෂමලිංගික විවාහ සඳහා තිබෙන පිලිගැනීම ඉල්ලා බොහෝ රටවල අරගල සක‍්‍රීයව පවතී. සමලිංගිකත්වය හා වෙනස් ලිංගික නැඹුරුතා අස්වාභාවික, පිලිකුල් කටයුතු දෙයක් ලෙස දකින ගතානුගතික දැක්ම හඳුන්වනු ලබන්නේ සමලිංගික භීතිකාව (Homophobia) ලෙසය. ලෝකයේ බොහෝ සමාජවල - විශේෂයෙන් බටහිර සමාජවල - හෝමෝෆෝබියානු අදහස් දරනු ලබන්නේ අන්ත දක්ෂිනාංශික දේශපාලන කන්ඩායම් විසිනි. ආගමික ගතානුගතිකවාදයෙන් මෙහෙයවෙනු ලැබෙන ප‍්‍රතිගාමී කොන්සර්වැටිව් දේශපාලන කල්ලි විසිනි එල්ජීබීටී අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැඩි ලෙස ස්වකීය විරෝධය දක්වනු ලබන්නේ.

ලෝකයේ සිදු වී තිබෙන මෙම විශාල පැරඩයිම වෙනස ගැන ලංකාවේ ජනතා විමුක්ති පෙරමුනට කිසිදු අදහසක් නැති බව නලින්ද ජයතිස්සගේ ප‍්‍රකාශය මගින් පෙන්නුම් කෙරේ. එම පක්ෂයේ හෝමෝෆෝබියාව වූ කලී හුදෙක් එම පක්ෂය ගිලී සිටින ආර්ථික ඌනිතවාදයක් පිලිබඳ ප‍්‍රශ්නයක් පමනක් නොවේ. එම ප‍්‍රශ්නයට අමතර තවත් සංස්කෘතික පැතිමානයක් ද තිබේ. ගම්බද දුගී තරුනයන්ගේ රැඩිකල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුනේ සංස්කෘතික තර්කනය දැඩි ලෙස ග‍්‍රාමීය සිංහල බෞද්ධ ප‍්‍රතිමානයන් විසින් පාලනය කරනු ලැබෙන්නකි. ඒකභාර්යා-ඒකපුරුෂ පවුල කෙරෙහි තිබෙන දැඩි පක්ෂපාතීත්වය, මත්පැන් සිගරට් පරිභෝජනය ආදී ‘සංකර’ පුරුදු ගැන තිබෙන බැහැරකිරීම්වාදී ආකල්පය, නාගරික සංස්කෘතික ලක්ෂන ‘සුලු ධනේශ්වර ලක්ෂන’ ලෙස දැකීමේ නැඹුරුව සහ ඒ වෙනුවට ඊනියා ‘චාම් පැවැත්ම’ රොමෑන්තිකකරනයට ලක්කිරීමට තිබෙන යොමුව ආදී සියල්ල මෙකී ග‍්‍රාමීය සිංහල බෞද්ධ සංස්කෘතික ප‍්‍රතිමානයන්ගේ පරාවර්තනයන්ය.

හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර දේශපාලනයට පිවිසි කාලයේ සිදුවූ එක් සිදුවීමක් මෙහිදී සඳහන් කරනු වටී. ඇය රූප රාජිනී තරගයක දී නාන ඇඳුමක් හැඳීම පදනම් කොට ගෙන ඇතැම් පිරිස් ඇයට එරෙහි ද්වේශසහගත ව්‍යාපාරයක් දියත් කල අතර ඒ යුගයේ හිරු රූපවාහිනියේ එක්තරා දේශපාලන සංවාදයක දී සරත් මනමේන්ද්‍ර ඇගේ එබඳු ඡායාරූපයක් පෙන්වමින් එය දෝශ දර්ශනයට ලක්කලේය. එම අවස්ථාවේ සරත් මනමේන්ද්‍රට යාබදව වාඩි වී සිටි ජවිපෙ නියෝජිත මහින්ද ජයසිංහ ද මනමේන්ද්‍රට එකතු වෙමින් හිරුනිකාගේ නාන ඇඳුම කෙරෙහි විවේචනාත්මක වූයේය. සුනිලා අබේසේකර ජවිපෙ ක‍්‍රියාකාරිනයක වී සිටි යුගයේ ඇය විසින් නාන ඇඳුමක් හැඳීම පක්ෂ උප සංස්කෘතිය තුල ‘ආන්දෝලනයට’ තුඩු දුන් අයුරු ගැන සඳහනක් ජවිපෙ හිටපු ලේකම්වරයෙක් වන ලයනල් බෝපගේ විසින් ඇය මියගිය ඉක්බිති ලියන ලද උපහාර ලිපියක දැක්වේ. ජවිපෙ සංස්කෘතික ජීවිතය පිලිබද අදහසක් ඇති ඕනෑම අයෙක්ට මෙම මනෝභාවය ඉතා හුරුපුරුදුය.

මහින්ද ජයසිංහගේ ‘බිකිනි භීතිකාව’ මෙන්ම නලින්දගේ සමලිංගික භීතිකාව ද පැන නගින්නේ එකම මූලයකිනි. එය ජවිපෙ සම්ප‍්‍රදායේ සංස්කෘතික ලෝක දැක්ම පැනනගින ග‍්‍රාමීය සිංහල බෞද්ධ සදාචාර ප‍්‍රමිතීන් තුලින් ව්‍යුත්පන්න වූවකි. වෙනස් ලිංගික නැඹුරුතා පිලිගත නොහැක්කේ ඒවා ‘අස්වාභාවික’ නිසා යැයි නලින්ද කියන්නේ නම් ඔහුට කිව යුත්තේ සියලූ මිනිසුන්ට සමාන අවස්ථා තිබිය යුතු බවට වූ සමාජවාදී සංකල්පයේ සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මිනිස් නිදහස ආදී සියලූ වටිනාකම් ‘ස්වභාවික’ ඒවා නොව ශිෂ්ටාචාරය විසින් සාක්ෂත් කරගත් සමාජයීය ජයග‍්‍රහනයන් බවයි. ජවිපෙ පසුගිය කාලයේ ඉදිරිපත් කල අදහසක් වූයේ තම පක්ෂය පෙනී සිටින්නේ 'නවීන සමාජවාදය' වෙනුවෙන් බවයි. සැබැවින්ම නවීන සමාජවාදී ව්‍යාපාරයක් වීමට නම් ජවිපෙ කල යුත්තේ පසුගිය මැතිවරන කාලයේ සිදුකලා මෙන් ලංකා වානිජ මන්ඩලයේ තක්කඩීන් සමග සුරතල් වීම නොව තමාට ජානමය වශයෙන් උරුම වී තිබෙන ඉහත කී ඌනිත පටු ලෝක දැක්මෙන් මිදී ගැනීමය.
උපුටා ගැනීම - රාමචන්ද්‍රන් බ්ලොක් අඩවිය

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.