Menu

logo new 2015-5-11

Shamrock-png

දානේ අවුල් නම් දන්සැල් කැන්සල් - උපුල් රෝහණ

දානේ අවුල් නම් දන්සැල් කැන්සල් - උපුල් රෝහණ

* පවතින පීඩාකාරී කාලගුණික තත්ත්වය ජනතාවගේ සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන කිවුවොත්?

දැනට ඇතිවෙලා තියෙන කාලගුණික තත්ත්වය කිහිප ආකාරයකින්ම ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් කරනවා. එකක් තමයි මේ නියං කාලගුණයත් එක්ක ඇතිවී තිබෙන ජල හිඟය නිසා සෞඛ්‍ය තර්ජන කිහිපයක්ම එල්ලවෙලා තියෙනවා. මෙහිදී වඩා වැදගත් කාරණා දෙකක් මේ තුළ තියෙනවා. ඉන් එකක් තමයි පවතින ජල ප්‍රභව (මූලාශ්‍ර) අපවිත්‍ර වී තිබීම. අනෙක තමයි නියඟයට උත්තර හොයන්න , ඉල්ලුමට අවශ්‍ය සැපයුම දෙන්න හතු පිපෙනවා වගේ බිහිවෙලා තියෙන ජලය අලෙවි කරන ව්‍යාපාරිකයන් ඔවුන් මේ කර්මාන්තය සඳහා ලියාපදිංචිවෙලා ඕනෑම ජල ප්‍රභවයකින් ජලය අරගෙන විකුණන තත්ත්වයට පත්වෙලා.

පවතින කාලගුණ හා දේශගුණ තත්ත්වයත් බෝවෙන රෝග පැතිරයාමට විශාල පිටිවහලක් වෙලා. මොකද පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාම මදුරුවන්, මැස්සන් වගේ සතුන්ට හිතකරයි. පවතින අධික අව්රශ්මිය මහජනතාවට ප්‍රශ්නයක්, ගැටලුවක් වෙලා. මේ අධික අව්රශ්මිය සමඟ වැටෙන කිරණ වර්ග ඇස් රෝග හා සම් රෝග පැතිරීමට හේතුවක් වෙලා.

* මේ පවතින කාලගුණික තත්ත්වය යටතේ ජනතාව තම සෞඛ්‍ය රැකගැනීම සඳහා අනුගමනය කළයුතු විශේෂ ක්‍රියාමාර්ග තියෙනවාද?

ඔව්. පළමු කාරණය තමයි විශ්වාසය ඇති තැනකින් ආහාර හා ජලය පමණක් භාවිතා කිරීම. නිවසේදී උණුකර නිවාගත් ජලය හා නිවස තුළ සකස්කරගත් ආහාර බැහැරගත වීමේදී රැගෙන යෑම ඉතාමත් කාලෝචිතයි. ඒවාගේම පානීය ජල බෝතල් මිලදී ගැනීමේදී මූඩියේ ඇති මුද්‍රාව හා ලේබලය ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. ව්‍යාජ ලෙස මුද්‍රා තබමින් ප්‍රමිතියෙන් ‍තොරව පුරවන ලද ජලබෝතල්ද වෙළෙඳපොළ තුළ තිබෙන බව අප දැන සිටිය යුතුයි. අව් රශ්මිය හැකිතරම් නිරාවරණය නොවීම ඉතා වැදගත්. ඒ සඳහා ආරක්ෂිත උපක්‍රම භාවිත කරන්න ඕනෑ.

* අව් රශ්මිය අපේ රටේ පාසල් දරුවන්ට සෘජුවම බලපානවා?

දරුවෝ සෙල්ලම් කරනවා. දුවනවා පනිනවා තියෙන්නේ සාමාන්‍ය දෙයක්. නමුත් මේ පවතින දැඩි අව්රශ්මිය එක්ක වෙනදා විදිහටම අව්රශ්මියට නිරාවරණය වෙමින් ක්‍රීඩාවේ නිරත වුණොත්, මහන්සි වුණොත් විජලනයට පත්වෙලා සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවීමට විශාල ඉඩකඩක් තියෙනවා. ක්‍රීඩාවක නිරතවන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්.

පිපාසය නිවාගැනීමට පිරිසුදු ජලය පානය කිරීම කළයුතුයි. සෑම පාසල් දරුවෙකුටම උතුරවා නිවාගත් ජලය බෝතලයක් පාසල් රැගෙන යෑමට ලබාදීම මවුපියන්ගේ වගකීමයි.

* දන්සල් නිසා මතුවන සෞඛ්‍ය ගැටලු යම් තරමකට සංකීර්ණයි නේද?

ගෙදරදී කෑම කාලා විෂ වුණොත් ඒ රෝගියා වාර්තාවෙන්නේ ළඟම තියෙන රෝහලින්. නමුත් අපි හිතමු අනුරාධපුරේ දන්සැලින් දහවල් කෑම කාපු පුද්ගලයෙකුට රෝග ලක්ෂණ දැනෙන්නේ රාත්‍රියේදීයි. එවිට ඔහු ප්‍රතිකාර ගන්න එන්නේ මාතර රෝහලට විය හැකියි. මේ වන කොට අදාළ සිද්ධියට හේතුවූ කාරණා හඳුනා ගන්න බෑ. තොරතුරු සොයා ගැනීම අපහසුයි. එතකොට මේක දීර්ඝ ලෙස පැතිරිලා. වෙන්න ඕන දේවෙලා ඉවරයි.

* දන්සල් සඳහා නීති රීති හඳුන්වා දෙන්නේ අප රටේ කුමන අණ පනත් මුල් කරගෙන ද?

ලංකාවේ නීතියේ ආහාර සම්බන්ධව 1980 අංක 27 දරන ආහාර පනත තමයි මුල් වන්නේ. ඒ වගේම බෝවෙන රෝග දැන දැනම පාලනය කිරීමට සහය ලබානොදීම කියන කාරණයට දණ්ඩ නීති සංග්‍රහයේ 260, 261, 262, වගන්ති යොදාගන්න පුළුවන්. ඒ අනුව දන්සැලක් හෝ අළෙවි කිරීමටත් බෙදා හැරීමෙන් සුරක්ෂිත නොවන ආහාර දෙන්න බෑ. එහෙම කරනවා නම් ඒක දඬුවම් ලැබිය යුතු වරදක්. හැබැයි දන්සල් ලියාපදිංචි කරන්න ඕනා කියලා නීතියේ කොහේවත් නෑ. ඒක මහජනතාව ගැන හිතලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරනලද ඉල්ලීමක්.

* දන්සල් පැවැත්වීම සම්බන්ධව මෙසේ නීතිරීති පැනවීම චිරාත් කාලයක් අප රටේ පවත්වන දන්සල් සංස්කෘතිය සඳහා වැටබැඳීමක් කියලා කවුරු හරි කිවුවොත්?

ඉස්සෙල්ලාම කියන්න ඕනා අපි තවම පසුගිය අවුරුදු පහ තුළම දන්සල් සම්බන්ධ වැරදිවලට කිසිවෙකු නීතිය හමුවට පමුණුවලා දඩ ගහලා නෑ. අපි කරන්නේ පීඩා කිරීමක් නොවෙයි. අදාළ ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව දන්සැල පැවැත්වීමට අවශ්‍ය සහය ලබාදීමයි. ඒ වගේම එසේ ආරක්ෂිත ක්‍රමවලින් බාහිරව පවත්වන දන්සල් අපිට තහනම් කරන්න වෙනවා. ඒ මේ රටේ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන්. නමුත් ඔය කියනවා වගේම ඇතැම් රාජ්‍ය ආයතනවල දන්සල් සංවිධානය කරන අය පවා මේ ගැන අපට විරෝධය දක්වපු අවස්ථා තියෙනවා.

* අප ර‍ටේ වාණිජ අරමුණකින් තොරව සද්භාවයෙන්ම සිදුකරන දන්සල් තුළ සුරක්ෂිත ආහාර ලබාදීමක් සිදු නොවීමට බලපාන හේතු ගැන කිවුවොත්?

දන්සැල සංවිධානය කරන බැතිමතුන් ඒ සඳහා විශාල ලෙස කැපවෙනවා. නමුත් නොදැනුවත්කම නිසා සිදුවන අඩුපාඩු මේ සඳහා බලපානවා. ඇතැම් අය තම දන්සැලින් විශාල පිරිසකට ආහාර සපයන්න උත්සාහ කරනවා. මෙසේ දරාගත නොහැකි ලෙස විශාල ප්‍රමාණයක් ආහාර සකස් කිරීමේදී බොහෝ විට නිසි ක්‍රමවේද අනුගමනය කිරීමක් සිදුවන්නේ නෑ.

ඇතැම් දන්සල්වල ආහාර සකස්කරන්නේ වැසිකිළි ආශ්‍රිත ප්‍රදේශවලයි. ඒ සඳහා ජලය ලබා ගන්න වැසිකිළියේ ජලකරාමය යොදාගත් අවස්ථා අපට හමුවෙලා තියෙනවා. ඒවගේම පිසින ලද ආහාර ඇසිරීමේදී බිම කෙසෙල්කොළ අතුරා සිදුකරන අවස්ථා තියෙනවා. මෙම ආහාර සකස් කිරීම සඳහා යොදාගන්නා ජලය ගැන සැලකිල්ලක් නොදැක්වීමත් ප්‍රධාන වරදක්. ඇතැම් අවස්ථාවල බෝවෙන රෝග සඳහා ගොදුරු වී සිටින පුද්ගලයන් ස්වේච්ඡාවෙන්ම දන්සැලේ කටයුතුවලට හවුල් වෙනවා. මෙසේ කටයුතු කිරීමක් ජනතාවගේ සෞඛ්‍යයට හිතකර නෑ.

* දන්සැලක් සංවිධානය කිරීමේදී මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා අවධානය යොමු කළ යුතු කාරණා මොනවාද?

පළමුවෙන්ම දන්සැල පවත්වන ස්ථානය තීන්දු කිරීමේදී ඒ අවට පරිසරය ගැන සැලකිලිමත් විය යුතුයි. අපි උදාහරණයක් ගත්තොත් මීතොටමුල්ල ප්‍රදේශයේ මේ දිනවල බීම දන්සැලක් පැවැත්වීම කෙතරම් සුදුසුද කියලා අපි කල්පනා කරන්න ඕනා.

අනෙක් කාරණය අපි ලබාදෙන ආහාර පාන වර්ග මොනවාද? කියන කාරණයත් වැදගත්. ඒ වාගේම කොපමණ ප්‍රමාණයකට අපි මේ ආහාර පාන ලබාදෙනවාද? ඒ සඳහා සුදුසු නිරෝගී කාර්ය මණ්ඩලයක් හා සුදුසු උපකරණ අපට තියෙනවාද? අපි ලබාගන්නා ජලය කෙතරම් සුරක්ෂිතද? වගේ කාරණා වැදගත්. කල්තියා දන්සැලක් පැවැත්වීම ගැන අපට විධිමත්ව කල්තියා දැන්වූ පසු ලබාගන්නා ජල ප්‍රභවය සෑහීමකට පත්වෙන මට්ටමක තිබිය යුතුයි. අවශ්‍ය නම් ජලසාම්පල් පරීක්ෂා කිරීමටත් කටයුතු කරනවා.

* දන්සල් පැවැත්වීමේදීත් අදාළ දන්සැල සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමත සුරක්ෂිත ආහාර පාන ලබාදෙන දන්සල් ලෙස මහජනතාව දුර තියා දැන ගැනීමට හැකිවෙන පරිදි විශේෂ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම වැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම කාලෝචිතයි නේද?

ඔව් ඔබ ඉදිරිපත් කරන්නේ ඉතා හොඳ සංකල්පයක්. නමුත් මේ වසරේ අපට ඕක ක්‍රියාත්මක කරගන්න බැරිවේවි. ලබන වසරේ සිට ක්‍රියාත්මක කරගන්න පුළුවන් සාර්ථක සංකල්පයක් ලෙස මම දකිනවා. ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා.

* දන්සල් සඳහා නළ ළිං ජලය භාවිතයට ගැනීමට ඉඩ නොදෙන බව ඇතැම් මාධ්‍ය තුළ පළ වුණා. මෙය ගැටලුකාරී තීරණයක් නේද?

නළ ළිං ජලය දන්සැල සඳහා භාවිතා කරන්න බෑ කියන කාරණය අපි කියපු එකක් නොවෙයි. නළ ළිං බොහෝවිට වෙනත් ජල මූලාශ්‍රත් එක්ක ගත්තම සුරක්ෂිතයි. නළ ළිංවල ජලය යොදාගැනීමේදී එම භූගත ජලයේ ප්‍රමිතිය රසායනික සංයුතිය, පිළිබඳ සැලකිල්ලක් දැක්වීම වැදගත්.

* අපේ රටේ ආහාර අලෙවි කරන ස්ථානවල සිදුවන වැරදිවලට මැදිහත්වීමක් හෝ විධිමත් සොයා බැලීමක් සිදු නොකරනවා කියලා කෙනෙක් චෝදනා කළොත්?

ලංකාවේ ආහාරපාන පරිහරණය කරන ආයතන ගත්තම 50%ක්වත් ඒ සුදුසු තත්ත්වයේ නෑ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස ඒ ගැන අපටත් වගකීමක් තියෙනවා. අපි ඒ වගකීම ගන්නවා. ආහාර පාන අලෙවිකරන ආපනශාලා, හෝටල්, තේකඩ සඳහා බලපත්‍රය නිකුත් කරන්නේ පළාත් පාලන ආයතනයයි. ඇතැම් පළාත් පාලන ආයතන මේ බලපත්‍රය ලබාදීමේදී සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ගන්නවා. ඇතැම් පළාත් පාලන ආයතන ගන්නේ නෑ.

* තමන්ගේ බල ප්‍රදේශයේ තියෙන ආපනශාලා සියල්ල සෞඛ්‍යාරක්ෂිතයි කියලා වගකීමක් ඇතිව කියන්න පුළුවන්නම් ඒක අදාළ පළාත් පාලන ආයතනයට ගෞරවයක් නේද?

පැහැදිලිවම ඒක අදාළ පළාත් පාලන ආයතනයට ගෞරවයක්, කීර්තියක්, ඒ වගේම තමන්ගේ බල ප්‍රදේශයේ වෙළඳ ප්‍රජාවටත් එය ඉතාමත් වාසි සහගත තත්ත්වයක්.

* ආරක්ෂිතව අලෙවි කරන ආහාර ප්‍රතික්ෂේප කිරීම පාරිභෝගිකයාගේ වගකීමක් නේද?

අපේ රටේ ඔය වැරදි ආහාර වෙළඳාම නිවැරදිවෙන්නේ නැති එක හේතුවක් තමයි මහජනතාවගේ ඒ පිළිබඳ විරෝධයක් නොමැති වීම. වෙනත් රටවල අනාරක්ෂිතව අලෙවි කරන ආහාර පාරිභෝගිකයෝ ප්‍රතික්ෂේප කරනවා. නමුත් අද අපේ රටේ පාරිභෝගිකයෝ නැත්නම් මහජනතාව ඇඳුම් ආයිත්තම්, පාවහන්, සුවඳ විලවුන්, ජංගම දුරකථන වගේ දේවල් මිලදී ගැනීමේදී ලොකු සැලකිල්ලක්, තත්ත්වය, ප්‍රමිතිය ගැන සොයා බැලීමක් කරනවා. නමුත් තමුන්ගේ සෞඛ්‍යයට සෘජුවම බලපාන ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ඒ සැලකිල්ල දක්වන්නේ නෑ. ලාබෙට පහසුවට තියෙන ඕන දෙයක් මිලදී ගන්න හුරු වෙලා තියෙනවා.

* මේ එළඹෙන වන්දනාසමයේ බැතිමතුන් තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි නේද?

වන්දනා සමය තුළ වෙනදා අපි කතා කරන්නේ රථවාහන අනතුරු හා දියේ ගිලීම් ගැනයි. නමුත් දැන් රට පුරා ඇති ඩෙංගු වසංගත තත්ත්වය ගැනත් දැඩි අවධානයක් යොමු කළ යුතුයි. අපිරිසුදු ජලය පරිහරණයෙන් වැලකීමට වන්දනාවේ යන පිරිස් සඳහා ආරක්ෂිත පිරිසුදු ජලය රැගෙන යෑම වැදගත්. පවතින කාලගුණික තත්ත්වයක් යටතේ වයෝවෘද්ධ පිරිස් හා දරුවන් දැඩිව වෙහෙස මහන්සි වන ආකාරයට වන්දනා සඳහා සහභාගී කරගැනීම නොකළ යුතුයි. කල්තියා නවාතැන් ගැනීම, ආහාර පාන ලබා ගැනීම ආදිය සැලසුම් කොට වන්දනා චාරිකාවල නිරතවීම වැදගත්.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.