Menu

logo new 2015-5-11

Shamrock-png

සාෆ් ගේමේ හැඩ සහ දයාගේ සිරිය

සාෆ් ගේමේ හැඩ සහ දයාගේ සිරිය

මේ දිනවල කාගේත් කතා බහට ලක්වන මාතෘකාවක් වී ඇත්තේ සාෆ් ක්‍රීඩාය. එහෙත් මේ සදහා වන විද්‍යුත් මාධ්‍යයන්හි අවධානය බොහෝ දුරට අඩුවී මක් දක්නට හැකිය. නොඑසේ නම් ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවැනි ස්ථානය හිමිවීම යනු විද්‍යුත් මාධ්‍යයන්හි කැමරා කණ්ඩායම් ඉක්මනින් ටිකට් බුක් කර එරටට යැවීමට තරම් උනන්දුවක් දක්වන සමයකි. එහෙත් මෙවර ඇති සුවිශේෂීතාවයන් සලකා එය නොවීම පුදුම එළවන සුළුය.

රන්පදක්කම් එක පිට එක ලංකාව තරුණ තරුණියන් විසින් දිනා ගනිද්දී ඒ සමගම වසර ගණනාවකට පෙර පිහිණුම් තරගයකින් ජූලියන් බෝලිං තැබූ වාර්තාව බිද හෙළිමට මැතිව් අබේ සිංහ නම් තරුණයා සමත් විය. එවක ජුලියං බෝලිං ගම් දනව්වල පවා ප්‍රසිද්ධිය පත්වූයේ රූපවාහිනී නාලිකාවන්හි සජීවී රූප රාමු සමගින් එය නරඹන්නට අවස්ථාව උදාකර දුන්නිසාය.

එහෙත් මෙවර එය නැත. මෙයට හේතු පිළිවිසිය යුතු වුවත් දේශපාලන ගොන් නාඩගම් මේ සදහා හරස් කිරීමෙන් මෙතෙක් තරග ජය ගෙන රන් පදක්කමින් ගෙල ගවසා ගත් ක්‍රීඩකයන්ට එය කරන නින්දාවක් ලෙස සැලකිය හැකිය.

එහෙත් එක් දෙයක් ගැන කිව යුතුව ඇත. අප දයාසිරි නැමැති ක්‍රීඩා ඇමැතිවරයා පිළිබද මෙහිලා සදහන් කරමු. දයාසිරිගේ බොහෝ දේශපාලන කරුණ කාරණාවලදී අපි ඔහුට සෘජුව ඒ සම්බන්ධයෙන් චෝදනා හා විවේචන එල්ල කොට ඇත. එහෙත් ඔහු පැසසියයුතු තැන්හි පැසසිය යුතු වෙමු. ඔහු මෙවර සාෆ් ක්‍රීඩා උළෙලේ ඇමතිවරයෙක් ලෙස නොව කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස හා ක්‍රීඩකයන්ට වතුර අදින්නෙක් ලෙස සහභාගී වී සිටීම ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය භාරව සිටි ඇමතිවරුන්ට කදිම පාඩමක් කියා දෙන්නක් වේ.
ක්‍රීඩකයන් යනු තම මහන්සිය හා කැපවීම පුද්ගලික අරමුණක් වෙනුවෙන් නොව රටක් වෙනුවෙන් පුදනු ලබන්නන් වේ. එබැවින් එවැනි කැපකිරීමක් සිදුකරන්නන්ට අදාළ ක්ෂේත්‍රය භාර ඇමැතිවරයා විසින් අගයකිරීම වටිනාම දේ වන්නේ එමගින් ක්‍රීඩකයන්ට උත්තේජනයක් හා ධෛර්යයක් වීම විසිනි. අනෙක් අතට ඇමැතිවරු විසින් තැකිය යුතු දේ වන්නේ තම පට්ටන්තර ආරක්ෂා වන්නේ හෝ තම වගකීම වන්නේ තම නියෝජනයෙන් දුවන අමාත්‍යංශයේ දියුණුව වර්ධනය කිරීමයි.

එහෙත් අපට මතක ඇති ඉතිහාසයේ ක්‍රීඩා ඇමතිවරයෙක් ඔලිම්පික් ජයග්‍රහණය කළ සුසන්තිකාටද අයුතු යෝජනා කළ යුගයක් තිබූ අමාත්‍යංශයක් හා ක්‍රීඩාවක් උරුම වීමයි. එහෙව් රටක ක්‍රීඩා ක්ෂේත්‍රයට දයාසිරි සිරා පොරකි.

මෙහි ප්‍රශ්තත කරුණ වන්නේ දයාසිරි ගැන කතා කිරීම නොවුනත් ඔහු හා බැදුනු තවත් එක් කරුණක් පමණක් සිහිපත් කළ යුතුම වේ. පසුගිය කාලයේ ක්‍රිකට් මණ්ඩලය සදහා තේරී පත්වූ සභාපතිවරයා හා අනෙකුත් නිලධාරීන්ට පිටතින් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් යොදවනු ලැබූ සෙට් එකක් පිළිබද දයාසිරි එලිපිට රනිල්ගෙන් ගේම ඉල්ලුවේය. එබැවින් මෙවර සාක් ක්‍රීඩා උළෙල සදහා විද්‍යුත් නාලිකාවන්හි වැඩි කතා බහක් ගොඩ නොනැගීමට මේ කරුණද හේතු විය හැකි බව නිකමට මෙන් සිතේ. කෙසේ වුවත් මොකද්ද එක තබා මොකද්ද දෙකෙන් අහල් දේ කිරීම වැරදිය. එනම් දයාසිරි පිට දමා මෙතරම් වටිනා ක්‍රීඩා උළෙලක් වාර්තා නොකිරීම අභාග්‍යයකි.

දැන් අප ක්‍රීඩකයන්ගේ දක්ෂතා දෙස බලමු . දකුණු ආසියානු පිහිනුම් තටාකයේ ශ්‍රී ලංකාවට රන් ගෞරව දිනාදුන් මැලේ ජාතික රම්සි රහීම් පවුලේ දියණියක්‌ වන කිමිකෝ රහීම් ඊයේ තවත් රන් පදක්‌කම් 2 ක්‌ සමග මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා තරග අංශයෙන් ශ්‍රී ලංකාවට හිමිවූ තෙවැනි රන් පදක්‌කමද, තමන් සතුකරගැනීමට සමත්වද්දී දැන් ක්‍රියාත්මක දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම රන් පදක්‌කම් ලාභියා බවට පත්ව සිටි පිහිනුම් ක්‍රීඩක මැතිව් ඊයේ මීටර 400 මිශ්‍ර ආර ඉසව්වද ජය ගනිමින් සිය 5 වැනි රන් පදක්‌කම ගෙළ පැළඳුවේය.

එසේම ඊයේ (09) දිනයේ පිහිනුම් තරග අවසන් කරමින් පැවැති මීටර් 50 නිදහස්‌ ආර ඉසව්වේදී 4 වැනි මංතීරුවෙන් තරගවදිමින් තත්පර 26.49 ක කාලයක්‌ සහිතව දකුණු ආසියාවේ වේගවත්ම පිහිනුම් ක්‍රීඩිකාව බවට රහීම් පවුලේ බාලම දියණිය වූ කිමිකෝ පත්වද්දී, එම පවුලේ දියණියන් තිදෙනාගෙන් දෙවැන්නා වන මචිකෝ රහීම් තත්පර 27.40 ක කාලයක්‌ සමග 5 වැනි මංතීරුවෙන් තරග වදිමින් එම ඉසව්වේ රිදී පදක්‌කම දිනාගත් මොහොත කැපී පෙනුණි. ඒ සමගම ශ්‍රී ලංකාවට හිමිවූ රන් පදක්‌කම් 3ම පිහිනුම් ක්‍රීඩාවෙන් හිමිවීම විශේෂත්වයක්‌ විය.
එසේම මෙහි දී විශේෂයෙන් සදහන් කළ යුතු කරුණක් වන්නේ 1991 වසරේ ජූලියන් බෝලිං දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක දී රන් පදක්කම් 5 ක් ලබා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාව මැතිව් අබේසිංහ විසින් බිද හෙළිමය. මැතිව් අබේසිංහ, දිනු රන් පදක්කම් සංඛ්‍යාව මේ වනවිට 07කි.

ඒ අනුව මේ මොහොත වන විට ලංකාව දකුණු ආසියානු තරගාවලියේ දෙවන ස්ථානය හිමිකොට ගෙන සිටින්නේ රන් පදක්කම් 17ක් ,රිදී පදක්කම් 37, ලෝකඩ පදක්කම් 33ක්ද සමග සමස්ත පදක්කම් සංඛ්යාව 87 ක් ලබාගනිමිනි.
කෙසේ නමුත් මෙම ජයග්‍රහණයන් සමග උදම් අනද්දී මෙකී ක්‍රීඩකයන්ගේ ආගමනයන් සම්බන්ධයෙන්ද බොහෝ දුක් සහගත තත්වයක් දැකිය හැකි විය. පිහිණුම් ක්‍රීඩාවෙන් මේ වනවිට රන් පදක්කම් ලැබූ මැතිව් අබේසිංහයන්ගේ තම වැඩිමහලු සොහොයුරා සාෆ් තරගයන්ට සහභාගී වී දුක් මුසු අත්දැකීම් ලැබූවෙකි. එහෙත් එකී දුක්ඛයන් වූපසමනය කොට තම පුතණුවන් මේ තරග සදහා සහභාගී කර වීමට ගත් තීරණය සම්බන්ධයෙන් මැතිස්ව්ස්ගේ පියාගේ ක්‍රියාව අතිශය විශ්ෂ්ටය. සහන් කසීර වික්‍රමසිංහ නම් සහෘදයා විසින් තබා තිබූ සටහනක මෙකී අතීතාවලෝකනයක් සම්බන්ධයෙන් මෙසේ දැක්වේ.

( 2006 කොළඹ පැවති සාග් උළෙලේ ලංකා ධජය ඉහළ නැං වූ දෙවන රන් පදක්කමේ හිමිකරු ඇන්ඩෲ අබේසිංහ නම් පසළොස් හැවිරිදි ගැටවරයෙකි. සාග් තේරීම් තරග පවත්වද්දී ඇන්ඩෲ සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේය. තේරීම් තරග වලට සහභාගී වීම සඳහාම ඇන්ඩෲ දෙවතාවක්ම ලංකාවට පැමිණි නුමුදු ඒ දෙවතාවේ දීම තේරීම් තරග කල් දැමීමට බලධරයින් තීරණය කරති. එවකට ලාබාල සිසුවෙකු වූ ඇන්ඩෲ ට තෙවැනි වරටත් ලංකාවට පැමිණෙන්නට ඇති නොහැකියාව මතම ඔහුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතලන්නට දේශීය පිහිණුම් බලධරයින් ක්‍රියා කළහ. නමුත් ඒ වන විට ඇන්ඩෲ සිටියේ ජාත්‍යන්තර තරග වලදී ඉතා ඉහළ හැකියාවන් පෙන්වා සහ විශිෂ්ඨ තරග නිමි කාලයන් සහිතව ය. ඉහළ බලධරයින් මේ පිළිබඳව දැනුවත් වීමත් සමග පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ජාත්‍යන්තර කුසලතාවයන් නිර්ණය කොට ඇන්ඩෲ අබේසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර ගත් හ.

සැබෑ තරගය පැවතුණේ ඉන් අනතුරුවය.ඇන්ඩෲ අබේසිංහ රට වෙනුවෙන් සුගතදාස පිහිණුම් තටාකයේ දියරළ සමග පොර බදින සඳ පිටතින් ඇසෙන්නේ " කමෝන් ඇමරිකා " යන ප්‍රීති ඝෝෂාවයි. ඒ හඬ ශ්‍රී ලාංකික දෙමාපිය කණ්ඩායමක ගෙනි. ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් නොලැබූ ක්‍රීඩකයින්ගේ දෙමාපිය පිරිසක් සංවිධාන වී සාග් තටාකය අසල හිඳ තම රට වෙනුවෙන් තරග වදින ක්‍රීඩකයාට ඊර්ෂ්‍යා පරවශව කෑ කොස්සන් ගසන්නේ එලෙසිනි. එයට පෙර ඔවුන් ලංකාව වෙනුවෙන් තරග කරන ඇන්ඩෲ ගේ යෝග්‍යතාව පිළිබඳව ප්‍රශ්න නගමින් ඉන්දියානු සහ පාකිස්ථානු බලධාරීන් වෙත ලිඛිත පෙත්සම් ද යවා තිබිණ.

ජාතිකත්වය ගැන සහ දේශප්‍රේමය ගැන වහසි බස් පමණක් දොඩන , ක්‍රියාවෙන් අමන වූ රටක් වෙනුවෙන් පිහිනන්නට ගත් තීරණය වෙනුවෙන් ඔබට තුති. දස වසරකට ඉහත දී වැඩිමහලු පුතු විඳි කටුක අත්දැකීම ඉවසා, තවත් ටානියා වැන්හියර් ලා බිහි නොකර බාල පුතුන් දෙදෙනා ද ලංකා ධජය යටතේ තරග කරවන්නට තරම් ධෛර්යමත් වූ , මනෝජ් අබේසිංහ නම් වූ පියා ට / පුහුණුකරුට අපගේ කෘතඥතාවය පිරි නමමු. මැතිව් සහ කයිල් - මේ ඔබ ජයග්‍රහණය කළේ දකුණු ආසියාව පමණක් ම නොවේ. දස වසකට එපිට ශ්‍රී ලාංකීයත්වයට නිගා දෙමින් , ඔබේ සහෝදරයා ඇන්ඩෲට "කමෝන් ඇමරිකා " කියා කෑ ගැසූ ක්‍රීඩාවේ අරමුණ නොදත් අමන දෙමාපිය ප්‍රජාවය. ) යනුවෙන් සටහන් තබා තිබේ.

එබැවින් මෙකී ක්‍රීඩා ප්‍රාසයන් විවිධ කටුකත්වයන් අතරින් ගලා ගිය ඒවාය. විටෙක ඇමතිවරුන්ගෙන් දඩුවම් ලැබූ ක්‍රීඩකයන්ට, අපහරණය ලක්වූ හා දූෂණයට යෝජිත වූවන්ද විය. අතීතයේ දුක්මුසුව වර්තමානය දක්වාම හොල්මං කොට තිබියදී මෙවර මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් ඉසිඹුලන්නට හැකි වීම මහත් අත්වැසිලක් නොවන්නේද ?

අප නැවත වරක් මේ සම්බන්ධයෙන් ලංකාවේ ක්‍රීඩා බලධරයන්ට කෘතඥ වෙමු. මන්දයත් දේශපාලනය මත නොදිවෙන කිසිවක් මේ වනවිට සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ද එවැනි දේශපාලන ගොහොරුවෙන් විෂය ගත කරුණකට පමණක් මල් පුබුදුවාලීම සම්බන්ධයෙන් දයාසිරි ඇමතිවරයාට ද යම් සාධනීය ප්‍රසංසාවක් හිමිකොට දෙමි.

මැතිස්ව්ස් සම්බන්ධයෙන් අප සහෘදයා තැබූ සටහන මෙන්ම දයාසිරි ඇමතිවරයාගේ සාෆ් ක්‍රීඩා උළෙලේදී දැක්වූ සක්‍යතාවයන් වෙනුවෙන් උපේක්ෂා ක්‍රීඩා අමාත්‍යංශයේ සේවය කරන නිලධාරිනියක විසින් තැබූ මෙසේ උපුටා දැක්වීම යොග්‍ය යැයි සිතමි. ඇය තම අදහස් දැක්වීම සරළ සුගම භාෂාවෙන් ලියා ඇති අතර ඇය හා තවත් පිරිසක් විසින් දයාසිරි ඇමතිවරයාගේ පැමිණීම ලස්සන ඇමතිවරයෙකුගේ පැමිණීමක් ලෙස සටහන් කොට තැබිනි . එසේ වන්නට හේතු වී ඇත්තේ නව පත්වීම ලබා අමාත්‍යංශයට පැමිණෙන විටත් එය යකා හැර දාගෙයි වැඩපොලක් මෙන් තිබීම හේතුවෙන් බව සදහන් විය. ක්‍රීඩාවට කෙසේ වෙතත් දයාසිරිගේ ලස්සනට මෙකී තරුණියන් පළමු කොට කැමැත්ත පළකොට ඇති අතර පසුව වැඩ සම්බන්ධයෙන්ද ඔවුන් සෑහීමකට පත්ව ඇති බව මෙකී සටහනින් පෙනේ

උපුටා ගැනීම - ( ඔන්න ඉතින් ලස්සන ඇමතිතුමා පුංචි සරල උත්සවයකදි වැඩ බාරගත්තා.එදා එයාගෙ දුවයි පුතයි පවා සෙනග ගොඩේ හිටගෙන හිටියේ.ඉතින් අපි ඒ සාමාන්ය බවට ආදරය කළා.දැන් ඔන්න වැඩ බාර අරන් දවස් දෙකයි.මේන් ඉන්නවා සැලසුම් අංශයේ දොර ගාව ලස්සන තරුණයෙක්.හප්පට සිරි ඇමති තුමා..! එදා නම් අපෙ ධනුවට උන් හිටි තැනුත් අමතක වුණා..

ඉතින් ඔය විදියට ඇමතිතුමා අමාත්යංශයෙ හැම අස්සක් මුල්ලක් නෑරම පරීක්ෂා කළා.එයාගෙ කණට වැටුනු එවුවත් ගූගල් මැප් එක වගේ වැඩකරනව ඇතිනේ.ඔන්න ඉතින් අපි කෑම කනවා කැන්ටිමේ වාඩිවෙලා.මේන් බොලේ එතනටත් කඩා පැනපි.කෑම කාපු අය කිහිප දෙනෙක් එක්කම දැන් ඇමතිතුමා කතාව.මේකෙ කෑම කන්න බෑ නේද? ඇමතිතුමා ඇම දෙනව.කට්ටිය කියවනවා.අන්තිමට ඔහු ගිහින් කැන්ටිමේ පත්තර කොළවලින් වහල තිබුණු කෑම දීසි පරික්ෂා කරල මොකක්ද එකක් අරන් කෑවා.හපොයි මේව කන්න බැහැනේ..එච්චරයි.දවස් දෙකයි වෙන කට්ටියක් ආවා.ශාලාව පිරිසිදු කලා.දැන් බොහොම හොදට ආපනශාලාව පවත්වාගෙන යනවා.කාගෙවත් හිත රිදෙවුවෙ නැහැ.ඒත් සෘජු තීරණ ගන්න ඕන තැන ගත්තා.

දෙවෙනි ගැටලුව තිබුණෙ හොස්ටල් එකේ කෑම සම්බන්ධව.එවුවා ළමයින්ට තියා කාටවත් කන්න බැහැ.බත් එකේ කුකුලා පියාඹන්නෙ නැතිව විතරයි.කුකුලා තුනට කපලා එහෙමම දානවා.දැක්කම කන්න බැහැ.ඉතින් ඔන්න ඔය ප්රශ්නෙට ගත්තෙ මෙන්න මෙහෙම විසදුමක්.සාමාන්යෙන් අමාත්යංශවලට ඇමතුවරු එන්නේ බදාදා දවසට විතරයි.එදාට කියන්නේ මහජන දවස කියලා.ඒත් අපේ ඇමතිතුමා පුලුවන් හැම දවසකම සාමාන්ය සේවකයෙක් වගේ ඔපිස් ආවා.පියන් කෙනෙක් වගේ බ්රාන්ච් ගානේ ඇවිද්දා.ඊට පස්සේ දවල්ට කන්න ගියා පයින් ඇවිදන් හොස්ටල් එකට.කුස්සිය පැත්තෙන්මලු යන්නේ.කාටවත් බැන්නෙ නැහැ.ඊට පස්සෙ කෑම සුපිරියි.පිරිසිදුයි.

දැන් හැමෝම එකෝමත් එක අමාත්යංශය ගැන ආයෙමත් කතා කරනවා.මේ වන විට දකුණු ආසියානු ක්රීඩා උළෙලේ රන් පදක්කම් 17ක් ,රිදී පදක්කම් 37, ලෝකඩ පදක්කම් 33ක්ද සමග සමස්ත පදක්කම් සංඛ්යාව 87ක් .තරගාවලියේ අපේ රට ඉන්නේ දෙවනියට.මේ තැනට ආවේ නිකම්ම නෙමේ.නියමුවා හොදනම් නැව අගේට ගමන යනවා.විශේෂයෙන්ම දරුවන්ගෙ පෝෂණය ගැන විශේෂ අවධානයක් යොමු කළ වකවානුවක් බව කිවයුතුයි.දක්ෂ කෝකිවරයෙක් ගෙන්වලා තරගවලට සහභාගිවන දුවා දරුවන්ට සුදුසු ආහාරපාන නේවාසිකව තබාගෙන ලබා දෙන්න කටයුතු කළා.මන්ද දුප්පත් දරුවන්ට අවශ්‍ය පෝෂනය නොලැබෙන නිසා.පළතුරු සදහා දිනකට වැය කළ මුදල රු.40.000ඉක්මවූවා.ඒ වගේම සූට් බූට් ගහගෙන වයිෆ්ලා එක්ක ගිහින් තරග නරඹන ප්රභූවරයෙක් නොවී ඩෙනිම ටී ෂර්ට් එක ඇදගෙන හැම තැනම අපිත් එක්ක එකටම හිටියා.පින්තූරයක් ගන්න තැනක ගිහින් නිහතමානීව ඉන්නවා.ගනින් යකෝ ඉක්මණට.ඔහු එහෙම කියන්නෙ ෆිට් එකට.

මම හිතන්නෙ අද අපි හැමෝටම කට ඇරලා කියන්න පුළුවන් වැඩකරන්නෙ ක්රීඩා අමාත්යං ශයේ කියලා.නිහතමානී කම,අවශ්ය තැන සෘජු තීරණ ගැනීම, දක්ෂතාවය වගේම වාසනා ගුණයත් දියුණුවට හේතුවක්.ඇමතිතුමාගේ පැමැණීම අපට දැනුනේ හූනියමක් කළ ගේකට කිරි කලයක් වැඩැම්මුවා වගේ.මේක ආරම්භයක් විතරයි.ඒ ආරම්භය හොදටම සුභයි.ආරම්භය වගේම අවසානයත් සුන්දර එකක්ම වෙන්න කියලා හිතේ පිරිච්ච සතුට සහ ආඩම්බරය එක්කම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා ) යනුවෙන් සටහන අවසන් කොට ඇත.

මෙම තොරතුරු රාශිය සාෆ් තරගාවලියේ ක්‍රීඩකයන් අගය කිරීමට වඩා ඇමතිවරයෙක් පිම්බීමට ගත් උත්සාහයකැයි කිසිවෙකු හෝ සිතුනේ නම් එහි වරදක් නොවන්නා සේම දයාසිරි උඩ දමා මා හට ලබාගැනීමට කිසිවක් නොමැති බවද සදහන් කොට තබමි. ්
විය යුත්ත නම් වල් බිහිවී ඇති ක්‍රීඩාව ගොඩ ගැනීම වන අතර ඒ සම්බන්ධයෙන් කිසිවෙකු හෝ කැපකිරීමක් සිදුකරන්නේ නම් එය අගය කිරීම කුමන කාර්ඩ් වැදුනද සිදුකර සිටින්නේ මලල ක්‍රීඩාවට මෙතෙක් වැදී තිබූ හෙනය යම් තරමක් හෝ මෙවර සාෆ් තරගාවලියෙන් වූපසමනය වූ බව ද පවසමිනි.

එසේම අගමැති රනිල්ගේ මාධ්‍ය මර්දනය හමුවේ ගොළු බෙල්ලන් වූ මහා මාධ්‍ය යෝධයන්ට පැවසීමට ඇත්තේ මාධ්‍ය සමාගම් පවත්වාගෙන යාම සදහා මෙසේ කළත් සාෆ් ජයග්‍රහණය ලැබූ කොල්ලන් කෙල්ලන් ලංකාවට ගොඩ බසින විට උන් වීඩියෝ ගත කොට තප්පර විස්සේ නිවුස් කෑල්ලකට හෝ ඔබා දමන ලෙසය.

තුසිත පතිරණ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.