Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

දේශපාලන ඉන්ටවල් මැද්දෙන් ගජමන් නෝනා රංචාගොඩ ළමයා වේදිකාවට ගේනවා - විමල් කැටිපෙආරච්චි

දේශපාලන ඉන්ටවල් මැද්දෙන් ගජමන් නෝනා රංචාගොඩ ළමයා වේදිකාවට ගේනවා - විමල් කැටිපෙආරච්චි

ඔබ ද දායකත්වය දක්වා කවි ගීත ලියා ඔසවා තැබූ යහපාලනය මේකද ?

මම හිතන්නෙ, ඔතන යහපාලනය කියන වචනය එන්න ඕන ඉන්වටඩ් කමා ඇතුළේ. රාජපක්ෂ ආණ්ඩුව නරුම ඒකාධිපතීත්වයක් කරා යනකොට, පුද්ගලයන් හැටියට - මතක තබාගන්න දේශපාලන ව්‍යාපාරයක් හැටියට නොවේ - පුද්ගලයන් හැටියට - ඒ ඒකාධිපතීත්වයට එරෙහි පුද්ගලයන් හැටියට කුමක් කළ යුතුද කියනප්‍රශ්නය අප හමුවට ආවා. රාජපක්ෂ රෙජිමයට එරෙහිව අපි ලිව්වා. ඒ වාමාංශික අදහසකින්. 2015 ජනාධිපතිවරණය ආවා. ඒ මොහොතේ රාජපක්ෂ රෙජීමය වාමාංශික කණ්ඩායමක් හරහා - වාමාංශික ව්‍යාපාරය හරහා පරාජය කළ හැකිව තිබුනා නම් මම ඉන්නෙ එතැන. ඒත් පෞද්ගලික ගණන් හැදීම ඇතුළෙ මට එහෙම ඉසව්වක් පෙනුනෙ නැහැ. හැබැයි වමේ ඇතැම් පක්ෂ යාන්ත්‍රණයන් එක්ක නිල නොවන ගනුදෙනුවක් මට නොතිබුනාමත් නෙවෙයි. කොහොම වුනත් ෙමෙත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයට ගීතයක් නිර්මාණය කරන්නය කියන යෝජනාව ආව. ඒ අනුව තමයි මම `රටකට ඕනෑ අපමණ අගයක්` ලියන්නේ. ඒක ප්‍රශස්තියක් නෙවේ. ප්‍රශස්ති කියන්නේ බලයේ සිටින පාලකයන් සතුටු කරන්න ඔවුන්ගේ ගුණ වනා ලියන ගීත. මම ලිව්වේ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයට ගීතයක්. එතකොට ඒක ලියන්නෙ පරදින්න නෙවේ දිනන්නනේ. ඒ අනුව එහි එන යෙදුම් උපමා රූපක අලංකාර සියල්ල එකී සන්දර්භයට යටත්. කසුන් කල්හාර ඒක සංගීතවත් කළා මම වගේම සතපහක්වත් නොගෙන. රයිට්. දැන් ඔබ අහනවා `

`කවි ගීත ලියා ඔසවා තැබූ යහපාලනය මේකද`` කියලා. මගේ උත්තරය මේකයි. නිශ්චිත සටනකදී නිශ්චිත අවියක් භාවිතා කළ බව ඇත්ත. ඒත් සටන් බිම පිළිබඳව - සටන් කරුවන්ගේ හැකියාවන් සීමාවන් පිළිබඳව - සටන් සඳහා සහාය දක්වන දෙස් විදෙස් මැදිහත්කරුවන්ගේ අභිලාෂයන් පිළිබඳව - කිසිත් නොදැන බමන මතින් නෙවෙයි මගේ මැදිහත්වීම් කළේ. සටන්වල සත්‍යය අවසන් වී ව්‍යාජය ඇරඹෙන තැන කොතැනද කියා පෙනුනා. පේනවා. දැනගෙන හිටියා හම්බවෙන්නෙ පොඩි ඉන්ටවල් එකක් විතරයි කියලා. හැබැයි මතක තියාගන්න ඒක අත්‍යාවශ්‍ය ඉන්ටවල් එකක්. ඉතින් සමස්ත දේශපාලන සටන වගේම `රටකට ඕනෑ අපමණ අගයක්` තේමාවත් තවම විවෘතයි.

ආර්ථිකය ගැන එපා.. එහෙත් අවම මිනිස් අයිතීන්වත් මේ ආණ්ඩුව පිරිමහලා තියෙනවද ?

මේ ප්‍රශ්නයත් ඔබේ පළමු ප්‍රශ්නයේම දිගුවක්නේ. මම ඕකට මෙහෙම උත්තර දෙන්නම්. රෙජීමය වෙනස් වෙනකොට - ඉතා ක්ෂුද්‍ර ප්‍රමාණයෙන් ඊට දායක වෙනකොට - පෞද්ගලිකව මා තුළ හේතු තුනක් තිබුනා. මම දැන් ඔබට එය කියන්නම්. වර්තමාන තත්වය තුළ ඒ ඒ හේතුවලට බලපෑ ඒ ඒ අභිලාෂයන් කුමන ප්‍රතිශතයන්ගෙන් ඉටුවෙලාද කියන කාරණාව ඔබටත් මටත් මැනගන්නට පුළුවනි. රෙජීමය වෙනස් කිරීම යනු සමාජවාදී විප්ලවය නොවේ කියන එක මා ඔබට අමුතුවෙන් කියන්නට උවමනා නැහැනේ. පළමුවැනි අභිලාශය තමයි, රාජ්‍යයේ මිලිටරිකරණ දඬු අඬුවේ තාවකාලික ලිහිලක් ලබාගැනීම. දෙක, උතුරේ ප්ර ශ්නය පිලිබඳ අඩුම තරමින් පෙඩරල් විසඳුමකට හෝ යන්නට ලැබෙන ඉඩකඩ පාදාගැනීම. තුන, ලැබෙන ඉන්ටවල් එක තුළ වාමාංශික ව්යාෙපාරය හැකිතරම් ව්යානප්ත වීම කළහැකිය කියා මා විශ්වාස කිරීම. විශේෂයෙන්ම උතුරේ වාමාංශික ක්රිියාකාරීත්වය උඩට ගැනීම. හතර, කවදාවත් සඳලුතලෙන් බහින්න නොහිතපු උද්දච්ච මිනීමරු චෞර ග්රා ම්යි වැඩවසම් ජාතිවාදී සනුහරයක් ගෙදර යැව්වම ගන්න පුළුවන් සරල මනුෂ්යහ තෘප්තිය. ඔව් තුසිත, මේ ආණ්ඩුවත් හරයෙන් දශමයක්වත් වෙනස් නැති පැරණි පන්නයේම ධනපති ආණ්ඩුවක් තමයි. එක්කෝ අපි මහා මර්දනයකට ඉක්මනින් ළඟා වනු පිණිස පැරණි රෙජීමය තබාගත යුතුව තිබුනා. නැත්නම් අනාගතයේ එන මහා මර්දනයට කල් අරන් සූදානම් වෙන්න අරගලයට වෙලාව හොයාගත යුතුව තිබුනා. කවි සින්දු කැම්පේන් ටැග් ලයින් කයිකතන්දර සේරම පැත්තකින් තිබ්බම ඇත්තම කතන්දරේ ඔන්න ඕක. 94 දී සෝමවංශ අමරසිංහ සහෝදරයා හරි ලස්සනට මේක කිව්වා.``ධනපති පන්තිය එක කරකින් අනිත් කරට තුවක්කු බඳ මාරුකරන්න හදන්නේ. අන්න ඒ පොඩි මොහොත පාවිච්චි කරලා අපි දේශපාලනය තෝරමු`` කියල.

බලයට පත්වන විට ඔවුන් මාධ්‍ය නිදහස ගැන කතා කළා.. එන්න එන්න කෝටුව අතට ගන්නවා පේන්නේ නැද්ද ? ජනපති , අගමැති..?

පේනවා. හොඳට පේනවා. අපි අරගල කරමු ඊට විරුද්ධව. වෙන කළ හැකි කිසිවක් නැහැ.


ලංකාවේ වාම ව්‍යාපාරය මේ මොහොත වන විට පත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් හා වාමවාදී යැයි පවසන ව්‍යාපාර ධනේෂ්වරය සමග පවතින ඇගෑලුම් කම් ඔබ වාමවාදී දේශපාලනයේ නිරත වූවෙකු ලෙස දකින්නේ කොහොමද ?

සෝමවංශ සහෝදරයා 94 කිව්වා වගේ ධනපති පන්තිය එක කරකින් අනිත් කරට තුවක්කු බඳ මාරුකරන කරන හැමවෙලාවකම එක් හෝ තවත් ආකාරයකට - සෘජුව හෝ වක්රනව - පාරෙන් ඉඩදී පෙරහැරට ඔහේ යන්න දෙන එක සදාකාලික වාමාංශික ඉරණම බවට පත්විය යුතු නැහැ. අර උපමාව අනුව `තුවක්කුව` හෙවත් රාජ්‍යයක බලය වම විසින් අත්පත් කරගනු ලබන්නේ නැද්ද ? 94 සිට 2015 දක්වා ආ ගමනේ අන්න ඒ ඉලක්ක සහගතභාවය - න්‍යායික සහ ව්‍යවහාරික නිරවුල්භාවය - අත්‍යාවශ්‍ය කාරණාවක් වන වාමාංශික (පක්ෂයේ නොවේ) ව්‍යාපාරයේ අභ්‍යන්තර සමගිය ;මේ දේවල්වලට මොකද වුණේ? මෙතැනින් එහාට වුනත් එකී ධනාත්මක සාධක අත්පත්කර නොගත්තොත් ආයෙමත් තීරණාත්මක බල හුවමාරුවකදී පාරෙන් අයිනට වෙන්න සිද්ධ වෙනවා. සෝමවංශ සහෝදරයගෙ උපමාව හැමදාටම නිදහසට කරුණක් නෙවෙයිනේ. හැබැයි ඒ සඳහා වෙනස් වෙන්න ඕනේ. අලුත් වෙන්න ඕනේ. යල්පැනගිය පැරණි සටන් මාදිලි දෙවරක් නොසිතා අතහරින්න ඕනේ. එහෙම නැත්නම් හැමදාම සිද්ධ වෙන්නේ එළිපිට හෝ හොරෙන් - දැන හෝ නොදැන - කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එක් හෝ තවත් ධනේශ්වර කණ්ඩායමකින් යැපෙන්න - ඒවාට මුක්කුවක් වෙන්න. ඉතින් ඉලක්කය නිරවුල් වී - සියලු වමේ කණ්ඩායම් අතර සමගිය ගොඩනැගෙන්නේ යම් මොහොතකද අන්න ඒ මොහොතේ මට එතැන හිටගන්නට දෙවරක් කල්පනා කිරීමට අවශ්ය් නැහැ. මම විතරක් නෙවේ මා සිතන අන්දමට ඔබ මා වැනි බොහෝ දෙනෙකු මේ මොහොතේ නරඹන්නන්ගේ භූමිකාවට පණ දෙනවා එය අවසන් කිරීම සඳහා තීරණාත්මක මොහොත එන තෙක්. ඉතින් ; සමගිය අත්ය වශ්යණයි. `න්‍යායික ප්‍රශ්නේ`නම් කොහොමහරි විසඳගන්න පුළුවන්. ඒත් `නායක ප්‍රශ්න` අමාරුයි. කෙසේවෙතත් සමගියෙන් තොරව වමට ගමනක් නැහැ. ඒ පිළිබඳව භක්තියක් නොවේ විශ්වාසයක් මට තිබෙනවා.


ෆේස් බුක් එක නිර්මාණවලට කැඩපතක්ද ?

ඔව් ෆේස්බුක් යනු නිර්මාණවලට කැඩපතක්. එහෙත් ජීවිතවලට විශාලිත අතාත්වික ප්‍රතිබිම්බ පෙන්වන දර්පණයක්.

පහුගිය කාලයේ ඉතා නිර්මාණශීලී කාව්‍ය රචනාවන් ඔබගෙන් අප දුටුවා. මොකද්ද අනුගමනය කරන කවි ශෛලිය ?

අනේ එහෙම මහලොකු ශෛලියක් නැහැ. හිතට දැනෙන දේවල් දැනෙන විදිහට පෙළගස්වනවා. සමහර ඒවා ගද්යඑ කිව්වහැකි. සමහර ඒවා පද්යන කිව්වහැකි. එච්චරයි. ඒ හැරුනම කියන්න තියෙන්නේ හතරපද කවි වලට ඩිංගක් කැමතියි කියන එකයි. ඔන්න ඕක තමා ඉතින් මහලොකු ශෛලිය.

කාටද මේ කවිවලින් ගීතවලින් කතා කරන්නේ ?

මා ඇතුළු හැමෝටම.

 වර්තමාන මිනිස් ජීවිතය කවර ලෙසකින්ද ඔබ දකින්නේ ?මේ ප්‍රශ්නය නගන්නේම ඔබ ඩබල් ගේමක් ගැන නිර්මාණයකින් ප්‍රකාශ කොට තිබුන නිසා.

ආ ඔව්. `ඩබල් ගේමක්`ම නෙවේ `ඩබල් තත්වයක්` ගැන මම ලිව්වේ. මේක හරිම අමාරු යුගයක් වාමාංශික අදහස් දරන මිනිස්සුන්ට. මේ ක්‍රමය තුළ ශුද්ධ වූ සියල්ල කෙළෙසේය කියලා මාක්ස් සහ එංගල්ස් 1848 ලිව්ව බව දැන දැන - මිනිහකු සහ මිනිහකු අතර නග්න ස්වාර්ථකාමය හැර, අනුකම්පා විරහිත ලෙස මුදල් ගෙවීම හැර, වෙනත් කිසිදු සබඳකමක් ඉතිරි නොකරන්නේය කියලා කොමියුනිස්ට් ප්‍රකාශනයේ තිබ්බ බව දැන දැන - ඒවා අපේ ජීවිත තුළින් සහ පිටතින් අහුවෙනකොට පිස්සු හැදෙනවා. හැමෝම රහසෙන් හොඳටම කෙළෙසිලා එකිනෙකාගේ කන්‍යාභාවය හොයන විකාර තත්වයක අපි ඉන්නේ. ඔබ මම වැනි හැමෝටම එය පොදුයි. 71 තරුණයකුට තෝරාගන්න මාවතක් තිබ්බා.89 තරුණයකුට තෝරාගන්න මාවතක් තිබ්බා. හරි හෝ වැරදි වෙන්න පුළුවන් - අවංකව හිතට එකඟව තෝරාගත හැකි මාවතක් තිබ්බා. ඇතුළත පිටත ඩීල් දේශපාලනය දෑහින් දැක දැක මාවතක් හොයාගන්න අමාරු තත්වයක අපි ඉන්නේ. අනෙක් පැත්තෙන් මේ ඇඩ්වටයිසින් විශ්වයේ සංකල්ප විකුණන්න සිද්ධ වෙලා තොගේට සහ සිල්ලරටත්. ඔව්, කොමියුනිස්ට් ප්‍රකාශනයේ ඉතා නිවැරදිව කී ලෙසම ආත්මාර්ථකාමී ගණන්බැලීම නැමැති අයිස් වතුරෙහි අපේ ජීවිත ගිල්වා දමන තත්වයක අපි ඉන්නේ. ඇත්ත නැත්ත දැන දැන පෙනී සිටින්න හරිහමන් ඇත්තක් නැති වෙච්ච - දැන හෝ නොදැන සෘජුව හෝ වක්ර ව නැත්තට සේවය කරන්න සිද්ද වෙච්ච මොහොතක් මේක. අන්න ඒක තමයි මම හිතන්නේ `ඩබල් තත්වයක්` කියලා. හැබැයි මේ විකාර සහගතභාවය පුපුරවාගෙන නැගිටින සිහිනය අත්හරින්න බැහැ !

ඔබ ජීවිතය විඳිනවාද ?

ජීවිතය කියන්නේ අර්ථදක්වගන්න අමාරුම දේ. ඔව් එකල කසේ වෙතත් මෙකල එය මම දැනුවත්ව විඳිනවා.

ඔබගෙන් එළියට නොපැන්න ක්ෂේත්රේ සම්බන්ධයෙන් පසුතැවෙනවද ?නැතිනම් ඉදිරියේදී බඩු එනවාද ? විශේෂයෙන් චිත්රඑ කතා වැනි දේ ගැන ?

අමාරුවෙන් රූපයක් දෙකක් කුරුටු ගෑවට මම චිත්රදකතා ශිල්පියෙක් නෙවේ ලෝලියෙක්. ඒක පිස්සු හැදෙන අතීතකාමී ෆැන්ටසියක්. යුනිකෝලා නිව්රෝලා සෙන්රෝලා වගේම කර්නල් ඩග්ලස් මොටිමර්ලා ගෝස්ට්ලා ස්පාටකස්ලා ස්කාගස්ලා සල්ෆාලා ලිට්මස්ලා දේදුනුලා කැළුම්ලා ආදී මෙකී නොකී චරිත දහස් ගණනක් සිටින යෝධ මනෝ රාජධානියක් ඒක. විටින් විට ඊට ගොඩවී ඒම මගේ රහස් පුරුද්දක්. එය එසේ තිබෙද්දී, මේ දවස්වල අලුත් වැඩකට - වෙනස් වැඩකට මූලික අඩිතාලම් දමමින් ඉන්නවා. ඒ තමයි මාතර යුගයේ ප්ර කට කවිකාරියන් දෙදෙනකු වූ ගජමන් නෝනා සහ රංචාගොඩ ළමයා යන චරිත මූලික කරගෙන වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීම. ඒ සඳහා අත්‍යාවශ්‍ය වන ඉතිහාස කරක්ගැසීම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒක මූලික වශයෙන්ම ඉතා විශාල අධ්‍යයන වැඩක්. අඩුම තරමේ ලබන වසරේ දෙවැනි භාගය වනවිට ඒ සිහිනය යථාර්ථයක් කරගත හැකි වේය යන අපේක්ෂාව මට තිබෙනවා.

විමල් කැටිපෙආරච්චි කියන්නේ කවුද ?

මාධ්‍ය කම්කරුවෙක්.

සාකච්ඡා කළේ - තුසිත පතිරණ 

ෆොටෝ ගත්තේ - විශ්වනාථ තේනුවර 

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.