Menu

logo new 2015-5-11

Shamrock-png

සුනිල් අයියේ... උඹ මිනිස් පොළොවේ අයියෙක්

සුනිල් අයියේ... උඹ මිනිස් පොළොවේ අයියෙක්

කොළඹට එන්න කලින් ඈත පිටිසර ගමක හිටි මට 89 අරගලේ හීනියට මතකෙන් යනවත් එක්ක පුංචි එළියක් වැටෙන පත්තර කඩමල්ලක් අතට ලැබුනි. එය ලක්දිව ලෙස නම් කොට තිබුණි. මා සති අන්තයේ පුරුද්දක් විදියට මේ පත්තරේ ගන්න වූයේ 89 යෙන් වියැකුණු මතකයන් යාන්තමට එම පත්තර පිටු අතර එහා මෙහා වී තිබීම හේතුවෙන් බව කිවහොත් නිවැරදිය.

ලක්දිව පත්තරේ මේ වනවිට වෙළද පොළේ අපට හසුවන පත පිටුගණනකින් නොවූවත් ටැබ්ලොයිට් සයිස් වූ මේ පත්තර කඩමාල්ලේ මිනිස් සුවඳ විහිදුවාලන නැවුම් බව තවමත් මා හදවත ආග්ලාදයෙන් වැළද ගනී. එක පිට එක තබා පත්තර එකතු කිරීමේ පුරද්දක් මා වෙත නොවූවක් මේ පත්තර මා එකින් එක එකතු කළේ සහෝදරත්වය පිරි මිනිසුන් එකතු කරන්නාක් මෙනි. 

ඒ එක පුවත්පතක් ගෙන පුවත් පතේ පිටු අතරේ මා සැරි සැරූ වාර ගනන සිය වරක් යැයි මට හැගේ ඒ අතරින් මා වැඩියෙන්ම සිත්ගත් පිටු භාගයේ සත්‍යවාදියෙකුගේ දින පොත කිය වුයේ බොහෝ විට කදුළු පිරි දෙනෙතිනි. එහි අවසන්ව සටහන්ව තිබුනේ සුනිල් මාධව ලෙසය. හැමදාමත් දින ගණනට තමා ලද අත්දැකීම් සුනිල් අයියා එහි සටහන් කොට තැබුවේය. ඒ නිකම්ම නිකම් සිහින ඉසව් ගැන නොව තමා පය ගසා සිටින බිමේ වන තමාට අත්විදින්නට සිදුවූ මිනිස් ඇසුරු සම්බන්ධයෙනි. විටෙක තැබෑරුමට යන ඔහු ඉන් මධුවිත පානය කොට එළියට බසින විට කාසියක් ඉල්ලා සිටින දරුවෙකුට තුරුළුවී ඔහුට තමාගේ අතේ තිබෙන දඹ දොයිතුව හිදෙන තෙක් කාසි දී සාක්කුව හිස්ව ගෙදර ගිය පුවත මට අද මෙන් සිහියට නැගෙන්නේ මනුෂ්‍යත්වයේ හැගුමක් සමග නෙතට කදුළක්ද එක් කරමිනි.

ලක්දිව ආරම්භය කවරාකාරද යන්න හා එහි දේශපාලන පසුබිම කවරාකාරද යන්න එවක පාඨකයාට තේරුම් ගියේ එහි මුල පටන්ම ජවිපෙ නිවුස් පළ වු නිසාය. මරා පුළුස්සා දැමූ මිනිස් මළ කදන්වල පුසුබ වා තලයෙන් ඉවත්ව යන්නටත් පෙර යළිත් ඒ මිනිසුන්ගේ හඬ අකුරු කරන්නට ලක්දිව පත්තරේ ආරම්භයට සුනිල් අයියා අත ගැසූවේ සත්‍යයේ සුවද මිනිසුනට ගෙන ඒමට විනා පව් සෝදා හැරීමට නොවන බව ඔහු විටෙක දින පොතෙහි ද ලියුවේය. 1992 ජනවාරි මස 26 වැනි ඉරු දින එළියට දැමූ ලක්දිව පළමු කලාපයේ ම සත්‍යවාදියෙකුගේ දිනපොතේ ඔහු ඒවගක් සටහන් කොට තැබුවේය.


මේ එම පුවත් පතේ පළවු සත්‍යවාදියෙකුගේ දින පොතයි (උපුටා ගැනීම - ලක්දිව - 1992.01.26 )
1991 ජනවාරි 26
අන්තිම ලක්මිණ පත්තරය පිට කළේ ගිය සතියේ . අද කඩවල ලක්මිණ නැහැ. අනිත් පත්තර එල්ලල තියෙන හැටි දැක්කහම මගෙ පපුව පැලෙන්න ආව. අපි ලක්මිණ කලේ මොන තරම් ආදරෙයෙන්ද ? අනිත් එක පත්තරයක් නැති වෙනවයි කියන එක මොන තරම් අපරාධයක්ද ? මට හිතෙන විදියට නම් ආරම්භය ම වැරදුනා. ජාතික චින්තන කිරයෝ කියන්නේ ජාතිවාදී උන්මත්තකයෝ පිරිසක් කියල මුලදී දැනගෙන හිටිය නම් කොහොමටවත් මම ලක්මිණ ට සම්බන්ධ වෙන්නේ නෑ. ඒත් ඔවුන් අයින් වුනාට පස්සේ මගේ යුතුකම ඉටු කළා කියල මම හිතනව. ආධාර කරන්න සූදානම් කියා පාඨකායෝ ලියුම් එවූ වෙලාවෙ ඒ ආධාර ගත්ත නම් සමහර විට මොන තරම් තර්ජන ආවත් පත්තරේ දිගට ම ගෙනියන්නත් තිබුණා. රස්සාවක් නැති වෙන එක මට විදගන්න පුළුවන් ඒත් පත්තරයක් නැති වෙන එක නම් දරාගන්න බැරිවේදනාවක්. කමක් නැහැ. තව අවුරුද්දක් ගිහින් හරි ආයිමත් පත්තරේක වැඩ කරන්න ලැබෙයිනේ එදාටත් ජනතාව වෙනුවෙන් මම මගේ යුතු කම ඉටු කරනව.

1991 ඔක්තොර්බර් 26
වට කරගෙන පහර දෙන්න තරම් මම කළ වරද මොකද්ද කියල මට නම් හිතාගන්න බැහැ. ආව.. අහවලා නේද කියල ඇහුව...ගැහුව.. ලේවටල වඩා ගැළුවේ කදුළු. තරුණ පිරිසක් අතින් ගුටි කන්න වෙයි කියල මම කවදාවත් හිතුවේ නෑ. මම හැම මොහොතකම අර ගෙන තියෙන්නේ තරුණ පරපුරේ පැත්ත. ඒත ්කරන්න දෙයක් නැහැ. තරුණ වුණත් මහලු වුනත් ජුන්ටෝ ජුන්ටොමයි. උන්ට මොලෙත් නැහැ. හිතත් පපුවක් ඇත්තෙම නැහැ. දත් දෙකක් කැඩුන කියල මගේ ගමන නවතින්නේ නැති බව උන් දන්නේ නැතිව ඇති.

1991 නොවැම්බර් 15
හිමිදිරි පාන්දර කුරුල්ලන් ගේ හඬ මැදින් කුඩා දරුවෙක්ගේ කට හඩ ඇහෙනව. ලොක්කී මතක් වෙලා මගේ පපුව දාල ගියා. කතා කරන්නේ ලොක්කිද කියල මම හොදට ඇහුන් කන් දුන්නා.
නංගිල රට දාල ගියේ ඇයි කියල මට තේරුම් ගන්න බැහැ. අහස් යානය නොපෙනී යන මොහොතේ මගේ ජීවිතය අතරමග නතර වුනා කියල මට හිතුන. ලොක්කිව වඩා ගන්නේ තැනිව මට ඉන්න බැහැ. මගෙ මුළු ජීවිතයම රැදී තිබුණේ මේ හුරතල් කෙලි පැටික්කි ළග. මගෙ ජීවිත කාලෙයෙ ලැබුණු ලොකුම ආදරය මට ලැබුණේ මේ හුරතල් කෙලි පැටික්කි ලග මගේ ජීවිතය මට ලැබුණෙත් ඇයගෙන් ඒ සෙනෙහස ආයිත් මට කිසිම දරුවකුගෙන් ලැබෙන්නේ නැති බවත් ස්ථිරයි. බටහිර රටවල ඉදගෙන අපේ දරුවන් යහමග අරින එක ලේසි වැඩක් නෙවෙයි. උන් ගේ සංස්කෘතිය අපේ දරුවන්ට ඔරොත්තු දෙන්නෙත් නෑ ලොක්කිගේ අහිංසක කමත් මිනිස්කමත් දශමයකින් වත් අඩු වුණොත් නංගිල යළිත් ලංකාවට නාවත් මට ප්‍රශ්නයක් නැහැ.

1991 නොවැම්බර් 10
ඡන්දය නිසා පත්තර කාරයොත් දෙකට බෙදිලා එක අතකට ඒක හොදයි කියලාත් හිතෙනව ප්‍රතිගාමී කොටස කවුද දැනගන්නත්එක්ක ලොකු දෙයක් ඒත් පැසිස්ට් රජයකට පන්දම් අල්ලන පත්තර කාරයෝ ගැන සිතීම පවා අමාරුයි. මිනිස් අයතිවාසිකම් අමු අමුවේ මරා දමන ජනතාවට ද්‍රොහීකම් කරන ආණ්ඩු තියෙන හැම රටකම පත්තරකාරයෝ ඉන්නේ අනිත් පැත්තේ මම දන්න තරමට නම් ඒ වගේ ආණ්ඩුවකට එහෙයි කියන පත්තරකාරයෝ ඉන්නේ අපේ රටේ පමණයි. පුවත්පත් කලාවේදීන් ගේ නිදහස් පෑන උදුරා ගන්න මාන බලන රජයකට අත උස්සන පත්තරකාරයෝ ඉන්නෙත් අපේ රටේ පමණයි එහෙම එවුන් ඉන්න රටක පත්තර නිදහස ගැන කුමන කතාද ?

1992 ජනවාරි 17
ලක්දිව දැන්වීම ගුවන් විදුලිය බාර ගත්තෙත් නැහැ. රූපවාහිනිය බාර ගත්තෙත් නැහැ. තුට්ටු දෙකේ බලු විටින්නේ නැති දැන්වීම් පළ කරන උන් අපේ දැන්වීම ප්‍රතික්ෂේප කළා. මගේ මිත්‍ර යෝ ඇහුව ඇමති හමුවෙන්න යමුද කියල. වැසිකිලියට දාන සෙරෙප්පු දෙක දාගෙන ආවෙ නැති නිසා එයා හම්බ වෙන්න යන්න බැහැ කියල මම කිව්ව. මොන සිංහයෙක් ළගට වත් පිං සෙණ්ඩු වෙන්න යන්න අවශ්‍ය නැහැ. ඒත් ඔය රණසිංහ මහත්තයම ගංගා නිම්ම සංවර්ධන මණ්ඩලයේ ඉන්න කාලේ ලේක්හවුස් එකේ හිටපු අපි ඕනෑ තරම් එයාට උද්වා කරල තියෙනව. දැන් නම් ඒව අමතකත් ඇති කොහොමටත් ඒ ගොල්ලන්ගේ ඇමැතිකම් ඒ ගොල්ලන්ට අපි අපේ පත්තර කලාව අපිට.

1992 ජනවාරි 20
අලුත් පත්තරේක වැඩ කරනව කිව්වහම මගේ මිත්‍ර යෝ කීප දෙනෙක් හොදට ම බය වෙලා.
ආණ්ඩුවට විරුද්ධව ද ගහන්න යන්නේ උන් ඇහුව
මොලේ තියෙන මිනිහෙකුට පුළුවන්ද බං මේ ආණ්ඩුවට පක්ෂ වෙන්න ? මම ඇහුව..
උඹට පිස්සු මිනිහෝ... තාම රටේ තත්වෙ පහුගිය කාලේ වගේමයි.
මම ඒ කතාවට පිළිතුරක් දුන්නේ නැහැ. ඒත් මාටින් ලූතර් කිං කී කතාවක් මට මත්ක වුනා.
මේ වකවානුව ගැන අපට දුක්වෙන්න සිදුවනු ඇත. ඒ නරක මිනිසුන් කරන නරක වැඩ නිසා නොවේ. හොද මිනිසුන් නිහඩව සිටීම නිසාය.
- සුනිල් මාධව

(උපුටා ගැනීම අවසන් )

මේ ලක්දිව පළමු කලාපයේ සත්‍යවාදියෙකුගේ දින පොතයි. මේ සුනිල් අයියාගේ ශෛලියයි. මේ දින හයේ ජීවිතයේ නොකියවූ පැති තිබෙන්නට හැකිද ? නෑ එවක නරුම පාලනයට එරෙහිව කිසිවෙකු හෝ හූ මිටියක් තබන්නට නොහැකි තැන සුනිල් අයියා පත්තරයක් ගැසූවේය. ඒ පත්තරේ නොබියව ලියූවේය. ඒ මුවහත් පෑන විසින් බිම නොදැමූ දේ කුමක්ද ? තරුණයින් හැට දහසක් බිලිගත් ඒ නරුම පාලනය පෙරලා දමන්නට මේ පෑන් තුඩ සමත් නොවුනේද ? එසේ නොවේ යැයි කියනවා නම් ඔහු නරුමයෙක් මිස මිනිසෙක් නොවවන්නේය. සුනිල් අයියාගේ එඩිතර පෑන් තුඩ එවක ජඩ පාලනය බිය විය. විටින් විට එකී පාලකයන්ට සුළු දියද පහවන්නට විය. ඒ තරම්ම සුනිල් අයියාගේ කෂේරුකාව සෘජුව තිබුනේය.

පත්තර මුදලාලි කඩේ වසා දමන්නේ ඔහුට එල්ල වන රාජ්‍ය තර්ජන නිසා මිස සුනිල්ලා සමග ඇති ආරෝවක් නිසා නොවේය. එහෙත් ඒ වනවිට ලක්දිව මේ බිමට සත්‍ය පොවා අවසන්ය. පත්තරය වසා දැමූ පසු යළිත් පත්තරයක් ආරම්භ කිරීමට මිනිස්සුන් සුනිල් අයියා දෙසට තමන්ට ලැබුනු කසාද චේන් පට විසි කළේය. ඒ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේ පැවැති ජනතා සාහිත්‍ය උළෙල අතර තුරය. මිනිසුන් එක පොදියට සුනිල් අයියා වට කොට ගත්තේය. නරුම පාලනය පෙරලා දැමීමට සවිමත් මිනිස් පවුරක් ගොඩ නැගීය.
එය පසුකාලීනව 17 අවුරුදු එජාප විනාශ කාරී පාලනය පෙරලා දැමීමට මුල් ගලක්ම විය. එවැනි පසුබිමක් ගොඩ නොනගන්නට චන්ද්‍රිකාට පැමිණ ලෙහෙසියෙන් සෙල්ලම් දැමීමට නොහැකි වන්නේය.

සුනිල් අයියාගේ වටා සිටි පිරිසද සිහිපත් කළ යුතු වන්නේ විටෙක ද්‍රෝහීන්ද ඉතිහාසය විසින් ඔප්පු කරන ලද ද්‍රොහීන් ද නරුම පාලනය විසින් නඩත්තු කරන ලද ඔත්තු කරුවන්ද ඔහු වටා ද සිටියේය. (මැනුවෙල් ජයසේකර වැනි නිහඬ චරිත හැරෙන්නට)
පත්තරේට මුවාවෙන් එවක ආර්. ප්‍රේමදාසගේ පඩි ලැයිස්තුවේ සිටි අයෙක්ද පුවත් පතේ සිටි බව සුනිල් අයියා වරෙක සදහන් කොට සිටියේය. එහෙත් ඒ කවර හෝ බලවේගයකට යටත් කළ නොහැකි වූ දෙයක් විය. එනම් සුනිල් අයියාගේ නොසැලෙන පෑන් තුඩ අභියසට පැමිණි සත්‍යවාදී මිනිසුන්ය. ඔවුන්ගේ පෙළගැසීම ආදරණීය වෙනසක් වෙනුවෙන් වන සටන පන පෙවීමට සමත් සවිමත් පවුරක් නිර්මාණය කළේය. ද්‍රෝහීන්ට උන් හිටි තැන් පවා නොමැති විය.

එදා ලක්දිවේ සිටි සුනිල් අයියාගේ නඩේ පිරිස් අද එකී මිනිස්කමේ සීමා මායිම්ද නොදන්නා උන් සේ අනේක විධ ගුම්බෑයම්වල නිදති. එකී ගුම්බෑයම්හි හාම්පුතුන් උදෙසා ගීතිකාද , උඩුබිරුම්ද නගති. එහෙත් සුනිල් අයියා හිටි තැනම එසේමය.
ඒ මිනිස් කමේ සුවද විදිමින් වීදි දිගේ දාඩියවගුරන උන්ගේ සුවද විදිමින් ඒ ගෝඩේමය. යාන වාහන සුර සැප නැත. ජනතා මුදල් ගසා කා හැදූ මාලිගාද නැත. දේශපාලනය එපා වී ඇමැරිකාවට ගොස් නැවතත් දේශපාලනය ඕනෑ විට මෙරටට ආවේ නැත. සුනිල් අයියා හිටි තැනම තාමත් සිටී. සැප නැතත් සුවද විහිදේ අනෙත් උන්ට සැප ඇතත් හමන්නේ දැනෙන්නේ කප්පරක් කක්කුසි වලවල් ගඳමය.
ඉතිං සුනිල් අයියේ මේ ගඳයන් අතර උඹ මට තවමත් මේ මිනිස් වදුලේ අයියෙකි. පට්ට අයියෙකි. මිනිහෙකි.

(මෙහි පළවන ලක්දිව පළමු කලාපයේ කර්තෘ මණ්ඩලයේ සැබෑ අත්සන් සහිතව ඇති පුවත් පත මා සතුව ඇති අතර එය මා සතු වුයේ මෙය සංරක්ෂණය කළ යුතුම තැනක මෙහි වටිනාකම් නොසලකා ගිනි ගොඩට දමා පිළිස්සීමට ඔන්න මෙන්න කියා තිබියදී අහුලා ගැනීමෙනි )

තුසිත පතිරණ

 

lakdiwaa

lak diwa

 

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.