Menu

logo new 2015-5-11

Shamrock-png

ඉස්සරහට ගියේ බදාගෙන හිටපු මිනිස්සු නෙවෙයි. අත්හැරපු මිනිස්සු - වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු

ඉස්සරහට ගියේ බදාගෙන හිටපු මිනිස්සු නෙවෙයි. අත්හැරපු මිනිස්සු - වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු

1931 ඉපදුණු නෙවිල් ප්‍රනාන්දුට දැන් වයස 86යි. හැබැයි එයා හැප්පෙන්නේ අවුරුදු විස්සේ විසිපහේ කොල්ලොත් එක්ක. වයසින් තිස් හතළිස් ගණන්වල ඉන්න බලසම්පන්න වෛද්‍යවරු ඇතුළු සංවිධානත් එක්ක. මොකක්ද මේ ජවය? කවුද මේ නෙවිල්? අපි හම්බවුණා.

පොඩි කාලේ ගෙවුණේ කොහොමද?

අපේ තාත්තා රජයේ සේවකයෙක්. ඒ නිසා අවුරුදු ‍ෙදාළහට ඉස්කෝල දහතුනක ඉගෙන ගත්තා. පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලයේ, අම්බලන්ගොඩ වගේම මහනුවර ධර්මරාජෙත් ටික කාලයක් ඉගෙන ගත්තා. ඊට පස්සෙ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා. 1957 දී වෛද්‍යවරයෙක් හැටියට පිටවුණා.ඊට පස්සේ වෛද්‍යවරයෙක් හැටියට වැඩ කළා. දේශපාලනයට සම්බන්ධ වුණා. ව්‍යවසායකයෙක් හැටියට විවිධ ක්ෂේත්‍රවලට යොමු වුණා.

නෙවිල් ප්‍රනාන්දු කියන්නේ ඒ කාලේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්?

ඒ කාලේ මම තමයි ඒ පළාතේම හිටපු ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරපු ළාබාලම වෛද්‍යවරයා. 1959 ඉඳලා අවුරුදු විස්සක් මම පානදුරේ මගේ ක්ලිනික් එකේ වැඩ කළා. ඒ කාලේ මගේ ගාස්තුව රුපියල් දෙකයි ශත පනහයි.

එතනින් පස්සේ?
හැත්තෑ ගණන්වල මට ආරාධනා කළා එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වෙන්න. මම පානදුරේ සංවිධායක වුණා. ඒ කාලේ පානදුරේ කියන්නේ වාමාංශික ආසනයක්. පානදුරේ සංවිධායක හැටියට හිටියේ ලෙස්ලි ගුණවර්ධන. 77 ඡන්දෙදි වාමාංශික අපේක්ෂක ලෙස්ලි ගුණවර්ධනව වැඩි ඡන්ද දහදාහකින් පරද්දලා මම පානදුරේ මන්ත්‍රි වුණා.

වාමාංශික ආසනයක් වුණු පානදුරේ අනිත් පැත්ත පෙරළුවේ කොහොමද?

ඕනම රෑක ඕන වෙලාවක කවුරු හරි ඇවිත් කීවොත් ප්‍රතිකාරයක් කියලා සල්ලි හම්බවුණත් නැතත් මම ගියා. සමහර තැන්වලට ගිහින් වැඩ ඉවර වුණාම කියනවා සල්ලි නෑ කියලා. මම හිස් අතින්ම ආපහු එනවා. මම අවංකවම මිනිසුන්ට සේවය කළා. වෛද්‍යවරයෙක් හැටියට මට ලොකු කීර්තියක් තිබුණා. ඉතින් මම ඡන්දෙ ඉල්ලුවාම රතු පාටට තිබුණු පානදුරේ කොළ පාට වුණා.

ඡන්දෙට කීයක් වියදම් කළාද?

මට මුළු ඡන්දෙටම ගියේ රුපියල් විසිපන්දාහයි. මුළු කැන්වසින් එකම ගියේ ඩීසල් බැරල් හතරකින්. මගේ වාහන දෙකකින් මම මුළු ආසනේ පුරාම ගියා. ඒ හැමෝටම වගේ නම කියලා කතා කරන්න පුළුවන් දැන හැඳුනුම්කමක් මට තිබුණා. පෝස්ටර් කටවුට් ගහලා ඒ කාලේ ඡන්ද දිනන්න බෑ. මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඕනේ. ආසනේ මන්ත්‍රි ආසනේට වැඩ කළේ නැත්නම් ඊළඟ ඡන්දෙදි ජනතාව උත්තර දෙනවා.

77 මන්ත්‍රි වුණාට මන්ත්‍රිකම වැඩි කාලයක් කරන්න වුණේ නෑ නේද?

77 අපි බලයට ආවේ ධර්මිෂ්ඨ සමාජයක් හදනවා කියලනේ. ඒත් ටික කාලයක් යනකොට ඒ පොරොන්දු ඉෂ්ට නොවෙනකොට වෙන වෙන පාරවල්වල යනකොට මම පාර්ලිමේන්තුවේ රණ්ඩු කළා. ඥානම්ට සාරි ගේන්න දුන්නු පර්මිට් එකට කලිසම් රෙදි ගෙනාවම ලොකු දඩයක් ගැහුවා. ආණ්ඩුව මැදිහත්වෙලා ඒවා නිදහස් කළාට පස්සේ මම ඒක ප්‍රශ්න කළා. ඊට පස්සේ හිටපු ලීගල් ඩ්‍රාෆ්ට්මන්ව තනතුරෙන් ඉවත් කරන එකට විරුද්ධව මම කතා කළා.

ඊට පස්සේ මැතිනිගෙ ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාව ඉදිරිපත් වුණා. ඒ වෙලාවෙත් මම විරුද්ධ වුණා. ආණ්ඩු පක්ෂ රැස්වීමේ තිබුණු ඡන්ද විමසීමේදී මම ඡන්දය නොදී හිටියා. මගේ ළඟ හිටපු මන්ත්‍රිතුමා මගේ අතට තට්ටු කරලා කීවා අත උස්සන්න කියා. මම මගේ අත ගසා දැම්මා. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඒක දැක්කා. එයා දැනගත්තා මම හරියන මිනිහෙක් නෙවෙයි කියලා.

ඊට පස්සේ එක එක අවවාද කළා. පණිවුඩ එව්වා. මාව අවනත කරගන්න උත්සාහ කළා. එතකොට මන්ත්‍රිකම අත්හරින්නේ?

අච්චුවේලිවල ගුවන් හමුදා භටයෝ කීප දෙනෙක් ඝාතනය වෙලා කොළඹ ගෙනාවා. මම ඒ වෙලාවේ පානදුරේ රැස්වීමක් තියලා කීවා 'ජේආර්ට මේක කරන්න බැරිනම් පුළුවන් කෙනකුට දීලා යන්න' කියලා. මගේ කතාව පත්තරවල ගියා. මේක ගියා 'සවුදි අරාබියා' කියලා පත්තරේක. එතකොට ජනාධිපති ජයවර්ධන හිටියේ සවුදියේ.
ලංකාවට ආපු ගමන් කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කරලා මාව පක්ෂයෙන් අයින් කළා. මට උසාවි යනවද නැත්නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට මුහුණ දෙනවද කියන දෙකෙන් එකක් තෝරා ගන්න වුණා. මම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තෝරා ගත්තා. ඊට පස්සේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දැම්මා. ඒකෙන් පස්සේ ඡන්ද විමසීමක් තියන්න තීරණය කළා මට විරුද්ධව.

ජනාධිපති ජයවර්ධනගේ හයෙන් පහේ බලයත් එක්ක ඊට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුළේ ඡන්ද විමසීමකට මුහුණ දෙනවා කියන්නේ විහිළුවක්. ඒ නිසා ඡන්දය ආරම්භ වෙනකොට මම මගේ ඉල්ලා අස්වීම භාරදීලා ගෙදර ගියා.

ඉතින් ඔබ ජේ.ආර්. ජයවර්ධන ගැන නොදන්නවා වෙන්න බෑනේ? මම විතරක් නෙවෙයි හැමෝම දන්නවා ජේ.ආර්. ජයවර්ධන ගැන. එතැනින් දේශපාලනේ නතර කළාද?

එතනින් පස්සේ මැතිනි මට ආරාධනා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න කියලා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙලා ඒකේ උප ලේකම්වරයෙක් වුණා. මගෙත් එක්ක හිටපු අනිත් උප ලේකම් තමයි මහින්ද රාජපක්ෂ. 94 වෙනකල් ශ්‍රී ලංකා එකේ හිටියා.


ජේ. ආර්. සහ සිරිමාවෝ කියන නායකයන් දෙන්නා එක්කම ඔබ වැඩ කළා. කවුද වඩාත් සිත්ගත් නායකයා?


මැතිනි. උණුවෙන හිතක් තිබුණු කෙනෙක්. හැමෝටම කන්දීලා හැමෝගෙම දේවල්වලට අවස්ථාවක් දෙනවා.

අපි නෙවිල් ප්‍රනාන්දු කියන ව්‍යවසායකයා ගැන කතා කළොත්, ඔබ වෛද්‍යවරයෙක් හැටියට වැඩ කරනකොට ව්‍යාපාරවලටත් අත ගැහුවද?

මම මුලින්ම කළේ දේපළ වෙළෙ¼දාම්. ඉඩම් අරගෙන ගෙවල් හදලා විකුණුවා. ඒකෙන් හම්බවුණු ලාභවලින් ලක්ෂ නවය හමාරකට බෙන්තොට පටන් ගත්තා තරු පන්තියේ සංචාරක හෝටලයක්. අක්කර පහක තිබුණු කාමර 31ක හෝටලයක්.

ඒක දියුණු වීගෙන එනකොට ඒක ලක්ෂ පහළොවකට විකුණලා පොල් වත්තක් ගත්තා. හෝටලේ කොටස් අයිතිකාරයන්ට රුපියල් දහයේ කොටසකට රුපියල් පහළොව ගාණේ ගෙව්වා. අක්කර හැත්තෑ පහක වත්ත 1972 ගෙනාපු උපරිම ඉඩම් අයිති නීතියෙන් මට අක්කර පනහක් ඉතිරි වෙලා ඉතුරු විසි පහ ආණ්ඩුවට ගත්තා. ඊට පස්සේ මම ඒක විකුණුවා.

ඊට පස්සේ අසූ ගණන්වල අක්කර විසිතුනක ඉඩමක මම පෝසිලේන් ෆැක්ටරියක් පටන් ගත්තා. හැම තැනම තිබුණේ වෙන වෙනම වැඩ කරන පෝසිලේන් ෆැක්ටරි. මම පටන් ගත්තා එකම තැනක හැම දේම කරන එකක්. ඒකේ පළමුවැනි පෝසිලේන් තොගය පිටරට යැව්වට පස්සේ මගේ කොටස මගේ හවුල්කාරයාට විකුණුවා. මම පටන් ගත්තා ඇඩ්වටයිසින් ප්‍රින්ටින් කරන්න පුළුවන් සියලුම පහසුකම් තියෙන මුද්‍රණාලයක්. දැන් ඒකේ ශාඛා කීපයක් ලෝකේ රටවල් කීපයක තියෙනවා.
ඒ වෙනකොට කඩා වැටිලා තිබුණු ආශා සෙන්ට්‍රල් රෝහල මම ගත්තා. ඒක මම දියුණු කළා. 1998දී පටන් ගත්ත ආශා සෙන්ට්‍රල් එක මිලියන එක්දාස් හයසීයකට විකුණලා සයිටම් එක පටන් ගත්තා.

ඇයි ව්‍යාපාර හද හදා විකුණන්නේ?

මම කැමැතියි අලුත් අභියෝග භාරගන්න.

ඔබ ජීවිතේ එක එක වෙලාවේ මහ අමුතු  විදියට දේවල් අතහැරීම් කරලා තියෙනවා? 

ඔව්. පටන් ගන්නවා. දියුණු කරනවා. අත්හරිනවා. තව පියවරක් ඉස්සරහට තියනවා. මගේ ජීවිත කාලේ ගොඩක් දේවල් කරන්න පුළුවන් වුණේ ඒක නිසා. එකම දෙයක් අල්ලගෙන හිටියානම් මේ කිසි දෙයක් කරන්න වෙන්නෑ. කාට වුණත් ඒක පොදුයි. ඉස්සරහට ගියේ බදාගෙන හිටපු මිනිස්සු නෙවෙයි. අත්හැරපු මිනිස්සු. 


ලංකාවේ හා හා පුරා කියලා පටන් ගත්ත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයත් අන්තිමේදී රජයට ගත්තා. එහෙම තියෙද්දිත් ඇයි ඒවගේ එකකට අත ගැහුවේ?

මගේ පවුලේ ඉන්නවා ‍ෙදාස්තරලා පහළොවක් විතර. තව ඉන්ජිනේරුවෝ පහක් හයක්. ඒ හැමෝම ඉගෙන ගත් අය. අපේ මවුපියෝ අපිට හොඳට ඉගැන්නුවා. ඉතින් මට ඕන වුණා අපි ලබා ගත්ත අධ්‍යාපනය තව කෙනකුට දෙන්න. මට එහෙම වුවමනාවක් තියෙනකොට තමයි විශ්වා වර්ණපාල ඇමැතිතුමා ආරාධනා කළේ ලංකාවේ ව්‍යවසායකයන්ට පෞද්ගලික අධ්‍යාපන ආයතන පටන් ගන්න එන්න කියලා.

සයිටම් කියන්නේ සල්ලි ගරන උපාධි කඩයක් නේද?

දැනටත් සයිටම් එකේ ඉගෙන ගන්න ළමයින්ගෙන් සීයට තිහක් ඉන්නෙ ශිෂ්‍යත්වලාභීන්. මේ වෙනකොට මම දීලා තියෙනවා මිලියන 550ක් වටිනා ශිෂ්‍යත්ව. ඉගෙන ගන්න කැමැති දක්ෂ ළමයින්ට ඒ වුවමනාව ඉෂ්ට කරගන්න උදවු කරනවා. මට සල්ලි වැඩක් නෑ. ආශා සෙන්ට්‍රල් එක විකුණලා මිලියන 1600 බැංකු පොතක දැම්මත් මට හොඳට ජීවත් වෙන්න පුළුවන්. මගේ දරුවෝ, මුනුපුරෝ, මිනිපිරියෝ හොඳට ඉගෙන ගත්ත අය. ඒ අයට මේ සයිටම් එකෙන් සල්ලි හොයාගෙන ජීවත් වෙන්න වුවමනා නෑ.

සයිටම් එකට දැන් මොකද වෙන්නේ?
මේ වෙනකොට වෛද්‍ය උපාධිධාරීන් අනූවක් විතර පිට වෙලා තියෙනවා. ඊට අමතරව ඉන්ජිනේරු උපාධිධාරීන් හාරසීයක් පමණ පිටවුණා. ලෝකෙ පුරා එයාලා දැන් වැඩ කරනවා. තවත් ළමයි ඉගෙන ගන්නවා. එයාලාත් උපාධිධාරීන් හැටියට පිටවෙයි.

අද වෙනකොට සයිටම් කියන්නේ ඉතාම ශක්තිමත් විශ්වවිද්‍යාලයක්. මගේ රෝහල ප්‍රදානය කිරීමේ උත්සවයේදී සෞඛ්‍ය ඇමැතිතුමා යෝජනා කළා වෛද්‍ය පීඨයට ළමයි දෙසීයක් ගන්න අවශ්‍ය වැඩ කටයුතු කරන්න කියලා. ඊට පස්සේ පන්සීයක් දක්වා වැඩි කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා එතුමා කීවා. මම බලාපොරොත්තු වෙනවා ඇමැතිතුමා යෝජනා කරපු ඉලක්කයට යන්න. ක්‍රමයෙන් සිසුන් සංඛ්‍යාව පන්සීය දක්වා වැඩි කරන්න. පළමුවැනි අදියර විදිහට වෛද්‍ය පීඨයට සිසුන් දෙසීයක් සහ ඉන්ජිනේරු පීඨයට සිසුන් දෙසීයක් බඳවාගෙන ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න මම සැලසුම් කරගෙන යනවා.

ඇයි තමන්ගේ සල්ලිවලින් හදපු රෝහල රජයට දුන්නේ?

මම කීවා මම ඒක පරිත්‍යාග කරන්නම් කියලා.

මම ඔය රෝහල පටන් ගත්තේ අපේ ළමයින්ට හෝමාගම රෝහලේදී සායනික පුහුණුව දෙන්න රජයේ වෛද්‍යවරු විරුද්ධවෙලා එළවා ගත්තට පස්සේ. ඒ ළමයින්ට ඉගෙන ගන්න තැනක් ඕනේ. තව ගොඩක් අයට සේවයක් කරන්න පුළුවන්. මම ඉන්ජිනේරු පීඨය පටන් ගන්න හිතාගෙන පටන්ගත්ත ගොඩනැඟිල්ල රෝහලක් කළා.
ලංකාවේ ලොකුම පෞද්ගලික රෝහල තමයි ඇඳන් 1002ක් තියෙන නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල. සාමාන්‍ය වාට්ටු, නවීන පහසුකම්වලින් සමන්විත කාමර, රසායනාගාර, ශල්‍යාගාර වගේ හැම දේකින්ම අංගසම්පූර්ණ රෝහලක්.

ඒ කියන්නේ අහම්බයක් වගේ ජීවිතේ පළමුවැනි වතාවට අලුත් රෝහලකුත් හැදුවා?

මම මුලින්ම රෝහලක් හැදුවේ 77 පානදුරේ කේතුමතී කාන්තා රෝහල. හැබැයි, දැන් සති කීපයකට කලින් මම පානදුරේ යනකොට ඒ රෝහලේ මට විරුද්ධවම කළු කොඩි උස්සලා බැනර් එල්ලලා. මම එතැන හිටපු අයට ඉතිහාසේ කියලා දීලා ඒවා ගලවලා දාලා ආවා.

කොළඹින් පිටත අදටත් තියෙන එකම කාන්තා රෝහල. අදටත් ලංකාවේ තියෙන ඉහළම පහසුකම් සහිත රෝහලක් ඒක. ඒ ගොඩනැඟිලි රජයට ප්‍රදානය කරලා තිබුණාට වැඩක් අරගෙන තිබුණේ නැහැ. මම කීවා මම මන්ත්‍රි වුණාම මේ ගොඩනැඟිල්ලේ පූර්ණ පහසුකම් සහිත මාතෘ රෝහලක් හදනවා කියලා. ඉතින් මම ඒ ඡන්ද පොරොන්දුව අනුව ඒ රෝහල හැදුවා. ඒ වෙලාවේ සමහරු යෝජනා කළා ඒ රෝහලට මගේ නම දාන්න කියලා. මම කීවා අනුන්ගේ දේපළවල, අනුන්ගේ සල්ලිවලින් හදපු රෝහල්වලට මගේ නම දාන්නේ නෑ. ඒත් කවදා හරි මගේ සල්ලිවලින් හදපු රෝහලකට මගේ නම දානවා කියලා. මම මගේ වියදමින් හදපු රෝහලට නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කියලා නම දැම්මේ ඒ නිසා.

දැන් ගොඩක් අය ප්‍රශ්න කරනවා නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල වෙනුවෙන් ගත්ත ණය ගෙවන්නේ කවුද කියන එක?
මම. සම්පූර්ණයෙන්ම මගේ ණය ගෙවන්නේ මම. මම ණය ගන්න බැංකුවට ගිය වෙලාවේ බැංකුව මගෙන් ඇහුවා, මගෙන් පස්සේ කවුද මේ වැඩ කරන්නේ කියලා. මගේ මිනිබිරිට ඒ හැමදේකම වගකීම පවරලා තියෙන්නේ. අපි ගත්ත හැම සතයක්ම වෙලාවට ගෙවලා ඉවර කරනවා.

රෝහලයි සයිටම් ප්‍රශ්නෙයි කියන්නේ දෙකක්. දැන් සයිටම් එකට මොකද වෙන්නේ?

සයිටම් එක ඉස්සරහට යනවා. රෝහල තමයි සායනික පුහුණුවට හැදුවේ. රෝහලයි සයිටම් එකයි කියන්නේ එකිනෙකට බැඳුණු එකක්. සයිටම් එකට තමයි රෝහල අයිති වෙලා තිබුණේ. රෝහල රජයට පැවරුවට පස්සේ, රෝගීන් වැඩිවෙනවා. අද සල්ලි ගෙවන රෝහලක් නිසා රෝගීන් එනවා අඩුයි. රජයේ රෝහලක් හැටියට නොමිලේ සේවය සපයනකොට ගොඩක් රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබන්න පුළුවන්. ඒක නිදහස් සෞඛ්‍යයටත් විශාල ශක්තියක්.

ඒ වගේම, අධිවේගී මාර්ග පද්ධතිය දියුණු වෙනකොට අධිවේගී මාර්ගවලින් කොළඹට එන ගිලන්රථවලට පුළුවන් විනාඩි කීපයකින් මගේ රෝහලට එන්න. දැන් තියෙන විදියට කොළඹට යන්න වැඩි වෙලාවක් යනවා. මේ රෝහලෙන් ඒ ප්‍රශ්නේ විසඳෙනවා. ඒ නිසා රජය බලාපොරොත්තු වෙන්නේ ඒ අරමුණු මුල් කරගෙන මෙය රෝහලක් හැටියට පවත්වාගෙන යන්න.

රෝහල රජයට පවරා දීමට එකඟ වුණා කියන්නේ, ඔබ ටිකක් බය වෙලා අඩියක් පස්සට ගත්තා නෙවෙයිද?

නෑ. මම කවදාවත් අඩියක් පස්සට තියලා නෑ. මම අඩියක් ඉස්සරහට තිබ්බා. මම මේ දුන්නේ දානයක්. අපේ පවුල්වල අවුරුදු සිය ගාණක් තිස්සේ දාන දීලා තියෙනවා. අපි දානයක් දුන්නට පස්සේ දුක් වෙන්නේ පසුතැවෙන්නේ නෑ. සන්තෝෂ වෙනවා. ඒ නිසා මම මේ ලොකු දානයක් දීලා ගොඩක් සතුටු වෙනවා.

සයිටම් කියන්නේ වෛද්‍ය විද්‍යාලයක් විතරක් නෙවෙයි. ඔබ හිතන්නේ ඇයි මේ වෛද්‍ය උපාධියට විතරක් විරෝධතා?

ඒක තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තියෙන කුහකකම. එයාලා බයයි වෛද්‍යවරු වැඩි වැඩියෙන් වෛද්‍ය වෘත්තියට ඇවිත් එයාලගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකට පාර වදියි කියලා. ඒක නොකියා වෙන එක එක හේතු කියනවා.

ඔබ ඉගෙන ගත්ත පාසලක් වුණු මහනුවර ධර්මරාජයෙම ආදි ශිෂ්‍යයෙක් තමයි අන්තරේ මෙහෙයවන ළහිරු වීරසේකරත්....

ඒක හරි අපූරුයි. එක එක්කෙනාගේ දේශපාලන වැඩවලට ඒ ළමයි උසිගන්නලා තියෙන්නේ.

ළහිරුලාට කඳුළුගෑස් ගහන පොලිසිය භාර පූජිත් ජයසුන්දර මහත්තයාත් වගේම බන්ධනාගාරේ ලොක්කෝ කීප දෙනෙක්මත් ඒ ඉස්කෝලේම ආදිශිෂ්‍යයෝ තමයි. ඒක හරි අපූරුයි තමයි.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන මොකක්ද අදහස?

අපට මහ විශාල කර්මාන්ත පටන් ගන්න, නිෂ්පාදන සිදු කරන්න සම්පත් නෑ. තියෙන සීමිත සම්පත්වලින් ගොඩක් දේවල් කරන්න බෑ. එහෙමනම් අපි කරන්න ඕනෑ මොළේ විකුණන එක. අපේ ළමයින්ට දැනුම දීලා ඒ වෙනුවෙන් ආයෝජනය කරලා ඒ දැනුමෙන් අපට පුළුවන් රට දියුණු කරන්න. මේකට පෞද්ගලික අංශය, රජය වගේම පෞද්ගලික _ රාජ්‍ය මැදිහත්වීමෙන් දේවල් කරන්න ඕනේ.

දැන් ඉතින් ඊළඟට මොකද්ද කරන්නේ?

තව අලුත් වැඩක් පටන් ගන්නවා. ඒක දැන්ම කියන්න කාලෙ වැඩියි. බාගයක් ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතුරු බාගේ මගේ හිතේ තියෙනවා. ඒකත් කොහොම හරි කරනවා.

සාමාන්‍යයෙන් මිනිස්සු අවුරුදු 55 _ 60 වෙනකොට විශ්‍රාම යනවා. දැන් ඔබට වයස 86ක්?

එහෙම හිතන නිසාම තමයි මේ රටවල් පස්සට යන්නේ. අලුතෙන් දේවල් හිතන් නැතිව ඉන්නකොට මොළේ මලකඩ කනවා. මොන අභියෝග ආවත්, මම ජීවිතේ අවසන් මොහොත වෙනකල්ම අලුත් දේවල් කරනවා.

සාකච්ඡා කලේ - භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.