Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ආපදා කළමණාකරණ අමාත්‍යංශය නිලධාරීන් පෝෂණය කරන තැනක් - පාලිත තේවරප්පෙරුම

ආපදා කළමණාකරණ අමාත්‍යංශය නිලධාරීන් පෝෂණය කරන තැනක් - පාලිත තේවරප්පෙරුම

■ ඇමැතිතුමා මේ දවස්වල බරටම වැඩ වගේ?

අපි බලාපොරොත්තු නොවුණ විදියට රටේ ලොකු ව්‍යසනයක් වුණානෙ. 1964 අවුරුද්දෙන් පස්සෙ මේ රටේ සිද්ධ වුණු ලොකුම ව්‍යසනය. ඉතින් නොහිතපු වෙලාවක මේ විපත සිද්ධ වුණා. පාරට බැස්සම දැක්කෙ මිනිස්සුන්ගෙ දුක, අඳෝනාව. ඒ දුක ඇස් දෙකට දැක දැක, ෆෝන් ඕෆ් කරගෙන බොරුවක් කරන්න බැහැ. ඉතින් බිම් මට්ටමට බැහැලා මේ මිනිස්සුන්ගෙ දුක වෙනුවෙන් සටන් කරන්න ගත්තා. දැන් නම් හොඳටම වෙහෙසයි.

■ ඇත්තටම දැනට උද්ගත වෙලා තියෙන තත්ත්වයත් එක්ක පැනනැඟිලා තියෙන ගැටලු මොනවද?

තවම මේ මිනිස්සුන්ට වතුර බෝතලයකුයි, බත් පැකට් එකකුයි දීගෙන යන්නෙ. ඊට වඩා දෙයක් තවම දෙන්න පුළුවන්කමක් නැහැ. මේ වෙද්දි කොතෙක් ජීවිත හානි ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවද කියන එක තවම ගණනය කරන්න පුළුවන්කමක් නැහැ. අද පාහියංගල දී විසිහතරකට පාංශකූලය දුන්නා. පොළව යට වැළලිලා එතැනම මිහිදන් වුණු අයට. මම මේ දඟලන්නෙ ජීවත් වෙන මිනිස්සු ටික බේරාගන්න. එක පවුලක දහ දෙනෙක් එකම තැන නැති වෙද්දි, තව පවුලක හත් අට දෙනෙක් එකම තැන මිහිදන් වෙනවා. ජීවිත හානි ඒ වගේ වෙද්දි මේ අයගෙ ගෙවල් දොරවල් ගන්නම දෙයක් නැතිව විනාශ වෙලා. ව්‍යාපාර කටයුතු විනාශ වෙලා. වගාකටයුතු විනාශ වෙලා. මේ පීඩනය රුදුරුයි. ඒ ප්‍රමාණය දවසකින් දෙකකින් ගණනය කරන්න බැරි වෙයි. ඒකට සෑහෙන කාලයක් ගතවෙයි. තවමත් ආපදාවට ලක් වුණු සමහර අය ළඟට අපට යාගන්න බැරිව ගියා. මේ ගමනෙ දී නොගිය තැනක් නැති තරම්. ඒත් තවම කළුතරට යාගන්න මට බැරිව ගියා.

■ මේ ගැටලු අවම කරගන්න ඔබට උදව් කළේ කවුද?

මිනිස්සු උපරිමයෙන්ම මේ කටයුත්තේ දී සහයෝගය දැක්වූවා. බුලත්සිංහල ආසනයෙ සිදු වුණු ව්‍යසනයෙ දී මුස්ලිම් ජනතාව බෝට්ටු ගෙනැවිත් උපරිම සහයෝගය දුන්නා. ගොඩ ඉන්න අය මේ ව්‍යසනය හරියට දැක්කෙ නැහැ. නමුත් මාධ්‍ය හරහා කරන මේ දැනුවත් කිරීමත් එක්ක, අපේ මිනිස්සු බත් බැඳගෙන, වතුර බෝතල් අරගෙන පෙළගැහිලා ආවෙ හරියට බුද්ධ පූජාව දෙනවා වගේ. තවමත් මේ රටේ පුරවැසියො ගෙනත් දෙන බත් පැකට් එක, බතුර බෝතලය තමයි බෙදලා දෙන්නෙ. මම තවම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පළාතකවත් ගියේ නැහැ. මොකද එහෙම ගිහින් ප්‍රශ්න ඇති කරගන්න මම කැමැති නැහැ.

මගේ මට්ටමෙන් මේ සමාජයත් එක්ක එකතු වෙලා මේ වැඩ ටික කරනවා. එතැනින් එහා දෙයක් කරන්න තවම පුළුවන්කමක් නැහැ. ගංවතුර පහව ගියාට පස්සෙ තමයි, අවතැන් වුණේ කවුද, විනාශ වුණු දේපළ ප්‍රමාණය කොපමණද කියන එක නිශ්චිතව දැනගන්න වෙන්නෙ. දැන් බුලත්සිංහල ගංවතුර බහිද්දි, කළුතර යට වෙනවා. මේ ටික සේරම එක ගාණකට ආවට පස්සෙ තමයි මේ හඳුනා ගැනීම නම් කරන්න වෙන්නෙ. පොදුවේ ගත්තම හැම කෙනෙක්ම උදව් කළා. නාවික හමුදාව, ගුවන් හමුදාව, වෛද්‍යවරු මේ හැමෝම උදව් කළා.

■ එතකොට ත්‍රිවිධ හමුදාවෙන් ලැබුණෙ මොන වගේ සහයෝගයක්ද?

මම නම් ත්‍රිවිධ හමුදාවෙන් සහයෝගය ඉල්ලන්න ගියේ නැහැ. අපට වගේ එයාලට තීන්දු තීරණ ගන්න බැහැ. වගකීමක් තියෙනවා. එයාලා බෝට්ටුවක් ගෙනාවොත් බෝට්ටුව බාන්න හෙඞ් ක්වාර්ට්ස්වලට කතා කරලා අහන්න ඕනේ. බෝට්ටුව වතුරට දාන්න අහන්න ඕනේ. ඉතින් මේ අයට ඒ වගේ පොඩි ගැටලු වගයක් තියෙන බව මම දැක්ක නිසා අමුතුවෙන් අහන්න ගියේ නැහැ. ඊයෙ යුද හමුදාවෙ වාහනයක කෑම පටවගෙන ගියා. ටික දුරක් ගිහින් වතුර දැකලා එයාලා ආපහු හැරුණා. ඉතින් අපේ ලොරිවල, කැබ්වල පටවාගෙන අපේ ගමන අපි ගියා. පරගොඩගම සේරම යට වෙලා. මිනිස්සුන්ට දවස් ගාණකින් බොන්න වතුරත් නැහැ. අපි එතනට ගියේ බෝට්ටු අරගෙන. ඒ ගමන ගියේ කඩා වැටුණු ගස් කොළං උඩින්. හරියට කැලයක් මැදින් යනවා වගේ. බෝට්ටුවෙ ඉඳගෙන ඒවා කපලා අයින් කරගෙන ගිය ඒ ගමන හරියට දුෂ්කරයි. අපේ කෙනෙකුගෙ ඇඟිලි දෙකක් කඩලා ගියා. මගෙ අතේ මස් කැදැල්ලක් කඩලා ගියා. ඒ වගේ ලොකු කැපවීමක් කරලා අරගෙන යද්දි, අපට ආරංචියක් ආවා මාකිරිවෙල බන්ට් එක පුපුරලයි කියලා. එතකොට අපි බන්ට් එක කිට්ටුවමයි. අපට ආපහු හැරෙන්න තැනක් නෑ. යන්න තැනක් නෑ. බැරි වෙලාවත් ඒක එහෙම වුණා නම් වෙන විනාශය මොකක්ද කියලා හිතාගන්න බැහැ. ඒ බඩු ටික බාලා රෑ අවසානයේ අපට ගොඩට එන්න බැරිව ගියා. ඒ වගේ ලොකු ගැටලු මැද තමයි මේ වැඬේට එකතු වුණේ. ඒත් අපේ මිනිස්සු පුදුම විදියට ආධාර උපකාර අරගෙන ආවට ඒ හානිය වුණු හරිම තැනට තවම අපට යන්න බැරි වුණා. ඔරුවලින් බෝට්ටුවලින් ඒ අයට සාමාන්‍ය කෑම ප්‍රමාණයක් යවනවා. ඔන්න ඕක තමයි යථාර්ථය. තවම ටෙලිෆෝන් වැඩ නෑ. ගමනාගමන පහසුකම් නෑ. අපට ආරංචි නොවුණු තැන් තව බොහොමයක් තියෙනවා.

■ ඕඩර්ස් නැතිව හෙලිකොප්ටර් එවන්න බැහැයි කියලා ගුවන් හමුදාපති කළ ප්‍රකාශය ගැන ඔබතුමාට මොනවද කියන්න තියෙන්නෙ?

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම්තුමා දිස්ත්‍රික් ලේකම්තුමාට කිව්වා උඩින් කෑම ටිකක් දමන්න චොපර් එකක් තිබුණොත් හොඳයි කියලා. ඒත් දිස්ත්‍රික් ලේකම් කිව්වත් ඔහු ගණන් ගන්නෙ නෑ කිව්වා. ඉතින් මම නාවික හමුදාපතිතුමාට කතා කළා. මොකද එතුමා අපේ ගමේ අපේ අසල්වැසියෙක්. එතුමා මට කිව්වා ගුවන් හමුදාපතිතුමාට කියන්න කියලා. ඒ වෙලාවෙ රිෂාඞ් බදියුදීන් ඇමැතිතුමා ආවා මාරගහදෙණියට. ඔහුට මේ ගැන කිව්වම ඔහු ගුවන් හමුදාපතිට ගත්තා. අරගෙන මට ෆෝන් එක දුන්නා. මම අවශ්‍ය කාරණය ගැන දැනුවත් කළා. මේ මනුස්සයා මගෙ ඇඟට කඩාගෙන පැන්නා, එහෙම කොහෙද, මොන චොපර්ද, කෑම යවලා තියෙන්නෙ කියලා. මං කිව්වා ඔයාලගෙ ගෙදරට ගියාද දන්නෙ නෑ, මෙහෙට නම් ඇවිත් නෑ, ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් අහන්න කියලා. ඒ වෙලාවෙ ඔහු මට ලොකු පාට් එකක් දැම්මා. ඒකට හේතුව ජනාධිපතිතුමා කළුතර දී කැඳවපු රැස්වීමේ දී, බුලත්සිංහල සම සංවිධායක තුසිත ගුණරත්න මැතිතුමා ගුවන් හමුදාවෙ ක්‍රියාකාරකම් ගැන දොස් කියලා තිබුණා. ඒකට පළිගැනීමක් හැටියට තමයි බුලත්සිංහලට කුඩම්මගෙ සැලකිලි දැක්වුවෙ.

■ මහ ලොකු වැස්සකුත් නැතිව මේ තරම් ව්‍යසනයක් සිදු වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද?

මෙහෙට වහිද්දි රත්නපුරේ වැහැලා කුකුළේ ගඟේ වාන් දොරටු සේරම ඇරලා. ඒ හේතුවෙන් හිතාගන්න බැරි විදියේ මහා විශාල ජල කඳක් ආවා. ඇරත් අපේ මිනිස්සු පස් කඳු කපනවා. මහා විශාල ගල්වලට බෝර දමනවා. ඒවායේ ප්‍රතිඵල තමයි මේ. ඒ වගේම පාරවල් හදන්න පස් කඳුවල මුල කපලා තිබුණා. ඒ මුල කැපුවා මිසක් ආරක්ෂක ක්‍රමවේද යොදලා තිබුණෙ නැහැ. මේ වගේ ගැටලු ගොඩක් තිබුණා. පාහියංගල අවදානමක් තිබුණෙ නැහැ. නමුත් කන්ද ආවා. ගඟට කඩා වැටුණා.

■ ඇත්තටම ඇමැතිතුමා පාහියංගල කන්ද ඇවිත් ගඟට කඩා වැටුණට පසුව එතැනත් ඇති වුණේ මහ විනාශයක්?

කන්ද ගඟට කඩා වැටුණා. වතුර පාර හරස් වුණා. ගලා යන වතුර පාර වෙනත් පැත්තකට හැරුණා. ගෙවල් දොරවල් සේරම කුඩු පට්ටම් කරගෙන ගඟ ගලාගෙන ගියා. මේ හැමදේටම මුල පරිසර හානිය. මේකෙ වගකීම මිනිසුන් භාරගත යුතු වෙනවා.

■ මේ අවස්ථාවෙ අගමැතිතුමා වගේම; ආපදා කළමනාකරණ ඇමැතිතුමත් රටේ නැහැ නේද?

එහෙම ආරංචියක් නම් ආවා. මම නම් ඒ ගැන හොයන්න ගියේ නැහැ. කතා කරන්න ගියොත් මගේ හැසිරීමත් එක්ක මට ඒක ඔරොත්තු දෙන්නෙ නැති වෙන්න පුළුවන්. මගේ මට්ටමින් මම මේ මිනිස්සු අතරට ගිහින්, මගේ කොල්ලන්ගෙ උදව් අරගෙන, මිනිසුන්ගෙ සහයෝගය මත මේ වැඬේ ඉන්නවා.

■ ජනතාව මේ වෙද්දි මේ වෙනුවෙන් කැපවෙලා ඉන්නවා. ඒ කියන්නෙ ඒ සහයෝගය ඔබතුමාට නොඅඩුව ලැබෙනවා?

ඔව්. මේ විපතේ දී රට පුරාම මිනිස්සු පුදුම විදියට පෙළගැහෙන්නෙ. බොරලැස්ගමුවෙන් කෑම ගෙනාවා. ඒ විතරක් නෙවෙයි, කුරුණෑගලින්, හලාවතින් පවා කෑම අරගෙන ආවා. රත්මලාන ට්‍රයිස්ටාර් එකේ මහත්තයා ලොරි ගණන් කෑම එව්වා. ඒ උදව් එක්ක තමයි ලොරි හතරක් පහක් පුරවගෙන මේ ගමන ගියේ. මේ වෙලාවෙ බත් ටිකක්, වතුර ටිකක්, ඇඳුම් ටිකක් දීලා මිනිස්සුන්ගෙ ජීවිත ආරක්ෂා කරගන්න එකයි තියෙන්නෙ. රටපුරා මිනිස්සු මේ විදියට ආධාර ගෙනත් දෙද්දි මේ ප්‍රදේශවල ඉන්න සමහරු ඉටිපන්දම විකුණන්නෙත් වැඩි මිලට. මම වැඬේට බේරුවලින් බෝට්ටුවක් ගෙනාවා. ඒක මෙහාට ගේන්න විතරක් ලොරිය රුපියල් දොළොස් දහක් ගත්තා. හිස් ලොරිය ආපහු යද්දි තව බෝට්ටුවක් පැටෙව්වා. ඒකට අට දහක් ගත්තා. ඒ වගේ කල දුටු කල වළ ඉහගන්න මිනිස්සු අප අතර ඉන්නවා. මේක මහ විනාශයක්. සුනාමියටත් වඩා මහ විනාශයක්. ඒත් ඒකෙ බරපතළකම තවම හැමෝම තේරුම් අරගෙන නැහැ. ඒත් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් රත්තරං මනුස්සයා. එයාගෙ වගකීම තේරම් අරගෙන වැඩ ටික කරගෙන යනවා. නමුත් මේ තත්ත්වයට මුහුණ දීපු අයත් මේක හරියට තේරුම් ගන්නෙ නැහැ.

■ විපතට මුහුණ දුන්නු අය මේ ගැන තේරුම් ගන්නෙ නැහැ කිව්වෙ ඇයි?

ඒ අය මොනවා දුන්නත් සෑහීමකට පත් වෙන්නෙ නැහැ. බත් පැකට් එකක් දුන්නම ඒක නරක් වෙලා කියලා බණිනවා. තව එකක් ඉල්ලනවා. නමුත් මේ ව්‍යසනයෙ බරපතළකම එයාලා තේරුම් ගන්නෙ නැහැ. එයාලට මොනවා හරි බෙදන්න ගියාම මෙලෝ සිහියක් නැතිව පොර කනවා. අපි කාන්තාවන්ගෙ යට ඇඳුම් බෙදන්න ගියා. ඒවා උදුරන්න පනින්නෙ පිරිමි. වයසක ආච්චිලත් ඇවිත් පොරකනවා. ඒ වගේම ගංවතුරට අහුනොවුණු පිරිස් පාරට බැහැලා, ආධාර අරගෙන යන එන මඟ පාර අයිනෙ පොදිකකා බලාන ඉන්නෙ, ඒ බඩු ටික ගන්න. වාහනයක් ගිහින් නවතපු හැටියෙ වටකර ගන්නවා. ආයෙ, හෙල්ලෙන්නෙ නෑ ඒ සේරම උදුරගෙන මිසක්. අවදානමකට ලක් වුණු මිනිස්සු පැත්තක. රටේ ඉන්න මිනිස්සු මිනිස්සුන්ගෙ සංවේදීකමට උදව් කරන්නෙ. නමුත් පැත්තක ඉන්න මිනිස්සු ඒකෙ ලාභ ප්‍රයෝජන ගන්නවා. මිනිස්සු එහෙම කරද්දි ආධාර අරගෙන එන අයට එපා වෙනවා. මටත් අද ජීවිතේ ගැන පුදුම විදියට කලකිරුණා.

■ ඕනම ප්‍රශ්නයක් විසඳන්න නම් ඛේදවාචකයක් එන්නම ඕනේ. මේ ගංවතුරත් එක්ක ඒ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙයිද?

ඒත් වැඩක් නැහැ. ඛේදවාචකයක් ආවත් ආපදා කළමනාකරණය තාම එක තැන. මේක එයාලගෙ කාර්යභාරය. මේ වගේ තැනකට බෝට්ටුවක් දෙන එක, බෝට්ටු එන්ජින් එකක් දෙන එක, ඒ වගේ දේවල් එයාලා සතු වගකීම්. එහෙම නැතිව ආපදා කළමනාකරණය කියන්නෙ නිකං නිලධාරීන් පෝෂණය කරන තැනක් වෙලා බැහැ. පසුගිය සිංහල අවුරුද්දෙ මහ ගහක් කඩාගෙන වැටිලා ලොකු විනාශයක් වුණා. ඒ වෙලාවෙ ආපදා කළමනාකරණයට කතා කළාම එයාලා ළඟ වීල්බැරෝවක්වත් නැහැ. එහෙම යාන්ත්‍රණයක් නැති ආපදා කළමනාකරණයක් මොකටද? අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර වගේම ඒවට යොදවන්න තරුණ පුහුණු ශ්‍රමිකයො ඉන්න ඕනෙ, එහෙම කිසිම යාන්ත්‍රණයක් එයාලා ළඟ නැති නිසා මගේ මිනිහා කරන සහනය එයාලාට ලබා දෙන්න බැහැ. ආපදා කළමනාකරණය කියන්නෙ නිලධාරීන් පෝෂණය කරන තැනක් විතරයි.

■ ආපදා කළමනාකරණය කරන්නට බලාගෙන ඉන්නෙ විපතක් සිද්ධ වෙන තුරුද? ඇත්තටම දෙයක් වුණාට පස්සෙ ආධාර දීමෙන් ප්‍රයෝජනයක් තියෙනවද?

ආධාර ලබා දීම ගැනත් මට නම් තේරෙන්නෙ නැහැ. ඇත්තටම මේකත් සුනාමි සහනාධාරය වගේ වෙන්න පුළුවන්. සුනාමියට ආව ආධාරත් සමහරු ගිල්ලනෙ. මේකෙදිත් වෙන්නෙ ඒ ටිකම තමයි. මිනිස්සු අතරට යද්දි සොච්චමයි යන්නෙ. මේකට අපි කවුරු හරි මැදිහත් වෙලා කරන්න ඕනේ. අමාත්‍යවරයෙක් පාරට බැහැලා, ඒ අවදානම තියෙන තැනට ගිහිල්ලා, ඒ ගැන සොයලා බලද්දි නිලධාරීන්ට පොඩි හයියක් එනවා. එයාලට වගකීමක් හිතට එනවා. මේ දේ හරියට කරන්න ඕනේ කියන පොඩි බයක් එනවා. ඒකට අපි මැදිහත් විය යුතුයි.

■ ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා ආපදා සහන සඳහා මුදල් චක්‍රලේඛවලින් පිට ලබා දෙනවයි කියලා. ඒක එහෙම ලැබුණද? එහෙම ලැබෙන එක හොඳයිද?

ඒ දේවල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මේ වෙද්දි නිදහස් කරලයි තියෙන්නෙ. එදා බදියුදීන් ඇමැතිතුමා එහෙම කිව්වා. එහෙම වෙලා තියෙනවද, නැද්ද කියලා, මම නම් දන්නෙ නැහැ. නීත්‍යනුකූලව එහෙම මුදල් නිදහස් කරන්න පුළුවන්ද කියලා මම දන්නෙ නැහැ. නමුත් මේ වගේ වෙලාවක එහෙම දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ජනාධිපතිතුමා සංවේදී වෙලා ඇත්තටම මේ වැඬේට බැස්සා. එතුමා ආවා. සාකච්ඡා කළා. නිලධාරීන් කැඳෙව්වා. නියෝග දුන්නා. යුද හමුදාව, ගුවන් හමුදාව පාරට බැස්සා. ඒත් මිනිස්සුන්ගෙන් ලොකු අඳෝනාවක් තියෙනවා.

■ ඇත්තටම රජයක් විදියට කළ යුතු දේ කරන්නෙ නැතුව මහ ජනතාව කරන තුරු බලාගෙන ඉන්නවයි කියන මැසිවිල්ල ජනතාව තුළ තියෙනවා?

එක පළාතක, එක වසමක, එක ප්‍රදේශයක දෙයක් සිද්ධ වුණා නම් රජයක් විදියට දෙයක් කරන්න පුළුවන්. නමුත් අද මේ ග්‍රාම සේවක වසමෙ ඉඳලා එහා පැත්තෙ ග්‍රාම සේවක වසමට යන්න බැහැ. තාම මිනිසුන්ට වුණේ මොකද, ඉන්නෙ කොහෙද කියලා අපට හොයාගන්න බැහැ. බුලත්සිංහල ආසනයේ තවම වතුරත් නැති මිනිස්සු ඉන්නවා. එහෙම විපතක් වුණාම රජයක් විදියට එක පාරම මැදිහත් වෙන්න අමාරුයි. ඇත්තටම එහෙම ක්‍රමවේදයක් මේ රටේ නැහැ. මම අද පාහියංගලට ගියා. අදාළ ග්‍රාම නිලධාරිවරයා පැත්ත පළාතට ඇවිත් නැහැ. ග්‍රාම නිලධාරි අත්දෙක වන වනා ආවොත් මිනිස්සු මරාගෙන කන්න හදනවා. මිනිස්සු තේරුම් ගන්නෙ නැහැ. මොකද කරන්නෙ කන්ද නාය යනවා, කවුරුත් ආවෙ නැහැ කිය කියා කෑ ගගහා එතැනට වෙලා ඉන්නවා. මං ඒ අයට කිව්වෙ, කන්ද නාය යනවා නම් දැන් අත තියලා නවත්තන්න බෑනෙ, දැන් ආරක්ෂා තැනකට ගිහින් ජීවිත ආරක්ෂා කරගෙන ලැබෙන දෙයක් කාලා ඉන්න කියලා. මොකද දැන් භූ විද්‍යා එකෙන් ආවයි කියලා නාය යන්නෙ නැහැයි කියලා සහතිකයක් දෙන්න බැහැනෙ. ඒත් මේ අය ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නැහැ. ගෙවල් ඉල්ලනවා. ඉඩම් ඉල්ලනවා. බලෙන් ඉඩම් අත්පත් කරගන්න හදනවා. මෙතැන ගැටලු ගොඩක් තියෙනවා. ඒවා එකින් එක විසඳගන්න ඕනේ. එහෙම නැතුව රජයට විතරක් ඇඟිල්ල දික්කරන එක වැරදියි.

■ මාධ්‍ය ආයතන මෙහි වගකීම කරට අරගෙන කටයුතු කරනවා. නොමසුරුව ආධාරත් ලැබෙනවා. ඒවා බෙදී යාම නිසියාකාරව සිද්ධ වෙනවද?

මම දෙරණෙන්, ස්වර්ණවාහිනියෙන් බඩු අරගෙන යනවා දැක්කා. නමුත් ඒ ආධාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙනවද, එයාලම ගිහින් බෙදනවද කියලා මම දැක්කෙ නැහැ.

මම ඒකට මැදිහත් වුණේ නැහැ. ඒ ආධාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා හෝ, ඒ අය හොයලා බලලා හෝ දෙනවා නම් හොඳයි. මොකද මේ වෙලාවෙ මේ මිනිසුන්ට මොන තරම් දුන්නත් මදි. ඒකයි ඇත්ත. මොකද ඒ අය අවතැන් වෙලා. රැකියාවකට යන්න විදියක් නැහැ. එයාලගෙ ගෙවල් දොරවල් අස්කරගන්න ඕනේ. ඉතින් රජයක් විදියට මැදිහත් වෙලා මේ මිනිසුන්ව පෝෂණය කිරීමේ වගකීම තියෙනවා. මේක ලොකු වගකීමක්. අහවල්ලු කළ යුතුයි කියලා කාටවක්වත් ඇඟිල්ල දික් කරන්න බැහැ. මේක කවුරුත් හිතලා කරපු දෙයක් නෙවෙයි. රජය කරපු දෙයකුත් නෙවෙයි. රත්නපුරේ වතුර වැඩි වෙද්දි වාන් දොරටු ටික හරිනවා කියන්නෙ, ලොකු ව්‍යසනයක්. ඒක සිදු වුණු පළමු වන පාර නෙවෙයි මේ. දෙවන තුන්වන පාර එහෙම වුණේ. මේවට ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඒත් ඒකෙන් ඵලක් නෑ. මොකද ප්‍රභාකරන් පවා කිව්වෙ අපේ මිනිසුන්ට සතියයි දෙකයි මතක තියෙන්නෙ කියලා. සුනාමි වෙලාවෙ මුහුද අයිනෙන් ඉවත් කළා. නමුත් අද නැවතත් එතැන ඉන්නවා. දැන් බුලත්සිංහල ආසනයේ නාය යන අයව තෝරගෙන ඉඩම් දුන්නා. මිනිස්සු ඒ ඉඩම්වල ගෙවල් හදාගත්තා. ඒවා පැත්තකට දාලා අර පරණ තැනටම ගිහින් පදිංචි වුණා. ඒත් මිනිස්සු මේ දේවල් තේරුම් ගන්නෙ නැහැ. දැන් වියංගල්ලෙ එකම පවුලෙ හත් දෙනෙක් යට වුණා. හවස පොලීසියෙන් ඇවිත් එතැනින් අයින් වෙන්න කිව්වා. ඒත් මිනිස්සු ගණන් ගත්තෙ නැහැ. ඒ විදියට යට ගෙයින් අයින් වෙන්න කිව්වම ළමයි ටික අරන් උඩ ගෙදරට ගියා. හැමදෙනාම පොළව යට මිහිදන් වුණා.

■ හැමදාමත් ආපදා. මේ විදියට රටේ සංවර්ධනයට දෙයක් කරන්න රජයට වෙලාවක් නැහැ. හැමදාමත් නෙත ගැටෙන්නෙ ඛේදවාචක. ඉතින් මෙවැනි තත්ත්වයක් උඩ රට ඉදිරියට අරගෙන යන්නෙ කොහොමද?

රජයක් විදියට මේ වෙලාවෙ කරන්න තියෙන්නෙ සංවර්ධනය නෙවෙයි. මේ ඇති වෙලා තියෙන්නෙ ව්‍යසනයට මුහුණ දීලා, ඒ අයට සහන සලසලා, ඒ අයට ජීවත් විය හැකි මට්ටමකට ගෙන එන එක. මෙතෙන්දි රටේ පුරවැසියන්ගෙ ආධාර උපකාරත් තියෙනවා. ඒ මිනිස්සු තමයි කෑම බීම ටික ද වතුර ටික ද දෙන්නෙ. නමුත් රජයක් විදියට මේ මිනිසුන්ගෙ අනාගතය සුරක්ෂිත කළ යුතුයි. මේ ප්‍රදේශ සංවර්ධනය කළ යුතුයි. මොනවා හරි කරලා, ලෝකෙට ණය වෙලා හරි මේ දේ කළ යුතුයි. එහෙම නැතිව මේක ඔය විදියට තියෙන්නෙ ඇරලා බැහැනෙ.

■ මේ කර්තව්‍යයෙදි ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට ලොකු වගකීමක් තියෙනවා නේද?

ඇයි නැත්තෙ. මේකෙ වගකීම තියෙන්නෙ එයාලගෙ අතේ. ආපදාව කළමනාකරණය කරන්න බාරදීලා තියෙන්නෙ ඒ අයට. නමුත් මම නම් තවම එයාලා වැඬේට එකතු වෙලා ඉන්නවා දැක්කෙ නැහැ. එයාලා ළඟ ආපදාවක් වුණාම කළ යුතු ක්‍රමවේදයක් නැහැ. යන්ත්‍ර උපකරණ, අවශ්‍ය නිලධාරීන් නැහැ. මාධ්‍යයට නම් වොයිස් කට් දෙනවා. එහෙම කරලා විතරක් බැහැ. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වශයෙන් මීට වඩා ලොකු මැදිහත් වීමක් තිබෙන්නම ඕනේ. ඒකට නම් මුල ඉඳන්ම සැලසුම්සහගත වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි. දැන් වියන්ගල්ල යට වෙනවා. එහෙම කියලා බලාගෙන ඉන්න බැහැ. වියන්ගල්ල යට වෙන්න හේතු සොයන්න ඕනේ. ඇළ, ගඟ ආදී හේතු සාධක හොයලා ඒවා පිරිසිදු කරන්න ඕනේ. රටක් විදියට මට නම් මේ රටේ වැඩපිළිවෙළ තේරුම් ගන්න බැහැ. කොහොමද මේක හදන්නෙ කියන එක හිතාගන්න අමාරුයි. එතැන දී මිනිසුන්ගෙ ආකල්ප, සිතුම් පැතුම් අදහස් මේ හැමදේම මුල ඉඳලම වෙනස් වෙන්න ඕනේ. අද අනුන්ට හෙණ ගැහුවත් කමක් නැහැ, තමන් විතරක් හැදෙන වැඩපිළිවෙළක්නෙ මිනිසුන්ගෙ ඔළුවෙ තියෙන්නෙ. මොකද පාරක් හදන්න ගියත් එතැන වෙන්නෙ හොරකමක්. බැම්මක් බැන්දත් එතැනත් හොරකමක්. සියයට අසූවක් විතර තියෙන්නෙ හොරකම, වංචාව. මේ හොරකම වංචාව පැත්තක දමලා වැඩ ටික කළා නම් මේ රට සංවර්ධනය වෙලා. නමුත් ඒක නොවෙන එකනෙ වරද.

■ බොහෝ දෙනෙක් පවසන අන්දමට අධිවේගී මාර්ග ඉදිකිරීම මෙවැනි ආපදාවන්ට හේතුවක් වෙනවයි කියන ප්‍රකාශයෙ ඇත්තක් තියෙන්න පුළුවන්ද?

අධිවේගී මාර්ග හදද්දි කන්දක් අහුවුණොත් කන්ද කපනවා. ගලක් අහුවුණොත් ගල කඩනවා. ඕක අධිවේගී මාර්ගයට විතරක් පොදු දෙයක් නෙවෙයි. හැම තැනකම ඔය ගැටලුව තියෙනවා. පරිසරය විනාශ කිරීම හරහා තමයි මේ දේවල් සිද්ධ වෙන්නෙ. අධිවේගී මාර්ග හදන්නෙ නැතුව බෑ. ඒවා හදන්න ඕනේ. අනෙකුත් පාරවල් කපන්න ඕනේ. පාරට වෙන් වෙන මුදලත් එක්ක ඉතිරි ආරක්ෂණ වැඩ ටික කරන්න ක්‍රමයක් නැහැ. සමහරු වන්දි ගෙවලා පාර කපනවා. සමහරු වන්දි නොගෙවා මිනිසුන්ට බොරු කියලා රවටලා පාර කපනවා. මට නම් මේ එකක්වත් තේරුම් ගන්න බැහැ.

■ ඔබ අද ක්‍රියාකාරීව මිනිසුන්ට උදව් කරනවා. මතු දවසක ජනාධිපතිතුමා ආපදා කළමනාකරණ අමාත්‍ය ධුරය ඔබතුමාට දුන්නොත්, මෙවැනි තත්ත්වයකට ඔබතුමා කල් ඇතිව සූදානම් වෙන්නෙ කොහොමද?

මගේ තියෙන සැලසුම් ඇමැතිවරයෙක් විදියට මට ක්‍රියාත්මක කරන්න බැහැ. මේක හදන්න නම් මුල ඉඳලම හදාගෙන එන්න ඕනේ. ඩී.එස්. සේනානායක මහත්තයයි, ඩඞ්ලි සේනානායක මහත්තයයි කළා වගේ වැඩපිළිවෙළක් තමයි කරන්න වෙන්නෙ. දැන් මට හෙට ආපදා කළමනාකරණ අමාත්‍ය ධුරය දුන්නා කියලා මූලික සැලසුම් හදාගන්නෙ නැතිව මට මේක සම්පූර්ණ කරන්න බැහැ. එහෙම හදන්න පුළුවන් පරිසරයක් මේ රටේ නැහැ. කොහෙන් හරි අපි ඇළක් කපාගෙන ගියොත් ඇළ උඩ මොකක් හෝ ගොඩනඟා ගනීවි. පාරක් කපාගෙන ගියොත්, ගමේ අය පාරට බැහැලා පිකටිං යනවා, උද්ඝෝෂණය කරනවා. පාරේ නිදියා ගන්නවා. රටේ මිනිස්සු යථාර්ථය තේරුම් අරගෙන නැහැ. නිලධාරීන්ට වැඩක් බාර දුන්නොත් රාජකාරී වේලාවේ දී පමණයි කරන්නෙ. ඒකත් හරියට කරන්නෙ නැහැ. එතැනත් 85%ක් විතර බොරු කරන්නෙ. මට නම් ආපදා කළමනාකරණ ඇමැතිකම නොවෙයි ඉන්න ගෙදරත් මට එපා වෙලා තියෙන්නෙ. ගෙදරත් දැන් අනාථ නිවාසයක් වගෙයි. දැන් මට වයස අවුරුදු පනස් හතරක්ද පනස් හයක්ද කොහෙද වෙනවා. මේ, දේශපාලනය හින්දා මගේ දරුවොත් නැති වෙන්න ගියා. මගෙ නෝනගෙ ජීවිතෙත් කොයි වෙලාවෙ නැතිවෙයිද දන්නෙ නැහැ. මේ තියෙන පීඩනයත් එක්ක එයාට රටේ තියෙන ලෙඩ සේරම තියෙනවා. දැන් මේ ගෙවෙන්නෙ මගේ අවසාන කාලය. මට ආපදා කළමනාකරණය නෙවෙයි, නිදහසේ ජීවත් වෙන්නයි ඕනේ. මේක හරි අමාරුයි. හරියට ‘උඩුගං බලා පීනනවා’ වගේ වැඩක්. අපට මතක හිටින අතීතයක් තිබුණා. එදා විස්මිත නිර්මාණ කළේ අපේ මිනිස්සු. රාවණා දඬුමොනරෙ හැදුවෙ හැමෝටම කලින්. නමුත් අද අපේ රටේ කිසිම දේකට ක්‍රමවේදයක් නැහැ. හැමදේටම ජාමෙ බේරගෙන වහං වෙන්න තමයි උත්සාහ දරන්නෙ. පක්ෂ ගැන නොහිතන, පාට ගැන නොහිතන, රටේ පුරවැසියො ගැන හිතන පාලකයො බිහි විය යුතුයි. මේක තමයි යථාර්ථය.

තමාරා පතිරණ

සම්පූර්ණ උපුටා ගැනීම - සත්හඬ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.