Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

කර්මාන්ත පුර ඇති කළාට ආයෝජකයෝ එන්නේ නෑ - ආණ්ඩුවේ ඇමැති චම්පික රණවක

කර්මාන්ත පුර ඇති කළාට ආයෝජකයෝ එන්නේ නෑ - ආණ්ඩුවේ ඇමැති චම්පික රණවක

අධික මුදලක් වැය කරන ව්‍යාපෘති රැසක් ඔබේ අමාත්‍යාංශය යටතේ තිබෙන්නෙ. මේ ව්‍යාපෘතිවල කාර්ය සාධනය පහළ මට්ටමක බවට චෝදනා නැඟෙනවා.

මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නෙ ආණ්ඩුවේ අලුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ. ඒවායේ යම් ප්‍රමාදයක් ඇති වෙනවා. නමුත් අපි පටන්ගත්තු වැඩ කාර්යක්ෂමව කෙරෙනවා.

* එහෙම කාර්යක්ෂම වෙච්ච ව්‍යාපෘති මොනවා ද?

ගැඹුරටම ප්‍රශ්න මතුවෙච්ච අභියෝග එල්ලවෙච්ච පෝට්සිටි ව්‍යාපෘතිය අපි පහුගිය සැප්තැම්බර් මාසෙ නිවැරදි ක්‍රමවේදයට පටන්ගත්තා. ඊට ධීවර, පරිසර විරෝධතා ප්‍රබලව එල්ලවුණා. අදටත් විරෝධතා තියෙනවා. අපි ඒවා මගහරවාගෙන මේ ව්‍යාපෘතිය කරගෙන යනවා. හෝමාගම සිට කඩුවෙලට තාක්ෂණ නගරයේ ආයතන 16ක් ගොඩනැඟෙමින් තිබෙනවා. කටුනායක අධීවේගී මාර්ගය අසල සේවා නගරය, බේ‍ෙර වැව වටේ සංවර්ධනය, මේවා කෙරෙනවා. දුගී දුප්පත් පැල්පත් වාසීන්ට නිවාස සංකීර්ණ යට‍ෙත්, නිවාස 6000ක් දුන්නා. අපේ කාර්යසාධනය නැහැ කියන්නෙ අපි අඬබෙර ගහන්නෙ නැති නිසයි.

* ඔබේ අධීක්ෂණය ඉහළ මට්ටමක තිබුණත් සමහර ව්‍යාපෘතිවල නිලධාරීවාදය නිසා අකාර්යක්ෂමතාවක් පෙන්නනවා නේද?

අපි අලුත් අමාත්‍යංශයක්. අපිට අලුතින් ව්‍යාපෘති සොයාගත යුතුයි. අලුත් ව්‍යාපෘතිවලට සක්‍යතා අධ්‍යන අවශ්‍යයි. ආයෝජකයො හොයාගන්න ඕන. ආණ්ඩුවෙ ණය බර වැඩියි. මේ නිසා රාජ්‍ය අරමුදල් පාවිච්චි කරන්න බැහැ. අපිට පෞද්ගලික අංශයෙ සහාය ලබාගන්න වෙලා තියෙනවා.

* ඔබේ අමාත්‍යංශය රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් දැක්විය යුතුයි. ඒ අරමුණ ජයග්‍රහණය කළ හැකි ද?

ගිය අවුරුද්දෙ දෙවැනි කාර්තුවෙ ආර්ථික වර්ධන වේගය 2%යි. ඒක 4%ක් වුණේ අපි නිසයි. 2016 අන්තිම මාස 06දී රුපියල් බිලියන 275ක් වටින ව්‍යාපෘති 96ක් අපි අනුමත කරල එළියට දැම්ම. ආණ්ඩුව අද මේ ආර්ථික පිම්ම අරගත්තෙ ඒකෙන් තමයි.

* ආණ්ඩුව විදේශ ආයෝජකයො ගැන විස්වාසය තැබුවත්, ඉන් පලක් නොවන බව ද ඔබ කියන්නෙ.

අපේ ආණ්ඩුවෙ සමහරු හිතනව ජයවර්ධන ජනාධිපතිතුමා විවෘත කරපු ආර්ථිකයෙන් මේ රටට අද ආයෝජකයො එනව කියල. එහෙම එන්නෙ නැහැ. ඒ අයට මෙහෙ ලාභ ශ්‍රමය තියෙන්න ඕන. මෙහෙ ලාභ ශ්‍රමය නැහැ. ඒත් බංගලිදේශය, වියට්නාමය, කාම්බෝජය, මියන්මාරයෙ ලාබ ශ්‍රමය තියෙනවා. ලාභ බලශක්තිය, පරිසර නීති, ශ්‍රම නීති මෙහෙ නැහැ. මෙහෙට ආයෝජකයො එන්න හේතුවක් මට නම් පේන්නෙ නැහැ. කර්මාන්තපුර ඇතිකළා කියලා ආයෝජකයො එන‍්නෙ නැහැ.

* එහෙනම් ආර්ථිකය දියුණු කරන්න ඔබේ යෝජනා මොනවද?

මේ දේශපාලනයට ජාතික හෙළ උරුමය දායක කරපු ප්‍රධානම කාරණය තමයි නවෝත්පාදනය පදනම් කරගත්තු උපායමාර්ග. එතනින් තමයි අපිට ආයෝජන පිම්මක් ගන්න වෙන්නෙ. අපි තාක්ෂණ නගරය ඇති කළේ මේ අරමුණෙන්. හැබැයි ප්‍රතිඵල ලැබෙන්න ටිකක් කල්යයි.

* ගෝඨාභය රාජපක්ෂ කාලයෙ අඩුම තරමින් නගර පිරිසුදු බවවත් තිබුණා. දැන් කිසිම නඩත්තුවක් වෙන්නෙ නැහැ කියල කියනවා.

මේව පතුරන කතා. චන්ද්‍රිකාගෙ ආණ්ඩුව ආවහම මිනිස්සු මොකද කිව්වේ. කෝ... සිරිසේන කුරේ ඉන්න කාලෙනම් කොළඹ ලස්සනට තිබුණා. ප්‍රේමදාස මහත්තයගෙ කාලෙනම් ගෙවල් හැදුන දැන් ගෙවල් හැදෙන්නෙ නැහැ. මේව කතා විතරයි.

* ගෝඨාභය රාජපක්ෂ කාලෙ මිනිස්සුන්ට දැනෙන වැඩක් කළා කියලයි කියන්නෙ.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ශක්තීන් කිහිපයක් තිබුණා.

භාණ්ඩාගාරයෙන් අසීමිත ධනයක් ඔහුට ලැබුණා. රාජ්‍ය ආදායමෙන් 97%ක් රාජපක්ෂවරු තුන්දෙනාට ගියේ. ඔහුට සහායට ආරක්ෂක අංශවල දහ පහළොස් දහසක් හිටිය. ඒ කාලෙ ඩොලර් මිලියන 215ක ලෝක බැංකු ව්‍යාපෘතිය ලංකාවට ලැබුණා. ඒ ව්‍යාපෘතිය අදටත් ක්‍රියාත්මකයි. දැන් ඒ ව්‍යාපෘතිය යොමුවෙලා තියෙන්නෙ ගංවතුර පාලනයට. හැබැයි ව්‍යාපෘතිය යටතෙ අදටත් පාරවල් ටික හැදෙනවා.

* එදා ව්‍යාපෘති ජනතාවට දැනෙන්නයි අද ජනතාවට නොදැනෙන්නයි හේතුවක් තියෙනවද?

ඔය කියන නගර ලස්සන කිරී‍මේ, වැදගත් ප්‍රශ්න දෙකක් තිබුණා. සාලෙ ලස්සන කළාට කුස්සිය, වැසිකිළිය ලස්සන කළේ නැහැ. ඒ නිසා මීතොටමුල්ලෙ, කරදියානෙ කුණු කඳු ඇතිවුණා. අනික තමයි, මේක පිටිපස්සෙ තිබුණ අසීමාන්තික ධන මංකොල්ලය. පාර්ලිමේන්තුවට ඇතුල්වෙන තැන තියෙන පාලම හොඳයි. ලස්සනයි. පාරවල් 06ක පාලමක්, හැබැයි ඒකට ලැබිල තියෙන ඉංජිනේරු ඇස්‍තමේන්තුව වගේ හතර ගුණයක් වියදම් කළා.

ගෝඨාභය මහත්තය ලස්සන කරපු කෝට්ටෙ ආසනේ ඡන්ද ප්‍රතිඵලය මොකක් ද? බැසිල් මහත්තය හැම පාරක්ම කාපට් කරල ලස්සන කරපු ගම්පහ මොකක්ද ඡන්ද ප්‍රතිඵලය. ඔවුන් මේ තැන්වලින් අන්ත පරාජයකට පත්වුණා. උගත්, වියත් ජනතාව දැනගත්ත මේ ලස්සන කිරීම් පිටිපස්සෙ විශාල මංකොල්ලයක් තියෙන බව.

* ඔබ කියනව, විශාල මං‍කොල්ලයක් වුණා කියල. මංකොල්ලකාරයින්ට දඬුවම් කරනව කිව්ව ආණ්ඩුව කාටවත් දඬුවම් කරල නැහැනෙ.

ඒක මේ ආණ්ඩුව කරපු බරපතළ දේශපාලන වරදක්. උසාවිය ස්වාධීන කළා. ඒත් ඒක අපක්ෂපාතී නැහැ. පහළ අධිකරණයෙන් අත්අඩංගුවට ගන්නව, ඉහළ අධිකරණයෙන් ඇප ගන්නව. එහෙම නැත්නම් අත්අඩංගුවට ගන්න එපා කියල නියෝගයක් ගන්නව. අවුරුදු ගාණක් නඩු කල් යනවා. සමහර මිනිස්සුන්ට ඇප ලැබෙන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවටත් හොරෙන්. යුක්තිය ඉටුවෙන්නෙ නැහැ.

දේශපාලන වශයෙන් සමහරුන්ව ගලවගන්න ක්‍රියාමාර්ගත් දියත් වෙනවා. මේ ජනාධිපතිටයි අගමැතිටයි මහජනයා ඡන්දෙ දුන්නෙ දූෂණයෙන් තොර රටක් ඇති කරන්න. මේක ආණ්ඩුවට පාරා වළල්ලක් වෙනවා. ඒ වගේම විමර්ශනවල තියෙන තාක්ෂණික දුර්වලතාත් බලපානවා. හොඳ විමර්ශකයො නැහැ. හොඳම උදාහරණය ගල් අඟුරු වංචාව. ඒකෙ සමහර තොරතුරු වැරදියි. ගල් අඟුරු වංචාවට තිත තිබ්බෙ මම.

* ගල්ලෙන බිඳගෙන එළියට ආපු ඔබ මේ කාරණාවලදී නිහඬ ඇයි?

දුෂණ වංචා සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් හදන්න කියල මුල්ම කැබිනට් පත්‍රිකාව 2015 ජනවාරි දැම්මෙ මම. ඊට පස්සෙ අවස්ථා 4කදි කැබිනට් පත්‍රිකා ආව. අලුත් පනතකුත් අපි ගෙනාව. මේව කවුරු කවුරුහරි එකතුවෙලා යට ගහනවා. බැඳුම්කරේ ගැන පත්තර පිටු ගණන් යනව. රූපවාහිනියෙ ප්‍රධාන ප්‍රවෘත්තිය වෙනව. මහින්ද රාජපක්ෂ යුගයෙ හොරකම් ගැන මෙහෙම නඩු විභාග වෙනව දකින්නයි මිනිස්සු බලාපොරොත්තු වුණේ. අන්තිමට වුණේ මේ ආණ්ඩුවෙම එකක්, මිනිස්සුන්ට දකින්න. මේක මහා ඛේදවාචකයක්.

*බස් මංතීරු අත්හිටුවලා, ඇයි එහෙම වුණේ.

ඒක බොරු කතාවක්. අපි කළේ පරීක්ෂණයක්. ඒකෙ ප්‍රතිඵලවලට අනුව ඉදිරියෙදි ක්‍රියාත්මක වෙනවා. බත්තරමුල්ලෙ සිට පිටකොටුවට, ගාලුපාරෙ ස්ථාන කිහිපයක තුන්මුල්ල හන්දියෙ ඉඳල දිගට මේ වැඩපිළිවෙළ කරන්න කැබිනට් පත්‍රිකාවක් දාල තියෙන්නෙ.

* හම්බන්තොට වරාය චීනයට බදුදීම ගැන මොකද කියන්නෙ.

හැම පුද්ගලයෙක්ම මේ වරාය නිසා රුපියල් 1800ක ණය කාරයෙක් වෙලා. මේ වරාය කරගෙන යන්න වරාය අධිකාරියට තව ඩොලර් මිලියන 600ක් 700ක් දාන්න වෙනවා. ඒ ප්‍රදේශය මීට වඩා සංවර්ධනය වෙන්න ඕන. මේ කිසිවක් අපට කරන්න බැරිවෙලා. ඒ නිසා මේකට උපායමාර්ගික සහයකයෙක් අවශ්‍යයි. මේ වරායෙ කොන්ක්‍රීට් හරි යකඩවල වටිනාකම නෙවෙයි වරායක වටිනාකම කියන්නෙ මේ ගනුදෙනුවලදි වරාය අගයපු විදිය හරිද කියන ප්‍රශ්නය තියෙනවා. නීති ගැටලු ඒ වගේම මේ අය නැතුව වෙන කණ්ඩායමක් හිටියෙ නැද්ද වගේ ගැටලු තියෙනවා.

* හම්බන්තොට වරාය අනුකමිටුවෙන් ඔබ ඉල්ලා අස්වෙන්නෙ ඇයි?

අනුග්‍රාහක ගිවිසුම නිර්මාණය කිරීමේ කමිටුවෙ හිටියෙ සරත් අමුණුගම, සාගල රත්නායක, මලික් සමරවික්‍රම වගේ අය. මම ඒකෙ හිටියෙ නැහැ. ගිවිසුම හදල ක්‍රියාත්මක කරන්න ඕන ඒකට වගකිව යුතු අය. ආයෝජන ප්‍රවර්ධන, මුදල් ඇමතිතුමා වගේ අයයි ඒකට ඕන. මගේ සම්බන්ධයක් ඒකට අවශ්‍ය නැහැ.

* රාජ්‍ය සම්පත් විකිණීම මේ ආණ්ඩුවෙ පිළිවෙත වෙලා කියල චෝදනා එල්ලවෙනවා.

සමහර රාජ්‍ය සම්පත් රජය විසින් විධිමත් කළමනාකරණයකට ලක්කළ යුතුයි. සමහර ඒවා පෞද්ගලික අංශයත් එක්ක එකතුවෙලා කළමනාකරණයෙදි ප්‍රශ්න ඇතිවෙලා නැහැ. ටෙලිකොම් එක සාර්ථක වුණා, ස‍තොස අසාර්ථක වුණා. විදුලිය, තෙල්, දුම්රිය, වරාය, ගුවන් සේවා මේවා රාජ්‍ය ආයතන. මේව කාර්යක්ෂමව තියෙන්න ඕන. මේ එකක හරි පාඩුවක් වුණොත් ඒක ජාතික ආර්ථිකයට බලපානව. අපේ ගුවන් සේවය ගිය අවුරුද්දෙ මිලියන විසි දෙදහසක් පාඩුයි. ඒ මේ රටේ මිනිස්සුන්ට කන්න දීලද, ලයිට් දීලද, එහෙනම් මේක මොකටද?

*මේවා පෞද්ගලික වීම නිසා රටේ අනන්‍යතාවට බරපතළ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේද?

නැහැ. එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ඔය ගුවන් සේවා ආණ්ඩුවට පවත්වාගෙන යන්න බැහැ. එයා ඉන්ඩියා එකවත් පවත්වාගෙන යන්න බැරිවුණා. බ්‍රිටිෂ් එයාවේස් එක දැන් කෝ...?

* ඔබ ඔය කියන්නෙ හෙළ උරුමයෙ අදහස ද වෙනත් කා‍ෙග හරි අදහසක් ද?

ජාතික හෙළ උරුමය අපේම ප්‍රායෝගික ව්‍යාපාරයක්. අපි මහින්ද මහත්තයට පංචබල කේන්ද්‍රයක් කරන වැඩපිළිවෙළ ඉදිරිපත් කළා. ඒක ඔහු පිළිගත්ත. රනිල් වික්‍රමසිංහ මහත්තයට නවෝත්පාදන වැඩපිළිවෙළ ඉදිරිපත් කළා. ඒක ඔහු පිළිගත්ත. අපි වැඩ කරන්නෙ පුළුල් දෘෂ්ටියකින්.

* පෙරළියක පෙරමග ආණ්ඩුවට අභියෝගයක් වෙයි ද?

ආණ්ඩුවට යම් බලපෑමක් තියෙයි. ඕක වැඩියෙන්ම බලපාන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මෛත්‍රීපාල සිරිසේන මහත්තයව දේශපාලනික වශයෙන් පක්ෂය තුළ කොන් කිරීම තමයි මේ වෙලාවෙ ඔවුන්ගෙ අරමුණ.

* ආණ්ඩුව ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්නයි හදන්නෙ කියල දිනේෂ් ගුණවර්ධන මහත්තය කියනවා.

දිනේෂ් මහත්තයත් ඔය ව්‍යවස්ථාව හදන කොමිටියෙ ඉන්නවනෙ. එයා ඒක හොඳට දන්නවා.

*මේ ආණ්ඩුව යටතෙ දිගින් දිගටම රුපියල අව ප්‍රමාණය වීම හොඳ තත්ත්වයක් නොවෙයි නේද?

ඕක ගැන ඕනවට වඩා කලබල වෙන්න ඕන නැහැ. සමහර රටවල් අපනයනයට හොඳ මිලක් ගන්න ඔය වගේ දේවල් කරනවා. සමමිතිකව තියෙනවනම් තමයි හොඳ‍‍‍.

*අපේ අපනයන ක්ෂේත්‍රයෙ දියුණුවක් නැහැ නේද?

ඒක එකතැන පල්වෙනවනෙ. 1990 අපේ අපනයනය ‍ඩොලර් මිලියන 5යි. ඒකට සමාන ප්‍රමාණයක් වියට්නාමයෙත් තිබුණ. අද වියට්නාමයෙ ඩොලර් මිලියන 175යි. අපි එකතැන පල්වෙනවා. ඒක නවත්වන්න සාම්ප්‍රදායික තේ, පොල්, රබර්, ඇඟලුම්වලට බැහැ. දැනුම පදනම් වෙච්ච සේවා විකිනීමට අපි යන්න ඕන.

*අතුරලියෙ රතන හාමුදුරුවන්ට හෙළ උරුමය හැරයන්න බලපෑ හේතු කාරනා මොනවද?

ඒක උන්වහන්සෙගෙ අයිතිය. මීට ඉස්සෙල්ලත් හාමුදුරුවරු පක්ෂයෙන් ගියා. ඒක පක්ෂයට හානියක් නොවෙයි. පක්ෂයක් කියන්නෙ සංවිධානයක්. සංවිධාන විනය යටතෙ එතන ඉන්න ඕන. උන්වහන්සෙට ඡන්දෙ දුන්නෙ එ.ජා.ප. ඡන්ද දායකයො. මඟට ගිහින් මං ස්වාධීනයි කියන්න බැහැ. එහෙනම් මන්ත්‍රී ධුරය දීලයි යන්න ඕන. අනුන්ගෙ දෙයක් ගැනීම අදත්තාදානය.

*ජනතාව මත දිගින් දිගටම බදුබර පැටවීම ගැන මොකද කියන්නෙ.

රාජ්‍ය ආදායම බිඳවැටීම නිසයි එහෙම වුණේ. ඒක කනගාටුදායක තත්ත්වයක්. බදු වැඩි නොකළොත් ආණ්ඩුව බං‍කොලොත් වෙනවා.

*එහෙම වුණත් මැති ඇමතිවරුන්ගෙ වියදම් ඕනවටත් වැඩියි නේද? අලුතින් වාහන එහෙමත් ගෙන්වනවා.

ඕව හුඟක් දෙනෙක් ජනප්‍රිය වෙන්න කියන කතා. මම නම් වාහන අරගෙන නැහැ. මැති ඇමැතිවරුන්ට වාහන අවශ්‍යයිනෙ. වාහන අවශ්‍ය අයට දිය යුතුයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.