Menu

logo new 2015-5-11

Shamrock-png

ගල් ගසා මරා දැමීම් හමුවේ සපත්තු තේරීම

ගල් ගසා මරා දැමීම් හමුවේ සපත්තු තේරීම

මහින්ද රාජපක්ෂ යළි අගමැති වීමේ සිහිනයේ පිණුම් ගසමින් සිටී. ඒ වෙනුවෙන් ඒ සිහිනයට ඔහු ඇද දමා ඔහුට සහනය පිළියෙල කරන්නෝ බොහෝය. රාජපක්ෂ පාලනය පෙරලා දමා නව යහපාලනයක් උදා කළ පිරිස්ද එකී පාලනයේ නවමු තැන් සොයනවා වෙනුවට පරාජිත රාජපක්ෂවරුන්ටම පිණුම් ගැසීම සදහා දේශපාලන ඉඩක් වෙන් කොට එකී කුණු කන්දම අවුස්සමින් රාජපක්ෂ නිල මැස්සන් සමග සටන්වැද සිටීම ලාංකීය දේශපාලනයේ දුප්පත් කම කියාපාන්නක්ද වේ.

යළි මහින්දට බලය ලබාදීම යනු කවරක්ද? ඒ අන් කිසිවක් නොව වර්තමාන දේශපාලනයේ දුප්පත්කම හැර එයට අන් යමක් පැවසීමට නැත. කළ යුතුව තිබුනේ කුමක්ද ? ඉදිරියටද කළ යුත්තේ කුමක්ද යන සංවාදය යුහුසුළුව කරගත යුත්තක්ව පැවැතියත් අද පත්ව ඇත්තේ පෙර කී ලෙසම මහින්ද, විමල්,නාමල්, බැසිල්, ගෝඨා, ශිරන්ති, යෝෂිත, හා ඔවුන්ගේ බත්බැලයන් පිළිබදව මාධ්‍ය යේ කතා බහක් නිර්මාණය කිරීම හැර අන් කවරක්ද ?
මහින්දගේ පන්සල්යාම මේ දිනවල ප්‍රබල මාතෘකාවක් බවට පත්කොට ඇත. එසේම ගෝඨාභය රාජපක්ෂ මහමැතිවරණයට ඉදිරිපත්වීම මෙන්ම ශිරන්ති දේශපාලන පොරපිටියට කැන්දන් ඒම මෙන්ම මෙතෙක් රාජපක්ෂ පාලනයේ පොරවල් නොවූ පිරිස් පොරවල් කිරීම සදහා වේදිකාවන් නිර්මාණය කිරීම නොදැනුවත්ව හෝ දැනුවත්ව වර්තමාන දේශපාලන භුමියේ ඉඩක් වෙන් කිරීම දේශපාලනිකව ලාංකේය ජනතාව ලැබූ මොනතරම් නම්වූ අභාග්‍යයක්ද ?

ජනවාරි 08 න්පසුව සිදුකළ යුතුව තිබුනේ එකී යල්පැන ගිය හා ම්ලේච්ඡ දේශපාලනය වළලා දැමීමය.එහෙත් සිදුවන්නේ ඔවුන් සිදුකළ දූෂිත අක්‍රමිකතාවයන්ට නෛතිකමය දඩුවම් ලබාදීම වෙනුවට නීතියේ හිල් අස්සෙන් රිංගා ඔවුන්ගේ නිදොස් භාවය ජනතාව හමුවට ගෙනැවිත් සුදනන්වීම සදහා වන පාපොච්චාරණයන් ගොඩනැගීමට ඉඩ ලබාදීමය.
ඒ කෙතරම්ද යත්, රාජපක්ෂගේ හම්බන්තොට හෙංචයියන් පොලිස් මූල්‍ය අපරාධ අංශයේ නිලධාරීන්ට ගල්පහරදී මරාදැමිය යුතුය යන වහසිබස් දෙඩවීමට පටන් ගැනීමත් එකී වහසි බස් සම්බන්ධයෙන් පරීක්ෂණ දියත් කිරීමට පරීක්ෂණ කණ්ඩායම් පත්කිරීමත් සිදුවෙමින් පවතී. මේ පාර කැපෙමින් පවතින්නේ දූෂණයේ පතාක වෘක්ෂයන් පෙරලාදැමීම වෙනුවට තුත්තිරි ගස් සමග සටන් වැදීමට ලංකාවේ නෛතික පාර්ශවයන් යොමුකිරීමය. එමගින් මහා සාධකයන් අමතක කොට තුත්තිරි ගස් සමග සටන් කරමින් කල්මැරීමට අදාල අංශයන් යොමුකරමින් දූෂණයේ පතාක වෘක්ෂයන් එලෙසම වර්ධනය කිරීමට මං පෙත් වීවර කර ගැනීමත්ය.

මේ සියල්ලෙන්ම කියාපන්නේ ඉහත කරුණු කාරණාවන්ට පිළිතුරු වශයෙන් නිසායාකාර ක්‍රියාදාමයකට ප්‍රවිශ්ටවීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුවවට කොන්දක් නොමැතිකම නොවේද ? ඒ වෙනුවට සිදුකරමින් පවතින්නේ පාර්ලිමේන්තුවේ දී ද විපක්ෂය විසින් උස්සා දෙන බෝලයට තට්ටුවක් දමා කෙසේ හෝ ආණ්ඩු බලය ආරක්ෂා කර ගැනීම විනා අන් කවරක් හෝ නොවන්නේය.

අනෙක් පසින් මේ වනවිට මාධ්‍ය අමුතු මාදිලියේ ප්‍රචාරණයන්ට අත ගසා ඇත. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සරල සුගම දිවි පෙවෙත පිළිබද ජනතාව හමුවට පුවත් මැවීමය. ජනාධිපතිවරණයකට යළි නොඑන බව පවසන මෛත්‍රීපාල සිරිසේනයන්ට අලුතින් භුමිකාවන් නිර්මාණය කිරීම වත්මන් දේශපාලන ප්‍රවාහයේ කුමන ප්‍රතිඵල දායක කරුණක් වන්නේද යන්න සාකච්ඡා කළයුතු කරුණක්ව ඇත.

එහි පවතින ශුද්‍ර සංකල්පීය ප්‍රචාරණවාදී අදහසක් ඇත. එනම් මෙතෙක් කිසිවෙකු ගණන් නොගත් මහා තේජාංවිත භාවයකින් යුතු බලයක් සහිතව තිබූ ජනාධිපති ධුරය මහජන සේවය සදහා පාරට බැසීම යන කරුණය. එහෙත් එය මීට පෙර ජනාධිපති රණසිංහ ප්‍රේමදාස වැන්නන්ගෙන් යම් තරමක් දුරට සිදුවූවකි. එබැවින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කළ යුතුව ඇත්තේ තම ජීවන භාවිතාව ප්‍රදර්ශනවාදී පැතිකඩකට ඇද නොදමා ජනාධිපති පොරක් නොවන බවට වන චර්යාවට තවත් සිව්වසරක් ඇති බව මතකයේ රදවා ගෙන මේ වන විට දේශපාලන භුමියේ පැන නැගී ඇති මහා සාධකයන් සම්බන්ධයෙන් සිත් යොමු කිරීමය.

අනෙක් අතට මේ වන විට ලාංකේය සමාජය හමුවේ පුපුරා නොගොස් ඇති ආර්ථික අර්බුදය නැමැති ගිනි කන්ද සක්‍රීය වීමට පටන්ගෙන ඇත. කෙටියෙන් සදහන් කරන්නේ නම් මෙහි භයානකම අනතුරු වන්නේ සංදර්ශන චූන් වීම අස්සේ එය පුපුරායාමට ඉඩකඩ විවර වීමය.

එසේ වුවහොත් ඉන් ප්‍ර යෝජන ගන්නෝ රාජපක්ෂ දුර්ධාන්ත දූෂිතයෝම හැර අන් කවරෙක් හෝ නොවන්නේය. ඒ මෙම ආර්ථික අර්බුදය සමග ඔවුන්ටඔවුන්ගේ ආර්ථික උපායමාර්ගයන් සාධාරණීකරණය කර ගැනීමට ඇතිහැකියාවයි. එළඹෙනමහමැතිවරණයේදී එය රස මසවුලක් බවට පත්කොට ජනතාව හමුවේ කියා සිටින්නේ අපේ සංවර්ධන ඉක්කයන්ට බාධාවක් වූ යහපාලන ප්‍රෝඩාකාරීන් පන්නා දමමු යන්න මිස අන් යමක් නොවන්නේය.

කළයුතුව ඇත්තේ කුමක්ද ? ප්‍රදර්ශනවාදී හා ප්‍රචාරණවාදී හුදු දේශපාලන චූන්වීම් පසෙකට දමා නිසිදැක්මක් සහිත ආර්ථික උපායමාර්ගයක් සම්බන්ධයෙන් මේ ටික කාලයේ හෝ වැඩපිළිවෙලක් සකස්කිරීමය. ඒ සදහා උපයෝගී කොටගතහැකි පාර්ශවයන් ඕනෑවටත් වඩා ඇත. බුද්ධිමතුන්, ජවිපෙ වැනි නව ආකල්පික දේශපාලන ප්‍රවාහයන්, ශ්‍රීලනිපයේ ඒ සම්බන්ධයෙන් වන උනන්දුවක් ඇති පිරිස් හා ආර්ථික උපායමාර්ගික විශේෂඥයන්ය.
සිදුවිය යුත්ත මෙය බැවින් ගල්මුල්ගසා මරාදැමීම් වැනි කටමැත දොඩවන්නන් පසුපස හඹායාම හෝ ආතල්ගැනීමේ ප්‍රදර්ශනවාදී සංදර්ශනයන් සිදුකිරීම නොවන්නේය.

තුසිත පතිරණ
අද-හෙට සටහන
දි ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය
2015.06.05

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.